Tuesday, June 28, 2016

හස්ති ආල විනිසුරු ගේ කතා වත්තුව



පෙර එක් කලෙක ලංකාපුරයෙහි තිළීණගමගා නම් විනිසුරුවෙක් විසූහ.. හේ නම් ඉතා කරුණාවන්තයෝමය.. අයුක්තිය අසාධාරණය රජ කරන්නාහූ දේශයේ යුක්තිය සාධාරණය වෙනුවෙන් විජයෝ කුමරතුඟුන් මෙන් සටන් කරන්නෝමය.. වංචාව හමුවේ දණ්ඩෙන් පහරලත් නාගයකු මෙන් කෝප වන්නේමය.. අසරණයන් ඉදිරියේ අවන් එකට දමන ලද්දාහූ බටර් කෑල්ලක් මෙන් හදවත උණුවී දියවී ගලාම යන්නේය..
මේ විනිසුරුවන්ගේ තීරණ මහෞෂධ පණ්ඩිතයෝ මෙන් සර්ව සාධාරණ වන්නේමය.. මෙසේ එතුමානන්ගේ ගුණ කදම්භය  රාත්‍රීයේ දල්වන ලද ලේලන්ඩ් බස් හෙඩ් ලයිට් එකක් මෙන් ලංකාපුරය පුරා පැතිර ගියාහුය... එකල රජ කළ අති උතුම් ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහා රාජයාණන් වහන්සේද මේ ගුණ අසා ප්‍රශංසා කර ඇතෙක් බරට වස්තුම ලබා දුන්හ.. මෙසේ ලොව පුරා මෙතුමාණන්ගේ ගුණ කදම්භය පැතිරෙද්දී සක්දෙව් රජුන්ටද මේ බව සැල වන්නාහ..
මෙකල්හී සක් දෙවි රජුන් ඇතුන් රැක්මෙහි කර්තව්‍යයේ යෙදී සිටියාහ.. අසරණව තනිවූ ඇතුන් රැගෙන කාරුණික හදවතින් සුපුෂ්පිත වූ මනුෂ්‍යයන් හට රැක බලා ගැනීමට ලබා දුන්නේමය.. අකලංකාරයේ මින් පෙර දක්වන ලද හස්ථි ආල තෙරුන්ටද තම ඇත් පැටවා හමු වූයේ ද එසේ ශක්‍ර බැල්මෙනි...
මෙසේ මෙකල්හී ලංකාපුරයෙහි ඇත් වැද්දන් විසුවාහ.. උන් නම් මහා දරුණු පුරුසයෝමය.. මව් මරා පැටවුන් පැහැර ගන්නාහුය.. ඇතුන් මරා දළ උගුල්ලන්නාහ.. මෙසේ ඇත් වැද්දන් මාන බලන්නාවූ ඇත් පොව්වෙකු දුටු සක් දෙව්ඳුගේ මනැසට නූඩ්ල්ස් ගසක් මුඛයට ඇදෙන්නාක් මෙන් අපූර්ව අදහසක් පහළ විණ..  ඒ නම් අප කතානායක විනිසුරු තුමාණෝය.. මේ කාරුණික හදවතැත්තාටා ඇත් පොව්වා භාර කරමියි සිතා පැටවාගේ මව්ගේ හොඬයට අධිගෘහිතව මහ ඝණ වනන්‍තරයේ සිට දිනක් විනිසුරු ගමන් කළ රථයට පනින්නාහුය.. අප මහා විනිසුරුවාණෝ බිය වී රථය නතර කරන්නාහ..



"පින්වත් විනිසුරුව..."
මව් ඇතින්න ඉදිරියේ සිට අමතන්නට විය.. මේ නම් ආශ්චර්‍යයක්මැයි සිතා විනිසුරු තෙම එකදු හුස්ම බිඳකුත් නොගෙන නෙත් විදා මුව අයා බලා සිටින්නාහ..
"විනිසුරුව... මා සතුව ඇත් පැටවකු සිටින්නාහ.. ඇත් වැද්දන් නම් මහා දුෂ්ඨයෝමය.. උන් නොබෝ දිනකදී මා මරා පැටවා රැගෙන යන්නාහ.. ඔබ වැනි පින්වත් පුරුෂයෙකුට මා පැටවා භාර කර හී සැර කා මියැදුණත් යහපතක්මැයි.. එසේ හෙයින් පැටවා භාර ගෙන අප මේ දුකින් මුදවාගන්නැයි "
කියා දණ බිම ඔබා විනිසුරු තෙමට නමස්කාරම කරන්නට යෙදිණ... මේ නම් මහා පුදුමයෙකි.. මාගේ පින් බලයෙන්ම මෙය සිදුවන්නේමයයි සිතු විනිසුරුවාණෝ යහපති යි ඇතිනියනි නමුත් මාගේ රථයෙහි මේ පැටවා රැගෙන යන්නේ කෙසේද.. රථය නම් කුඩාමය.. යතුරු හිලකට කොසුමිටක් දමන්නාසේම යැයි කීය.. අහෝ පුදුමයකි.. නාඹ තල් ගොබයක් සේ වැඩී සිටි ඇත් පොව්වා සැනෙන් කුඩා දරුවකු තරමට විය.. මේ නම් ශක්‍රයාගේ ආශ්චර්‍යයක් බව නොදත් විනිසුරුවාණෝ සාධුකාර දුන්නාහ... කුඩා වූ ඇත් පොව්වා ඉදිරි අසුනේ අසුන් පටි පැළඳ ඇණ තබා වින්ඩ්ස්ක්‍රීනය දෙස බලා සිටින්නේය...

විනිසුරුවාණෝ වහාම රිය පදවා කලර් ලයිට් බිඳ ඇත්පොව්වා ගෙන තම මාළිගයට පැමිණෙන්නාහ... මෙසේ කිහිප දිනක් යනවිට ඇත් පොව්වාත් විනිසුරු තෙමෙත් අතර පිය පුතු ප්‍රේමයක්ම හට ගන්නාහ...

උදෑසන අවදි වන ඇත් පොව්වා සිය කුටියේ වැට ළඟට පැමිණ " තිළීණා....." යනුවෙන් කුංචනාද කරයි... එවිට දෑස් හරින විනිසුරුවාණෝ යහනේ සිටි මාපිළෙකු සිය පශ්චාත්භාගය සැපුවාක් මෙන් යහනෙන් නැගිට වහා ඇත් පොව්වා වෙත දිව යයි...  ඇත් පොව්වා සිය සිඟිති පා ඔසවමින් පැමිණෙයි... ඉනික්බිති සොඬවැල සහා අත් පටලවමින් දෙදෙනා වටයක් බමයි...
 " ක්ෂීර ක්ෂීර පන්දූ.... රැළිති රැළිති පළඳනා.... "
කියමින් සිනාසෙමින් බමයි... පහතට නැමී මවක් මෙන් ඇත් පොව්වාගේ කුම්භස්ථලය සිඹින විනිසුරුවාණෝ ඇත් පොව්වා රැගෙන ස්නාන කුටියට පිය නගයි...
ස්නාන කුටිය ඇත් පොව්වා වෙනුවෙන්ම රොසෙල් බාත්වෙයාර් නම් කුඹල් කරුවා ලවාම රනින් සාදන ලද්දාය.. බෙහෙත් ඔරුවක් සේ නාන බේසමය... මෙසේ ඇත් පොව්වා වෙනුවෙන්ම සෑදූ දන්ත පවිත්‍ර මිටකින් ඇත් පොව්වාගේ මුව විවර කර දන්ත මද්දවනය කරයි අප විනිසුරුවාණෝ....
පැන් ගෙන මුව දොවා උණු පැණින් නහවයි... දෙදෙනා ස්නේහයෙන් දිය කෙළියි.. සොඬවැලෙන් දිය ගන්නා ඇත්පොව්වා විනිසුරුවන්ගේ මුවට දිය විදියි... මෙසේ කෙළි දෙළින් ස්නානය කර ඇත් පොව්වාගේ කුටියට ගෙන ගොසින් බේබි ක්‍රීම් ගල්වා ස්නේහයෙන් පිරිමදියි....
පසුව දෙදෙනාම උද්‍යානයට පැමිණ පන්දු ක්‍රීඩාවෙ යෙදෙයි...

මේ අතර දෙදෙනාම ගී කියයි...

"ඇත් පැටියෝ.. උඹයි මමයි...
ඇත් පැංචෝ... ඔයයි මමයි...
අලි අම්මා මරන මේ ලෝකය අපි බේරනවා....""

මෙසේ කලක් ගත වන විට මේ දෙපළගේ ස්නේහයේ ආනුභාවයෙන් කාල වර්ණ ඇත් පොව්වා ධවල වර්ණ විය...
මේ ආශ්චර්ය දුටු සක් දෙවිඳු සිය ඇස අගට පැමිණ කඳුලු බිඳුව ටිෂියු පත්‍රයකින්  පිස සාධුකාර දුන්නාහ...
එදා පටන් විනිසුරු තෙම ඇත් පොව්වාට සුදු පුතා යයි අමතන්නට වන්නාහ...
මේ දෙදෙනා එක්ව කෙළි දෙලෙන් පසුවෙති.. කති බොති ප්‍රීති වෙති..

මෙසේ කලක් ගතවන විට බුදුන්ට ගල් පෙරළූවාක් මෙන් ඊර්ෂියාකාරයෝ බෝ විය.. මේ ඇත් විනිසුරු පෙම උන්ගේ ඇස් වලට ගල් ඉන්නෙන් අනින්නාක් විය... බටහිර කුමණ්ත්‍රණකරුවෝ ද ඇන්ජීඕ ප්‍රතිකාල්හුද... අන්‍යාගමික ඉවැන්ජලික පල්ලි කාක්කෝද මේ පෙමට අකුල් හෙලන්නාහ.. මෙසේ හස්ති ආල තෙරුන්ට මෙන් විනිසුරුවාණෝ ගැනද රාජ පුරුෂයන්ට ඊර්ෂියාකාරයෝ " මේ නම් මව් මරා ගෙනෙන ලද ඇත් පැටවෙකියි..." කේලාම් මුසා පවසන්නට වන්නාහ.. ඒ කේලාම් ඇසූ රාජපුරුශයෝ දිනක් හදිසියේ පැමිණ  ඇත් පොව්වා පිනූවල ඇත් පන්‍තියට රැගෙන යන්නට යෙදිණ... විනිසුරුවාණෝ සිය දරුවා අහිමි වූ කිසාගෝතමිය මෙන් වැළපෙන්නට වන්නාහ... රන්දෙණිගල වේල්ල හැරියාක් මෙන් සට සට ගා කඳුළුක් ගලා විත් හේ නෙතු අගින් සිත බිඳී ගියේය... කඳුළින් කමිසය තෙත් වී කලිසම දිගේ කඳුලැලි බේරෙන්නට වන්නාහ... අහස අඳුරු විය.. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියා කෑ ගසා සක් දෙවිඳු පඬුපුල් අසුනින් බැස දෙව්ලොව ග්‍රැනයිට් පොළොවේ දෑත් ගසා හඬන්නට විය.. ඒ කඳුළින් ඇටකාමා කාන්තාරයට මහ වැසි ලැබී ගංවතුරින් පිරී ගියේය.
මේ සොව කෙසේ දරම්ද යත් විනිසුරු තෙම ගේ හෘත් කර්ණිකා අක්‍රීය වී තියුණු සැතකින් තූ තූ කරන්නාක් මෙන් වේදනාලන්නට විය..
ඇත් පොව්වාද පීනුවල ඇත්ගාලේ දී නොකා නොබී "තිළීණා... තිළීණා....." ලෙස කුංචනාද කරමින් වේදනාවෙන් කෑ ගසන්නාහ...
මෙසේ වැරදිකරු වූ විනිසුරුවාණෝ අධිකරණ සභාවට කැඳවන්නාහ..
මෙ අසාධාරණය දුටු සක් දෙව් රජු වත්මන් රජ වූ
" සරලාභිධාන මෙත්පල් නිරිඳුන් ගේ අහවල්පාලනය මේද යකෝව්.. "
කියා සිංහනාද කර විනිශ්චයකාරවරුගේ පශ්චාත්භාගයට අධිගෘහිතව අප මහා විනිසුරුවාණන්ට ඇප ලබා දීය....
මේ ආශ්චර්ය දැක ස්වභාවධර්මයාද වැසි නවත්වා ඉර පායා සක් දෙවිඳුට තුති පුද කළහ...
නමුත් කරදර නොනිමියේය...
විනිසුරුවාණෝ මෙසේ බෝ කලක් තම ස්නේහවන්ත ඇත් පොව්වා වෙනුවෙන් දාරක ස්නේහයේ නාමයෙන් කාජල් රකින ශාරුක්කාණ් මෙන් තනිව සටන් කළෝය....



හස්ති ආල විනිසුරු ගේ කතා වත්තුව නිමියේය.....

#අකලංකාරය

4 comments:

  1. නියමයි නේ ජාත (කේ) කතාව

    ReplyDelete
  2. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/4479-2016-06-28-21-41-04

    ReplyDelete
  3. ෆලොවර් ගැජට් එකත් එල්ලපන්.

    ReplyDelete