Saturday, October 1, 2016

අනේ උඹලෑ ළමා දිනේ


ගසා හොරණෑ දවුල් වන්නං ඇවිත් ලොකු ඇමති .........මැතී
පිරිවරා මැති ඇමති සමගින් වේදිකාවක වැනි...............වැනී
දොඩා කියමින් ලොකු කතා මළු ළමා දිනයේ හැපි........හැපී
හමාරව යයි කතා කර පැය තුනට දරුවෙක්......කෙළෙසෙති

ඇමති නිළදරු එක එකා ඇත ළමයි රකිමියි....................කියමිනා
සභාපතිල ද සංවිධානද පඳුරු ගණනින්..........................බිහිවෙනා
මීඩියා වල පුවත්පත් වල දරුවො ගැන උන්.....................කියවනා
එක් දිනට මේ පොළොව මත අට දෙනෙක් දරුවන්....කෙළසෙනා

කප්පරක් ඇත සම්මතව ලොකු නීති උන්ගේ ...............හිතුමතේ
පාසලක් නැත දරුවො දහසක් හඬයි තවමත්.................මහමගේ
උගන්වන්නට  දරුව යවනට එකේ වසරට......................පාසලේ
ප්‍රින්සිපල් හා නිදිවදින්නට අම්මා යායුතු මේ.......................රටේ


දහස් ගණනක් මවුන් යවමින් හිඟාකන්නට පිට....................රටේ
ලැජ්ජ නැති තොපි තවත් කියවයි දරුවො ගැන දව රට.........වටේ
අම්මලා නැති දරුවො සහසක් අයාලේ යන..................හිතුමතේ
එකෙක් බැලුවද ඇහැක් ඇරලා උනුත් දරුවොය මේ............රටේ

දහස් ගාණක් පොඩි එවුන් කුඩු ගසා දින දින.................මියැදෙනා
වගේ වග නැත ලොකු එවුන් හට ඡන්ද එද්දී..........නොපෙනෙනා
කියා සීයක් කතන්දර නවතමි හිටං කුඩු.........................කියමිනා
කුඩුකාරයන් හට ඇමතිකං දී උන්ව අරගෙන.................නලවනා

දැරියො කෙළෙසා පාටි දමනා කාලකන්නින් මේ.................රටේ
ඇපත් අරගෙන ඇවිත් එලියට අතවනා යයි හිස....................වටේ
පොඩි උනුත් ගෙන ඇකේ ගහගෙන බෝඩ් උස්සා උගෙ.......වටේ
ඌට ඡන්දය ඉල්ලමින් කෑ ගහන උන් ඇත මුතු...................ඇටේ

බේබිලා සෙල්ලමට අහසට රොකට් යවනා හඳ..................වටේ
තීරු හය ඇති පාරවල් ඇත බල්ලෙකුත් නැති ගම්...........ගොඩේ
කෝටි ගණනින් සල්ලි යටකර රේස් තියනා මේ.................රටේ
පාසලට යයි පොඩි කෙළි පොඩිත්තක් එල්ලිලා වැල්......පාලමේ

ටෝක් දුන්නට දෙදාස් පන්සිය කතා කියමින්................රාවණා
පාන් කෑල්ලක රහ බලන්නට නොහැකි පොඩි උන්...මියැදෙනා
මන්දපෝෂණ නිරක්තිය පොඩි දරුවො තවමත්...........ගිලමිනා

ඇමති උන්ගේ මූණු වල මස් කිලෝ ගණනින්...........එල්ලෙනා

කෝටි ගණනින් ප්‍රාඩො පැජරෝ වරායෙන් ගොඩ..............බාමිනා
ඇමති මන්ත්‍රී උතුමො සේරම රටවටේ.........................සැරිසරමිනා
කිලෝමීටර පහක් දහයක් දුරක අව්වේ..............................ඇවිදලා
නියං ගින්නේ වතුර හොයනා පොඩි එවුන් දෙස............නොබලනා

තිහක් වසරක් සිටන් වෙඩිකා යුද්ධයේ දුක් විඳපු.......................උන්
අම්මා අප්පා නැතිව සුසුමන් හෙළන අපගේ පොඩි.................එවුන්
ජාතිවාදය වපුරනා හැම උතුරෙ දකුණේ...........................තිරිසනුන්
සොයා බැලුවද ඒ දරුවො ගැන ගිනි තියාගෙන යන...............ගමන්

වසරකට දස දහස් ගණනින් දරුවො අතවර වෙන.........රටේ
දරුවො ගෙන්නා පාක් එකකට එකම දවසක රට..........වටේ
පාටි දාලා සින්දු කියලා නැටුම් නැටුවට හැම...............පැයේ
දරුවො හිතුවාද සැබැවින් කුණු පිරී උඹලගේ..............හිතේ

තුන්සියම හැට හතර දවසක් අහක බලමින්........................ඉඳිමිනා
පළමුවෙනිදට සෙට් වෙලා හැපි චිල්ඩ්‍රන්ස් ඩේ..................කියමිනා
ටීවි  රේඩියො පුවත්පත් වල පොර ටෝක් දෙන හැමදෙන.....දෙනා
දෙවනිදා සිට ආයෙ නිදියති ලබන වසරේ..........................එනතුරා

රැකවරණ අධ්‍යාපනය පෝෂණය හැම අමතක.................කළේ
දරුවො රකිමියි කෑ ගසාගෙන හැටහතක වසරක්...............රටේ
ළමා දිනයෙත් කෙළසෙනා පොඩි දරුවො  ඉන්නා මේ......රටේ
අදත් හිටපං කටවහන් තොපි අනේ උඹලෑ ළමා................දිනේ



#අකලංකාරය
චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment