Thursday, December 8, 2016

රවිචන්ද්‍ර කාරුණිකාණන්ගේ කතා වත්තුව



පෙර එක් කලෙක ටසිරි ලංකාපුරයෙහි සරලාභිධාන මෙත්පල් සිරිසන් නිරිඳුන් රාජ්‍ය කරන කල්හී මහින්දෝත්තම මහාධිරජාණන්ගේ සමයෙහි මෙන්මැ සීනි ගෝනියට බට හින්නන් මෙන් ටසිරිලක ජනී ජනතාවෝ මහත්වූ ආහ්ලාදයෙන්ම කල් ගත කළාහුය... ආහාර පානද..පිපාසාවට පැන්ද.. හැකියාවට රැකීරක්ෂා ද.. ආරක්ෂාවද නොඅඩුවම ලද්දාහ..

මේ සමෘද්ධියට යම් හේතුවක්මැ වී නම් ඒ භාණ්ඩාගාර අමාත්‍යා වූ රවිචන්ද්‍ර කාරුණිකාණෝමය.. හෙතෙම මහාභාණ්ඩාගාරයේ බන්ධකාර සුරක්ෂිතාගාරය සොරුන් බිඳීම නවතා ආරක්ෂා කළ කතාවත්තුව මීට පෙර අකලංකාරයෙහි පාඨක ඔබ කියවූවා මතක ඇති බව නිසැකමය...

හෙතෙම නීලමහා යෝධයා මෙන් කාලවර්ණ උත්තුංග දේහධාරී මහා පුරුෂයෙක්මැ විය.. ඔෂීන් මෙන් සැමවිටම සිනාවෙන් මුව සරසා සිටින්නාවූ එතුමානෝ දන්තාබුජ දත්කුඩු දැන්වීමකට වුව රඟපෑමෙහි සුදුස්සාණෝ වන්නාහ...  එතුමාණන්ගේ කහවණු කළමණාකාරණය නියාවෙන් රාජ්‍ය දිනෙන් දින සශ්‍රීකම වන්නාහ.. වෙනත් පාලකයෝනම් ජනයා තලා පෙලා සුනඛයන්ගෙන්ද මහා බදු පැනවූ නමුදු මෙතුමාණෝ එසේ නොවන්නාහ.. රාජ්‍යයේ ධනය රැස් කිරීම මහජනතාවට කිසිදු පීඩාවක් නොවිය යුත්තක්මයි අපෙ හාන්දුරුවනේ කියා සිංහනාද කළ එතුමාණෝ නින්දෙදී විද නොරිද්දා ලේ බී ඉවත යන ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවෙක් මෙන් මල නොතලා රොන් ගන්නා මහද නැමැති බඹරකු මෙන් ජනයාට අතුරු ආන්තරායක් නොවී බදු අය කළාහුය...
සත් රුවන් වැසි වැස්සවා භාණ්ඩාගාරය පුරවනු පිණිස එතුමාණෝ එකල ජම්බුද්වීපයේ විසූ මහා ඍෂිවරයෙක් වූ කීරිති වාලම්පූරි නම් ඇදුරාණෝ කැඳවා රාජ සභාවේ සිව් කොණද..පේදුරු තුඩුවේද දෙවුන්දර තුඩුවේද සංගමන්කන්දේද.. කෝලම්තොට කොටුවේද හක්ගෙඩි වළදමා රට ධනයෙන් ස්වයංපෝෂිත කළාහුය.. මේ වාලම්පුරියේ මහිමයෙන් දින තුනක් ටසිරිලකට සත් රුවන් වැසිද..
යාන වාහනද ලක්ස ගණනින් වැටුණාහ..
එම යාන වාහන නොමිලයේම ජනතාව අතර එතුමාණෝ බෙදා දුන්නාහ.. බැලු බැලූ අත

හයිවේ මගෙහිද.. හයිලෙවල් ලෝ ලෙවල් ගෝල් කැන්ඩි මං වලද කොටින්ම දුම්රිය මාර්ගයේද බෙන්ස් ප්‍රාඩෝ මොන්ටේරෝ රේන්ජ් රෝවර් ලෑන්ඩ් කෲසරා ආදී රථ පිරී ගියාහුය...
සිඟන්නන් පවා සිඟාකෑවේ පදික වේදිකාවේ අවුඩි රථ නවත්තා එයට හේත්තු වීය..
එතැන් පටන් ටසිරි ලක පා ගමනින් ගියේ උදෑසන ජොගින් කරනා ඇන්ටිලාද අංකල්ලාද පමණි...

 ටසිරිලක්වැසි පුතුන්ට හංසමාලිනියගේ රැඟුම්ද... සනීලොයෝනා දේවීන් වහන්සේගේ කෙඳිරීම් වැනි මිහිරි නාදද අසනු වස් අන්තර්ජන්ජාලය නොමිලේම ලබා දුන් අතර එයට පිවිසෙන වුන්ට රවිචන්ද්‍රයෝ සියතින් ඩේටා ලෑලි දමාහුය... මේ කරන ලද්ධාවූ ආයෝජනයේ මහිමයෙන් ලොව සියළු රාජ්‍යන් අභිබවමින් කෙලක් පරයන් නසා ලකදිව පණනගා කීරිතියට පත්වූවාහුය..
දුගීන්ට ආහාර දුන්නාහ.. දරුවන්ට ටැබ් දුන්නාහ.. මධු විතද දුම්වැටිද ක්‍රීම්සෝඩා මෙන් සුලබ විය...කිසිදා සැප සම්පත් භාවිත නොකළ එතුමාණෝ සිය ඉඩකඩම් ද යාන වාහනද විකුණා අනේපිඬුසිටාණන් මෙන් මහජනයාගේ බැංකු පොත් වලට බෙදාදෙන ලද්දාහ.. මෙය දුටු ජනතාවෝ එතුමා කරන ලද්දාවූ මේ ක්‍රියාවට අප කෘතගුණ දක්වන්නේ මෙසේදැයි කියා කම්පාවී බැංකුවෙන් කහවණු ගන්නා වාරයක් පාසා එතුමාණන්ගේ මෑණියන්ටද දිගාසිරි පතා ගිණුමට කහවණු දහයක් බැගින් බැර කලාහුය...

මේ අතරම දිනක් පාරෙහි හඬන තරුණියක් දැක කිමදැයි විචාරූ කල්හී පෙම්වතාට පණිවිඩ ගෙනයාමට පරෙවියන් කහවණු රාශියක් අයකරනා බව කීවාහුය.. හෙට්ටිගේ ගේ ගෙදරට බාල පයිප්ප දැමූවේ කවුදැයි විචෑරූ මහරජාණෝ මෙන් කෝප වූ එතුමාණෝ වහා ස්වාසීලන්තයෙන් පරෙයියන් ආනයනය කර පණිවොඩ කෝල් නොමිලයේම ලබා දුන්නාහ...

මේ ජනතා සේවය දුටු ශක්‍රයාණෝ හස්ථිආල තෙරුන්ගේ අහවල්මැතිණියාරාමේ අලිපැටියෙකු මැව්වාක් මෙන් එතුමාණන්ගේ වත්තෙහි ද නවීන බීඇම්ඩබිලිවා නම් මහාර්ඝ රථයක් මවා තව්තිසාවට නික්මුණාහුය....

රවිචන්ද්‍රයෝ නම් මහා කාරුණිකයාණෝය..අඩමස්සක්වත් නොවූ බදු වත් ගෙවීමට නොහැකි ජනයාට හෙතෙම බැට්මෑනානන් මෙන් පිහිට වූවාහුය.. එය කිසිවකුත් දැන සිටියේ නැත...අලුයම දෙකට ඇහැරී මුහුණද නොසෝදා අද මා පිහිට වන්නේ කාටදැයි සිතා ඔන්ලයින් ගිය විට සයිබරාවකාසයේ එක් දුගී ස්ත්‍රියක් බදු ගෙවීමට නොහැකි බවද ඒ නිසා පොඩි උන්ට ආහාර දීමටද නොහැකි බව කියා දැමූ පෝස්ටුවක් දුටු එතුමාණන්ගේ සිත පෙට්‍රල් බූලියක් හලා ගිනි තැබූ රෙජිපෝම් කැබැල්ලක් මෙන් බුර බුරා ගිනි ඇවිලෙන්නට විය...
වහා සිය කුටියේ රහස් දොර වෙත ගිය එතුමාණෝ..

"කුජු කුජු තෙයියං කොණ්ඩ පරෙයියං"

කියා රහස් වචනය කියාහුය.. පසුව රහස් කුටියටමැ ගොස් සිය මුහුණ ආවරණය කර හිස්වැස්ම දමා සුපර්මෑණානන් මෙන් ගෙලින් පිට සිට පා තෙක් යාර හතරක පමුණුවෙන් ගත් පොප්ලින් රෙද්දක්ද දමා පයට බූට් ද අතට ග්‍ලවුස් ද දමා ශක්‍රයාගේ රථයෙන් හීය අතින් ගත්  ඔලිවර් ක්වීනාණන් මෙන් නික්මුණාහුය...
යන අතර මුංඇට පන්සීයයක්ද.. පරිප්පු කිලෝ දෙකක්ද සිය බිරිඳටත් සොරෙන් සාක්කුවට දමාගත් එතුමානෝ පෙර කී පවුලට එම ආධාරය ගෙනැවිත් දුන්නාහ...
දරුවන්ට අහර නොමැතිව පටාචාරාවන් මෙන් වෝලයේ උඩපහළ යමින් සිටි ඇය ඉහිළුම් නොමැතිව ගියාහුය...
දෙඇස් වලින් වික්ටෝරියා වේල්ලට බින්ලාඩන් බැස්සාක් මෙන් සට සට ගා කඳුළු ගලා හැලෙන්නට විය..
ඒ ක්ෂණයෙහි රවිචන්ද්‍රයෝ සමග සෙල්පියක් ගසා අප්ලෝඩ් කළාහුය... කුසට අහරක් නොමැති දනන් හට පිහිට වන්නා වූ මෙතුමාණන් මෙතැන් පටන් ඒ දුප්පතුන්ගේ බඩගින් බිම වැට්ටවූ නියා  වට්ට මානවක ලෙස විරුධාවලී ලදඅතර පසුව එය වැට්මෑන් ලෙස ජාතික වීර නාමාවලියට එක් විය...
පසුව ගෙදර ගිය එතුමාණෝ ජනතාවගේ බඩගිනි නිවා මිස මෙතණින් නොනැගිටිමියි කියා සිංහනාද කර පරිප්පු ද මුංඇටද කොත්තමල්ලිද හාල් ද මාස්මෙලෝස් ද නොමිලයේම ජනතාවට බෙදා දුන්නාහ..
මෙසේ සුවෙන් සැපෙන් ජනී ජනයා කල් ගත කරන කල්හී මහා පුදුමයක්මැ විය.. රට වැසි දණන් අපෙන් වහා බදු අය කරනුවැයි කියා ලිප්ටන් වටරවුම වසා කෑගසන්නට විය... මෙසේ මහජනයාගේ ඉල්ලීම සලකා බැලූ එතුමානෝ සියල්ලන්ටම වාහන ලබා දුන් හෙයින් කහවනු විසිපහක් අය කර ගැනීමට අකමැත්තෙන්ම එකඟ වූවාහුය...
මෙසේ ටසිරිලක ජනීජනයා බලහත්කාරයෙන් රජයට මුදල් ගෙවමින් තම අතිරික්ත ධනයෙන් ගාලු පිටියේ කුළුණු හදමින් විනෝදයෙන් කල්ගත කළාහුය...


 අකලංකාරයෙහි වට්ටමානවක රවිචන්ද්‍ර කාරුණිකාණන්ගේ කතාවත්තුව මෙතැනින් නිමියේයැ..

-චමල් අකලංක පොල්වත්තගේ

( භාණ්ඩාගාර සොරකමේ කතාවත්තුව මෙතැනින් කියවිය හැක.

https://18sanniya.blogspot.com/2016/10/blog-post_12.html?m=0 )


4 comments:

  1. එළනේ . වෙන කීමට වචන නැත.

    ReplyDelete
  2. වැට් මෑන්ට ඊලඟ ඡන්දෙදි මොනවා වෙයිද අප්පා.

    ReplyDelete
  3. "කහවණු කළමණාකාරණය"

    I like that ..

    ReplyDelete