Tuesday, January 24, 2017

යුගයක් වෙනස් කළ අසහාය පරිගණක විද්‍යාඥයාගේ කතාව


====

The imitation game නමින් හොලිවුඩ් සිනමා පටයක් තිරගත වෙනවා 2014 දි.. එහි කතා තේමාව වන්නේ දෙවනි ලෝක යුධ සමයේ දී මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ රහසිගත යුධ මෙහෙයුමක් ගැන..
මේ කතාව ගොඩනැගෙන්නේ ඇලන් ටියුරින් නම් ගණිතඥයා වටා..
අවසානයේදී ඇලන් ගේ විශිෂ්ට දැනුම භාවිත කර නිපදවූ යන්ත්‍රයකින් ජර්මන් සන්නිවේදන පද්ධතිය බිඳ හෙළන්නට මිත්‍ර පාක්ෂික හමුදාවන්ට හැකියාව ලැබෙනවා..

විද්‍යාඥයන් මත පළ කරන ආකාරයට මෙතුමාගේ නිර්මාණය නිසා දෙවැනි ලෝක  යුද්ධය වසර දෙකකට පෙර අවසන් වී ඇති අතර මිලියන 14 ක් මිනිස් ජීවිත ඒ නිසා මරණයෙන් ගැලවී තිබෙනවා..

ඇලන් ටියුරින් උපත ලබන්නේ 1912 දි ලන්ඩන් නුවරදී.. කුඩා කාලයේ සිටම ගණිතයට හා විද්‍යාවට අති දක්ෂයෙක් වූ ඔහු උසස් අධ්‍යාපනය සඳහා 1931 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා.  එහිදී ගණිතය පිළිබඳ ප්‍රථම පෙළ ගෞරව උපාධියක් දිනා ගැනීමට සමත් වෙනවා..

මේ අතරතුරේදී දෙවන ලෝක යුද්ධය ඇරඹෙනවා.. හිට්ලර්ගේ නාසි හමුදා යුරෝපය ආක්‍රමණය කරමින් දැඩි ප්‍රහා‍ර මාලාවක් දියත් කරනවා. ගුවන් ප්‍රහාර වලින් ලන්ඩන් නගරය සුන්බුන් බවට පත් වෙද්දී යුරෝපානු අගනුවර 14ක් ස්වස්ථික කොඩිය යටතට පත්වෙනවා..
මහා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදාවලට දිගින් දිගටම නොනවතින ප්‍රහාර මාළාවකට මුහුණ දීමට සිදුවෙනවා.. නාවික හමුදාවන් වික්ෂිප්ත කරමින් නාසි හමුදා කුඩා සබ්මැරීන ( යූ බෝට්ස් )මගින් ප්‍රහාර එල්ල කර දැඩි හානි සිදු කරන්නට සමත් වෙනවා..



මෙයට ප්‍රධනතම හේතුව බවට පත්වෙන්නේ ජර්මන් පණිවිඩ හුවමාරු පද්ධතියයි.. හිට්ලර්ගේ බුද්ධි අංශ මගින් නිපදවූ enigma නම් යන්ත්‍රය මේ සඳහා යොදාගනු ලැබුවා.. එයින් ලැබෙන පණිවුඩ  විකේතනය කිරීමට මිත්‍ර හමුදාවන් අපොහොසත් වන අතර යුද්ධයේ යතුර එය  බවට පත් වෙනවා..
අවසානයේදී මේ පණිවුඩ විකේතනය කිරීම සඳහා ඇලන් ටියුරින් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක්  බ්‍රිතාන්‍ය රජය  විසින් පත් කරනු ලබනවා..
එහි නිලධාරීවාදි පාලනයට එරෙහිවන ඇලන් චර්චිල් අගමැති තුමාට ලිපියක් ලියමින් තත්වය පැහැදිලි කරන අතර අවසානයේ අගමැතිවරයා විසින් පර්‍යේෂණ කටයුතු කරගෙන යාමට පූර්ණ පහසුකම් ලබා දෙනවා.
දෙවසරක් තිස්සේ කරන ලද පර්‍යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස ටියුරින් විසින් ජර්මන් කේත විකේතනය කිරීමට විශ්ෂිඨ ඉලෙක්ට්‍රෝ-මිකැනිකල් (විදුලි-යාන්ත්‍රික)  යන්ත්‍රයක් නිශ්පාදනය කරනු ලබනවා..

අද ලෝකයේ පිළිගැනීම වන්නේ නූතන පරිගණකයේ මූලාරම්භය එය බවයි. එමෙන්ම ලොව මුල් වරට සිතන යන්ත්‍ර හා කෘතිම බුද්ධිය පිළිබඳ මත පළ කළ හා පර්‍යේෂණ කළ විද්‍යාඥයා වන්නේ ටියුරින්.. එකල සිතීමට හැකි යන්ත්‍ර පිළිබඳව 1950 දී පැවසූ විට විද්‍යාඥයන් සිනහ වූ නමුත් මේ වන විට එය යථාර්ථයක් බවට පත්වී තිබෙනවා..

ඇලන් ටියුරින් සමලිංගිකයෙක් වන අතර ඒ වන විට බ්‍රිතාන්‍යයේ සමලිංගිකත්වය නීතියෙන් දඬුවම් කළ හැකි වරදක් බවට පත්ව තිබුණා.
ටියුරින්ගේ සමලිංගික සහකරුවා විසින් ටියුරින්ගේ නිවසේ බඩු සොරාගෙන පැනයාම නිසා සිදුකළ පොලිස් පරීක්ෂණ වලින් ටියුරින් ගේ සමලිංගිකත්වය පිළිබඳව හෙළිවන අතර ඒ අනුව අධිකරණයෙන් ඔහුට දඬුවම් නියම කරනවා.. දෙවසරක සිර දඬුවමක් හෝ හෝමෝන එන්නත් කර වන්ද්‍යකරණය කිරීමට නියම කරනවා.. ඔහු වන්ද්‍යකරණය තෝරා ගන්නා අතර වෛද්‍යවරුන් විසින් හෝමෝන එන්නත් කර වන්ද්‍යකරණය කරනු ලබනවා..

එයින් ඇතිවූ මානසික පීඩනය නිසා ඔහු සයනයිඩ් ආහාරයට ගැනීමෙන් 1954 දී ඔහු සියදිවි නසා ගන්නවා..

පසුව 2013 වසරේදී බ්‍රිතාන්‍ය විද්‍යාඥයන්ගේ ඉල්ලීම මත බ්‍රිතාන්‍යය රජය විසින් ඇලන් ටියුරින්ට සිදුකළ අසාධාරණයට වරද පිළිගෙන කොන්දේසි විරහිතව ඔහුගෙන් සමාව ගනු ලබනවා...


( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි )

-චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. මෙවන් තොරතුරු සිංහල පාඨකයාට ගෙනාවාට මගේ ස්තුතිය. ඒත් පූර්ණ නිරවද්‍යතාව වෙනුවෙන් නිවැරදි කිරීම් දෙකක් කරන්නද?

    1. //කුඩා බෝට්ටු ( යූ බෝට්ටු ) //

    යු බෝට් නමින් හැඳින්වුයේ ජර්මන් සබ්මැරීනයි. (ජර්මන් වචනය unterseeboot)

    2.//විශ්ෂිඨ ඉලෙක්ට්‍රොනික ඩිජිටල් යන්ත්‍රයක් //

    මෙය ඉලෙක්ට්‍රොනික් හෝ ඩිජිටල් නොවූ අතර, බොම්බ් (bombe) නමැති ඉලෙක්ට්‍රෝ-මිකැනිකල් (විදුලි-යාන්ත්‍රික) යන්ත්‍රයක් විය.

    මුලාශ්‍ර - http://www.cryptomuseum.com/crypto/bombe/
    https://en.wikipedia.org/wiki/Bombe

    මෙවන් මාතෘකාවල ලිපි වෙනත් ක්‍රම වලින් සිංහල පාඨකයාට කියවීමට ලැබෙන්නේ කලාතුරකින් නිසා, ඔබේ කාර්යය ඉතා වැදගත්.

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තුතියි
      නිවැරදි කලා

      Delete

    2. බොහොම ස්තුතියි
      නිවැරදි කලා

      Delete