Tuesday, June 20, 2017

චමලේ බස්සෙකේ හෑන්ඩ්ස්ෆ්‍රී සහ ඉස්පීකරේ

==  ==

ඉසිපතන හන්දියෙන් 138 ට නැග්ගෙමි.. කොන්දයියා ඉඩ තියනවා මල්ලි ඉස්සරහට යන්න කී විට මම හිටියේ පුට් බෝඩ් එකේය. කී හැටියට මම හිතුවේ ඇතුලේ ඇති ඉඩ ප්‍රමාණයේ කස්ටිය ක්‍රිකට් මැච් එකක් ගහන අතරේ බස් එකේ පොඩි උන් පැත්තකින් වන් බම්ප් එකකුත් ගහන්න තරම් ඉඩක් තියනවා කියාය. බස් එකට නගින රටකජු කාරයෙක්ගෙන් රටකජු ගොට්ටක් ගෙන ක්‍රිකට් මැච් එක බලනවා කියා බස් එක ඇතුලට ගිය පසු දැකගන්නට ලැබුනේ කොන්දයියා කියූ ඉඩේ තරමය.
හයයි හතරේ කඩ කාමරේක නිසැක ධාතු පෙන්නා ඒ ඇතුලේ ඩේටා දන්සලක් දුන්නාසේ බස් එකේ සෙනගය.. උතුරින් හයයි හයේ ඩෑල් එකක් ය. දකුණින් කුඩයක් අතින් ගත් ඇන්ටියෙකි. මා කෙසේ අතපය දිග හරිම්දෝ අපෙ හාන්දුරුවනේ කියා කෙසේ හෝ පසුපස දොරට විරුද්ධ පැත්තේ ඇති අසුනෙන් අල්ලා ගත්තෙමි.

බස් එකේ දැක්කේ මා සිනා පෑවේ නැති උනාට ලස්සනේ බැරි සාරි අඳින ඔෆිස් යන සුරඟනක් කොනේ අසුනේ ජනේලෙන් පාර බලාගෙන සිටි නිසා ඒ දෙස බලා ෆයිනල් ගියේ නැති උනාට කමක් නෑ ඉන්දියාවට ගැහුවනේ හැඟීමෙන් හිත හදාගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමා භාවනා කරන්නාක් මෙන් ඇකිලී උඩ පොල්ල

අල්ලාගෙන ඇබොලිෂ් අනිත් වාහන කාරයෝ යකෝව්.. රටේ ඔක්කොම උන් වාහන ගන්නකන් උනුත් පල බස් එකේ කියා හිතාගන්නට හැදූ විට හරියට මාගේ හිසට ඉහලින් විරාජමානව සිටි ඉස්පීකර් රාජයා සද්දෙ දාන්නට විය..

ගහෙන් වැටුන මිනිහගෙ ගෙදරට කුණුකන්ද කඩාගෙන වැටිලා වඳින්න ගිය දේවාලේ දෙයියොවත් ගංවතුරට අහුවුණා වගේ හැඟීමක් මට ඇතිවිය. පාරේ යන වාහනයක මෙලෝ සද්දයක් ඇහෙන්නේ නැත.. කන් බෙරේ තියන බව අද ඇත්තටම දැනගත්තේ මේ සද්දෙට ඒක දෙදරුම් කන විටය.. අප්පගෙ ඩෙසිබල් ගානක්නෙ යකෝ කියා කොන්දයියාට සද්දෙ අඩු කරන්නැයි කීමට ඌව හොයනා විට ඌ පේන්නට නැත. ඉස්සහ සිට ඌ පසුපසට එනවානං එක්කෝ ඌ ෆ්ලෑෂ් විය යුතුය.. නැත්තං ඌ සියදිවි නසාගෙන උගෙ හොල්මන පිටිපස්සට ආ යුතුය. ඌට කෝල් එකක් දැමීමට නම්බරේද නැත. ඒක තිබ්බත් මගෙ පෝන් එකේ සල්ලි නැත..

  රටකට වැඩක් ඇති මිනිස්සු සුදු වෑන් වලින් පැහැරගන්න වෙලාවෙ ඒ මිනිස්සුන්ව ඉතුරු කරලා අනේ මෙලෝ වැඩකට නැති මාව පැහැරගන්න තිබ්බනේ බාප්පච්චී කියා මට හිතුනේ

" ඔයාගෙ පණිවිඩ ඩිෂ්ටි ඩිඩිං දුරකතනේ...
 තාම බලනව හැමතිස්සේ ඩිස්ටි ඩිඩිං....."

කියා සින්දුවක් පටන් ගත් විටය.

අම්මප කල්පනා කරන්න තියන මගුල් මදිවට දැන් හිතහන්කො ඩිස්ටි ඩිඩිං පණිවිඩ කියන්නෙ මොනාද කියලා..
ඇරත් හැම වෙලාවෙම බලන්න තරම් මොකක්ද යකෝ ඔය පණිවිඩේ.. එක්කෝ රාහු කාලය විය යුතුය. නැත්තං කාටුන් යන වෙලාවල් විය යුතුය..
එසේත් නැතිනං අපේ වට්සැප් ගෲප් එකක් වගේ විය යුතුය. ඒත් ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නං මූට විකාරද කියා සිතා එහෙම මංගල්ලයක් නොවන බව පසක් කර ගතිමි.

බස් වල යන සින්දුවල කල්පනා කරන්නට තියන ඔය අවකලන ගැටලු නිසා මගේ ගොං මොලේ පියුස් යාම පාලනය කර ගැනීමට කලිසම ඇඳන් ආවේ නැතත් හෑන්ඩ්ස්ෆ්‍රී එක අනිවාර්‍යයෙන් ගෙනයමි. එය දාගෙන යන්නේ කලිසම් සාක්කුවේ නිසා කලිසම් ඇඳන් නොයාමේ කතාව කියවන එවුන් සිරාගත යුතු නැත..
කෙසේ හෝ තවත් ඒ විලාප අසා සිටීමට නොහැකි නිසා අමාරුවෙන් තනි අතින් සීට් එකක් අල්ලාගෙන හෑන්ඩ්ස්ෆ්‍රී එක පිටතට ගත්තෙමි...

මා මේ තරම් කලක් සිතා සිටියේ

මලයාලම් හූනියන් විඳගෙන.. පේස්බුක් එකේ කොල්ලන්ගේ බලුකතා පොටෝ එඩිට් බලාගෙන.. විපක්සෙ උන්ගෙයි තමන්ගෙම උන්ගෙයි කුණුකතා අහගෙන.. පිටසක්වලින් ගොඩබැස්සවීමේ සිට වෙන්න තියන සොබාවික විපත් පරමාණු බෝම්බ පිපිරීම් ඇතුලු හැම මංගල්ලෙම වෙද්දී.. ලෝක තක්කඩි කුපාඩි මිනීමරුවො ටික හොරු ටික හූ අපිව ඇල්ලුවද හූ හූ කියා කෝචොක් කරද්දී ඒවාට මං ගමේ මිනිහ හින්ද්ද මට මේ තලන්නේ කියා විඳඳරා සිටිනා අපේ ජනාධිපතිතුමාගේ ජීවිතේ තරන් පැටළුණු එකක් තවත් නැතිය කියාය..

ගරන්න ආච්චිට ප්ලාස්ටික් හාල්..!! කිව්වලු

සාක්කුවෙන් පිටතට ගත් මගේ හෑන්ඩ්ස්ෆ්‍රී එක දුටුවිට මට හිතුනේ මේ පැටලිල්ල එක්ක බලද්දි ජනාධිපති ගෙ ජීවිතේ මොන ජෝක්ස් එකක්ද කියාය..

මේ ළඟදී ගහගෙන පොලීසි ගිය සිංහලේ සංවිධානයයි සිංහලේ අපි සංවිධානයයි කියන්නේ එකක්ද දෙකක්ද.. සිංහලේ නොවන සිංහලේ අපි උන් සිටිය හැකිද.. අපි සිංහලේ නං අපි නොවන අනිත් සිංහලේ උන් කවුද.. සිංහලේ නොවන සිංහලේ අපිත් නොවන තවත් සිංහලේ සංවිධාන සිටිය හැකිද.. සිංහලේ අපි ඉන්නේ සිංහලේ ඇතුලෙද.. සිංහලේ ඇතුලේ සිංහලේ අපි ඉන්නවාද වගේ කුඩාඅන්ත්‍රානුසාරී  පැටලිල්ලකට හෑන්ඩ්ස්ෆ්‍රී එක ලක්වී තිබුණි..

තවදුරටත් මේ විලාපය අසා සිටීමටද බැරිය.. එහාට යාමට තබා බිම තිබෙන කකුල සෙන්ටිමීටරයක් එහාට ගැනීමටද බැරිය.. විකල්ප විසඳුමක් සිතා සිටින විට ටිකිරි මොලේට දැකගන්නට ලැබුනේ ඉස්පීකරේ අයියෙන් ඇති වයර් දෙකය.

ඉදිරි ඩෙංගු මර්දන ව්‍යාපාරයක් සඳහා විස්තර සාකච්ඡා කිරීමට ගිය විට ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දුන් පෝස්ටර් කිහිපය රෝල් කර තිබූ අතර මම ඒවා රාක්කයෙන් දමා තිබුනි..

හිමින් සැරේ ඒ රෝල අතට ගෙන ඉස්පීකරෙත් රාක්කයත් අතරින් යෑව්වෙමි..

ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා.. ආව් ඩඩා... කැරකිලා..

වැඩේ හරිය..

වයර් එකේ ගෑවුන විටම

"  ඔයාගෙ ප....විඩ.. ක.. තනේ...
තා... නවා.. ස්සේ.. ඩිඩිං..."

කියා කඩ කඩ ඇසී ඉස්පීකරේ නතර විය..

මොටයියා බැලුමේ එල්ලී යද්දී බඩ කසන්නට නොහැකිව සිට බැලුම අතහැර බඩකැසූ පසු හම්මේ දැනෙන සනීපේ කියූ වැනි සනීපයක් ඇතිවිය..

සෙනග පිරී ඇති නිසා වැඩේත් මාට්ටු නැත..

ඒක නැවතුනාට ඉස්සරහ ඉස්පීකරේ වැඩය..
ඒ උනාට කලින්ට වඩා හොඳය..

ඔය අතරේදී උත්සහවන්තයා ජයගනී කියා කවුද වැදගත් මහත්තයෙක් කියූ කියමනද මට සිහිපත් විය..
හිතේ හයිය අතට අරගෙන හෑන්ඩ්ස්ෆ්‍රී එකේ පැටලුම් ඇරීමට ඉස්ට දේවතාවන් සිහිකරගෙන ආරම්භ කළෙමි..
එහෙන් ගිය වයර් ය.. මෙහෙන් ගිය වයර් ය. මේම මේම වයර් ය.. ඉඳිආප්පයක් සේ රැල් රැල් පැටලී ඇත..
අවුරුදු බිලියනයක් හුලං හමලා කෙළවෙලා හැඳිගෑවිලා ගිහින් එක දවසක් අම්මටහුඩු වසන්තයක් එනවා කියා කතාවක් අසා තිබෙන අතර අර ඔක්කොම ටික කෙලවිලා හුලං හමලා කුණාටු ඇවිල්ලා හිම වැටිලා මොන බම්බුවටද මිනිහො එක දවසක් ඔය මගුල එන්නෙ.නෑවිල්ලම හිටහන්කො කියා එදා සිතුවත් අද මම එය ඉල්ලා අස් කර ගත්තේ නුගේගොඩින් ඉස්පීකරේට පල්ලෙහා අසුනක් ලැබුණ විටය..

වොන්ඩර් වුමන් මෙන් සීට් පේලි පහළවක් උඩින් පැන කොහේහෝ සිට එහා හෝල්ටෙකෙන් බහින ඇන්ටියෙක් කඩාපාත් වීමට ප්‍රථමයෙන් මම ඉඳගත්තෙමි..

ඉඳගත් වහාම හෑන්ඩ්ස්ෆ්‍රී එකේ පැටළුම් ඇරීමට පටන් ගත්තෙමි..

අවසානයේ අර වසන්තය උදාවිය..
උත්සහවන්තයා ජයගන්නා කතාව තහවුරු  විය..

මම දැන් ගෙදර ඇවිත් මම කැමති සින්දුවක් අසමි..
නෑ නෑ හෑන්ඩ්ස්ෆ්‍රී මගුල තාම පැටලිලා තියෙන්නෙ යකො..

( පින්තූරය සිද්දියට අදාල නැට්ග.. එය ගූගල් දෙයියාගෙන් ය )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. //ඇබොලිෂ් අනිත් වාහන කාරයෝ යකෝව්.. රටේ ඔක්කොම උන් වාහන ගන්නකන් උනුත් පල බස් එකේ කියා හිතාගන්නට හැදූ විට//

    මේ කෑල්ල සහ කථාව මල් හතයි

    ReplyDelete
    Replies
    1. මේ ටික තේරුණේ මේ කොමෙන්ට් එක කියෙව්වම :)

      Delete
    2. අබෝලිෂ් නිජාබ් වගේ එකක්ද?

      Delete
  2. හැක්.. හැක්.. මරු මේක.

    ReplyDelete