Monday, September 25, 2017

කේන්දරේ

===  ===

"මේ කේන්දර නං ගැලපීමක් නෑ
දෙන්නා කසාද බැන්දොත් එක වහලක් යට ඉන්න වෙන්නෙ නෑ..."

මේ ළමයගෙ ශනි තියෙන්නෙ හතරෙ... අර ළමයගෙ........

මට කිසි දෙයක් ඇහැන්නෙ නෑ දැන්... දෙයියනේ ඒ මිනිහා ගැලපෙන්නෙ නෑ කියද්දිම අම්මගෙ මූණ කළු වෙච්ච හැටි..  දැන් මොකද මම කරන්නෙ.. කාලයක් තිස්සෙ හදපු හීන් ඔක්කොම කෑලි කෑලි වලට කුඩු පට්ටම් වෙලා මගෙ ඔලුවටම කඩාගෙන වැටෙනව වගේ දැනෙන්නෙ මට.. පපුව පිච්චෙනවා වගේ දැනෙනවා.. මලිත් ගෙ මූණ මැවිලා පේනවා මට..
වෙලාවක් නොබලා එලියටවත් නොබලන අපේ ගෙදර මිනිස්සු මෙච්චර දෙයක් කිව්වට පස්සෙ මගේ කැමැත්තට මලිත්ව කසාද බඳින්න දෙයි කියලා මම කල්පනා කරන්නෙ මොකටද තව.. එහෙම්මම වහලෙ දිහා බැලුවා.. මගේ අවුල් වෙච්ච කොණ්ඩෙ කෑලි හුළඟෙ යව යව ෆෑන් එක කැරකෙනවා.. මම ඒක දිහා බලාගෙනම හිටියා.. මාවත් එක්කම කැරකෙනවා වගේ දැනෙන්නෙ..
අර මිනිහා තව මොනවද කියෝනවා..

අම්මප මට පැනලා ඕකගෙ බෙල්ල මිරිකන්න තියනවනං...!!

අම්මා මගෙ අතින් ඇද්දා...



අම්මගෙ සුදු මූණ තව කළු වෙලා අඳුරුම වෙලා ගිහින්..  අම්මා මට රැව්වා.. ඔව් ඇද්ද උඹට අපි කියන ඒවා නාහා පණ්ඩිත වැඩ කරන්න ගියා වගේ හැඟීමක් ඒ රැවිල්ලේ තිබුණෙ.. මම ආයෙ බිම බලා ගත්තා..

අර මිනිහා තාම කියෝනවා..

මේ දුවගෙ කේන්දරේට කොහොමත් ගැලපෙන්නෙ නෑ.. මේ දුවට හොඳ අනාගතයක් තියනවා.. ඉගෙනීමෙන් ඉස්සරහට යන්න පුළුවන්.. පොඩි පොඩි අපල වගයක් තියනවා.. මේ ලියලා තියන විදිහට බෝධි පූජාවක් තියලා කිරි අම්මා දානයක් දෙන්න.. තව අවුරුද්දකට පස්සෙ හොඳටම හොඳයි.. රාජකුමාරයෙක් වගේ පිරිමි ළමයෙක් ලැබෙයි...

මගෙයි අම්මගෙයි මූණු දිහා මාරුවෙන් මාරුවට බලාගෙන අර මිනිහා කියවනවා..

අනේ මූ දන්න බම්බුව.. අන්තඃපුරේක තමයි ඉන්න වෙන්නෙ කුමාරයෙක් බැඳගෙන..

අම්මා මගෙ අතින් අල්ලලා ඇද්දා ආයෙ.. අම්මා නැගිටලා සල්ලි දෙනවා.. බුලත් කොලේක තියලා දෙදහක් දීලා අත් එකතු කරලා ආයුබෝවන් කියලා කොන්දත් නවනවා..
මූට සල්ලිම තමයි දෙන්න ඕනෙ. හැටි විතරක්.. මම ආවා එන්න එලියට..

අම්මත් එනව මගෙ පස්සෙන්.. පඩිපෙල බැහැලා මිදුලට බැස්සා..

දැක්කනෙ මම කිව්වනෙ..
ළමයා හොඳ උනාට වැඩක් නෑනෙ හඳහන් නොගැලපෙනවනං.. සරත් මහත්තයා කිව්වා දැක්කනෙ.. ඔයාට ඔයිට වැඩිය හොඳ කෙනෙක් ලැබෙන්න තියනව කියලා...  අපල කාලෙට වෙන දේවල් ඔය..

ඒ ළමයට කියන්න හඳහන් ගැලපෙන්නෙ නෑ කියලා.. ඔය දෙන්නා කසාද බැඳලා එකට ජීවත් වෙන්න බැරිනං වැඩක් තියනවද..

ඌ කොහොමද අම්මෙ ඒක හරියට කියන්නෙ. උගෙ දුවත් අර පන්තියෙ කොල්ලෙක් එක්ක රවුම් ගහන්නෙ.. ඒක ඌට පේන්නෙ නැද්ද එතකොට.. අම්මලා මොකක් කිව්වත් මට වැඩක් නෑ.. අනික දෙවනි අක්කා ගැන හඳහන බලපු කවුරුත් හරියට කිව්වද..
මලිත්ගෙ වැරැද්ද මොකක්ද..

මම කියාගෙන කියාගෙන ගියා.. කඳුළු වැටෙනවා හොඳටම.. මලිත් හින්දද දෙවනි අක්කව මතක් වෙලාද කියන්න මම හරියටම දන්නෙ නෑ.. දෙවනි අක්කා නැති උනේ දැන් අවුරුදු හතරකට කලින් ඩෙංගු හැදිලා...

සුදූ කටවහගනින් මැරුණ ළමයව ඕවට අල්ලගන්නෙ නැතුව..  මං එක්ක එකට එක නොකියා.. මම මේ උඹ පව් කියලා වදෙන් බේරෙන්න ආවේ. තාත්තා දන්නවනං උඹව ගෙදරිනුත් එලවලා...
අක්කට අපියි සාන්තව අපි හොයලා දුන්නේ.. ඔය අගේට ඉන්නෙ ඒ කොල්ලා එක්ක දරුවොත් හදාගෙන.. උඹෙ පොඩි වයසට තියන පැහිච්චකම.. ආයෙ මං එක්ක ඕව කතා කරන්න එන්න එපා..

අම්මා බැනගෙන යනවා..

මට මුකුත් කියාගන්න විදිහක් නෑ.. හොඳටම ඇඬෙනවා.. දෙයියනේ මම මලිත්ට මොකක්ද කියන්නෙ දැන්.. දුකටත් වැඩිය තරහයි හොඳටම.
සාන්ත අයියට වැඩිය මලිත් කොච්චර හොඳයිද...

බස් එකේදිත් මම කතා කලේ නෑ.. අම්මා මොන මොනවදෝ කිව්වා.. මම ඒවට කන් දුන්නෙත් නෑ.
මගෙ ඔලුවෙ ඉඳන්ම පිච්චෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නෙ.. මලිත් එක්ක යාලු වෙලා අවුරුද්දක් දැන්.
අම්මලා මට කසාදයක් හොයනවයි කිව්වමයි මේ ගැන තාත්තට හොරෙන් අම්මට කිව්වෙ.
දැන් හඳහන් නොගැලපෙන හින්දා අම්මා කොහොමත් කැමති වෙන්නෙම නෑ..

බස් එකෙන් බැහැලා ගෙදරට ආවා.. මම අම්මගෙ පිටිපස්සෙන් බිම බලාගෙනම ගියා.. අක්කා පත්තරයක් බලනවා ඉස්සරහ ඉඳගෙන.. පුතා බිම ඉඳගෙන සෙල්ලම් කරනවා..

මේ කේන්දරේ ගිහින් කබඩ් එකට දාන්න පුතේ..

හරිම මහන්සියි.. පුදුම අව්වක්නෙ තියෙන්නෙ.

අම්මා අක්කගෙ අතට කේන්දරේ දුන්නා..

මොකද කිව්වෙ අම්මෙ හඳහන බලලා..??

කියාගෙන අක්කා කේන්දරෙත් අරන් කාමරේට ගියා.. අම්මා අපි ඔක්කොගෙම කේන්දර පරිස්සම් කරලා එයාගෙ අල්මාරියේ දාලා බලාගන්නෙ රත්තරන් බඩු බලාගන්නව වගේ..

මගෙ ඔලුව රිදෙන හින්දම මාව පුටුවෙ ඉන්දුනා..

සිවිලිම දිහා බලාගෙන එහෙම්මම හිටියා මම..

අම්මේ මේ බලන්නකො මාර වැඩේනෙ..

ඒ අක්කගෙ කටහඬ..

මම ඇස් ඇරලා බැලුවා..

අක්කගෙ අතේ තාම කේන්දරේ..

මොකද දුව...

ඔයා අරන් ගිහින් තියෙන්නෙ දෙවනිගෙ හඳහනනෙ අම්මෙ...!!!

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. අන්න නියම කේන්දර කාරයෙක්!!!

    ඒත් පහුවදා ගිහිල්ල විස්තරේ කියල ඇහුවත් "මොකක්ද බොල අර කිව්ව කුණුහරුපෙ?" කියල සරත් මහත්තයට කියන්න දේවල් තියෙයි කප්පරක්...

    "ආ..ඒක මෙහෙමයි ඔය මම ඊයෙ බලපු කේන්දරේ අයිති ගෑණු ළමයගෙ ග්‍රහ යෝග ඒ තරම්ම බල සම්පන්නයි. මැරිච්ච බවක්වත් මට පෙන්නුම් කලේ නැත්තෙ ඒ හින්දයි. ඒ ග්‍රහයිංගෙ බල පෑම හැටියට දැං දිව්ය කුමාරිකාවක් වෙලා දෙව්ලොව සැපවිඳිනව ඇති.."

    අම්මත් ආය දෙකක් නෑ ඇත්ත තමයි කියල ඒ කතා ඉස් මුදුනින් පිලිගන්නව මදිවට ආයමත් කේන්දර උස්සගෙන ඒ මිනිහ ගාවට දුවනව මැරෙනකල්ම...

    ReplyDelete
  2. මගුල් කේන්දර.... ඔව බලල බැඳපු උන් ඩිවෝස් වෙලා ..... අනික් උන් හොඳට පවුල් කනව

    ReplyDelete