Monday, October 30, 2017

ආතල් ගනිං තනියම



බස් එකේ ඉඳගෙන සිට එය ස්ටාට් කළ මොහොතේ එක්වරම ඔලුව මැදටම පොලු පාරක් වැදුනාක් මෙන් සිහිපත් වූයේ හෑන්ඩ්ස්ෆ්‍රී එක අමතක වූ බවය..
හෑන්ඩ්ස්ෆ්‍රී එක අමතක වීම යනු කලිසම අමතක වී යාමටත් වඩා බයානක සීන් එකක්ය..

 එක එකාගේ අඬෝවැඩියාවල් බලෙන් ඇහීමට මට ඇති මෙව්වා එකක් නැත. උන්ට ඕනා සළු පාලියක් හෝ මොන හීල්ලීමක් හොටු පෙරීමක් කැකිරි පැලීමක් අසා ගත්තාට මට ඇති පාං එකක් ද නැත. ඒ උනාට සල්ලි දී යන බස් එකේ උන්ගෙ ආතල් බලෙන් අනිත් උන්ගේ කනේ ගැසීම නිසා සිදුවන මස්තිෂ්ක තෝන්තු වීම වළක්වා ගැනීමට මම හෑන්ඩ්ස්ෆ්‍රී එකක් අරන් යමි.  කිහිප වරක් කොන්දාට කියා රේඩියෝව ඕෆ් කෙරෙව්වද හැමදාම ඔය කරදරේ කළ නොහැකි නිසා ඕන එකෙක් ඕන එකක් අහන් පලයන් කියා අර වයර් කෑලි කනේ ගසං යමි.


ඒකත් හරියට ලක්ෂ ගණනක් බහුතර කැමැත්තෙන් ඡන්දය දී තිබියදී ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක තීරණ ගැනීම ආච්චිට හාල් ගැරීම වැනි කරුණු වලට සීමා කර හාන්දුරුවො හෝ වෙනත් පූජක උතුමන්ලාට ඕනෑ විදිහට තීරණ ගැනීම වැනිය..
පාර්ලිමේන්තුවේ උන්ව ඡන්දෙ දී පත් කරන්නේ අපි අපිට ඕනෑ දේ ප්‍රජාතන්ත්‍රවාදීව කරගැනීමට උනත් අන්තිමට සිද්දවන්නේ ඒක පැත්තක තියා එක එක පූජ්‍ය පූජක උන්නැහේලාගේ ආතල් අනුව රටේ ජීවත් වීමටයි.

දැන් මහජනතාවට කරන්නට තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරවා මැතිවරණ කොමිසමේද වී ගබඩා කර ඔය හාන්දුරුවො කාදිනල් ඇතුලු  අනිත් උන්නාන්සෙලයි ඇඟිලි දාන අනිත් සංගංවල උන්ටයි ඕන රෙද්දක් වියාගන්නට කියා ජුකී මැසිමක් දී බඩ උලන් සිටීමටයි..

කෙසේ හෝ බස්සෙකෙන් බහිනා විට සින්දු හතරක් වාදනය වූ අතර..

දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ....( " ෂා.." දැම්මනං මරු ය ..)

දුකක් දැනෙන්නෙපා.. බුදු ආච්චියේ..

දුක දැනෙන අයුරූ ආදරෙයීඊඊඊඊඊඊ වෂ්තූඌඌඌඌඌඌඌඌඌ.....

දුකම විඳලා... තැබිලි කපලා....

ඔය හතර ඉවර වෙන විට ඉස්පීකරෙන් අර ගායක පුතාලගේ හොටු කඳුළු ගලා බස් එක යටවේ කියා සාදාරණ බයක්ද මගේ හිතේ ඇතිවී තිබුණි..

යාන්තමට බසයෙන් බැස ගන්නා විට ඇඟ පුරාම උන්ගේ දුක තුනී වී තිබූ අතර ගෙදර ඇවිත් සර්ට් එක සහ කලිසම සර්පෙක්සෙල් බාල්දියක ඔබා තැබුවෙමි..

 මොකක්ද... ආ ඔව් ඔව්..
උන්ගෙ සින්දු සින්දු තමයි.. ඔව් ඉතිම් මට පාන්ද..
රසවින්දනේ සාපේක්සයි තමයි හලෝ.. උඹ රෝස්පානුයි පපං ජූසුයි කෑවට මට ගාණක්වත් නෑ.. ඒක මට කවන්න එන්නෙපා. කනවනං තනියම කහං..

( පොටෝ එක ගූගල්.. ඉන්දියන්ද කොහෙද )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. පොටෝ එක පේන්නේ අර සින්දු අහගෙන ඉන්න බස් එකේ යන්න පුළුවන් අය්යලාට ද දන්නේ නැහැ නේද?
    හි හි හි නියම ලියවිල්ලක්

    ReplyDelete
  2. ෆොටෝ එකනං නියමයි. දිව තව පොඩ්ඩක් එලියට දාගන්න පුලුවන් උනානං. හැක්..

    ReplyDelete