Tuesday, November 29, 2016

මඩකලපුවේ සැබෑ තත්වය කුමක්ද..??


කවුද හාමුදුරුවනේ මේ ගම්වල ඉන්නෙ.. ?

යුද්ධෙ කාලෙ ගම් අතෑරලා ගිහින් ආයෙ උපන් ගම් වලට ආව මිනිස්සු ඉන්නෙ.. ඒමිනිස්සුන්ට හරියට කන්න ටිකක් නෑ.. ඉන්න ගෙයක් නෑ මහත්තයො..

රජයෙන් මුකුත් කරන්නැද්ද ඉතින්..?

මොන පිස්සුද මහත්තයො. උප්පැන්නයක්.. අයිඩින්ටියක් නෑ.. පදිංචිය තහවුරු කරලා ලියුමක්වත් දීලා නෑ තාම හිටපු එක ආණ්ඩුවක්වත්..

මහින්ද මහත්තයා මුකුත් කළේ නැද්ද යුද්ධෙ ඉවර උනාම..?

(උපහාසයෙන් )  කිසිම දෙයක් කළේ නෑ.. බැලුවෙවත් නෑ මේ සිංහල මිනිස්සු දිහා..
මේ මිනිස්සු ලංකාවෙ පුරවැසියො මහත්තයො.. ඉතින් අපි ඡන්ද අයිතිය ඉල්ලලා පාරට බැස්සම ජනාධිපතිවරණේ කාලෙ මේ සිංහල මිනිස්සුන්ගෙ ඇඳුම් ගලෝලා මහපාර මැද්දෙ ගැහුවෙ එයා.. මම දෙතුන් පාර හම්බෙන්න හැදුවා,. බලෙන් කතා කලා.. බැලුවෙවත් නෑ...



එතකොට දැන් ඉන්න අය මොකක්ද කළේ.. අර ඉස්සරහ පලකෙ තියෙන්නෙ සිරිසේන මහත්තයගෙ නමනෙ..??

( නැවත සිනාසී ) පන්සලට එන්න කියලා ආරාධනා කරලා මෙතෙන්ට ගාඩ් එකත් දැම්මා.. තදට වැහැපු හින්දා එන්න බෑ කිව්වා... මං තව ටික දවසක් බළලා ඕක පෙරළලා දානවා.. ( මේ ළඟදී කුළුගෙඩියකින් ගසා කුඩු කර දැම්මේ ඒ ඵලකයයි )

Monday, November 28, 2016

පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි



"පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි) - බුදුන් වහන්සේ

ප්‍රියයෙක් අහිමි වූ විටක කඳුළු නූපදීමට හෝ හදවත කම්පා නොවීමට මම අරහත්ඵල ලාභියෙක් හෝ යකඩින් හැදුණ යන්ත්‍රයක් හෝ  නොවෙමි.... බුදුන් කියූ ඒ දුක දැනෙන.. ලෙයින් මසින් නහරින් සැදුණු තවත් ආදරය දුක ප්‍රහර්ෂය වේදනාව විරහව රාගය දැනෙන හැඟෙන ජීවියෙක්මි....

පියෙකුට මවකට පුතෙකුට දියණියකට බිරිඳකට ස්වාමියෙකුට සහෝදරියෙකුට සහෝදරයෙකුට ඥාතියෙකුට ආදරවන්තයෙකුට ආදරවන්තියකට මිතුරෙකුට මිතුරියෙකුට ළබැඳියෙකුට හිතවතෙකුට හිතවතියකට,

මියගිය... තමන් ආදරය කළ... තම ආදරණීය..

පුතුන් , දියණියන්, පියවරුන්, මව්වරුන්, ස්වාමිවරුන්, බිරින්ඳෑවන්, සහෝදරයන් , සහෝදරියන් , ඥාතීන් , ආදරවන්තියන්, ආදරවන්තයන් මිතුරන්, මිතුරියන්, ළබැඳියන් , හිතවතියන්, හිතවතුන්...

සිහි කිරීම හදවතේ ගැඹුරුම තැනින් ඇතිවන සියුම් මිනිසත් හැඟීමකි... එය මිනිස් සිතට විශිෂ්ට වූ අවියෝජනීය බැඳීම් වල සංවේගාත්මක ප්‍රකාශනයයි....

අංගුලිමාල නවසිය අනූනමයක් මිනී මරා දඹදිවටම ඔහු ම්ලෙච්ඡයෙක් වුවද..
අංගුලිමාල මාතාවට ඔහු තම අහිංසක පුතු පමණකි....
අංගුලිමාල කෙරෙහි මවගේ සිතෙහි උපන් දාරක ස්නේහය තමන් ආදරයෙන් ඇති දැඩි කළ සිද්ධාර්ථ ගිහිගෙය අතැර ගිය දා සුධොවුන් රජු හා ප්‍රජාපතී මාතාවගේ සිතෙහි උපන් දාරක ස්නේහයෙන් වෙනස් වන්නේ කෙසේදැයි මම නොදනිමි...

එබැවින් නිවැරදි කරුවන් වුවද...කුමන වැරදි කරුවන් වුවද තම ආදරණීයයන්ට මියගියවුන් තම හැඟුම් බෙදාගත් ළබැඳියන් පමණි..
සිහිකිරීමේදී වැටෙන හැම කඳුලකින්ම පිටතට එන්නේ ලේ මස් නහර ඇට මිදුළු කරා විහිදුණු තම ළබැඳියන් කෙරෙහි ඇති සෙනෙහසයි... ආදරයයි.. බැඳීමයි...
එය කළු සුදු කුමන ගෝත්‍රයක් ආගමක් වුවද නොවෙනස්වන ස්වභාවික මානව ස්වභාවයකි...
එමනිසාවෙන් මළවුන් සිහිකිරීමට ඇති අතිශය සාධාරණ මානුෂීය අයිතිය.. ස්වභාවිකත්වයේ නියතය හෙළා දැකීමට තරම් මම තිරිසනෙක් නොවෙමි....

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, November 22, 2016

දඩ උපහාර ගීතය



(මෙම ගීතය අසංක ප්‍රියමන්ත මහතාගේ  "සඳ නාවත් කමක් නැතී රත්තරන් පුතී " ගීතයේ තාලයට ගායනා කළ හැක )

                            ====

දඩ ගැහුවට කමක් නැතී අනී රවි පුතී
හිරේ දැම්මත් කමක් නැතී අනී රවි පුතී
රිය අනතුරු අඩුවේ නං කමක් නෑනී අනී
ඒත් යකෝ ඔය නීතිය එක වගීද රටී...

බයිසිකලී යන එකාව අල්ලා කොනකටී
උගේ අතී හැම සතීම හූරන පොලිසිය
ලොකු එකෙක්ව අහු උනොතින් බීලා හිටියද
යන්න සර් ඔන්න කියා සැලුට් ගහයි අදී..

දඩ ගැහුවට....

වෙන රටකදි ඇල්ලුවාම අගමැතිවුව මග
දඬුවම් දෙයි එක වගේම ඌටද පොලිසිය...
රවී පුතී දඩ ගහපන් ඇති වෙනකන් තොට
මේ නීතිය හැම එකාට එක වෙන දවසට...

දඩ ගැහුවට...


#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ




Monday, November 21, 2016

වරෙන් සුගතදාසෙට



සියළු බල සේනා , අහවල් ජමාත්
ආවා කල්ලි , කොටි සිංහ ලේ
යක්කු මහසෝන්නු
බින් ලාඩන්ලා.. ගැමුණුලා.. ප්‍රභාලා...
ගෙන්නමු සුගතදාසෙට....
කඩු පොලු මන්න පිහි
කැති පොරෝ දෙමු
හැමෝගෙම අත් වලට....
ඉඳගමු බණ්ඩාර සෙල්වා
ඈන් පාතිමා අපි හැමෝම...
වටෙන් පුළුවන් විදිහට..
බලන් ඉමු එකෙක් නැති වෙනකන්
මරාගන්නා අපූරුව...
කපා කොටාගෙන රතු වෙනකන්
ලේවලින් පිටියේ පොළොව....
කැවුම් කිරිබත් තෝසේ ඉට්ලී
කේක් වටලප්පන් කමු..
එදා ඉඳන් අවුරුදුනේ අපි හැමෝටම....!!!!

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ



Sunday, November 20, 2016

අපේ අක්මුල් කියන්නෙ මිත්‍යාවනං.. ඔව් මම ඒවා කුඩු කරනවා




" ජාතික රූපවානියට ගහන්න ඕනෙ. ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහන යටතේ අපේ අක්මුල් සියල්ල සිඳිනවාය.. ජාතික නාලිකාව වහන්න ඕනෙ...""

- අතිපූජ්‍ය විචිත්‍ර ධර්ම කථික ඥානසාර හිමි

හාන්දුරුවන් වහන්සේට අනුව යථාරූප වැඩසටහන හරහා නිරුවත් කරන විනාස කරන "අපේ අක්මුල්" යනු දෙකයි පණහේ මිත්‍යා බහුබූතය.. 

ඒ අනුව 
ගණ දෙයියො යාලු කරගන්න ආසිරි පාංගෙඩි පෙංසුයි.
හක්ගෙඩි..
හඳහන් තරු රටා..
බූත කුම්භාණ්ඩ මලපෙරේත හූනියං
අලු ඔලුවයි මිනිස් ඇඟයි බද්ධ වෙච්ච  ගෑණු හතර පහ වටේ තියාගෙන ඉන්න අතපය දහපහළවක් තියන කෘතීම හයිබ්‍රිඩ් දෙයියො
මොකෙක් අරි අහවල් බලධාරියෙක් ලෝකෙ මැව්වා කියන මිත්‍යාව
පොල් ගැහිළි
පූජා වට්ටි උස්සන් යන එක
පන්සල් ඇතුලට හින්දු දෙයියො ගෙනල්ලා පන්සල දේවාලකරණය කිරීම
හූනො චික් චික් ගෑ විට සුභ කටයුතු නොකිරීම
නැකත් බලා හැම ලොකු අම්මගෙ වස්ත්‍රයම ආරම්භ කිරීම

අපේ  #අක්මුල් ය..

එතකොට ඒ බහුබූත මිත්‍යාවට ගහන එක අපේ රටේ අක්මුල් සිඳීමය..

හාන්දුරුවන්ගෙ ඒ ලොජික් එකෙන් බලන විට අපේ අක්මුල් මුලින්ම විනාස කර ඇත්තේ මීට වසර 2500ට ඉහතදී...

බූත පෙරේත කතා තොවිල් යන්ත්‍ර මන්ත්‍ර තිරස්චීන විද්‍යා කියපු..

""නක්ඛත්ත පතිමානෙත්තං අත්තෝ බාලං උපච්ඡගා...
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා..."""
නැකත් ගරු කරන බාලයාගේ (මනසින්) වැඩ අතපසු වී යයි... වැඩයට නැකත් නම් කිම.. තාරකාවෝ කුමක් කරත්ද..??

කියා කියපු...

තමන්ට තම සරණ මිස අන් සරණක් නැතැයි.. ( අත්ථාහි අත්ථනෝ නාථෝ )  

දේශනා කළ ගෞතම බුදුන් වහන්සේ ය

බුදුන්ගෙ සිවුර දාගෙන අවිහිංසාවාදි ධර්මයක් රකින්න කියලා ලේ ඉල්ලන පිසාච තත්වයේ තලේබාන් බෞද්ධාගමේ මේ චීවරධාරියා සිදු කරන්නේ බුද්ධාගම විකෘති කිරීමයි..

අනිත් කාරණාව වන්නේ අර කලින් කියූ පිස්සු විකාර ඇත්තටම අපේ අක්මුල් නම් ඒවා කුඩු පට්ටම් කිරීමට කිසිසේත්ම පසුබට නොවිය යුතු බවයි... 

අපි ඡන්ද දිනන්න තිරුපති යන
බලේ ගන්න පොල් ගහන
විභාග පාස් වෙන්න හඳහන් කේන්දර බලන
තොවිල් හූනියං කට්ටඩි පිස්සො පස්සෙ යන අපලෙට ග්‍රහලෝක වලට පහන් පත්තු කරන 
බුදුන් කියූ දේ හැර අනිත් හැමදේම කරන මීහරක් ජාතියකි... එය අප පිළිහත යුතුය. ඔය සුභ මූර්ත වලට හැම දේම කරද්දී ඒවා හරියනවානං අපි මේ වෙද්දී ඇමරිකාවට රොකට් හදා දිය යුතුය..
අපි ග්‍රහලෝක වලට සෙත් පතා කපුටන්ට කිරිබත් කවද්දී වෙන රටවල් ඒ ග්‍රහලෝක වල ගෙවල් හදන්නේ අපේ ඒ මීහරක්කමට පින්සිද්ධ වන්නටය..

එම නිසා ඒ ගෝත්‍රික මීහරක් කතා ප්‍රසිද්ද කරන, ත්‍රස්තවාදය වපුරන , බුදුන්ගේ ධර්මය විකෘති කරන ජාතිවාදී ලේ පිපාසිත මේ චීවරධාරීන් , ටෙරරිස්ට් ජමාත් ත්‍රස්තවාදීන් විග්නේෂ්වරන් ඇතුළු හැම මන්ද මානසිකයාවම බැඳ දැමිය යුතුය.. ප්‍රතික්ෂේප කළ යුතුය...

නැත්තං මේ සියවසේදිත් අපි අනිත් ගෝත්‍රයේ එකාව මරාගෙන කන , හඳට පශ්චාත්භාගය උඩ දමා වඳින, ම්ලේච්ඡයන් වනු ඇතිඅතර හඳේ ජනාවාස හැදූ උන් විනෝද චාරිකා පැමිණ අපව බලා පොටෝ ගසා යනු ඇත...

මම මිත්‍යාවට විරුද්ධයි.. ඒ මිත්‍යාව අපේ අක්මුල් නං මම ඒ ගැන ලැජ්ජා වෙනවා... මම දෙපාරක් නොහිතා ඒවා කුඩු කරනවා...

#ටෙරරිස්ට්ජමාත්උන්පෝම්වෙන්නෙපා
#බයියොඅදාලනැ #ඥානසාරරාසික්විග්නේස්වරන්ඉස්පෙරෙගැමුණුබැඳදමනු
#ලේඕනෙනෑ #තලේබාන්බෞද්ධකොටිදෙමළඅයිඑස්මුස්ළිම්කාලකන්නිපන්නපං
#යක්කුදඟලන්නඑපා #යුද්ධෙනැතුවපාළුයි
#මිත්තයාවටගහනවා #ගරහයොබූතයොකට්ටඩිලොකුනෑ


බුදු දහම විකෘති කරන ප්‍රකාස ඇතුලත් වීඩියෝවේ link එක

https://m.facebook.com/story.php?story_fbid=1237956349575974&id=1131732893531654

-චමල් අකලංක පොල්වත්තගේ 
.
.

Wednesday, November 16, 2016

රූකඩ



අම්මා පොඩි එකාට ගහලා කෝටුවකින්.. පොඩි එකා අඬනවා....
"මා පුතා අර බලන්නකෝ රූකඩ..
අර අර... අර බලන්න... "

රූකඩ ගොඩයි...
අන්දා තිබුනමුත් නෙක නෙක ඇඳුම්..
පාට පාටට.
නොයෙක් චරිත..
ආයුධ අභරණ දෑත් වල ගෙන..
නමුත් ඇතුලතින් 
තනා ඇත්තේ එකම කදුරු ලීයෙන්...
නූල් වලින් එල්ලා...
එක්කෙනෙක් හසුරවයි..
ඔහු මාරු වෙයි තවකෙක් පැමිණෙයි..
අත යන අත රූකඩද යයි...
පොඩි එකා හිනාවෙයි.
රූකඩ නටයි..
පොඩි එකා හිනාවෙයි
රූකඩ නටයි..
රූකඩ නටයි..
පොඩි එකා හිනාවෙයි...
එක් රූකඩයක් පහර දෙයි
තවත් එකකට....
පොඩි එකා අකමැති එකා ගුටි කයි...
හරිම සතුටුයි
අත්පොඩි ගසයි
හිනාවෙයි...
තවත් එකකට පහර දෙයි
පොඩි එකා කැමති එකා ගුටි කයි
දැන්නම් දුකයි
යන්තමින් ඔරවයි
නැවතත් නැටුම් අරඹයි
ටිකක් නැවතෙයි
යළිත් අරඹයි
ඇඬිල්ලත් ඉවර වෙයි....

පොඩි එකා නලවන්න අම්මා හැමදාම
රූකඩලු පෙන්නන්නෙ...
පොඩි එකාට බත් කවන්න රූකඩලු පෙන්නන්නෙ...
තිත්ත බෙහෙත් දෙන්නෙත් රූකඩම පෙන්නලලු...
රූකඩ බලන ගමන් වහ උනත් බොයිලු..
ලෝකෙ පෙරළුනත් ගානක් නෑලු...

                    ---------
 ( පලි - එක රූකඩයක් සිවුරකුත් තව රූකඩයක් වේට්ටියකුත් අනිත් රූකඩය රවුම් තොප්පියකුත් දමා සිටි බව උපකල්පනය කරන්න. )

.
.
.

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ 








Sunday, November 13, 2016

ටැබ් කතාව


ටැබ් ගැන කතා ගොඩක් ඇහෙන හින්දා මේක ලියන්න හිතුනෙ...

මේ අවුරුද්දෙ (2016) මුලදි මමයි මගෙ මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා කතා වුණා දුෂ්කර ඉස්කෝලෙකට පුළුවන් විදිහකට උදව්වක් කරමු කියලා.. ඒ අනුව තවත් මිතුරෙකුගේ මාර්ගයෙන් මොනරාගල වත්තේගම සිරිමල් විද්‍යාලය මේ කාර්‍යට තෝර ගත්තා.. මේ ඉස්කෝලෙ හිටියෙ දරුවො 95 යි ගුරුවරු දොළහයි..
අපි ෆේස්බුක් හා දන්න හඳුනන අය මාර්ගයෙන් අභ්‍යාස පොත් 1500 ක් , පෑන් පැන්සල් මකන කෑලි එකතු කරලා හැම දරුවටම ලැබෙන විදිහට පැකට් වලට ඇහිරුවා.. ඒ වගේම පුස්තකාලයක් හදන්න කියවන පොත් 2000ක් විතර එකතු කළා..
අපි එන්න කලින් ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට කතා කරන්න විදිහක් නෑ ගමට සිග්නල් නැති හින්දා.. ප්‍රින්සිපල් සර් අපිට කතා කරන්නෙ මොනරාගල ටවුන් එකේ කලාප කාර්‍යාලෙට ඇවිල්ලා.. ඉස්කෝලෙ තියෙන්නෙ මොනරාගල ටවුමෙ ඉඳන් තවත් කිලෝමීටර් 30 ක් විතර දුරින්. සියඹලාන්ඩුවට මායිම්ව..
කොහොමහරි පෙබරවාරි මාසෙ දවසක ඉස්කෝලෙට ගියා අපි පොත් තෑගි අරගෙන.. ඒ යන පාර බයිසිකලයකටවත් යන්න බැරි තරම් අබලන් වෙලා තිබ්බෙ.. වෑන් එකේ ඩ්‍රයිවර් අපිට නොබැන හිටියෙ බොහොම අමාරුවෙන්.. වේලිලා ගිය ඉරිඟු වතු මැද්දෙන් ඉස්කෝලෙට ගියා..
ගමේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය ඉරිඟු වැවිල්ල..
සමහර පොඩි උන්ට සපත්තු නෑ.. සමහර

Saturday, November 12, 2016

ජල බිල් උපහාර ගීතය



( මෙම ගීතය මම නම් ආසයි අහන්න නයනා ගීතයේ තාලයට ගායනා කළ හැක )


මම නම් ආසයි නාන්න නයනා
ඉස්සර වාගේ ෂවර් එකෙන්
බාල්දිය අරගෙන ළිඳටම යනවා
වතුර බිලත් දැං ඉහට උඩින්...

වෙනකවුරුත් නෑ ෂවර් අරින්නේ
පිං ළිඳ ළඟටයි නාන්න එන්නේ

මම නම් ආසයි....

පෙරේදා දහවල් නාමින් හිටියා
ඔයාගෙ රෙදිටික හෝදමින්
වතුර බිල අරන් ගෙදරට ආවා
දාඩිය දැම්මා බිල දැකලා...

පිං ළිඳ පමණයි පිහිටට ඉන්නේ
රෙදි ටික අරගෙන ළිඳ වෙත දිව්වේ....

මම නම් ආසයි.....

රෙදි හෝදන්නට කෑම උයන්නට 
වැසිකිළියට යන වතුර බිලෙන්
ඉතුරු කරන්නට ඕනේ නයනා
එකවර නාමුද ෂවර් එකෙන්...

වෙන කවුරුත් නෑ බලාන්න ඉන්නේ
ආණ්ඩුව පමණයි මේ චාන්ස් දෙන්නේ....

මම නම් ආසයි...

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ 





Friday, November 11, 2016

නව නිපැයුම්කරුවන් ඝාතනය නවතනු


රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පොල් කුඩු මගින් නව ජීව ඉන්ධනයක් නිපදවා තිබෙනවා.. මෙය ඩීසල් වලට සමාන ගුණ ඇති එකක් බවයි ඔවුන් සඳහන් කරන්නෙ..  තවද මේ ඉන්ධනය නිපදවීමට හැකි යන්ත්‍රයක්ද ඔවුන් නිෂ්පාදනය කර තිබෙන අතරම පොල් කුඩු වෙනුවට ගංගාවල හැදෙන ඇල්ගීද මේ සඳහා යොදාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම පරිසර හිතකාමී බව එහි ඇති විශේෂත්වය ලෙස ද සඳහන් කර ඇත.

ලෝකයම බලශක්ති අර්බුධයෙන් පෙළෙන අවස්ථාවක මේ සිසුන්ගේ සොයාගැනීම මිලකල නොහැකි එකකි.. අධිතාක්ෂණික උපකරණ හෝ පර්‍යේෂණාගාර නොමැතිව

Thursday, November 10, 2016

අයවැය උපහාර ගීතය




( මෙය ආදරය සුන්දර වරදකී ගීතයේ තාලයට ගායනා කළ හැක )
.
.
අයවැයත් පෙම්වතියක් වගේ
කිසිදා සහනයක් නම් නැතී
මට පෙන්නලා අයවැයේ හැටී
නුඹ ගහපු බදු හොඳටම ඇතී.....//

බැංකුවෙන් සල්ලි ගද්දිත් ගාන කපලා
ඩේඩා වලට තව ගාන වැඩි කරලා
නෙට් යන්නෙපානං රටේ එවුන්
ෆ්‍රී ටැබ් බෙදන්නේ උඹ මොන මගුලටදෝ.....

අයවැයත්...

පරිප්පුයි බතුයි මුංඇටයි තම්බා කාලා
පඩි වැඩි නොකර තව තවත් බදුත් ගහලා
ප්‍රාඩෝ වලින් උඹලා යද්දි
ඒවට ගෙවන්නේ උඹෙ  අප්පොච්චිදෝ...

අයවැයත්....
.
.
.
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, November 8, 2016

හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි...!!



හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් , පැස්ටා, මැකරෝනි ,බේකන් තැම්බීම නැවතීම ද බොහෝ හිලරි අනුගාමිකයන් බඩ දැඟලීම, ආහාර දිරවීම අපහසු වීම, මළ බද්දය, හදවත් රිදීම ආදී රෝග තත්වයන් නිසා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වේ..

ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් පසු රටපුරා මැතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා මේ වනවිට හිලරි උණුසුම තීව්‍ර වෙමින් ඇත.

පරාජයෙන් පසු හිලරි මැතිණිය චිකාගෝ හී ඉලිනොයිස් ගම්මානයේ තම නිවසට ගිය අතර ඒ නිවස වටා දහස් ගණනක් ඇමරිකානුවන් ඇමරිකානු කොඩි ඔසවමින්...

" හිලරි මමී. හිලරි මමී.. යූ ආර් අවර් හිලරි මමී..,"
"ඕ මයි ගෝඩ් "
 " කාන්ට් බිලීව් දිස් හිලරි මමී..."
" වට් ද ෆාක් හිලරි මමී.."
" ප්‍රේ ෆෝ අමෙරිකා.."

ආදීය කියමින් ගෝෂා කරමින් හොටු හූරමින් හඬා වැළපෙන බව වාර්ථා වෙනවා...

මේ අතර වොෂින්ටන් සිට විශේෂ ජෙට් යානයකින් ඉලිනොයිස් හී තම නිවසට ගිය හිලරි මැතිණිය නිවසේ ජනෙල් පඩිය මතට නැගී විශේෂ  ප්‍රකාශයක් කරමින්...

Monday, November 7, 2016

හිලරි උපහාර ගීතය



ට්‍රම්ප් උපහාර ගීතය ලිවීමෙන් පසු හිලරි පාක්ෂිකයන්ගෙන් එල්ල වූ බලවත් විරෝධතා හා ඉල්ලීම් මත ලියූ...

#හිලරි_උපහාර_ගීතය..

(  මෙය ආයුබෝවේවා මහරජාණෙනී ගීතයේ තාලයට ගායනා කළ හැක )
.
.
ආයුබෝවේවා....//

ක්ලින්ටන් රජුන් දුන් විවරණින්
අපටත් රැජිනක් පහළව ඇතේ
ඒ රැජිනියන් පෑ පෙළහරින්
ජනපදය එක්සේසත් කළේ....//

ආයුබෝවේවා...
හිලරි රැජිනියනි....//

මිනසෝටා උතුරින්
ටෙක්සාස් ප්‍රාන්තය දකුණින්
නැගුණ දුක් සෝ සුසුම් නිවමින්
ට්‍රම්ප්ව පරදවමින්....
චීන රුසියා ඇස් මවිත කරවයි
මහ රැජිනියනි...

ආයුබෝවේවා
මහා රැජිනියනි.....

සිරියාවද අභිමන්
ලිබියා උදානය ගෙනදුන්
අරාබියටම වසන්තය වී
ලොවම දිනු ක්ලින්ට...
Isis දණින් වැටිලා
මහා රැජිනියනී....

ආයුබෝවේවා
හිලරි රැජිනියනී....//

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ




ට්‍රම්ප් උපහාර ගීතය



ඇමරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ආධාර කරන පාක්ෂිකයන් වෙනුවෙන් ලියූ...

ට්‍රම්ප් උපහාර ගීතය..

(  මෙය ඔබයි අපට අප්පච්චී ගීතයේ තාලයට ගායනා කළ හැක )

.
රන් අරුණැල්ලේ පීදෙන
තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
නිල් පවනැල්ලේ රැලි
නයගරාවේ නුඹ පෙනෙනා....//

ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
නුඹයි අපට ට්‍රම්පච්චී...//
ආසිරි ආසිරි ආසිරි ආසිරි
පතමු දිගාසිරී...

කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
බිළිඳු මුවේ නුඹ හිඳිනා...
දෙව් මව් සුවඳේ මුමුණන
මව් තුරුලේ නුඹ පෙනෙනා....

ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...
නුඹයි අපට ට්‍රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...

පුටින්ටත් වද දෙමින්
අයි එසුත් යටකරන්
හිලරිවත් පරදමින්
මුළු ලොව දිනන්න
කියා දුන්නේ නුඹයි.....

ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
නුඹයි අපට ට්‍රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

Sunday, November 6, 2016

නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව




පෙර එක් සමයකැ ලංකාපුරයේ සිය අණසක පැතිරූවා වූ වීර විභූසන සද්ද විද්ද පළඟ පතිර පණික්කිරාලලාගේ නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව හුදී ජන පහන් සංවේගය උදෙසා අකලංකාරයෙහි මෙසේ ගෙන හැර දක්වන්නාහුය...


පෙර ලංකාපුරයෙහි කාලෞත්තර පෙදෙසෙහි එක් දුර බැහැර නියම් ගමෙක පින්වත් නිමල වංශාභිධානයෝ උපන්නාහ.. කුමාරනුවානෝ උපන් දිනයෙහි ලොව බලගතු අධිරාජ්‍ය වූ මහා යැංකි අධිරජයද, හිරු නොබසින යූ කේධිරාජ්‍යයද, ජම්බුද්වීපයද , මකරාධිරාජ්‍යයද පරමාණු පහර කෑ හිරෝසීමාව මෙන් මහාභූමිකම්පාවකින් සෙලවී ගියාහුය... මෙය දුටු නැකැත් කරුවෝ සුදු කපුටෙක් දුටුවාක් මෙන් මහා පුදුමයට පත්ව දෙඅත් නලලේ තබා බිම පෙරළී කුමරාට වැඳ මේ නම් මුළු ලොව බලවත් අධිරජයන් බියෙන් තැතිගන්වන්නා වූ මහා පුරුෂයෙක්මය.. මේ කුමරාගේ නියම ජන්ම පත්‍රය කිසිවෙකුටත් හසු නොවන්නා සේ ආරක්ෂාම කළ යුතුය.. එය දැක පමණි මොහුගේ බල බිඳිය හැක්කේ .. " කියා.. උපන් වේලාව හා දිනය දන්නාවෙකුට වේලාපත්කඩයක් සෑදිය හැකි බැවින් ව්‍යාජ උපන් දිනයක්ම දමා වෙනත් වේලා පත්කඩයක් සාදා දොරමඬලාවේ සඟවා රැකි පණ්ඩුකාභය කුමරුන් මෙන් ලොවින් සඟවා කුමරුන් රක්ෂා කරන්නාහුය... බටහිරාධිරාජ්‍යයේද ජම්බුද්වීපයේද නැකැත් කරුවෝ ඔවුන්ට බලපෑම් වන්නා වූ මේ කුමරුන් සොයා අනාගත වකෲන් කියූ ලෙස ලොව පීරමින් සෙවූ නමුදු ඔලු දෙකක් ඇති දෙපත් නයෙක් සේ උපන් දින ද්විත්වයක් ඇති නියා නිමලා කෞමාරනුවානෝ සොයා ගැනීමට අපොහොසත් වන්නාහුය..
කෞමාරනුවානෝ නිසි වයස් එළඹි කල්හී   සිප් සතරාග්‍රහණය පිණිසමැ දිසාපාමොක් ආචාරීන් සෙවණට යවන්නාහ.. පූර්වයේ කරන ලද කුශලකර්මානුභාවයේ මහිමයෙන් ගෙනා නිසඟ ඥානය ඉඳුනු අඹ වල්ල ගසේ කොතැනක සැඟවුවත් ගමේ කොල්ලන්ගෙන් වසන් කරන්නට නොහැක්කා සේ ලොවටම විහිදා පෙනෙන්නට විය...
දිනක් කෞමාරනුවානෝ දිසාපාමොක් ඇදුරාණන් ගණිත විශයෙහි සතතාග්‍රහණය කරන්නාවූ වේලාවේ ද්විත්වයෙන් ද්විත්වය බෙදීමක් කළාහූ නම් පිළිතුර එක යැයි කී විට...