Sunday, November 6, 2016

නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව




පෙර එක් සමයකැ ලංකාපුරයේ සිය අණසක පැතිරූවා වූ වීර විභූසන සද්ද විද්ද පළඟ පතිර පණික්කිරාලලාගේ නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව හුදී ජන පහන් සංවේගය උදෙසා අකලංකාරයෙහි මෙසේ ගෙන හැර දක්වන්නාහුය...


පෙර ලංකාපුරයෙහි කාලෞත්තර පෙදෙසෙහි එක් දුර බැහැර නියම් ගමෙක පින්වත් නිමල වංශාභිධානයෝ උපන්නාහ.. කුමාරනුවානෝ උපන් දිනයෙහි ලොව බලගතු අධිරාජ්‍ය වූ මහා යැංකි අධිරජයද, හිරු නොබසින යූ කේධිරාජ්‍යයද, ජම්බුද්වීපයද , මකරාධිරාජ්‍යයද පරමාණු පහර කෑ හිරෝසීමාව මෙන් මහාභූමිකම්පාවකින් සෙලවී ගියාහුය... මෙය දුටු නැකැත් කරුවෝ සුදු කපුටෙක් දුටුවාක් මෙන් මහා පුදුමයට පත්ව දෙඅත් නලලේ තබා බිම පෙරළී කුමරාට වැඳ මේ නම් මුළු ලොව බලවත් අධිරජයන් බියෙන් තැතිගන්වන්නා වූ මහා පුරුෂයෙක්මය.. මේ කුමරාගේ නියම ජන්ම පත්‍රය කිසිවෙකුටත් හසු නොවන්නා සේ ආරක්ෂාම කළ යුතුය.. එය දැක පමණි මොහුගේ බල බිඳිය හැක්කේ .. " කියා.. උපන් වේලාව හා දිනය දන්නාවෙකුට වේලාපත්කඩයක් සෑදිය හැකි බැවින් ව්‍යාජ උපන් දිනයක්ම දමා වෙනත් වේලා පත්කඩයක් සාදා දොරමඬලාවේ සඟවා රැකි පණ්ඩුකාභය කුමරුන් මෙන් ලොවින් සඟවා කුමරුන් රක්ෂා කරන්නාහුය... බටහිරාධිරාජ්‍යයේද ජම්බුද්වීපයේද නැකැත් කරුවෝ ඔවුන්ට බලපෑම් වන්නා වූ මේ කුමරුන් සොයා අනාගත වකෲන් කියූ ලෙස ලොව පීරමින් සෙවූ නමුදු ඔලු දෙකක් ඇති දෙපත් නයෙක් සේ උපන් දින ද්විත්වයක් ඇති නියා නිමලා කෞමාරනුවානෝ සොයා ගැනීමට අපොහොසත් වන්නාහුය..
කෞමාරනුවානෝ නිසි වයස් එළඹි කල්හී   සිප් සතරාග්‍රහණය පිණිසමැ දිසාපාමොක් ආචාරීන් සෙවණට යවන්නාහ.. පූර්වයේ කරන ලද කුශලකර්මානුභාවයේ මහිමයෙන් ගෙනා නිසඟ ඥානය ඉඳුනු අඹ වල්ල ගසේ කොතැනක සැඟවුවත් ගමේ කොල්ලන්ගෙන් වසන් කරන්නට නොහැක්කා සේ ලොවටම විහිදා පෙනෙන්නට විය...
දිනක් කෞමාරනුවානෝ දිසාපාමොක් ඇදුරාණන් ගණිත විශයෙහි සතතාග්‍රහණය කරන්නාවූ වේලාවේ ද්විත්වයෙන් ද්විත්වය බෙදීමක් කළාහූ නම් පිළිතුර එක යැයි කී විට...



" මාගේ ගුරු දේවයාණෙනි.. ද්විත්වයෙන් ද්විත්වය බෙදීමක් කළේ නම් පිළිතුර ශුන්‍යක්මයැයි ... "

සාපේක්ෂතාවාදයේ කෙළ පැමිණියාහූ අයින්ස්ටයිනානුවන් මෙන් සිංහනාද කළාහුය...
කෙසේද එසේ වන්නේ නිමල...?? යැයි ගුරුන් විචෑරූ කල්හී
නිමලාණෝ ශාස්ත්‍රශාලාව ඉදිරියට සිසුන් සතරක් ගෙන්වා ද්විත්වය බැගින් වූ ඛාන්ඩ දෙකකට බෙදාහුය...
දැන් එක් ඛාණ්ඩයක් එළියට යවයි කී විට ඒ ඛාණ්ඩය ගියාහුය..
දැන් අනෙක් ඛාණ්ඩයත් යවයි කී විට ඒ ඛාණ්ඩයත් ගියාහුය...

ඇදුරුතුමනි.. දැන් මෙතැන සිසුහූ කීයක් නම් සිටිත්දැයි නිමලාණෝ විචෑරීය..

අහෝ මහා පුදුමයකි.. පිළිතුර නම් ශූන්‍යයකි... මස් කට්ට ලබා දුන් ස්වාමියාට වඳින බල්ලෙකු මෙන් සිසුන් ඉදිරියේ නිමලානන්ට නමස්කාර කළ ඇදුරාණෝ

පුත තොප මාගේ උගැන්වීමේ සීමාව ඉක්මවා ඇත්තාහ... වහා මේ පාඨශාලාව භාරගනුව යැයි ඉල්ලා... මා පහණක් නම් තොප සීඑෆ්ඇල් බල්බයකි.. මා බයිසිකලයක් නම් තොප මස්ටෑංගයකි.. මා බනිසක් නම් තොප පීසාවකියි කියා තොප තරම් ගණිත හපනෙක් මේ දෙදෙව් ලොවටම සිටිත්දැයි මට සැකයකි..
අහෝ ආකිමිඩිස් වහා පැමිණ අමුඩය හැඳගව.. තොපට වඩා හපනෙක් අප සතුයැයි කුංචනාද කළාහුය...!!

අහෝ ගුරු දේවයනි එය නම් මා තරම් නොවේ.. නුඹගේ සෙවණේම සිටිමියැයි කියාහුය...

එසේනම් පුත තොපට ඕලෙවල ඒලෙවලාධී විභාගනම් කිම... තොපගේ දැනුම හා සසඳනා කළ ඒ විභාග නම්  ග්‍රෑන්ඩ් කැණියන් වලට මුත්‍රා කළාක් වැන්න... තොප වහා නික්මී ලොවට සෙත සාදවයි කියා ප්‍රධාන පරීක්ෂණ වලට නොඉන්දාම නිමලාණෝව සමර්ථ කළාහුය....!!

මෙසේ කෞමාරනුවානෝ නිසි වයස් එලැඹි කල්හී කුල කුමරියක් සරණ පාවා ගන්නට යෙදුණි.. ඇගේ ජන්ම පත්‍රය ද කුමණ්ත්‍රණ කරුවන් අතට ගිය කල්හී මේ කුමරාණන්ටම බටහිරින් අවැඩක් වේමැයි කියා ඒ කුමරියටද ද්විත්ව උපන්දින සාදා සැබෑ ජන්ම දින බටහිර කුමණ්ත්‍රණ කරුවන්ගෙන් සඟවාලීය...

මෙසේ කුමරාණන්ගේ පුන්‍ය මහිමයෙන් කෙළ කෝටියක් වස්තූන් සිතූ සැනින් ලබා ගත හැක්කා වුවත් උත්සාහයෙන්ම දියුණු වෙමියි කියා මී කුණක් විකුණා සිටුවරයෙක් වූ තරුණයා මෙන් තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීය..

එය ඇමැතුම් මධ්‍යස්ථානයකි..පොටෝ කොපී ද ඉස්කෑන් ප්‍රින්ටින් බයින්ඩින් ඊමේල්ද රීලෝඩාද ෆැක්සාදි නා නා විධ අංග යොදා කුඩා කාමරයක ව්‍යාපාරය ඇරඹාහුය...
එක් පොටෝ කොපියකින් ලැබෙන මුදලින් ඒෆෝ පත් සියයක් ද.. ඒ සියය පොටෝ කොපිකර ලැබෙන මුදලින් තවත් ඒෆෝපත් සියයක්ද ඒ සියය පොටෝ කොපිකර ලැබෙන මුදලින් තවත් ඒෆෝපත් සියයක් ද ආදී ලෙස රැය නිදි නොලබා ප්‍රියම්භිකාව සමග දිනෙන් දින වැඩි වැඩී යන පෝටා වැලක් සේ පොටෝ කොපි ගැසුවාහ.. මෙසේ වෙහෙසී රථයක් මිලදී ගෙන එයින් පොටෝ කොපි ප්‍රවාහනය කර තවත් රථයක් ද ඒ වා ප්‍රවාහනය කර තවත් රථයක්ද ගෙන රථ විකුණා මන්දිරයක්ද මිලදී ගත්තාහුය...

එකලදීම උපයන ධනයෙන් කොටසක් වෙනිසූවේලාව වැනි පන්ති විරහිත සමාජයක් සෑදීමට වෙන්කර ඒ වෙනුවෙන් රට පුරා සිය නිසඟ වාග් ප්‍රථිභාව විදාලමින් විමලාණෝ රතු වත හැඳි කත සේ ගමන් කළාහුය..

මේ සකසුරුවම්කම දුටු එකල ලංකාපුරයට අගරජු මෙන්ම නම කියූ සැන ලොවම තැති ගන්නා ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහාධිරජාණෝ මේ උත්සහවන්ත කුමරාට ගණිතයේ සුරුකම නිසාම තම රාජසභාවේ ඉදිකිරීමේ මහාමාත්‍ය ධූරය පිරිනැමුවාහුය..

නිමලාණෝ රට වැසි දනන්ට සෙත සාදමින් රට පුරා මහා ඉදිකිරීම්ම කරමින් පිහිට වන්නාහ.. මේ අතරේම අනාවැකි සනාත කරමින් ලොව මහාධිරාජ්‍ය වලින් කෙරෙන බලහත්කාරයට විරුද්ධව ජෝකර්ට එරෙහිවූ වවුල් මිනිසා මෙන් නිමලාණෝ නැගී සිටියාහ.. කෝක් ද පෙප්සාද වර්ජනය කරන්නට වන්නාහ.. මෙතුමන්ගේ වාග් චාතූර්‍යට වශී වූ කෙළ කෝටි ගණනක් මහ ජනයා ලොව අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කරමින් කෝක්ද පෙප්සාද මැක්ඩෝනලාදී සියල්ලද වර්ජනය කළාහුය. එතුමානෝ ජාතිය අමතනා විට සිය ගව්වක් දුරට ඇසෙන්නාහ... ශබ්ද විකාශන නොවුමනාය... මෙසේ විකුණුම් නොමැතිව ඒ අධිරාජ්‍යයෝ නිමළාණන් ඉදිරියේ බල්ලකු ඉදිරියෙ වෙව්ලායන සරණ පූසන් මෙන් නිමල වංශාභිධාන නම ඇසූ සැන බියෙන් වෙව්ලා ගියාහුය...
මෙසේ රට වැසි දනන්ගේ හිසට වහල උරුම කරදෙන එතුමාණෝ නම් කිසි විටෙක ඥාති සංග්‍රහයට අකමැත්තෝම විය.. විස්කම් දෙව්පුත් මෙන් දහස් ගණන් නිවෙස් නිමවීද.. " දහස් ගණන් ජනයා පේමන්ට් එකේ සිටිත්දී මා කෙසේ වහළයක් යට සිටිමිදැ.." යි සිංහනාද කළ එතුමානෝ තම අබලන් වූ නිවසේ වසනා මව්පියන්ට හෝ නිවාස ලබා නොදී ජනතාවටම බෙදාහුය..
මේ දුටු සක් දේවින්ද්‍රයානෝ හද උණු වී හස්ති ආල තෙරුන්ට ඇත් පැටවකු පන්සල් වත්තේ මැව්වාක් මෙන් නිමළානන්ටද මහා මන්දිරයක් හූකන්දෝර පෙදෙසේ මවා තව්තිසාවට නික්මුණාහ...

එතුමාණෝ දිවා රැස් වෙහෙසී තම දෑතින්ම නිවාස සැලසුම් ඇන්දාහුය.. කෙතරම් වෙහෙසී රාත්‍රියේ ඇහැරී සිටියාදැයි කිවහොත් කහවණු ලක්ෂයක විදුලි බිලක් නිවසට පැමිණියාහ.. තම බිරඳගේ මගුල් මුදුව හෙට්ටිවීදියට උකස් කළ එතුමාණෝ එය ගෙවා මින් පසු ජනතා මුදල් එයට් වැය නොකරමියි කියා පොල්තෙල් පහන් දැල්ලෙන් රාත්‍රිය ගෙවා දැම්මාහ...

මෙසේ කලක් යන විට බටහිරාධිරාජ්‍යයෝද ජම්බුද්වීපයද ලංකාපුර මහා දියුණුව දැක බිඳහෙලන්නට නැවත කුමන්ත්‍රණ කරන්නහුය.. තනිව සේනා එවා ලංකාපුරයට පහර දීමට බිය හෙයින්  විවිධ අවලාද නගා චෝදන කරමින් ලොව අන් රටවල් බිඳ සහය අහිමි කර අසමගිය ඇති කර බිඳීමට ඔවුන් කුමන්ත්‍රණ කළාහුය... මෙය දුටු නිමළාණෝ මේ සියල්ල නවතා මිස මෙතනින් නොනැගිටිමියි කියා සක් දෙවියන්ට භාර වී පඬුරක් ගැට ගසා  සිංහනාද කර අධිෂ්ඨානයෙන් සටනට බට රජිනි කාන්ත් සේ අගනුවරැ තෙමංසලේ පලක් බැඳ හිඳ සත්‍යක්‍රියාම කරන්නාහුය... මෙසේ සත් දිනක් එකදු බත් ඇටයක් දෙස නොබලා නහයෙන් වැටෙන දහඩිය බිඳවත් මුඛයට නොවැටෙනා සේ නිරාහාරව සත්‍යක්‍රියා කරන්නාහුය...
සරුංගල් බට ලීයට බැඳි ඉටිකොළයක් සේ සම ඉලඇට කූඩුවට ඇලී ගියේය... අවුරුද්දට ගත් කොස්සක් සේ තිබූ තේජවන්ත උඩු රැවුල් ගස් එකින් එක ගැලවී ගියේය.. දිනෙන් දින දර මිටියක් සේ සිරුර වියලී හැකිලී ගියේය... උණ්ඩුක පුච්චය මතුවන තරමට බඩ හැකිලී ගියාහුය..මේ දුටු සක් දෙවියන්ගේ පඬුපුල් අසුන කම්පා වී විමසා වහා බටහිරාධිරාජ්‍යයේද ජම්බුද්වීපයේද කොටස් වෙළඳපොළ කඩා බිඳ හෙලා කුමන්ත්‍රණ කරුවන් සියගණනකට තුවාල සිදුකළාහුය... මෙයින් බියට පත් කුමන්ත්‍රණ කරුවෝ වහා ලංකාපුරයට එල්ල වූ චෝදනා ද හමුදා බලඇණිද  හකුලා ගත්තාහ...
පසුව වහා ටවුන්හෝලයට වැඩම කල සක් දෙව් රජු ලෙමනාපෆා විස්කෝතුවකට අධිගෘහිතව  සත්‍යක්‍රියා මණ්ඩපයට පැමිණ නිමලානන්ගේ ආමාශයට නික්මුණාහුය... පසුව පැමිණි මහින්දෝත්තම අධිරජාණෝද රට බේරා ගත් විරුවාට දොඩම් පොවා සංග්‍රහ කර මහ පෙරහරින් කැඳවා නික්මුණාහුය....
මෙයින් පසු මෙතුමාණෝ සතුරන් ඉදිරියේ අභීතව නැගී සිටි හෙයින් " මව්බිමේ මන්නය " ලෙස විරුධාවලි ලධාය..

බුදුන්ටද සතුරෝ සිටියාක් මෙන් මෙතුමාණෝටද ඉරිසියාකරුවෝ බෝ විය.. උතුරින් ජම්බුද්වීප රෝ කුමන්ත්‍රණ කරුවෝද  දකුණින් කාඩුවේල ග්‍රාමයේ බුද්දස් ඇමැත්තාද ආදී වූ බෝ ඊර්ෂ්‍යාකරුවෝ නොයෙක් කේලාම් කියා මෙතුමාණන්ගේ ජනතා සේවය බිඳවන්නට නොයෙක් උපක්‍රම යෙදූහ..
විදේස යාමේදී ගුවන්තොට බලධාරීන්ට මුසා දොඩා ව්‍යාජ හැඳුනුම්පත් ගමන් මල්ලට දමා වරෙක මෙතුමාණෝද දේවියද සිරගත කළාහුය...දෛවඥයන් ලංකාව බේරා ගැන්මට බටහිරට එරෙහිව ද්විත්ව ජන්මදින සෑදූ කාරණාව පසුව දැනගත් නිලධාරීහු වැඳ සමාව අයැද එතුමා නිදහස් කළාහුය...

වරෙක මහජන බදු මුදල් එකදු කෙස් ගහක් හෝ අල්ලා නොමැති එතුමාණන් වාහනද නිවෙස්ද සොරකම් කළැයි මුසා කීය.. නොසැලුණු එතුමාණෝ එයට ද නිහඬව මුහුණ දුන්නාහ.. පසුව ශක්‍රයා එතුමාණෝ වෙනුවෙන් ඒවා මැවූ බව  හෙළි වූ විට චෝදනා කරුවෝ පලා ගියා හුය..

මෙසේ කුමන චෝදනා අවලාද නැගූවද ට්‍රැෆික් කොතරම් තිබුණද බාධක මැඩ යන ලේලන්ඩ් බසයක් සේ එතුමානෝ මහජනයා වෙනුවෙන් දිවා රෑ වෙහෙසීය...!!!


නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව නිමියේයැ...

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

14 comments:

  1. සන්නි මලේ ලියමන නම් කදිමයැ. ලෙමන් පෆ් අනුභවය ගැන ලියවුනා නම් යෙහෙකි.

    ReplyDelete
    Replies
    1. //වහා ටවුන්හෝලයට වැඩම කල සක් දෙව් රජු ලෙමනාපෆා විස්කෝතුවකට අධිගෘහිතව සත්‍යක්‍රියා මණ්ඩපයට පැමිණ නිමලානන්ගේ ආමාශයට නික්මුණාහුය... //
      😃

      Delete
  2. //මා පහණක් නම් තොප සීඑෆ්ඇල් බල්බයකි.. මා බයිසිකලයක් නම් තොප මස්ටෑංගයකි.. මා බනිසක් නම් තොප පීසාවකියි//

    ++++++++++++

    ReplyDelete
  3. අලුත්ම කුමන්ත්‍රණේ කෝ? සාතන් තරුණයෙකුගේ වෙස් ගෙන මන්දිරය තුලටම පැමිණ සියදිවි නසාගෙන නිමලාණෝ ව අපහාසයට පත් කිරීම? එක තැනක 'වැරදිලා' විමලාණෝ කියල ලියවෙලා..

    ReplyDelete
  4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. "මව්බිමේ මන්නය''? උඹ නං යකෙක් බං.

    ReplyDelete
  6. "මව්බිමේ මන්නය''? උඹ නං යකෙක් බං.

    ReplyDelete
  7. පිස්සු හැදෙයි..සඳ කොරවෙයි...:)

    අර පිස්සු හුටං ඇඳං ඉන්න කලු කමිසෙ පල්ල උඹ නම් අදහන්ට වටිනව බං.

    ReplyDelete