Tuesday, February 28, 2017

ඊනියා කේක් විරෝධය හා සමන්තභද්‍ර




රහත් බව මැනීමට මීටරයක් නැති නිසා සමන්තභද්‍ර රහත්ද නැත්ද කියා මම දන්නේ නැත. ඔහු රහත් වුණත් නැතත් මට ගානක්  නැත.
නමුත් සමන්තභද්‍ර ට ඇතිවන විරෝධය පොඩ්ඩක් බැලුවොත් එහි වෙනසක් ඇත.
එය ඊනියා විරෝධයකි..!!

පොඩ්ඩකට හිතමු සමන්තභද්‍ර දැන් ඉන්නවා වගේ ඉන්නෙ නැතුව..

ජාතිය ආගම රැකපන්ඩෝ..
මේක අපේ රට ඩෝ..
නජජ්ජා වසලෝ හෝතී අදාල නෑ ඩෝ.. සිංහලයා විතරයි යකෝව්.. කියා පාරක් ගානේ දෙමල්ලු තම්බි කපන්න ගියානං..
සිවුර උස්සාගෙන රෙදි කඩයක් ගිනි තියන්න වැඩියනං...
අහවල් එකා ඇමති කරව් ජනාධිපති කරව්. අගමැති කරපියෝ.. අරක සැපද මේක සැපද අසමින් හංදියක් ගානේ මීටින් වල බෙරිහන් දෙමින් පක්සෙකට හෝ මොකෙක් හෝ දේසපාලුවෙකුට කඩේ ගියානං..
හොර උපාධි කඩේ වහපිය ඩෝ..
නිදහස් මෙව්වා එක රැකපන් යකෝව් ගා උද්ඝෝෂණ වල කඳුළු ගෑස් කෑන් පොලීසියට විසි කලානං..
උසාවි වල තාප්පවල් උඩ නැගගෙන බැරියර් පෙරලා දැඟළුවානං..

Thursday, February 23, 2017

ග්‍රහලෝක සොයාගැනීම සම්බන්ධ නිල මාධ්‍ය නිවේදනය


අන්තර් ග්‍රහලෝක අනාවැකිකරුවන්ගේ බළමණ්ඩලය, එක්සත් බූත මලපෙරේත හූනියම් සංගමය, හැඳිගෑවුණ සමාජයක් සඳහාවූ ජ්‍යෝතිෂ කරුවන්ගේ සංගමය, සාස්තර සඳහා වූ බේකරි හිමියෝ, සියදිවි නසා ගන්නා නක්සාස්ත්‍රයෝ සංවිධානය ඇතුළු උඹලා ඇන්දියන් අපි හම්බකරන්නං සංවිධානයේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය..

නව ග්‍රහලොක සොයා ගැනීම සම්බන්ධව.,

ප්‍රිය ඇන්දෙන්නනි..,

මේ වන විට නාසා ආයතනය මගින් නව  ග්‍රහලෝක හතක් සොයාගැනීමත් සමග  වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යොතිෂ සේවා සංශෝධිත පණත් කෙටුම්පතක් අප මහ සභාවට ඉදිරිපත් කරන ලදී..

ඒ අනුව

අලුතින් එක්වන ග්‍රලෝක සප්තකයට..

 බ්‍රහස්පතිගේ දොලොස්වන ථිතියේ වෘෂභ නැකතින් ඇරඹි ක්‍රි.ව. 2017 ක් වූ නවම් මස 23 වන බ්‍රහස්පතින්දා දින වූ අද දින පූර්වභාග 8.47 ට යෙදුණ සුබ මොහොතින් යට දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ආච්චිගෙ හාල් මිශ්‍ර බිබික්කම්ද ග්‍රැමක්සෝන් මිස්‍ර කොණ්ඩ කැවුම් හතරක් හරහට ගිල සබාපතෞත්තමයාණන් වහන්සේ ඇතුළු සම්භාවනීය සාත්තර කරුවන් විසින් මෙසේ නම් තබන ලද්දාහ..

සුමන
කීර්ති
මංජුල
චන්ද්‍රසිරි
තොටවත්ති
විජේමුණි
ආසිරිචූන්


Monday, February 20, 2017

චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව


=== චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව ===

මේ මහා සක්වලෙහිම අඳුර නසා පෑයූ ඉරබට තරුව සේ දිලෙන සදෙව් ලොවටමැ මිණි පහණක් බඳු වූ මහා පඬි අප මහා චාතූර්‍ය සෙනරතානන්ගේ කතා වත්තුව අකලංකාරයෙහි මෙසේ ගෙනහැර දක්වන්නාහ..

 මහ බඹ තෙමෙ එක් අළුයමකැ පිබිද පෘථිවි ධාතුව මවනු නියාවෙන් අසූ කෙළ කෝටියක් මහානුභාවයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ සිව් මහා ධාතු කළඹන්නාහ.. ඒ කළඹන්නාවූ මොහොතේ කසිප්පු ගෝඩා මෙන් කැළති කැලතී බුබුලු ලූ නියාවෙන් සතර මහා ධාතුන් එක් වී පෘථිවිය නිමවෙන්නාහ..අරිෂ්ඨ කල්දේරම හැඳිගානා වෙදපප්පානණ් මෙන් මහබඹු තෙමේ පෘථිවිය නිමවන්නාහ. කෙසේ කැළතුවද කැටි නොගැසෙන නියා දැක අරුම පහළ කළ මහ බඹානෝ දැලි කුණු වදයට පිළියම් සොයමින් සිටින ගෘහණියක් මෙන් කල්පනාබරිතව සිටින මොහොතේ අරුමයක්මැ වියැ... උස් හීන්දෑරි පුරුෂයෙක් වෙදැඟිල්ල ඔසවා පැමිණ.. " එම්බා මහ බඹ..තට අමු කැවිලද..? තොප පෘථිවි ධාතුව නිමවන්නේ ලිප නොදල්වා  නේදැයි..?? " විචාරා සිටියේයැ.. අහෝ ආශ්චර්‍යයක්මැයි.. තමා සිව්මහා ධාතු එක් කර හැඳිගෑවේ ලිප ඕෆ් කර බව විමසූ මහබඹුන් වහා සිය නාසයෙන් ගිනි අවුලවා සිව් මහා ධාතු එක්කර පෘථිවිය නිමවාලීය.. එසේ ගිනි අවුලවා පෘථිවි තලයම නිමැවූ නියා සිව් මහා ධාතු එක්කල මහා පුරුෂ තෙමේ නම් පෘථිවියේම බාරකරු කරමියි කියා පැමිණි හීන්දෑරි පුරුෂයා දෙස බලා.. " තොප නම් ලොව මැවූ මහ බඹ වූ මා ද විෂ්මයට පත් කලේමැයි.. තොප කවුදැයි විචෑරීය..

Wednesday, February 15, 2017

වනිගරත්න පද්‍ය පන්තිය



======

( විමලරත්න කුමාරගමයන්ගේ අයියනායක පද්‍ය පන්තිය ඇසුරිණි )


ගෙම්බො ඉබ්බො මීයෝ ගෙයි හතර....කොනේ
සර්පයො පවා පිත්තලයෙන් හදා..............බෙනේ
ෆෙන්ග්ෂුයි කියා කාසිත් මතුරනා............පෙනේ
ආසිරි දෙයියන්ගෙ බලයම රටට................දැනේ

සම්මන්ත්‍රණය පවතින හැම දවස්................වල
ගණ දෙවි වඩියි පමුණුවටම උදේ................කල
විභාග ජය මුදල් හදල් බාර.........................කල
ටිකට් අරන් එති සිට දුර පළාත්.....................වල

යූත් එක වැහෙන විට එන සෙනගින්.........දසත
ආසිරි වඩින විට වනමින් දකුණු...................අත
ගණ දෙවි යාළු කර දී වේදිකා.......................මත
ගාථා කියන විට මොනරුත් වඩිනු..............ඇත

දෙයියන් යාළු කළ අපේ වනිගා...............රත්නේ
ඔහුගේ බලය මතුරපු පෑනටද...................දැනේ
ආසිරි හින්දමයි දෙයියන් යාළු....................උනේ
රට යන්නටත් වීසා දවසින්...................ලැබුණේ

Thursday, February 9, 2017

ලංකාවට වැලන්ටයින්...!!!


======
.
.
වැලන්ටයින් කිව්වම ඉතින් ඕක එක දවසක් මොකෝ.. දැං එක පශ්චාත්නූතනවාදයේ ලිබරල් මෙව්වා එකක්‍ ය. වෙළඳපොළෙන් විකුණනවය ඒකයි මේකයි කතා..
ඕවා හැමතැනම තියන හින්දා අපි වෙන දෙයක් ගැන කතා කරමු..
.
ලංකාවෙ ආදරේ තියනවද..?
ඔව් ලොකු ප්‍රශ්ණයක්..

සරලව අපි මෙහෙම හිතමු..
ලංකාව ඇතුලෙ හැම මනුස්සයෙක්ටම ගරුත්වයක් ලැබෙනවද..
තවත් ජාතියකට ආගමකට ගරුත්වයක් ලැබෙනවද.. තව මනුස්සයෙක්ට මතයක් දරන්න අයිතියක් ලැබෙනවද.. කොටින්ම නිදහස් පුරවැසියෙක් ලෙස ජිවත් වෙන්න ලංකාව ඇතුලෙ ඉඩ තියනවද.. යුක්තිය සාධාරණය තියනවද..

ඔය ප්‍රශ්ණ වලට පිළිතුර කොහෙත්ම සතුටුදායක මට්ටමක නෑ ලංකාව ඇතුලෙ..

මනුස්සයෙක් වීම නිසා උරුම වුණ මූලික මිනිස් අයිතිවාසිකම්වත් පිළිගන්න අකමැති සමාජයක් ඇතුලෙ ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද..

ඉතින් මෙහෙ මොන වැලන්ටයින්ද..

ලංකාව කියන්නෙ ආදරේ කරන්න ඉඩ දෙන සමාජයක්ද..?

ලංකාවෙ සමාජෙට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ආදරේ කරනව කියන්නෙ මැජික් එකක්.. මහා අපරාධයක්...!!
කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් යන්න ඕනෙ බැන්දට පස්සෙ.. හාදුවක් දෙන්න ඕනෙ බැන්දට පස්සෙ කාමරේ ඇතුලෙදි විතරයි.. ආදරේ කලානං බඳින්නම ඕනෙ.. නැත්තං අම්මා හොයලා දෙන එකක් කරගෙන පාඩුවෙ ඉන්න ඕනෙ.. ළමයිනුත් හදන්නම ඕනෙ.. නැත්තං අවාසනාවන්ත කාලකන්නි මුස්පේන්තුවො වෙනවා..

කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ යද්දි උන්ට අත් අල්ලගෙන යන්න බෑ.. අඩු තරමෙ ඉස්කෝලෙ එකට ඉගෙනගත්ත කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරෙ හම්බෙලා කතා කළත් උන් දෙන්නා දිහා වපර ඇහෙන් බලන්නෙ... බස් එකක පෙම්මුල්ලෙ කතා කරන්න බෑ.. ( ඔව් ඒකට පෙම්මුල්ල කියලා නම දාලා තියෙන්නෙත් ඒක මැජික් වෙලා තියන හින්දා ) බීච් එකක පාක් එකක ඉන්න බෑ විසිල් ගහනව.. එලෝනවා.. එක එකා ඇවිල්ලා කප්පම් ඉල්ලනවා...

Friday, February 3, 2017

පේලේ ( pele ) ගේ කතාව

==  ==
.
1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන තෙක් බලාපොරොත්තු දල්වා සිටි ශ්‍රී ලංකාව මතකෙට නංවා ගන්න.. සියළු බැමි පසෙකට දමා එකම ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් තෘවන් සරණ පැතූ, යාඥා කළ, දෙවියන්ට භාර කළ ලංකාව මතකෙට නගා ගන්න.. රූපවාහිනී ගුවන්විදුලි ඉදිරිපිට තම රටේ විජයග්‍රහණය වෙනුවෙන් පෙළගැහුණු ශ්‍රී ලාංකික ජාතිය සිහියට නගා ගන්න..

ඒ සිහිපත් කිරීමත් රැගෙන අපි ගමන් කරමු බ්‍රසීලයට.. යුරෝපීය ආක්‍රමණිකයන්ට යටත්ව සිට ලතින් ඇමරිකාවේ ගින්නෙන් උපදින ෆීනික්ස් පක්ෂියෙක් බඳු වූ සුන්දර බ්‍රසීලයට උදා වී තිබුණේ 1950 වසරයි..
රටේම ජනතාව ගුවන්විදුලි ඉදිරිපිට නිශ්ශබ්දව සිටින්නේ තම කණ්ඩායම උරුගුවේ රාජ්‍යට එරෙහිව මුහුණ දෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය වෙනුවෙනි..
බ්‍රසීලය යනු පාපන්දු රාජධානියයි.. එය බාල මහළු වැඩිහිටි කාන්තා පිරිමි භේදයකින් තොරව ජාතියේම රුධිරය ලෙස අධ්‍යාත්මය තුළම බැඳී පවතින්නක්.. නමුත් බ්‍රසීලයම හඬවමින් 1950 ලෝක කුසලානය බ්‍රසීලය උරුගුවේ රාජ්‍ය හමුවේ අවාසනාවන්ත ලෙස පරාජයට පත් වෙනවා.. එය අපට එක් තරඟයක් වුවත් බ්‍රසීලය අදටත් එය දකින්නේ මහා ඛේදවාචකයක් ලෙසයි..
සරලවම කියතොත් බ්‍රසීලයේ හිරෝෂිමාව ලෙසයි ඔවුන් ඒ පරාජය හඳුන්වන්නේ.. ඒ පරාජය බ්‍රසීල හදවතට කෙතරම් තදින් දැනුන දෙයක් ද බව කීමට තවත් සාක්ෂි අවශ්‍ය නෑ..

මේ තරඟය කඳුළු පිරි දෑසින් අසා සිටිනවා බ්‍රසීලයේ Três Corações ප්‍රදේශයේ අපිරිසිදු මුඩුක්කු ජනාවාසයක 1940.10.23 ඉපදුණ Edison Arantes do Nascimento කියලා පොඩි කළු කොල්ලෙක්.. අනිත් පොඩ්ඩන්ට වගේම මේ කොල්ලටත් පොඩි කාලෙ තිබුණා ෆුට් බෝල් උණක්.. කොල්ලට ගෙදරට ආදරේට කිව්වෙ ඩිකෝ කියලා.. අහල පහළින් එකතු කරපු රෙදිපටි වලින් හදපු බෝලෙකින් මුඩුක්කුවෙ කොල්ලො එක්ක ඉඩ ලැබුණ හැම වෙලාවෙම ඩිකෝ කලේ ෆුට්බෝල් සෙල්ලම් කරපු එක..