Monday, June 5, 2017

ප්ලාස්ටික් හාල්



පහුගිය දවස් ටිකේ ගංවතුරේ බැහැගෙන සිටීම නිසා හාල් කේස් එක මට මිස් වූ බව දැනගෙන පස්චාත්තාපයට පත් වීමි.  මිස් වුවද මිසිස් වුවද හාල් ප්ලාස්ටික් කර එවූ කතාව අසා විප්‍රලම්භ සුංන්ගාරයට පත්වී තාම කල්පනා කරමි.
කතා ගොඩක් ඇති හාල් වලට ප්ලාස්ටික් හාල් ද එක්වූ නිසා වයසට ගියාම පොඩි උන්ට කියන්නට තව කතාවක් වැඩිවිය.
ප්ලාස්ටික් ද නැද්ද කියා දන්නැති උනාට සමහර කඩවල් වල බත් කන විට ඒවාට වඩා ඉඳගෙන ඉන්න පුටුව කඩාගෙන කෑවානං යකඩවත් හම්බෙනවනේ අපෙ හාන්දුරුවනේ කියා හිතෙන්නේ අමු වී ඇති විටය.. අමාරුවෙන් හපා වේටර් කොලුවාට කියා නටන උණු වතුර එකක් බී දෙවරක් උඩපැන හෝටලෙන් එලියට එන්නේ බඩේදි හෝ බත් එක තැම්බෙයි කියා හිතාගෙනය..
ඒ කාලේ පෙරදිග ලෝකෙ ධාන්‍යාගාරේ කියා කිව්වට සුද්දා ගිය දවසේ සිට පාලනේ කල හාල්පාරුවන්ට පින්සිද්ද වෙන්නට දැන්නං මෙහෙ උන්ට කන්නටද තියෙන්නේ ක්‍රෝටන් ය.
ලංකාවේ හදන හාල් නං සිංහල හාල් ය. හාල් වලටත් ජාති තියන බව මං දැනගත්තේ ඔය කතාවෙනි. දෙමළ හාල්  ඇද්ද කියා හොයා බැලිය යුතුය. අග කැඩී ගිය හාල් නං මුස්ලිම් බව මට පැවසුවේ මහසෝන් බලකායේ සාමාජිකයෙකි.



හීනටි හාල් ඇල් හාල් සුවඳැල් ආදි පරණ හාල් ජාති බර ගාණක් ඇති බව මට පොඩි කාලේ පැවසුවේ අම්මාය.. සීයාට කුඹුරු තියන නිසා හැමදාම පොඩි කාලේ තම්බපු හාල් බත් කා එපාවී සිටි බව ඇය නිතර පවසයි.
දැන්නං අපිට කන්නට එක එක හාලේ බත් ඇති අතර තායි හාල් චීන හාල් ඉන්දියන් පකිස්තාන් ආදී එක එක ඒවා ඇත..
රට හාල් ආවේ සුද්දා ආවට පස්සෙ කියා කීවට කන්නේ කරවලයි රටහාලේ බතට කියා පතල් කවියක්ද ඇත.
ඒකෙ කියන්නේ දුක් අඳෝනාවක් කියා කිව්වට රට හාල් කියන්නේ මෙහෙ එව්වාට වඩා හොඳ ඒවා නිසා ඌ පතලේ ආතල් එකේ සිට ඇති බව නිගමනය කළ හැක..

බාස්මතී කීරි සම්බා පොන්නි සම්බා සුපිරි කීරි සම්බා කෝරා රතුහාල් සුදුහාල් කියා එක එක නම් වලින් හාල් කන්නෙමු.. බාස්මතී හාල් නං ගණන්‍ ය. රතුහාල් ලාබ උනත් ගුණ බව කියයි. ඇට ලොකු නිසා අපේ උන් කන්නේ නැති ය.
මටනං ඉතින් රහට හදලා තියනවානං ඔය ඕනෑ මගුලක් ය.
රතු හාල් රතු නිසාත් බාස්මතී ඇට දිග නිසාත් අඳුරගන්නවා ඇරෙන්න අම්මා උයා දෙන මොන හාලක්වත් මට අඳුරගන්නට බැරිය..
අම්මලා කොහොම ඕවා අඳුරගන්නවා ඇත්දැයි මට තාම හිතා ගන්නට බැරිය.

ගංවතුර නිසා සමන් දෙයියන්ගේ දේවාලෙ යටවීමෙන් උන්නාන්සේ ගංවතුර ආධාර ගන්න ග්‍රාමසේවක හම්බෙන්න ගිය නිසා මේ දවස් ටිකේ දේවාලෙට යාමෙන් වැඩක් නැති බව කී විට ගුණවතී ආච්චි මට කිව්වෙ තොට දෙයියන්ගෙ හාල් කැවිලද කියාය..
ගංවතුර කාලේ සෝටීස් කකා සිට බත් කෑවේ දවස් හතරකට පස්සෙ නිසා දෙයියන්ගේ හාල් මම නොකෑ බවට හොඳටම විස්වාසය..
ඒ වගේම දෙයියොත් දැං දේවාල බිස්නස් එක පාඩු නිසා කුඹුරු කොටා දෙයියන්ගේ හාල් හදන බව මම දැනගත්තේ ඔය කතාව නිසාය..
ගුණවතී ආච්චිට හාල් ගරන්න කියා කීමට හිතුනත් වයසක මනුස්සයාට හාට් ඇටෑක් හදා තේරුමක් නැති නිසා කටවහන් සිටියෙමි..
ආච්චිගේ මිනිබිරියටවත් ඕක පස්සෙ කියනවා කියා හිත හදා ගත්තද හාල් කෑලි පෝම් කර තේරුමක් නැති නිසා ඒ අදහසද අතහැර ගත්තෙමි..

ඉස්කෝලෙ යන කාලේ ඉර්දි ප්‍රාතිහාර්ය පාමින් සමන්තභද්‍ර මහරහතන් වහන්සේ මෙන් හයිලෙවල් මාර්ගයට උඩින් ගමන් කරනා ලොකු ලයින් ඇති කෙල්ලන්ට කෝචොක් දමන උන්ට කොල්ලන් කියන්නේ හාල් කෑලි පෝම් කරන්න එපා යකෝ කියාය..
හාල් ඇටේ හැඩයක් ගෑවිලාවත් නැති කැකිරි ගෙඩි මෙන් ඉන්නා කෙල්ලන්ටද එසේ කියන නිසා මට එය මහා ප්‍රස්නයකි. මොකද හාල් කියන්නේ වටින දෙයක් නිසා කෙල්ලන්ට බයිට් කිරීමට එය යොදා ගැනීමද විකාරයකි.
ඔන්න වැඩිය නොවටිනා හපන්න අමාරු ලාබ හාලක් වන කෝරා වගේ නමක් දමා කෝරාහාල් කෑලි පෝම් කරන්නෙපා කිව්වානං අව්ලක් නැත..
එසේත් නැත්තං විස්කිරිඥ්ඥා කෑලි, ඥානකතා කෑලි, වගේ වැඩිය නොවටිනා කෑමක නමක් යොදා ගත හැකිය..
ඔන්න දැන්නං කටපුරා ප්ලාස්ටික් හාල් කෑලි පෝම් කරන්නෙපා යකෝ කියා කිව හැක..
ඔය පකිස්තානෙ උන් කරන්නේම ඔහොම වැඩය.  උන් උන්ගේ රටේ ජාතික ආරක්සාව , ජාතික ආර්තිකය නැංවීම , ජන ජීවිතේ නගා සිටවීම වගේ වැඩ ඔක්කොම පැත්තට දමා අපේ රටේ කුණු කන්දක් කඩා වැටෙනකන් ගංවතුරක් එනකන් බලා සිට වඳවෙන බ්‍රෙසියරයක් හෝ ප්ලාස්ටික් හාල් ගෝනියක් එවයි.. සිංහල ජාතිය වඳ කිරීමට මුන් ගහන ගේම්ස් ඇමරිකාව බිල්ලාඩන්ට කෙලවීමටවත් යොදාගන්නේ නැතුව ඇතිය.. ඥානසාර හාමුදුරුවෝ ඔය කුමන්ත්‍රණ සියල්ල සිය දිවියඥානෙන් පරදන්නේ නැත්තං සිංහලයන් මෙලාකටත් ඩයිනෝසරයන් මෙන් පෘතිවියෙන් වඳවී ගොස් ය..
මම නං කියන්නේ ඔය හාල් පාරුවන්ට පේන්නත් එක්කම නිකන් ලැබෙන් ප්ලාස්ටික් හාල් ඔක්කොම එකතු කර පොලිහාල් වගේ නමක් දමා කොම්පැණියක් පටන් ගෙන උණුකර ප්ලාස්ටික් හැදිය යුතුය. වැඩට මහසෝන් බලකාය, සිංහලේ හෝ බොදුබල සේනාවේ හෝ යක්කු බොලව් ඩෑල්ස් ‍යොදාගත හැක.. ඊට පස්සේ සිංහල ජාතිය නැංවීමට අවස්ස කරන දත්බුරුසු , වගේ එක එක ගැජට් නිර්මාණය කළ හැක.. ඔය සේනාවල
 ඩෑල්ස් බුලත්විට කා දත් කහ වී තිබෙන නිසා සිංහල ජාතිය රකින වීර කොල්ලන්ගේ දත් සුද්ද කරගැනීමට   නොමිලයේ බෙදා දිය හැක..
ඕනෑනං ප්ලාස්ටික් පුටු, මේස, අල්මාරි , වගේ දේවල් හදා පකිස්තානෙටම යවා විදේස විනිමයද උපයා ගත හැක..

# අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. හදෙන් අරන් ආපු කූපන් හාල් කාපු අපේ උන්ට ප්ලාස්ටක් හාල් කජ්ජක්ද අකලංක මහත්තයෝ.....

    ReplyDelete
  2. මාත් මේ ඉන්නෙ ප්ලාස්ටික් හාල් කන්ටේනරයක් බාගෙන ප්ලාස්ටික් වැඩපලක් පටං ගන්න කියල.

    ReplyDelete
  3. http://economatta.blogspot.com/2017/06/blog-post_5.html

    ReplyDelete
  4. මෙන්න නියම හාල් ටෝක්.. :)

    ReplyDelete
  5. හුණුසාල් කියලත් හාල් ජාතියක් තියනෙකේ....ප්ලාස්ටික් හාල් කිබුනට මක්කැයි වෙන්නෙ

    ReplyDelete