Thursday, December 28, 2017

තවම මට බස් එකක් නැත

බස් එකක් එනකන් හෝල්ට් එකේ ඉඳිමි. බස් නැත. දැන් පැය බාගෙකි.මොන මගුලක්ද.ටැක්සියකට දෙන්නත් අතේ සල්ලි නැත. හෝල්ට් එකේ කිහිප දෙනෙකි. ඔව් බස් එකක් එයි. බලා හිඳිමි. ඒ අතර මෙය ලියමි..
====
මෙතැනට එන්නට කලින් මොරටු වැල්ල පසුකර ආවෙමි. රේල් පාර අයිනේ කරත්තයක නයිට් කඩයකි.. රෝල්ස් කට්ලට්ස් කෝපි විකුණයි.මොනවා හෝ කා බඩ පුරවා ගන්නට ආවෙමි. කෝපි එකක් හා රෝල්ස් ගත්තෙමි.

දාඩිය පෙරාගෙන කඩේ බඩු විකුණන කඩේ අක්කා එතැනට කන්නට ආ තවත් අයෙක් හා හෝ බනියි..

  මේ කෝපි එක ගිහින් දෙන්න. ඇය කියන්නේ ඇගේ පුතාටය.
මට කෝපි එක ලැබුණි.
අර මනුස්සයා යතුරු පැදිය පණගන්වා යන්නට ගියේය.

බලන්න මල්ලි
මේකෙ ඉන්න එක එකා කේලම් කියල මගෙ කරත්තෙ අයින් කරගන්න කියලා..

හ්ම්ම්

මං මේක කරගෙන ඉන්නවට ඉරිසියාව මුන්ට..

අද පොලීසියෙනුත් ආවා..
ඒ රාලහාමිලා දෙන්නානං හොඳයි.
ලොකු මහත්තයට පැමිණිල්ලක් ඇවිල්ලා කියල බලල යන්න ආවා කියල කිව්වෙ. ප්‍රශ්ණයක් නෑ කියල කිව්වා.

CGR එකෙන් ආවා. මෙතන මම රොටි හද හද හිටපු එක කඩන්න කිව්වා.
විදුලිබල මණ්ඩලෙන් ඇවිල්ලා ලයිට් එක දාන්න එපා කිව්වා.දැන් මම පන්දාහකට මේ ලයිට් එක ගෙනල්ලා දාගෙන ඉන්නෙ. ( චාජ් කරන ලයිට් එකක් පෙන්වයි )

මගේ දුවලා ගොලු ඉස්කෝලෙ.
කතා කරන්න බෑ..

තාම ඉස්කෝලෙ යනවද..??

නෑ දැන් ගිහින් ඉවරයි

එක්කෙනෙක් බන්දලත් දුන්නා..
හොඳට මගුල් කාලා..

ඒ ඔක්කොම කලේ මායි මනුස්සයයි මෙහෙම හම්බ කරලා..
අවුරුදු විස්සක් ඉස්කෝලෙ ගාව අඹ අච්චාරු විකිණුවා මේ කරත්තෙන්.. ( වීදුරු කැඩුණ පරණ කරත්තයක් පෙන්වයි. )

මම සිගරට් විකුණන්නෙත් අර අක්කගෙ කඩෙන් සල්ලි වලට අරගෙන ලාබයක් නැතුව උදේට කන්න එන අයට. බස් ඩ්‍රයිවර්ලා එන හින්දා සිගරට් නැතුව කන්නෙ නෑ.. බුලත් විටයි සිගරටුයි ඒ අක්කගෙන් අරන් මම විකුණන්නෙ..
අනිත් ළමයවත් බන්දලා දෙන්න ඕනෙ..

ඒ ළමය කියනවා කලින්ට වැඩිය ලොකු මගුලක් ගන්න ඕනෙ කියලා අත් වලින් පෙන්නනවා..

අනේ මහත්තයා ඉතින් මේක මම පාන්දර වෙනකන් කරලා එකතු කරන්නෙ..

හැම අවුරුද්දෙම මංගල්ලෙට සුරුවමක් හදලා ජේසුගෙන් ඉල්ලන්නෙ.
මට හැමදාම පිහිට වෙන්න කියලා..

========

ඇය කියූ පරිදි ඇගේ කතාව එහෙමය.. මම එය ලියමි.
කොල්ලා ඉගෙනගන්න වයසේය. ඕලෙවල් විතරැති. අනුමාන කළෙමි. දීග දෙන වයසේ දුවකි. ඇයට කතා කල නොහැක. දෑවැද්ද සෙවීමට ඇගේ අම්මා නයිට් කඩයක් දමා රෝල්ස් හදයි. කෝපි හදයි..

තවම මට බස් එකක් නැත

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ