Monday, January 29, 2018

වෙනස


වෙනස
වෙනස  අලුතෙන් හිතන එක., බය නැතුව වෙනසට මූණ දෙනව කියන එකට අපේ උන් තරං බය ජාතියක් තවත් නෑ..
මාමෙ හැමදාම වක්කඩෙන් නාන එකේ ගෙදරට ටැප් දාලා සවර් එකක් හයිකර ගමුකො කිව්වම..
තොට පිස්සුද යකෝ තොගෙ තාත්තා නෑවෙත් මේ වක්කඩෙන්
උඹලෑ නැන්දා මේ වක්කඩෙන් නානවෙලාවක දැකල තමයි මං වචනෙ දාලා බැලුවෙ
තෝව අම්මා පොඩි කාලෙ නෑව්වෙත් මේ වක්කඩෙන්
අපෙ සීයා නෑවෙත් මේ වක්කඩෙන්
උන්දැගෙ තාත්තා නෑවෙත් මේ වක්කඩෙන්
එහෙම එකේ තෝ මට කියන්නෙ මේ වක්කඩේ දාලා සවර් එකෙන් නාන්න කියලද.. කවදහරි මගෙ කොලුවගෙ පොඩි එකාව නාවන්නෙත් මේ වක්කඩෙන්ම තමයි.
මේ අපේ පරම්පරාවේ වක්කඩේ යකෝ.
ඔන්න ඔහොමයි ලංකාවේ උන්..
නිකමට මෙහෙම හිතන්න.
සඳහිරු සෑය කියල එකක් හැදුවා. හඳට යන්න තාක්සනේ තිබ්බට ඒකෙ උස රුවන්වැලි සෑයට වැඩිය අඩුවෙන්ලු තිබ්බෙ ගරු කිරීමක් විදිහට. 

Wednesday, January 24, 2018

නන්දා

කයිසාරුවත්තේ මුහන්දිරම් රාලහාමිය. මාතර හාමිනේ යැ. නන්දායැ.. නන්දගෙ අක්කායැ. මල්ලී යැ.
ඔය කවුරු කවුරුත් හිටියේ වංසේ කබල් ගාමින් යැ. ගමේ හිඟන්නන්නං මොක්කුද නේ.. අපි එහෙමද.. අපේ පරම්පරාවම ලොකු යැ. අපිට නැත්තේ මොනාද නේ.. පොල් නං පොල් යැ. සල්ලි නං සල්ලියැ. ඉඩං නං ඉඩං.. ගොඩින් ඕන්නං ගොඩින් මඩින් ඕන්නං මඩිං..
ගමේ හිඟන්නා පියල් යැ. ඌට මෙලෝ බඩකඩිත්තුවක් තිබ්බේම නැතියැ. ඌට කබල් ගාන්න වංසයක් තිබ්බේද නැති යැ. උන්ගේ ගෙවල් වලට පෙරදිග ධාන්‍යාගාරෙන් බාස්මතී යැව්වලු නේ නේද අවුරුදු බර ගාණකට කලින්..
ම්ම්ම්ම්
වහලේ හිල් වලින් වතුර බේරෙනවා. මාතර හාමිනේ බැරිමරගාතෙ ඇවිල්ලා බේසමක් තියනව. වැස්සට කුස්සිය පැත්ත පතබෑවුනාලු නේ..

Saturday, January 20, 2018

කොට්ටාව මාලබේ..


මාලබේ සිට කොට්ටාවට යන බසය කොතරම් වේගයකින් ගමන් ගන්නේදැයි කියනවානම් මේ දැන් බස් එක පහු කරගෙන අලු පාටට හුරු කහපාට පූසියෙක්ද ඇවිද ගිය අතර ඇය බසය පෙන්නා ඇගේ පැටවුන්ට "ඥාව් ඥාව්.. ඥව් ඥ ඥ්ව් ඥ්ව් ඥාආආආව් " (  අර බලන්න ගාෆීල්ඩ් පුතේ තඩි ගොලුබෙල්ලෙක් ). කියා කිව්වාය.  නෑ නෑ මට නෙමෙයි බස් එකට.

අම්මා කිව්වේ මට අපලෙට කවුදෝ ග්‍රහයෙක් ඇවිද්දෝනවා කියාය. මා හිතුවේ හංදියේ ජිම් එකට ගොස් අපලේ ගෙවී යනකන් ට්‍රෙඩ්මිල් එකක දුවන්නය. දැන් අව්ලක් නැත. රියදුරු දෑතට දෙයියන්ගේම පිහිටෙන් අද ඒ අපලෙත් බස් එකේම ගෙවී යනු ඇත.

ඇතැම් විට මා කොට්ටාවට යන විට සිරිසේන ජනාධිපති තුමා කොලේ අලවාගෙන ඇඟ පිහදාගෙන හොරු, මිනීමරුවන් ,විදුහල්පතිනිය දණ ගැස්සූ මහ ඇමැටියා ආදී හැලපයන් අල්ලා උන්ට දඬුවම් කර උන් අවීචි මහා නරකාදියේ ආපිකෝ ලෝදිය ටැංකියක තේ පැකට් එකක් මෙන් ඉහළ පහළ දමනා ආකාරය හැරී පොටර් චිත්‍රපටයේ ආකාරයේ වීඩියෝ ප්ලේ වෙන ඩිජිටල් පත්තරේකින් බලමින් සිටිනු ඇති අතර  ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක්ද පිහිටුවා තිබෙන්නටද හැක හැක හැක.
මහින්ද රාජපක්ස මහතා මේ ආණ්ඩුව පෙරලා අගමැති වී සිටින්නටද හැක හැක හැක හැක හැක. එසේ වී තිබෙනවානං ඉතින් මට කොට්ටාවෙන්  බහින්නට සිදුවන්නේ මහින්ද රාජපක්ස අන්තර්ජාතික බස් නැවතුම්පොළෙනි. පසෙකින් ප්ලෑස් මෙන් ගමන් ගන්නා මහින්ද රාජපක්ස අන්තර්ජාතික විදුලි දුම්රියක්ද තිබිය හැකි අතර විදුලියෙන් යද්දී දුම් යන්නේ නැති නිසා එයට විදුලි දිග රිය, විදුලි පෙට්ටි රිය හෝ විදුලි කෝච්චිය වැනි නමක් යොදාගත හැක.

තේඒඒඒඒඒඑරුම් ගියොත් මම නිදොස් යැයි කියා..
වේඒඒඒඒඒඒගෙන් යලිත් එන්න මා වෙත ඔයා..

දැන් ප්ලේ වෙන්නේ ඒ සින්දුවය. මං හිතන්නේ එක්කෝ එය කියන්නේ ෆ්ලෑස් ය. නත්තං උසේන් බෝල්ට් ය. පෙම්වතිය දමයන්ති දර්සා හෝ සුසන්තිකා ජයසිංහ විය හැක.. ඔය එය ප්ලේ වෙන හයවෙනි හෝ හත් අට වෙනි වතාව විය හැකි අතර කොට්ටාවට යන විට මහ බැංකු බැඳුම්කර වංචාවේ අලාබයට වැඩි ප්‍රමාණයකින් එය ප්ලේ විය හැක. ඒ ගීතය අසා පැහැදී හිත සතුටින් බස් එකේම මිය යා හැක. නැවත මේ බසයේම ඉපිද "පූඌඌඌඌඌඌඋජා කරන්නම් මලක් උයා නමිංං.." ගීය අසා නැවත මිය යා හැකි අතර. මා මල පසු බස් එකේ

"  මියයන්න සූදානං සිංදුව අහන්..
වළලන්න එනවාද සවලක් අරන්.."

ගීය ප්ලේ කළ මැනවි.  අවසානයේ සාරසංකයේ කල්ප ලක්සයක් පෙරුම් පුරාගෙන සංසාර චක්‍රයම මේ බස් එකේ ඉපිද මැරි ඉපිද මැරී බස් එක කොට්ටාවට යන්නාවූ දිනෙක මෙතේ බුදුන්ගෙන් බණ අසා නිවන් යා හැක. ලස්සන අක්කලා නම්ගිලා ඇන්ටිලාට බාගෙ ටිකට් කැඩු පුන්‍ය කර්මයේ මගිමයෙන් කොන්දාට ද තව්තිසා එක්ස්ප්‍රස් දිව්‍ය රථ සේවාවට අධිගෘහිත දෙයියා වී ඉපදිය හැක.

ඒ මොහොතේම කිරිබත්ගොඩට ආ 154 බසයක් දෙස ඔබ හොඳින් බැලුවොත් අඟුලානෙන් නැග මා ලෙසම අර කල්ප ලක්සය පෙරුම් පුරා නිවන් ගිය මගියන් සෙට් එකක් හමුවිය හැක.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, January 16, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ස්ත්‍රී සුරා කතාවත්තුව

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ස්ත්‍රී සුරා කතාවත්තුව

පෙර ටසිරිලක ශාක්‍යාහෝල්ඩිංසායට පෑයූ ප්‍රියන්ත මහෞල්පතගමයාණන් මෙන්  සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මහරාජාණන් වහන්සේ රාජ්‍ය විචාරන්නාහ. සරලභාවයේ ඩේවිඩ් ප්‍රථිමාව මෙන් ටසිරිලක පාලනය කරන්නාවූ නියා මහාසියානු අධිරාජ්‍යයේ ඈස්චර්‍යය ලෙසින්ද සකල සක්වලම හැඳිගානා කරවල හොද්දක් මෙන් කළඹමින් නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ටසිරිලක ජනී ජනයා සුවෙන් මුසපත් කරමින් කාබෝහයිඩ්‍රේටාදි සුක්‍රෝස් ග්ලූකෝස් පෘක්‍රටෝසාධී සීනී වර්ගයෝ ඇති මෛලෝධී අරිෂ්ඨයෝද තහනම් කරමින්ද සකල ටසිරිලක හෙළ ප්‍රාග්ඓතිහාසිකාදී සංස්කෘතිය රැකගනුවසු තිසරපට අන්දමින් ද සමෘද්ධිමත් කරමින් සොරු අල්ලමින් මහාභාණ්ඩාගාර නංවමින් රාජ්‍ය විචාරන්නාහ.

මේ'තර තුරදී දිනෙක රන්සළු නොපළඳා ඉර ඇති වේලාවේ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ සිය සරල බජාජ් ත්‍රීවීලරයෙන් රාජකාරිය සඳහා පිටත්වයන කල්හී මහමගෙහි කතුන් දෙදෙනෙකු කෙස්වලු පටලවාගෙන පහරදීගනු දුටුවාහ..
එතුමාණෝ සිය රථාචාර්‍යා අමතා "කොලුව අර ගැහැණුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙන් හිටං මරාගන්නේ මන්දැයි.. ඇසුවාහ..
ස්වාමීනී ඕකුන් සුරා පානය කර ඇත්තාහ.. ඉදින් ඒ නිසාවෙන් පහරදී ගනිති යි කිව්වාහ.
මෙසේ ඉදිරියටම ඇදෙනා කල්හී සෝභිතපාලම මත සිය නිල ත්‍රීරෝද රථය ඉදිරියට ළඳක් පැන්නාහ. බියවී ඇය පසෙක පැනලබනාතර සලාං යන හඬින් යමක් වැටුනාහ. නංගි මා ගොවියෙකුගේ පුතෙකු නිසා තී මෙසේ ගණනකට නොගෙන පැන්නාදැයි කියා අසනාතර බිඳීගිය ගල් භාගයක් දුටුවාහ.
අහෝ මා නම් පංචශීලය සුරකින්නාවූ නරේන්ද්‍රයෝ වූ නමුත් මාගේ රටවැසි කතුන් උගුඩුච්චියෝ මෙන් සුරාපානයෙහි නියුත්තෝය කියා සිය ළයෙහි අත හොවා රථාචාර්‍යාට යාමට සන් කලාහ.
මෙසේ නේක නේක ස්ත්‍රීන් ගෝඩා බැරලයට බට වඳුරන් මෙන් මත්වී සිටින්නාවූ නියා පිළිබඳ තතු මෙත්පල් නිරිඳානන්ගේ කණවැකෙන්නට වන්නාහ. ඒ ඒ සිද්ධීන් ගැන ඒ ඒ සඳැස් වල  ලියවෙන්නට යෙදුනාවූ ඒ ඒ කවි කතා පුස්කොල පුවත්පතෙහි දුටුවාහ.

සරා සළෙලු කත විගසේ
සුරා පාන කරන ලෙසේ
ගෙදර යන ගමන් සතොසේ
විස්කි රැගෙන යයි සිතුසේ..

රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹරු පෙති දෙනෙතින්
පුවත් නොදැන බමන මතින්
නටත් ගෑණු සුරා මතින්...

දස අත් සුරහල් සිරිලක දිලෙනා
අඟනුත් ඒ වෙත නොනැවති ඇදෙනා
සිතිනුත් ගතිනුත් මත් බව රැඳුනා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා...

පෙරව සැප කිරණ නැගි ගත සිත සනමින්
පරව දුක ශෝක ගිලි දියතලා පිටින්
තරව සිහි ඇතිව සොට් එක දමන ලෙසින්
කරව පියාසර නංගී සුරා සැලෙන්...

නෙක ගෑණුය පුර පැමිණිය බාරයට
නොව සැඟවිය වෙනදා මෙන් සිටි ලෙසට
ගරු කරමිය පරපුරටම මංගලට
ඇල්කොහොලය වදු ඇයගේ ගත සිතට...

හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ
පොල් අතු පැලේ මම තනියම සිටිමි බියේ
ඇතිමුත් සොට් එකක් දමනා හැඟුම් ළයේ
ඔබ එනතුරු ඉන්නම් මම නොබී ප්‍රියේ...

මේ ආදී කවි කතන්දර දුටු ඇසු සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ සිය සරල හාන්සි අස්නෙන් හිටං පෙට්‍රල් බූලියට බට ගැරඬියෙකු විලස කෝපාග්නියෙන් දැවි දැවී " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථෝපිත ස්ත්‍රී පුරුෂාධී සමානාත්මතා වස්ත්‍රයෙන් මට ඇති ඵලක් නැත්තේය... මේ ටසිරිලක දෙදහස් පන්සිය වසරක මහා සංස්කෘතිය පුරා කතුන් සිටියේ නම් ඒ පුරුෂයාගේ යටතේමයැ.. ඉදින් සුරා පානය නම් පුරුෂයන්ගේ කටයුත්තක්මයැ. ස්ත්‍රියක් දූෂණය වී කුසට ඇතුළු වන දරුවා ගබ්සාව සඳහාද ඇයටාවසර නැත්තේමය. දරුවන් හැදීමද පුරුෂ තේරීමක්මයැ. සළු ඇඳීමේ දිග ප්‍රමණද.. වෛවාහක සබඳතාද එසේමයැ. ඉදින් බටහිර අධිරාජ්‍යවාදීන් ගේ ස්ත්‍රී සමානාත්මතාවන් වලට මිත්තණියට අරලිය සම්බා ගරපාන් හිටං. මා සුරා පානය නොකරන්නේනම් රටවැසියාටද එය කල නොහැක්කේමයැ. ප්‍රචාචන්ත්‍රවාදී මෑණියන්ගේ වස්ත්‍ර ගලවමියි..."" කියා.. වහා ගැහැණුන්ට සුරා පානය අහෝසි කරන්නැයි කියා එය අනුමත කළ අමාත්‍යාට බැන තර්ජනය කළාහුය..

මේ කරුණුනම් ඇසූ ටසිරිලක ස්ත්‍රීහු නවක වදය අහෝසි කරන්නැයි ඉල්ලා පැමිණෙන අන්තරය මෙන් ලිප්ටන් චතුරශ්‍රය දක්වා පැමිණෙන්නට යෙදුණාහ.
මෙය ඇසූ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රැජිණි කාන්තයාණන් මෙන් සිය සරම තෙවරක් වලාපට ගසා ඩේයි විඩමාට්ටා... කියා ලැම්බෝගිනියක් මෙන් නික්මුණාහ.

ඈත දූලින් වස වසා සුරා පානය කර මත්වී ඇදෙනා ස්ත්‍රීයෝයැ.
මෑත ලිප්ටන් චතුරශ්‍රය සනහ සනහා වඩිනා මෙත්පලානෝයැ..
ඈත ස්ත්‍රී වීම නිසාම ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේමදැයි කිය කියා ඇදෙනා ස්ත්‍රියෝයැ..
මෑත ප්‍රචාචන්ත්‍රවාදෙට මිත්තණියට හාල් ගරපන් හිටං කියා ඇදෙනා මෙත්පලානෝ යැ
ඈත සිය තිසරපට ගලව ගලවා දමමින් ඇදෙනා ස්ත්‍රියෝයැ
මෑත සිය මඩු වලිගය වන වනා ඇදෙනා මෙත්පලාණෝයැ.
ඈත සුරාපානය කර රත් පියුම් මෙන් රක්ත වූ නෙතින් ඇදෙනා ස්ත්‍රීයෝයැ.
මෑත අවිහිංසක ළඳරුවෙකුගේ මෙන් මොළකැටි දෙනෙතින් බල බලා සංස්කෘතිය රැකුමට ඇදෙනා මෙත්පලානෝ යැ.

ඉදින් ලිප්ටන් චතුරශ්‍රයට බට කල්හි ස්ත්‍රියෝ නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ට සිය අතරැඳි ගල් බෝතලයෝ ඔසවා විරෝධය පාන්නාහ.
මෑත ආරක්ෂක සේනාවෝ කඳුළුගෑසාධියෙන් සන්නද්ධව මෙත්පල් නිරිඳානෝ රකිනු නියා බලා සිටින්නාහ.
අහෝ මහා අරුමෙකි.

මෙත්පල් නිරිඳානෝ දුටු කල්හී පෙර බඩ බැඳි පරමාණු බෝම්බ ඇත්තියන් මෙන් සිටි කතුන් නිහඬව මහමග හිඳ තිසරපට යලි හැඳ සාධුකාර දුන්නාහ..

මෙත්පලානෝ පැමිණ..

අයුක්තිය අසාධාරණය රජ කරන ටසිරිලකක ධවල රථ මිනීමරුවන්, සොරුන් අල්ලා ගස් බැඳ ගුවන්තොට වසා , සංස්කෘතිය රකිනු නියා මඩුවලිගය අතට ගත් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මම වෙමි.. නාන් ඔරු දඩව සොල්ලාර් නූර් දඩව සොල්ල මාද්‍රී හිටං..
ඉඳි ටසිරිලක සඟිස්කෘතිය නම් යහපාලනා සමයේ පොල් ගෙඩියක් මෙන් වටිනා දෙයකි. විජේකලා මං දුප්පත් ගොවි පුත්‍රයකු මුත් හදවතින් සුරාවෙහි විරුධ්ඩ්වෙමි...
ඉදින් කතුන් සිටිය යුත්තේ කුණු මුල්ලේමයැ. ප්‍රජාතන්ත්‍රවාදය මහින්දෝත්තමයන් පරාජය කිරීමට පමණක්‍යැ. සමානාත්මතාව ව්‍යවස්ථා කරදහියේ තිබුණාම ඇත්තේය.
ඉදින් තොප යලිත් බී නම් මා කඩුව අතට ගන්නේමයැයි... පා සොලවා සිංහනාද කළාහ. ඒ පා පහ වැද ලිප්ටන් චතුරශ්‍රය වෘත්තාකාරව වටරවුමක් බවට පත්වූවාහ.

මෙබස් අසා මත්ව සිටි අඟනෝ දහසක් මහානුභාව සම්පන්න මහරහත්ඵලයට පත්ව එතැනම නිවන් ගියාහ..
අනෙක් අඟනෝ සෝවාන් වූවහ.
අනෙක් අඟනෝ සුරා බෝතල් තු තූ කර සාධු කාර දී යලිදු මත්වන්නේනම් සුරාගන්නේනම් ඒ පුරුෂයෝ පමණි. පින් කෙත හෙළ රන් දෙරණේ මනුෂ්‍යයය හිමිකම් රක්නා ඔබතුමාණන් වහන්සේ වන් බයියාණන් වහන්සේලා තව තවත් පහළ වේවායි සත්‍ය ක්‍රියා කර නික්මුණාහ..

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ස්ත්‍රී සුරා කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Wednesday, January 10, 2018

පාලිමන්ට් ජෝක්ස්


===  ===

( සොමියට වරෙන් පුතා ගීතයේ තාලයට ගායනා කරන්න )

සොමියට වරෙන් පුතා බදු ගෙවලා උඹ රටේ
බලපන් ගුටි කෙලිනවා දියවන්නා ගවහලේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා මහජනේ
කතිරය ගහපු විදිහ සිහිකර බූරුවා වගේ

මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..//
අනේ මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..

ලෝක සිරාලා එතකොට හොඳම මරා ලා
බය නැති අගමැතිලා එයි මෙහෙ සොමිය සොයාලා
කසියා බුවා සුනාමි ඛාන් බැංකු හොරාලා
ඇවිත් යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා...

නළු රන්ජා නිලි ගීතලා කාණු කටාලා
වීරවංසෙ වැඩ පෙන්නන උපවාසන්ලා
මාල හොරා කුඩු අයියලා ගෑණු කිචාලා
ලක්ෂ පනහ එක දවසට යයි සුන් කරලා...

මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..//
අනේ මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..

අතින් පයින් කර සල්ලං කඩු මන්නයකින් පිස්තෝලයකින් නැත්තං අත් බෝම්බෙකින්
කප්පන් ගන්නට බැරිනං කොමිස් පාරකින්
පවුල් පිටින් හැඳිගාවයි සුදු වෑන් එකෙන්

ඩීල් නං ඩීල් මජර වැඩට අපෙ ළඟ ඉඩ ඇත
ඔය කොයි කාගෙත් වැඩ මුන්ගේ ෆයිල් එකේ ඇත
මැතිවරණේ ලං වෙනකොට මල් වට්ටිය අත..
ගොං වස්සන්ගේ කතිරෙන් සීට් එකට එත...

සොමියට වරෙන් පුතා බදු ගෙවලා උඹ රටේ
බලපන් ගුටි කෙලිනවා දියවන්නා ගවහලේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා මහජනේ
කතිරය ගහපු විදිහ සිහිකර බූරුවා වගේ....

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Saturday, January 6, 2018

බෙඩ් සීට්

අද ගෙදර එන විට අම්මාගේ මුහුණ දැක මට හිතුනේ බැඳුම්කර කොමිසන් වාර්තාවේ තිබී ජනාධිපති තුමා විසින් මගේ නමවත් කියා ඇත්දෝ කියා ය. කෙසේ හෝ ඇගේ මූඩ් එක අප්සට් නිසා බීලා ගෙදර ආ පුතෙකු මෙන් ( මම සුරාවෙන් සූදුවෙන් තොර පෝන් එක, ඇඳිවත දේපල හිමි බොදු ගොවි දැහැමි එකම පුතු යැ. වරදවා නොසිතන්න ) සද්ද නැතුව ඉන්නා විට අම්මා පැමිණ මගෙන් ඇහුවේ දන්නවද අද වෙච්ච වැඩක් කියා ය.

මම නෑ නෙ අම්මේ කියා කිව්වෙමි.

ඈ කතාව පටන් ගත්තේ මා දෙස රවාගෙනමය..

අද ගෙදර පුරාම කුණු මාළු ගඳයි උදේ ඉඳන්.. ඉතින් මම හැමතැනම බැලුවා සතෙක්වත් මැරිලද කියල. හොයලා බලනකොට බාතෲම් එක එහාපැත්තෙ කාමරේ තිබිලා හම්බුනේ. ( ඇඟිල්ල දිගුකර පෙන්වයි ) අන්න මං එලියෙ ටැප් එකෙන් හෝදලා අව්වෙ දාලා වේලලා දැම්මා..
ආයෙ කරලා තිබ්බොත් දනී මං කරන දේ කියා ඈ ගියේ මා පොඩි කාලේ ගමේ ගෙදරක බෙල් එක ගසා දුවගොස් මාට්ටු වූ විට බනිනා ආකාරයෙනි..

කියන්න සතුටුයි ආදරණීය ඡන්ද දායක හිතෝතුනි. උන්ගේ දුවා දරුවනි..

ඒ හෝදන්න කියා වතුර බාල්දියට සෝදන කුඩු සමග දමා තිබූ මාගේ සිරියහනේ බෙඩ් සීටයයි..
එය අවුරුද්දක් එහි තිබී ඇති අතර මා එය හෝදන්න දැම්මේ ද අලුත් අවුරුද්දේ කුණු ජරාගොඩේ නොඉඳ කාමරේ අස්කරගන්නවා කියා අම්මා තර්ජනය කල නිසාය. වාර්සික බෙඩ් සීට් සෝදන දිනය දෙසැම්බර් 31 වෙනිදාය.

දැන් මට තිබෙන ප්‍රස්නය මෙයයි.

රාජගිරියේ ගුවන් පාලම මහජන මුදලින් හදා විවෘත කල පසු එය වටකර සිරිසේන උන්නැහේගේ සහ වික්‍රමසිංහ මහතැන්ගේ පොටෝ ගසා ජල්ලි අල්ලා පාලම අපේ කියා ඡන්දෙ ගැනීමට නැටීමට සූදානම් වන්නේ වඩිග පටුනද.. කොහොඹා කංකාරියද..
නෑ අපෙ හාන්දුරුවනේ පාලම හැදුවේ මහින්ද මහත්තයගෙ කාලේ කියා ඒ නැටුමට පොහොට්ටු බයියන් පැන නැටීමට හදන්නේ කිරි කොරහද තෙල්මෙද..

එතකොට ඒවා බල බලා ඒ ළඟම ඇති මැතිවරණ කොමිසම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද..

ජාතික රූපවාහිනිය සිරිසේන කලා කියාද ස්වාධීන රූපවාහිනිය රනිල් කලා කියා බෙදාගෙන එය විකාසය කරනවාද..

මම නං කියන්නේ ඔය එකෙක්ටවත් එන්නෙපා කියා මැතිවරණ කොමසාරිස් තුමා ඕක විවෘත කර මැතිවරණ සමයේ දේසපාලුවන් විසින් ජනතාව ගොනාට ඇන්දීම ගැන ජාතිය ඇමතිය යුතුය කියා ය..

ඔව් බෙඩ් සීට් එක හොඳට තියනව..
දැන් මොකක්ද කියන්නෙ ඉතින්

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ