Tuesday, June 26, 2018

මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහ තැපැල් පක්ෂි වර්ජන කතාවත්තුව

ඉදින් පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ සංගීතයෙහි සප්ත ස්වර සංකලනයෙහි ගාන්ධර්ව අජිතෝත්තම මුත්තුකෞමාරණුවාණෝ නේක නේක බසයෙහි සිය හඬ පෞරුෂය පතුරන්නාක් මෙන් ටසිරිලක උත්තර කොණ සිට දක්ෂිණයට නේක නේක ගෘහයට වාසනාවද සෞභාග්‍යාවද කැන්දමින් පාලනය කරන්නාහ.මහජනතාවෝ සිය සිය සිය ගණනින් පමු පමු පමුණුවෙහි සරමින් සරම්ද කම්බාද ලෙගින් ඩෙනිමාදිය තෝරමින් නිසැක ධාතු නැරඹුමෙහි පැමිණියාක් මෙන් සරන්නාහ. සරා සලෙලු දන සුරා පාන කලාහ..  අඟනෝ නේක නේක පාටියාදියෙහි සකල ලෝක වස්ත්‍රාභරණයෙන් සැරසී දස දිසාව බලා හිසට සිවිලිමද පයට ඩෑන්සින් ෆලෝරයද කනට ඩීජේද දමා දියෙහි බැස පැමිණ ට්‍රාන්ස්පෝමරයක් වෙලාගන්නා ලද පොළඟෙකු මෙන් නර්තනයෙහි යෙදෙන්නාහ.

මෙසේ සකල ටසිරිලක ජනී ජනතාවෝ  ප්‍රීති ප්‍රමෝදයෙන් කල්ගතකරන්නවූ සමයමෙහි දිනෙක පණිවුඩ ගෙනයන්නාවූ පක්ෂීහු එක් වරම පණිවුඩ ගෙනයාම අතැර සිය කූඩු තුලටම වී කල් ගත කරන්නට වන්නාහ. සැළලිහිනියෝද, කොමන් පරෙයියෝද, හැරීපොටර බස්සෝද, ආදී වූ නේක නේක තැපැල් පක්ෂීහු හසුන් ලිපි ගෙනයාම නවතා මල්වර වූ ලමිස්සියන් මෙන් කූඩු තුලට වී කල් ගත කරන්නට වන්නාහ. අහෝ ඛේදයකි.. ඉරකි, සඟල වරහනකි..
මෙයින් ටසිරිලක මහජනයාගේ ලිපි හුවමාරුව නොකරන්නාවූ නියාවෙන් සැණකෙලි අවසන ඉතිරි වූ කුණු කන්දක පරිද්දෙන් ලිපි පත් සිය දාස් ගණනින් හසුන්පත් මධ්‍යස්ථාන වල ගොඩගැසෙන්නට වන්නාහ.

ඉදින් ක්ලැරන්සයා නම් එක් තරුණයකු හට සිය අක්කණ්ඩිය ගමෙන් එවන ලද්දාවූ ලිපිය නොලැබී ගියාහ.. ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන්..ළමාතැනී මං උඹට ලියූ හොර ලියුම් අපරාදේ.. කියා ලිපි ප්‍රමාදය ගැන නොදත් තරුණයෝ සිය පෙම්වතියන් තමන්ට රිප්ලයි නොඑව්වයි සිතා බැණ වැදුනාහ.. මේ හේතු නිසාම පෙම්වතියෝ සිය පෙම්වතුන්ට දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි ලිපි ලියා සමනලයෙකු අතේ යවන්නට වන්නාහ. ඉදින් පෙම්වතුන් වෙත යන සමනලයෝ උන් හා හාද වී පෙම් පළහිලව් බිඳී යන්නට ද වන්නාහ.. මධුමල ලෙස මුදු ඔහුගේ ප්‍රියාදර මිහිරාවියට ලිපි ලිවීම මිල්ටන් නම් තරුණයකු අතහැර දැම්මාහ. පසුව ඔහුට මුණුබෙරෙකු ඉපදී ලියූ පද බෝජනය කරනු සිහිනෙන් දැක විවාහ නොවී සිටීමට සිතා ගත්තාහ. සතීෂ නම් පුරුෂයාණෝ කියවා හැඬුවත් මටනම් කම් නැත කියා අවසන් ලිපිය ලියුවාහ. ලිපි හුවමාරු නොවන බව දැනගත් වේරලියැද්දාණම් වූ එක් පුරුෂයෙකු කියාගන්න බැරි තරමට.. ලියාගන්න බැරි තරමට අන්ත අසරණයි මා කියා හඬා වැළපුණාහ. ආරක්ෂක කඳවුරු වල තරුණයෝ ආදරණීය අම්මාට බාල පුතාව බාර කරන්නැයි ලියාගැන්මට නොහැකිව ලතැවුණාහ. ඇතැම් ප්‍රේමවන්තයෝ ලිපි නොලැබීමෙන් සිත් තැවුලෙන් සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ.. කියා කෑගැසුවාහ. සැළලිහිණියන් පණිවිඩ නොගෙනයන්නා වූ නියාවෙන් සිය සංදේසය විභීෂණ දේවේන්ද්‍රයාණන් වහන්සේට යවාගත නොහැකිව උලකුඩය දේවියට දරුවකු ලබාදෙන්නේ කෙසේදැයි කියා කල්පනා කරමින් තොටගමුවේ සිරිරහල් හිමියෝ වැලි මලුවේ සක්මන් භාවනා කරන්නට වන්නාහ. පියුම් පක්ෂියා එනතුරා බලාසිටි තරුණියෝ ළය පැලී මියගියාහ.

ඉදින් මෙයින් තුටින් ඉපිලී ගියෝනම් බැංකුණය කරුවෝ, විභාග ලිපි ප්‍රතිපලාදිය ලැබෙනතෙක් බලා සිටිනා දරුවෝ, විවිධාකර බිල් ආදී කොටවූ ගෙවීම් හසුන් ලිපි ලැබෙන්නට නියමිතව සිටියාවූ ජනතාවෝ පමණක්මයැ. මුද්දරාදිය නැති නියාවෙන් රාජ සේවයද ඇණහිටියාහ. කුරියරයෝද සිරව ඇති නියාවෙන් ඒවා තුල දිනකින් යැවීමට නියමිතව තුබූ වම්බටු මෝජුද, ගස්ලබු අච්චාරුද, මාළු ඇඹුල්තියල්ද කුණුවී දුගඳ හමන්නට වන්නාහ.

ඉදින් මේ පවත් පුවත්පතෙන් දුටු  සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දණ්ඩෙන් පහරලත් නාගරාජයෙකු මෙන් කෝපාග්නියෙන් දැවී වහාම සිය මහාමාත්‍ය දූරන්ධර රෞනීල විකුම්සිහාණන් කැඳවූවා මේ ගැටළුව  නිරාකරණය කරන්නැයි උවදෙස් ලබා දී සිය පලතුරු වනයට මැහිතෙල් ගැහීම පිණිස සරල ග්‍රැමක්සෝං ටැංකිය පිට බැඳ නික්මුණාහ.

රෞනීල විකුම්සිහ මහාමාත්‍යයෝ නම් රංගධරයෙකු නොව මස්තිෂ්කයකි.  සෞතාශියාවේ මහා ප්‍රාඥයාය. මහා භාණ්ඩාගාරයේ ගණකාධිකාරීයැ. දසමාර සේනාවට වුවද බිය නැති මහාමාත්‍යයෝ යැ. එතුමාණන්ගේ මස්තිෂ්ක කපාල ධාරිතාව අක්කර අඩි අටලොස් අකෞෂණියකට දහතුන්දහසක් වැඩියැ.  ඉදින් එය නම් රාජාංගනය ජලාසයද වාන් දමන මට්ටමයැ. අයින්ස්ටයිණානන්ද භාවිත කලේ කපාල ධාරිතාවෙන් කොටසක් වුවද මෙතුමාණන්ගේ දැනුම් සම්භාරය අමතර හාඩ් ඩිස්ක් දෙක තුනකද ගබඩා කර තැබූයේ ඉඩ මදි නිසාය. ඉදින් එතුමාණෝ සිය මහා මස්තිස්කය ද, අපර කපාල කණ්ඩිකාවද, හයිපොතැලමසයද, කුඩා මස්තිෂ්කයද , සුෂුම්නා ශීර්ෂකයද, ශ්‍රෝණි මේඛලාවද යොදා මේ ගැටළුව පිළිබඳ සිතා වහාම ගොස් පණිවිඩ හුවමාරු බලගණයේ ප්‍රධාන වර්ජක තැපැල් පක්ෂියා වූ සැලලිහිණියා හමුවුණාහ.

රෞනීල විකුම්සිහාණන් - කිචි බිචි කිචි කිචි කිචි බිචි..

සැළලිහිණියා - කිචි බිචි. බිචි කිචි බිචි කිචි.. කිචි බිචි.. .

රෞනීල විකුම්සිහාණන් - කිචි බිචි කිචි කිචි කිචි බිචි.. කිචි බිචි කිචි.. කිච්‍යෑව්.. බිචික්‍යාවි...

සැළලිහිණියා - මට සිංහල තේරෙනව @හු&@*@**&@%%@
.. .....

බීප් බීප් බීප් බීප්.. ( මාධ්‍යට වාර්තා කිරීමට ඉඩ නොදෙන ලදී )

ඉදින් මේ සංවාදාවසානයෙහි රෞනීල විකුම්සිහාණෝ ශතකයක් වාර්තාකල ඡන්දිමාලාණන් මෙන් සැලලිහිනි කූඩුවෙන් නික්මී පිටතට පැමිණ දෑත් වනා ආචාර කරන්නට වන්නාහ..
මහජනතාවෝ සිය දහස් ගණනින් රැස්ව පොදිකමින් සිදුවූයේ කුමක්දැයි අසන්නාහ.
ඉදින් රෞනීල විකුම්සිහාණෝ සිංහරාජයෙකු මෙන් සිය හඬ අවදි කරන්නාහ.

මාගේ ටසිරිලක නැගනියනි.. මලනුවනි.. අපගේ තැපැල් පක්ෂි සංසදයේ කැඳවුම්කාරෝත්තම නායක සැලලිහිනි මළනුවන් පැවසූ පරිද්දෙන් වට්සැපා වයිබරා පේස්බුකා ට්විටරා නම් බටහිර සංක්‍රමණික පක්ෂි විෂේෂයන් අපගේ තැපැල් පක්ෂීන්ගේ ලිපි බෙදාහැරීමට අකුල් හෙලන ලද්දාහුලු.   ඒ නියාවෙන් ඔවුන්ට හාල් ඇටයකදු නොලැබෙන්නේලු. ඉදින් එය නම් බොහෝ අවැඩක්මයැ. මා මාගේ උත්තුංග දේහධාරී මස්තිෂ්කය සහ බය නැති ශුෂුම්නා ශීර්ෂකය භාවිත කර වහාම එතුමාණන්ට පොරොන්දුවක් ලබාදුන්නා සිය දිනක් ඇතුලත ඒ සියළු පණිවිඩ සොරුන් අල්ලා කූඩු කර දමා වීපීඑනාදිය ද සොයා තහනම් කර සැඟවූ කඩු මුගුරු සෙවීමට රැගෙන යන බව. ඒ අතරම එතුමාණන්ලාගේ මේ පැරණි කූඩු වෙනුවට පිලියාකුටියෙන් නව කූඩු දහසක් ඉදිකර දෙන බවටත් මා ප්‍රතිඥා දෙන්නෙමි..

ඒ අසා කූඩුවෙන් පිටතට පැමිණි දහස් ගණන් තැපැල්පක්ෂියෝ සිය මුඛයෙන් ලිපි ගෙන ගුවනට නික්මී ආචාර කර වහා පණිවිඩ හුවමාරුව පිණිස නික්මෙන්නට වන්නාහ. වර්ජන අහවරැ. නැවත ලිපි බෙදේමයැ. ඒ එක් පක්ෂියෙකුගෙ හිසට වට වර්චස් පිඩක් පිටි අත්ලෙන් පිසලමින් මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහාණෝ ටසිරිලක මහජනතාවගේ ඔල්වරසන් ප්‍රීති ගෝෂා මධ්‍යයයේ සිය මැදුර කරා නික්මුණාහ. එපුවත අකලංකාරයෙහි මෙසේ ලියා ඇත්තාහ.

ලිපි තැවුලේ තැපැල් හලේ ගොඩ....ගැවසී
නොයැවූයේ මහජනයේ හඬන..........නිසී
සැලලිහිනේ වර්ජනයේ කර...........සැලසී
රෞනීලේ ආ සැනකේ පියඹා...........ගොසී

අකලංකාරයෙහි එන මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහ තැපැල් පක්ෂි වර්ජන කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

තැපැල් වර්ජනය ගැන දැඩි තීරණයක්

ජනාධිපතිතුමා තැපැල් වර්ජකයන් හමුවීමෙන් අනතුරුව සිදුකල කතාව..

""මම තැපැල් සේවකයන් හමුවුනා.. එයාලා හිටියෙ මගෙ මූණට මූණ බලාගෙන.. ජනාධිපති ලේකම් කාර්‍යාලෙ සාකච්ඡා මේසෙ ඉඳගෙන..  එයාලයි මගෙයි අතර අඩි කිහිපයක පරතරයක් තිබ්බෙ. මම එක්ක තවදුරටත් සටන් කරනවද.. නැත්තං පරාජය බාරගන්නවද කියලා එයාලා තීරණයක් ගනිමින් හිටියෙ.

මම එයාලා එක්ක කතා කලා..  කතා කරලා තෝරා ගැනීම් දෙකක් දුන්නා. වැඩට ඇවිල්ලා ලියුම් බෙදන්න පටන් අරන් මේ සෙල්ලම නවත්තනවද.. නැත්තං ගෙදරට වෙලා ඉතිරි ජීවිතකාලෙ ගතකරනවද කියලා..

මේ වර්ජනය මගේ රට සතියකට වැඩි කාලයක් තිස්සෙ ආපස්සට ගෙනිච්චා. රටේ වැඩ ඇණහිටලා. උසාවි වල මුද්දර ගාස්තු ගෙවාගන්න විදිහක් නෑ. මිලියන ගණනක් මහජන මුදල් අපතේ යනවා. රාජ්‍ය සේවයෙ වැඩ හිරවෙලා. ළමයින්ට විභාග වල ලියුම් යවාගන්න බෑ. මහජනතාවගෙ ලියුං ලක්ෂ විස්සක් ගොඩ ගැහිලා. දැනගන්න ලියුං ලක්ෂ විස්සක්..!!

"ඔබලා කැමතිනං මේක දිගටම කරගෙන යන්න. ලියුම් බෙදන එක නතර කරගෙන ඉන්න. හැබැයි හොඳින් මතක තියාගන්න. මම මගේ රටේ මහජනතාව එක්ක එකතුවෙලා හොඳ පාඩමක් උගන්නනවා. මම මහජනතාව එක්ක අලුත් තැපෑලක් පටන් අරන් හරි ඔය හැමෝටම ගෙදර යන්න වැඩ සලස්වනවා.

එහෙම නැත්තං ඔයාලට පුළුවන් අද ඉඳලා සේවයට වාර්තා කරන්න. ඔව් ඔයාලට පුළුවන් වැඩ කරන ගමන් මම එක්ක සාකච්ඡා කරන්න. ඊට පස්සෙ අපි තීරණයක් ගමු. මුලින් විනයගරුක වෙන්න.
එයාලා තේරුම් ගත්තා තවදුරටත් මම එක්ක සටන් කරලා පලක් නෑ කියලා. එයාලා පැයකදි නැවත ලියුම් බෙදන්න තීරණය කලා.
එයාලා දැනගත්තා එයාලා නැතුව මට තැපෑල කරගෙන යන්න පුළුවන් කියලා. මම තැපෑල අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරලා හරි නැවත රටේ වැඩ යතාතත්වෙට ගේනව කියලා එයාලා දැනගත්තා. මගේ හැකියාව ගැන එයාලට තේරුනා. මෙ රට පාලනය කරන ඕනම නායකයෙක්ට ඒ හැකියාව තියෙන්න ඕනෙ. ඒ හයිය තියෙන්න ඔනෙ. බැරිනං දාලා යන්න ඕනෙ." මේ රට හදන්න මගේ ජීවිතයම කැප කලා. මේක එහෙම එක වර්ජනේකින් වැටෙන්න දෙන්න බෑ.. මේ අපේ ජීවිතය. මේක අපේ රට.."

නෑ නෑ නෑ අයියෝ.. මෙහෙ කරපු කතාවක් නෙමෙයි ඔය.  ඕකෙ තැපැල් වර්ජනය වෙනුවට ගුවන් නියමු වර්ජනය දාලා ආයෙ කියවන්න. "මම" කියන්නෙ සිංගප්පූරුවෙ හිටපු අගමැති ලී ක්වාන් යූ මහත්තයට.
එයා සිංගප්පූර් එයාර්ලයින්ස් එකේ ගුවන් නියමු වර්ජනේ වෙලාවෙ කරපු සුප්‍රසිද්ධ කතාව ඔය. මේ ලින්ක් එකෙන් කතාව අහන්න පුළුවන්.
https://youtu.be/ytMXSLeqFMY

-----

හෝ හෝව් හෝව්.
ඕකුන්ව මරලා හරි වර්ජනේ නවත්තන්න ඕනෙ කියලා හිතුනද. නෑ මේ එහෙම එකක් නෙමෙයි කියන්නෙ. නියම නායකයා කියන්නෙ මරලා ගහලා බීසනේ පතුරලා අතුරුදන් කරලා රටේ වැඩ කරන කෙනාට නෙමෙයි. එයාලට කියන්නෙ ත්‍රස්තවාදියො කියලා. ඒක කෙලින් වැඩ කිරීම නෙමෙයි. ඒක බලුකම. ඒක හින්දා දෙක පටලගන්න එපා. නායකයා කියන්නෙ ත්‍රස්තවාදියට නෙමෙයි.. මේ ආණ්ඩුවට කොන්ද පණ නෑ. වැඩ කරගන්න බෑ. ඔව් අනිවා මුං ෆේල්. ඒකෙන් කියවෙන්නෙ නෑ ත්‍රස්තවාදියො ඕනෙ කියලා. පටලගන්නෙපා.

අහ් අපේ ජනාධිපතිතුමාගෙ පොටෝ එකද.. ඒකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ. එතුමා සිරියාවන්ත හින්දා දැම්මෙ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Friday, June 22, 2018

අයියනායක පද්‍ය පන්තිය

විමලරත්න කුමාරගමයන් ගැන ashan weerasinghe එක්ක ටික දවසකට කලින් කෙරුණ සංවාදෙකට පස්සෙ හිතුන දේවල් ටිකක් ලියන්න හිතුනා..

අයියනායක පද්‍ය පන්තිය කියන්නෙ එතුමගෙ කවි වලින් මම ඉතාමත් ප්‍රිය කරන කවි පන්තියක්. මේ කවි පන්තිය ඇතුලෙ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් විමලරත්න කුමාරගමයන් තමන්ගෙ පෑන මෙහෙයවන විදිහ වගේම ඒ ඇතුලෙ රාජ්‍යට කරන අභියෝගයට මම මාර ලව්..

බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

නිතරම ඔබ පුදන මේ අය හැඳින  ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින  තැන
මීමුන් මදින් මත්වී අං මදින  තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද  දැන
මේ අය රකිනු මැන යන එන සියලු  තැන

මේ අයියනායක දෙවියන්ට ගමේ මිනිස්සුන්ව බාර කරලා විමලරත්න කුමාරගම මහත්තයා කරන්නෙ රාජ්‍යයට වගේම පවතින සිස්ටම් එකට අබියෝග කිරීමක් කියලා මට හිතෙන්නෙ.

එතුමා රාජ්‍ය නිලධාරියෙක්. රාජ්‍යයේ වගකීම තමයි තමන්ගෙ පුරවැසියන්ව ආරක්ෂා කිරීම., නමුත් වන්නියෙ මේ මිනිස්සුන්ට ඒ ආරක්ෂාව විතරක් නෙමෙයි , මූලික අවශ්‍යතා වෙච්ච ජලය ,ආහාර පවා සපුරන්න රාජ්‍යය අසමත් වෙනවා. වසංගත වලින් මිනිස්සු මැරෙන එකට රාජ්‍යට උත්තර නෑ. අදටත් ලංකාවෙ ඈත ගම්මාන කොච්චරක් තියනවද අන්ත දුශ්කර.රාජ්‍යය තමන්ගෙ පුරවැසියො සුරක්ෂිත කරන්න අසමත්වීම කුමාරගම කවියෙන් උපහාසයට ලක් කරලා ඒ මිනිස්සුන්ව රකින්න නොපෙනෙන බලවේගයක් වෙච්ච දෙවියන්ට බාර කරනවා. රාජ්‍යයයේ හැකියාව අභියෝගයට ලක් කරනවා.. දෙවියන්ට බාර කරන්නෙ රාජ්‍යට බැරි හින්දා. එතුමා නිලධාරියෙක් විදිහට වගකියන්නෙ රාජ්‍යයට. නමුත් එතුමා තමන්ගෙ කවි ඇතුලෙ ගම්වැසියන්ව අයියනායක දෙයියන්ට බාර කරලා රාජ්‍යයේ නොහැකියාව පෙන්නනනවා.

ඒ වගේම අනිත් අයට කියනවා..

සාගත වසංගත හා එන නියං වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

කියලා.

සරලවම මේකෙන් කියන්නෙ උඹලා ඒ මිනිස්සු වෙනුවෙන් කරපු මගුලක් නෑ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවත් සපුරලා නෑ. එහෙම තත්වෙක ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ අහිංසක ඇදහිල්ලක් ගැන හොයන්න කලින් උඹලා උඹලගෙන් වෙන්න ඕන දේ ගැන හොයලා හිටපන් කියලා.  හැබැයි අමතක කරන්න එපා ඒකෙ කියලා නෑ නුවණ මලින් සැරසීම කල යුතු නෑ කියලා. හැබැයි මේ ගම්වාසීන්ට එසේ කරන්න එන අය ඒ මිනිස්සු ඉන්න තත්වෙ ගැන හිතලද එහෙම කරන්නෙ කියලයි අහන්නෙ.

ආගම් ඇදහිලි විශ්වාස ගැන කරන සංවාද වලදි බොහෝ දෙනෙක් උපුටා ගන්න හෝ අනිත් අයට කියන කවියක් තමයි විමලරත්න කුමාරගම මහත්තයගෙ

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකලමි එය ගැරහීම

ඔය කවිය.

ඕකෙත් අන්තිම පද දෙක.

ඇත්තටම කුමාරගම මහත්තයා කියලා තියෙන්නෙ මොකක්ද..

මේ වන්නිය. එතුමා ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි විදිහට එහෙ වැඩකරන කාලෙ අදටත් දුශ්කර ඒ පැති ඒ කාලෙ කොච්චර දුශ්කරද කියලා හිතාගන්න පුලුවන්. මිනිස්සු ජීවත් උනේ ගොවිතැනෙන්. ඒකත් හරියට වතුර තිබිලා නෙමෙයිනෙ.

"සාගත වසංගත හා එන නියං වලින්.."

ඔය අයියනායක කවි පන්තියෙ එක පදයක්. එතකොට ඒ වගේ හරියට කෑමවත් නැතුව, නිතරම මැලේරියාව වගේ වසංගත වලට ගොදුරු වෙවී, නියඟ වලින් පීඩා විඳිමින් වතුරවත් නැතුව වේලිච්ච කර්කශ පොලොව එක්ක ඔට්ටුවෙමින් ජීවිත ගතකලේ.
ඔය හරහා ගොඩනැගෙන සමාජ ආර්ථීක මානසික ගැටළු කොච්චරක් ද. හරියට අධ්‍යාපනයක් නැහැ. සමාජ දැනුවත්භාවයක් නැහැ.  ලෝකෙට විවෘත නැති හින්දා ඒ මිනිස්සුන්ගෙ දුක අහන්නවත් එයාලට දුක කියන්නවත් කවුරුත් නැ. තමන්ගෙ ලෙඩකට බෙහෙත් ගන්න හරිහමන් වෛද්‍ය පහසුකම් නැති හින්දනෙ සංහිඳ ළඟට එන්නෙ. ඉතින් ඒ නොදැනුවත්වකම අසරණකම හින්දා නිරායාසයෙන්ම ඒ මිනිස්සු පෙළඹෙනවා නොපෙනෙන බලවේගයක් හරහා තමන්ගෙ පීඩනය පිටකරගන්න සහ ගැටළු වලට උත්තර හොයන්න. සහනයක් ලබා ගන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අයියනායක දෙවියන්ගෙ පිහිට ආරක්සාව ඉල්ලන්නෙ.
ඒක අතිශයින්ම සාධාරණ තත්වයක්. 
එතකොට එහෙම තත්වෙක ඉන්න අහිංසක මිනිස්සුන්ට ගරහන්න එපා කියලයි විමලරත්න කුමාරගම මහත්තයා කියන්නෙ.

නැතුව ලෝකෙ මෙච්චර දියුණු කාලෙ අධ්‍යාපනය දැනුම ලබන්න ඕනතරන් අවස්ථා තියන කාලෙ දෙයියො ලෝකෙ මැව්වය, දෙයියො බූතයො ලෙඩ හොඳ කරනවය, විබාග පාස් කරනවය,දරුපල දෙනවය, පාංගෙඩි වලින් අපල නැතිවෙනවය, හක්ගෙඩි වළලලා සල්ලි හම්බෙනවය, අරකයි මේකයි කියල හිතාගෙන ඉන්න උන්ගෙන් ඒ ඇදහිලි විස්වාස ගැන ප්‍රස්ණ කරන්නෙපා කියලා නෙමෙයි.
ඒ ලොජික් එක දැම්මනං බුදුහාමුදුරුවො බ්‍රාහ්මණ මැවුම්වාදය ප්‍රස්න කරනකොට බ්‍රාහ්මණයන්ගෙන් අහන්නෑනෙ මහාබ්‍රහ්මයා කටින් බ්‍රාහ්මණයො මැව්වනං මහාබ්‍රහ්මයාගේ කටෙත් යෝනියක් තිබ්බද කියලා.. අනේ මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම කියලා සද්ද නැතුව ඉන්න තිබ්බනෙ.
ඒක හින්දා තමන්ට මොකකට හරි උත්තර දෙන්න බැරි උනාම තමන්ගෙ මතවාදයක් අභියෝගයට ලක්වෙනකොට කුමාරගම මහත්තයගෙ කතාව කියලා මාරුවෙන එක දැන් වලංගු නෑ.

ඒ වගේම එතුමා කියනවා

මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

කියලා. දැනුම බුද්ධිය තියනවා කියලා සම්මත තැන් වලදි ලෝකයෙ සුවය නැතිවෙලා තියන වෙලාවකදි ඒ අහිංසක මිනිස්සු කාටවත් කරදරයක් නැතුව කරන දේ ගරහන්නෙ මොකටද කියලා.

( දැන් වරදවා වටහාගන්න එපා දැන් දියුණු හින්දා ඇදහිලි ප්‍රතික්ෂේප කරන්න කිව්වා කියලා. අනේ නෑ අදහන්න. හැබැයි අර ලොජික් එක දාලා ඒවා ප්‍රශ්ණ කිරීමෙන් වියුක්තයි කියන්න එපා. )

සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

සාගත වසංගත හා එන නියඟ   වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ   මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ  මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු  වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

#අකලංකාරය
  - චමල අකලංක පොල්වත්තගේ

Thursday, June 21, 2018

හිට්ලර් සරණං ගච්ඡාමී

== ඔබෙ රාගී මන කැළඹේදෝ ගීතයේ තාලයට ගායනා කරන්න ==

ඔබෙ රාගී මන කැළඹේදෝ
මිලිටරි හීනය ඇහැරේදෝ....
එමවිට පවසනු මුවින් ඔබේ
හිට්ලර් සරණං ගච්ඡාමී....//

හිට්ලර් සරණං ගච්ඡාමී....
මිලිටරි සරණං ගච්ඡාමී...
අස්ගිරි සරණං ගච්ඡාමී....

ගෞතම සාසන දූෂිත වී
කඳපණුවන් යළි පෝෂිත වී
නිර්මල බුදුබණ නෑසේදෝ
අයිසිස් වැදිබණ ඇසුනාදෝ
ඝෝර විසැති නයි පොළඟුන් මෙන්
ඝාතන භීෂණ සිහිවේනම්
එම විට පවසනු මුවින් ඔබේ...
හිට්ලර් සරණං ගච්ඡාමී....//

හිට්ලර් සරණං ගච්ඡාමී....
මිලිටරි සරණං ගච්ඡාමී...
අස්ගිරි සරණං ගච්ඡාමී...

විනිසුරුවෝ හැංගී යාදෝ
සත්‍යයය ලෝකේ වැනසී යාදෝ..
සැම සත මෙත් වැඩි දම අතරේ
"දර්මේ ඩෝ" හඬ ඇසුනාදෝ
හොරු මිනිමරු මැද මාරුතයේ
ජීඩීපී තව නැගුනාදෝ...
එමවිට පවසනු මුවින් ඔබේ...
හිට්ලර් සරණං ගච්ඡාමී.....//

හිට්ලර් සරණං ගච්ඡාමී....
මිලිටරි සරණං ගච්ඡාමී...
අස්ගිරි සරණං ගච්ඡාමී...

රෝයල් ෆැමිලීස් යලි රජ වී
යහපාලන වී අන්තර්දාන්...
මෝහෙන් මත් වීලා මිනිසා..
මිලිටරි හිට්ලර් ඉල්ලන්නා....
පෑන කඩා බිඳ වලලාදෝ
සුදු වෑන් හීනෙන් පෙනුනාදෝ..
එමවිට පවසනු මුවින් ඔබේ...
හිට්ලර් සරණං ගච්ඡාමී...//

හිට්ලර් සරණං ගච්ඡාමී....
මිලිටරි සරණං ගච්ඡාමී...
අස්ගිරි සරණං ගච්ඡාමී...

විරෝධතා යලි යා ද නැසී...
මිලිටරි ජුන්ටා ඒ ද නැගී...
කොතලාවල යලි ඇතිවෙද්දී
අන්තරේ අසිපත පාවිදෝ....
උද්ගෝෂණ කම්පා වේදෝ
ඩොක්ටර් වර්ජන කෙරුවාදෝ..
එමවිට පවසනු මුවින් ඔබේ...
හිට්ලර් සරණං ගච්ඡාමී...//

හිට්ලර් සරණං ගච්ඡාමී....
මිලිටරි සරණං ගච්ඡාමී...
අස්ගිරි සරණං ගච්ඡාමී...

මහින්දාගමේ සෙවනැල්ලේ
වැලිකඩ වැඩමූ සඟරජුගේ
වඳ සටනින් අපරාජිත වූ
පරයන් කැතිගා ක්ලේස නැසේ....
ගලබොඩඅත්තේ නාහිමිගේ දර්මේ දසතම පැතිරේවා.. ( ඩෝ )
සැම දන තුඩ තුඩ රැව් දේවා..
හිට්ලර් සරණං ගච්ඡාමී...///

#අකලංකාරය .
  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, June 19, 2018

රටගිය හිමි

ඔන්න අපෙ හාන්දුරු කෙනෙක් සුවිට්සරලන්තෙට වැඩියලු ධර්ම දේසනාවකට. දැන් ඉතින් ධර්ම දේසනාව කරලා රටතොට විස්තර බලන්න ඇවිදිනවලු. ඔන්න ඔහොම යනකොට... සොරි වඩිනකොට ධර්ම දේසනාව තිබ්බ තැනින් හම්බුන දැහැත් වළඳන්න හිතිලා විටක් හදලා හප හප වඩිනවලු..

දැන් ඔහොම වඩිනකොට පාර අයිනකට බුලත් කෙල වැඩැම්මුවලු.

ඕක දැකපු පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා හාමුදුරුවන්ව අල්ලගත්තලු පාර අපිරිසිදු කලා කියලා. ඉතින් දඩ ගෙවන්න කිව්වම හාමුදුරුවෝ රාලහාමිට බැන්නලු දඩ ගෙවන්න බැරිය.අපි හැමදාම පාරෙ කෙල ගහනවය ඒකයි මේකයි කියලා. ඉතින් රාලහාමි කරපු වැඩේ රාජකාරියට බාධා කිරීම, අපහස කිරීම වගේ වැරදි වලට හාමුදුරුවන්ව උසාවි දැම්මලු.
දැන් උසාවියෙදි හාමුදුරුවන්ට දඩ ගෙවන්න නියම කරලා මාස දෙකකට හිරේ දැම්මලු.

ඒ වෙලාවෙ මොකද උනේ දන්නවද..

අපේ හාමුදුරුවෝ සිංහයෙක් වගේ පපුවට ගහගෙන විත්තිකූඩුවෙ හිටං නඩුකාරයාට කිව්වලු.

මේ නඩුකාර මහත්තයෝ.. අපි මේ දරාගෙන ඉන්නෙ බුද්ධ චීවරේ.. ඔය එක එක පර සුදු හු@%@* පුතාලා හදපු නීති අපිට වැඩක් නෑ.. බුද්ධ චීවරේ දරාගෙන ඉන්න අපිට දඬුවම් කරන්න පුළුවන් සංඝාධිකරණෙකින් මහානායක හාමුදුරුවෝ කෙනෙක්ට විතරයි. නිකන් සිවුරට අත තියලා පව් පුරෝගන්නැතුව ඉන්නවා.. උඹලගෙ ජිනීවා වලින් තමයි ngo වලට උදව් කරන්නෙ. ඒක හින්දා අපිට ඔය මගුල් නීති වැඩක් නෑ.. මං යනවා යන්න..

කියලා විත්තිකූඩුවෙන් බැස්සලු..

උසාවියෙ මිනිස්සු තුෂ්ණිම්භූතවෙලා බලාගෙන ඉන්නවලු.. නඩුකාරයා මිටියෙන් මේසෙට ගහලා උසාවිය නිශ්ශබ්ද කරලා භාසා පරිවර්තකගෙන් ඇහුවලු මොකෝ ඒ මනුස්සයා කිව්වෙ කියලා.

ඉතින් පරිවර්තකයා කියපු ටික ඔක්කොම නඩුකාරයට කිව්වලු.

ඒක අහපු නඩුකාරයා ඒ වෙලාවෙම දුන්න තීන්දුව එක පෑන් පාරෙන් ඉරක් ගහලා කැපුවලු..

කපලා..

යුෂ්මතාට මේ අධිකරණයෙන් ලබා දුන් සියලු දඬුවම් වලින් නිදහස් කරනවා.. ඒ සම්බන්ධයෙන් අධිකරණය යුශ්මතාගෙන් සමාව ඉල්ලනවා.

සමාව ඉල්ලලා මොකද දන්නවද කලේ..

වහාම ස්විට්සර්ලන්ත රජයේ වියදමෙන්  මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න කියලා පොලීසියට නියෝග කලාලු..

.
තෙරුවන් සරණයි

#නීතියසිවුරටයටයි #ධර්මේඩෝ #යනවදනිවන්නැත්තංයවන්නද #සගරජු #නීතියාදාලමනෑ #අරුන්එලියෙනිසාඅපිවත්ගන්නබෑඩෝ

Monday, June 18, 2018

පුට්බෝල්

එක බෝලෙකට ඔක්කොම මරාගන්නෙ ඇයි වගේ ගොංකතා නොකිව්වට සිංහලේ හාන්දුරු කෙනෙක් බුද්ධාගම ගැන දන්න තරංවත් පුට්බෝල් ගැන දන්නේ නැත... ඔය අනිත් උන් බෙදාහරින ඒවට හාට් දාන්නෙ දැනගෙන නෙමෙයි. මැච් බලනවා. අර දැල් දැල් කොටුව ඇතුලට ගියාම ලකුණක් හම්බෙනවා කියලා දන්නවා. බෝලෙ එලියට ගියාම හයක්ද හතරක්ද කියල හරියටම දන්නෙ නෑ. රතු කාඩ් එකක් පෙන්නුවම එලියට යන්න ඕනෙ කියලා දන්නවා. රොනාල්ඩෝ ක්‍රිස්තියානි කියලා දන්නව. අනේ උන්ටත් මල සමයං. මොකෝ ක්‍රිස්තියානි කියලා පපුවෙ ගහන්න ඕනෙද. ඔය අපේ සංගක්කාරලා බෞද්ධ සංගා කියලා ගහගෙන යනවෑ.. එතකොට ලෝක සූර ජර්මනිය මෙක්සිකෝවට පැරදුනාට ලංකාව තාම මෙක්සිකෝවෙන් මැච් එකක් පැරදිලා නෑ කියලා දන්නව. ඒ කියන්නෙ අපි ඉන්නෙ ජර්මනියට උඩින්.

ජර්මනියට රුසියාවෙ පොළොව අපලයි  එදා ඉඳන්ම, ඉතින් මොකක් කරන්නද. ගංගා මෑණියන්ට කියල හරි අනුරාධපුරේ ඥානා මෑණියන්ට කියල හරි ගුරුකමක් කරගත්තා නං හරි. කොහෙද මේ දවස් වල අපෙ මහසංගරත්නය වැලිකඩ වැඩම්මනවා,. අටපිරිකරට තුන්සිවුරයි අඳනකඩෙයි එක්ක ජම්පරෙත් දාලා නම පිරිකරක් හදන්න යනවලු යහපාලනෙන්., ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා මහසඟරුවන පිණ්ඩපාතෙ වඩිනවා දුකේ බෑ.. මරණෙට කැපවෙච්ච හරකෙක් උනත් ඔයිට කලින් නිදහස් කරලා. කිරිවෙහෙර හාන්දුරුවන්ට වෙඩි තියලා. කතරගම දෙයියො වැස්සවලාහක දෙයියන්ට විමානෙ බාර දීලා මේ දවස් වල වැහි සීසන් එක හින්දා දිව්‍ය ලෝකෙ වැඩම්මලා ඉන්නෙ. නැත්තං ඔහොම නස්පැත්තියක් වෙන්න දෙනවද. ඉතින් ජර්මනියට දිනන්න කියලා දෙයියන්ට බාරයක් වෙලත් තේරුමක් නෑ. පුට්බෝල් පෑන්ස්ලා දිගට හරහට පඬුරු ගැටගහන්න යන්නෙපා. වැස්සවලාහක දෙයියො රුසියාවට වස්සන්න ගත්තොත් එහෙම පුට්බෝල් පැත්තකින් තියලා ජලක්ක්‍රීඩා කරන්න වෙන්නෙ.

ලංකාව එදා ඉඳන්ම තමන්ගෙ රටේ සම්පත් වලට අත දුන්නෙ නැති රටක්. ප්‍රින්සිපල් දණගස්සපු චාමර සම්පත්, වගේ සම්පතෙක්ට අත දුන්නොත් මිසක් වෙන ජාතික සම්පත් වලට අත දෙන්න එක කැස්බෑවෙක් නෑ. ඉරිසියාකාරයො. රනිල් ලොක්කගෙ මස්තිෂ්කය යූස් කරලා ලංකාවෙ නංගිලා මල්ලිලගෙ පුට්බෝල් නංවන්න වැඩසටහනක් හදන්න බැරිද දන්නෑ. කුලියාපිටියේ ඉඩනුත් ලාබයි.

පුට්බෝල් වර්ල්ඩ්කප් එකට අපිට යන්න බැරිඋනා කියලා නහයෙන් අඬ අඬ එක එකා සෙල්ලං කරනවා බලන් ඉන්න ඕනෙ නෑ අපේ කොල්ලන්ට අත දුන්නනං. මොකෝ ලංකාවෙ උන්ට බෝල වලට පයින් ගහන්න බැරුව නෙමෙයිනෙ.
අපරාදෙ කියන්න බෑ ඉතින් ලයනල් මෙසී, ඩැනී අල්විස්, ලුවිස් සුවාරිස්, තියාගෝ සිල්වලා වගේ ලංකාවෙ කොල්ලො ටික සෙල්ලං කරනවා හෝ සෙල්ලං කරපු හින්දා උන් වෙන රටක උනත් අපේම උන් නේද කියන හැඟීමෙන් මැච් බලන්න පුළුවන්. අපේ උන්ට උන්ව අගයක් නැති උනාට ඒ රටවල් වල මිනිස්සු උන්ගෙන් කොච්චර වැඩ ගන්නවද කියලා බැලුවම දුකේ බෑ.
අනේ ඉතින් එක අතකට බලනකොට ඕවත් තේරුමක් නෑ. ඔය සැනකෙලි තියලා ගෑණු ළමයි පපුව පෙන්නගෙන කොටට ඇඳගෙන කරන විගඩම් හින්දා කොච්චර හානියක් වෙනවද අපේ සංස්කෘතියට සභ්‍යත්වයට. ඒක හින්දා ඔය මගුල් සෙල්ලම මෙහෙ නොකරන එකමයි හොඳ. සිරිසේන මහත්තයා දැක්කනං පුට්බෝලුත් තහනං කරලා එල්ලෙ ගහපන් හිටං කියයි. එල්ලෙ හිටං ගහන්නැතුව ඉඳන් ගහන්නද. ඔන්න කැරම්නං ඉඳං ගහතෑකි. අනික ඔය වියදන් කරන සල්ලි වලින් ලංකාවෙ අහිංසක දුප්පත් ප්‍රාදේසීය සබා මන්ත්‍රීවරු කී දෙනෙක්ට වතුර මෝටර් අරන් දෙන්න තිබ්බද. ළමා නිවාස දාන්න සල්ලි දෙන්න තිබ්බද. හෙන ගහන්න ඕනෙ යහපාලනේට.  මහින්ද මහත්තයා හිටියනං රගර් වගේ පුට්බෝලුත් නග්ගලා ගන්නව නාමල් අයියව කැප්ටන් කරලා හරි. දැන් ක්‍රිකට් වලට වගේ පාරෙ බාබකිව් වෙන්න දෙන්නෑ..


  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, June 12, 2018

යසෝදරා බැලීමි.

ඒක චිත්‍රපටයක් බැලුවට වඩා තොරණක් බැලුවා වගේය. පටන් ගනිද්දී චිත්‍රපටයට පාදක කරගත් පොත් අටෝරාසියක නම් දැම්මාට චිත්‍රපටයේ තිබ්බේ සිදුහත් කුමාරෝත්පත්තියේ සිට බුද්ධත්වය හා යසෝදරාවගේ මරණය දක්වා අපි දන්නා කියන ප්‍රසිද්ද සිද්ධි ටික රඟපාලා ය. ඒ ඒ කොටස ඒ එ සීන් එකෙන් දක්වා ඇත . මං පොඩි කාලේ හතර වසරේ ඉන්නාවිට බුද්ධ චරිතයේ ඇනිමේෂන් කතාවක් බලා ඇති අතර අද ඒක මතක් විය. චිත්‍රපටයක් කියනවාට වඩා වාර්තාමය වැඩසටනක් කීම සුදුසුය.

"මහමායාට අසාධ්‍යයි." කියා ප්‍රජාපතී දේවිය සුද්ධෝදන රජු ළඟට  දුවගෙන එන්නේ "අම්මේ වහිනෝ රෙදි වැලේ "  කියන්නා වාගේය.  සුද්ධෝදන රජුගේ මාලිගාව හදා ඇත්තේ වෙන්දේසි ඉඩමකය. පර්චස් විස්සක් වත් නැතුව ඇතිය. මාලිගාව පුරා සූ ගාලා පහක් හයක් එහෙ මෙහෙ යයි. එහෙම නිස්කලංක මාලිගාවක් දමා සිද්ධාර්ථ ඇත්තටම කැලේට ගියේ මොකටද කියා හිතුනි. එක්කෝ ඒකෙ ඉන්න උන් ෂූටිං වලට බයේ හැංගිලා ය.

සිදුහත් කුමාරයයි දේවදත්තයි සිල්ප දක්වනවාට වඩා හොඳට ඉස්කෝලෙ ඉන්ටවල් එකට පොඩි උන් ගහගන්නවාය. අහසට පිඹිනා එරං කලේයා පොලොවට පිඹිනා බූමි කලේයා කියා කලගෙඩි නැටුමක් හෝ ලී කෙලි නැටුමක් නැටුවානං ඊට වැඩිය හොඳය.  ආ මේං ඔයාට කඩු පාරක්.. පලිහ අල්ලන්න ඕනෙ හොඳේ කියා  පහර දෙයි.
ඇරත් ඒ සිල්ප දැක්වීමට බලන්නට හිටියාට වැඩිය සෙනගක් පෙරටුගාමී පක්සෙ මීටිමකටත් එනවාය. සාක්‍ය කෝලිය නුවරවල් වල රාජ කුමාරවරුන්ගේ සිල්ප දැක්වීම බැලීමට ඇවිල්ලා හිටිය ඔක්කොම උන්ව කුබෝටා එකක දැමිය හැක. උන් දෙන්නා තනියම ගහගත්තානං ඊට වඩා නම්බුය.චිත්‍රපටය පුරාම ඔය අඩුපාඩුව එහෙම්මම තිබූ අතර දර්ශන තල වල පටු බව හොඳින්ම දැනුනි. 

මම හිතනා විදිහට මේ චිත්‍රපටයේ ක්ලයිමැක්ස් එක යශෝදරා බුදුන්ගේ පාද අල්ලා අඬන අවස්ථාවය.. අවුරුදු හයක් නුදුටු ඇය කියන පරිදිම විශ්වයේ ඇය ආදරය කරන එකම වස්තුව වූ සිද්ධාර්ථ දකින පළමු මොහොතේදී සැබෑ යශෝදරා දේවිය තම ස්වාමියා වූ බුදුන්ගේ පාද අල්ලා ඇඬූ ආකාරය ඉතාමත් නාට්‍යානුසාරීව සිදුකල හැකිව තිබුණි. නමුත් එයට වෙන් කර තිබුනේ විනාඩියකටත් අඩු කාලයකි. ඒ සිදුවීම නිධානය චිත්‍රපටයේ අවසානයේ ගාමිනී මාලනී නිධානය ගන්නා අවස්ථාව මෙන් ඓතිහාසික එකක් කිරීමට තිබුණත් යසෝදරාගේ හෙයාර් ස්ටයිල් එක මේකප් එක ලිප්ස්ටික් සියල්ල කිසි වෙනසක් නොවී එසේම තබාගෙන කඳුළු බිංදු තුන හතරක් හලා ප්ලාස්ටික් කකුල් දෙකක් බදාගෙන ඉකි බිඳ විහිලුවක් කලේය. ස්වප්නා වගේය. යසෝදරාට කුඩා කාලයේ ලබා දුන් එන්නත් සලකුණක්ද ඇගේ අතක දැක්කා මතකය.

ඒ වගේම චිත්‍රපටයට යසෝදරා කියා නම දමා සිදුකර ඇත්තේ යසෝදරා දේවියව විකිණීමය. මොකද චිත්‍රපටය පුරා තිබුනේ සාමාන්‍යයෙන් අපි දන්නා බුද්ධ චරිතය කතාව මිස වෙන එකක් නෙමේය. යශෝදරාවගේ චරිතය ඉලිප්පීමට සැබෑ උවමනාවක් තිබ්බානං සිද්ධාර්ථ ගිහිගෙය හැර ගිය හය අවුරුද්දේ යශෝදරාව ජීවිතය  ගෙවුන ආකාරය චිත්‍රපටයට ඇතුළු කරන්නට තිබ්බාය.

ඇරත් අවසානයේ පිරිනිවන් පාන්නේ තරුණ යශෝදරාමය. ඇයගේ වයසේ හෝ රූපයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. හිටියාටත් වැඩිය ලස්සනය.
නමුත් මම දන්නා බුදුදහමට අනුව බුදුන්ද අවසාන කාලයේ ආනන්ද තෙරුන්ට කියන්නේ ආනන්ද මට වෙහෙසයි මහළුයි කියාය. සියළු සංස්කාර ධර්මයෝ නැසෙනවා කියාය. නමුත් යශෝදරාට එය අදාල නොවී ඇත.
තුමිඳු දොඩංතැන්න ඉන්නේ කවිකාරයෙක්ටය. කවිකාරයා චිත්‍රපටය පුරා කවි කියයි. වෙන දේවල් පවසයි. වෙලාවකට හිතෙනවා ඒකත් ජෙහා... එක්කො ඕන්නෑ..

අන්තිමට හිතුනේ "උප්පලවණ්ණා" හදපු සුනිල් ආරියරත්නමද මේක හැදුවේ කියාය.
.
  -චමල් අකලංක පොල්වත්තගේ