Thursday, August 4, 2016

හස්ති ආල තෙරුන්ගේ කතා වස්තුව


එක් සමයක කෝලම්තොටේ ඕන්බබෝඇතිනියාරාමයේ බොහෝ තෙද බල ඇති විචිත්‍ර ධර්ම කතික තෙරණුවෝ කෙනෙක් වාසය කළාහුය.. පූර්වයෙන් ගෙනා කුශල කර්මයන්ගේ ආනුභාවයෙන් ලද නෙක ශ්‍රීන් විරාජමාන වූ මහා මන්දිරයක් බඳු විහාරයේ උන්වහන්සේ  විසූ සේක.. ප්‍රාඩෝ ද මොන්ටේරෝ ද අතට පයට දැසි දස්සෝද ලද්දාහුය.. පූර්ව කුශලයේ ආනුභාවය කොතෙක්දැයි කිවහොත් රාජ සභාවට වැඩම කිරීමට ද භාග්‍යවන්තයෝ ම විය.....
පූර්වයෙන් ගෙනා කුශලයේ ආනුභාවය උන් වහන්සේ ගේ දිවිය පුරා සෙවනැල්ලක් මෙන්ම පැමිණියේ ය...
එක් උදෑසනක මනු ලොව දෙස බලා වදාරන ශක්‍ර දේවේන්ද්‍රයා යාල මහ වනයේ මව් මගහැරී සොවින් තැවෙන සුදු ඇත් පැටවෙක් දුටුවාහ..
මේ තේජවන්ත ඇත් පැටවාට පිහිට වන්නේ කෙසේදැයි විමසන ශ්‍රක්‍ර දේවේන්ද්‍රයෝ සිය දිවැසින් අප කතා නායක මහ තෙරුන් දුට්ඨාහ...
උන් වහන්සේගේ මෛත්‍ර්‍රී කරුණා බර හදවත විමසූ ශ්‍රක්‍ර දේවේන්ද්‍රයා ගේ රුධිර සීනී මට්ටම බල්ලෙකු දුටු පූසෙකු මෙන් වහා පහළ ගියේය....
මේ ඇත් පැටවාගේ අනාගතය මේ උතුම් තෙරුන්ටම දෙමියි යැයි ඉටා ගත් ශ්‍රක්‍රයා පසුදා විහාරයේ තිබූ පෙරහැරේ ඇත්ගොව්වෙකුගේ මුඛයට අධිගෘහිත ව ඇත් පැටවා කමිසයේ උඩු සාක්කුවේ දමාගෙන කසකරුවන්ට පිටුපසින් ප්‍රාදුර්භූත විය...
මෙසේ සීරුවෙන් මහ පෙරහැරේ ගමන් කරන ශ්‍රක්‍රයෝ පෙරහැර අවසානයේ සිය  ඉන්විසිබල් ඥාණය මෙහෙයවා කමිස සාක්කුවෙන් ඇත් පැටවා ගෙන සීරුවෙන් විහාරයේ බෝ මුලක් අතර සඟවා තව්තිසාවට අන්තර්ධාන වූවාහ....

.
පෙරහැර අවසානයේ ඇබිත්තයාගේ ඝෝශාව විමසූ අප මහා තෙරුන්ට පාවහන් පෙට්ටියක දැමූ පූස් පැටවෙක් මෙන් බෝමුල අතර බියෙන් සැඟවී සිටින ඇත් පැටවා දර්ශනය වන්නාහ..
ලිප අසල තැබූ අයිස් කැටයක් මෙන් වහා කම්පා වූ උන් වහන්සේ මැණිකක් රකිනා නා රජිඳෙකු මෙන් ඇත් පැටවා දෑතට ගෙන මව් සෙනෙහෙන් තුරුලු කර ගත්තාහුය...
මෙසේ ලැබූ සුදු ඇත් පැටවා බොහෝ ආහ්ලාදයෙන් විහාරයේ කෙළි දෙලෙන් කල් ගෙවන කල්හී ද්‍රෝහියෙකුගේ කේලාම් වලට මේ මිතුරු පෙම ලක්වන්නාහ...
රජයේ ඇත්පන්ති ප්‍රධානීන්ට මුසා පවසන ද්‍රෝහී කේවට්ටයන් තෙරුන්ගේ ආනුභාවයෙන් ශ්‍රක්‍රයා පිරිනැමූ ඇත්පැටවා හස්ති රෝසන නම් ඇත් ඝාතක වෙලෙන්දාගෙන් ලද්දායැයි රට වැසි දනන්ට පතුරන්නට වන්නාහ...
මේ මුසාවට රැවටුණු ඇත්පන්ති රාජපුරුශයෝ විහාරයට විත් ඇත්පැටවා රැගෙන ගොස් රාජසන්තක කළහ....
මේ මොහොතේ ප්‍රියය්න්ගෙන් වෙන්වීමේ සොව දරා ගත නොහැකිවූ අප තෙරුනගේ ළය කම්පා වී නවලොව නම් ආරෝග්‍යශාලාවට ඇඩ්මිට් කළ සේක...
මෙසේ සුව වී නැවත විහාරයට වැඩම කළ උන් වහන්සේ තමන් වහන්සේව වැලිකඩපුර වධකාගාරය වෙත කැඳවා ගැනීම සඳහා සිදුවන කුමණ්ත්‍රන පිළිබඳ  එනුවර පණිවිඩ කරුවන් අඬබෙර කරුවන් ආදී වූ සියලු පණිවුඩ ගෙනයන්නාවුන් කඳවා තතු පැහැදිලි කරමින් ඇත්පන්ති රාජපුරුශයන් ගෙන් සිදුවන නොහොඹිනාකම් හා බටහිර කුමණ්ත්‍රන පිළිබඳව තවදුරටත් විස්තර කළාහුය...
අන්සතු දේ ගැනීම බුදුධර්මයට ප්‍රකාරව පවක්නේදැයි.. හා ඇත්පන්ති නිලධරයන්ට නොදන්වා සුදු ඇත් පැටවා තබා ගත්තේ ඇයි දැයි විමසූ කල්හී උන්වහන්සේ දේශනා කොට වදාළේ ශක්‍රයා පිරිනැමූ වස්තූන් නැවත ගත හැක්කේ ශක්‍රයාට මිස බ්‍රාපති තුමා හෝ වෙන රාජපුරුශයන් ට නොවන බවය...
මෙසේ බටහිර කුමණ්ත්‍රන හා දඹදිව බලවේග හා රාජපුරුශ පලිගැනීම් මැද සිංහයකූ සේ සටන් වදින අප මහා තෙරුන්ගේ කතාවස්තුවේ පළමු කොටස නිමියේය....

3 comments:

  1. සාදු සාදු !!! :3

    ReplyDelete
  2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete