Tuesday, December 27, 2016

අපාය ස්වර්ග ඕනෙද මිනිහෙක් වෙන්න ?



හිඟන්නට කන්න අරන් දුන්නෙ ඇයි මචං ? - පින් සිද්ද වෙනවනෙ බං යන ලෝකෙකට හරි

ඒ ළමයට උදව් කලේ ඇයි බං - ස්වර්ගෙට යන්න පුළුවන්නෙ.. දිව්‍යලෝකෙට යන්න.. කන්‍යාවො 72ක් ලැබෙනව..

ඇයි මචං උඹ සත්තු මරන්නෙ නැත්තෙ - හාපෝ පිස්සුද අපායෙ යනවනෙ

ඔයා ඇයි හොරකම් කරන්නෙ නැත්තෙ - පව් සිද්ද වෙන හින්දා

එතකොට උඹ ? - ස්වර්ගෙට යන්න බෑනෙ බං මැරුණම..

ඇයි උඹ වැරදි වැඩ කරන්නෙ නැත්තෙ - පිස්සුද බං අපේ ශාස්තෲන් වහන්සෙ එපා කියලා තියනවා..

සරල ප්‍රශ්ණ කිහිපයකට ලැබුණ උත්තර.. මිනිස්සු හොඳ දේවල් කරන්න ඕනෙ.. වැරදි කරන් නැතුව ඉන්න ඕනෙ ඇයි ඇත්තටම...
කවුරුහරි කියපු හින්දද
අපායෙ දිව්‍යලෝකෙ ස්වර්ගෙට හරි සාතන්ගෙ ලෝකෙකට හරි යන හින්දද..
මැරුණට පස්සෙ හරි දැන් හරි සැප ලැබේවා කියන බලාපොරොත්තුවෙන්ද..?
 එහෙම නැත්නම් මැරුණාම ආත්මෙට යහපතක් වෙන හින්දා හෝ සැනසීමක් නැති වෙන හින්දද..

ඒකෙම විලෝමය අරගෙන බැලුවොත් කවුරුහරි ඔප්පු කළොත් පින් පවු අපාය දිව්‍ය ලෝක පස්සෙ ලැබෙන ලාබ. මතු ආත්ම වගේ දේවල් නෑ කියලා..

අපි හිඟන්නට සල්ලි දුන්නෙ පින් හින්දනම් පින් කියලා දෙයක් නැත්නම් අපි ආයෙ සල්ලි නොදී ඉන්නවද.

සත්තු නොමරා හිටියෙ ස්වර්ගෙට යන්න බැරිවෙන හින්දා නම් ස්වර්ගෙ කියලා දෙයක් නැත්නම් අපි සත්තු මරන්න ඕනෙද..

Saturday, December 24, 2016

නත්තල් ගහ ගැන විවිධ මත

====

මහින්ද  - අපේ කාලෙ මෙහෙම නත්තල් ගස් හැදුවෙ නෑ අපෙ හාන්දුරුවනේ.. අවුරුද්දට ඔරලෝසුවකට මූණ ගහලා බෙදුව මිසක්.. දැං යහපාලනෙන් කියයිද දන්නෑ මේකත් රෝහිතගෙ රොකට් එකක් කියලා..

මෛත්‍රී - මෙහෙම එකක් හදනව කියලා මං දැක්කෙත් ඊයෙ පත්තරෙන් හිටං.. මං රටේ හිටියනං මේක හරියට හදවනවා..

රනිල් - අපි කහ ඉරි සුදු කලා.. දැං නංගිලා මල්ලිලට අපේ රැකියා දසලක්සෙ වැඩපිළිවෙළ යටතේ ඔන්න නත්තල් ගහ හදන්න රැකියා 47ක් ලබා දුන්නා.. මේ ලස්සන නත්තල් ගහ හින්දා අපි ජාත්‍යන්තරය ජයග්‍රහණය කරලා තියනවා.

අනුර - බලන්න.. මේක නත්තල් ගහක්ද..? අපේ ගමේ සයිමන් අයියගෙ කඩේ පොල්තෙල් මනින පුනීලෙ අනිත් පැත්ත හැරෙව්වා වගේ.. වියදම ලක්ස 120යි.. යකඩ බඩු වලටයි ලයිට් ඇන මුරිච්චියි අනිත් ඒවටයි යන ගාණ රුපියල් හැට අට ලක්ස පණස් හතර දාස් හාරසිය දෙක යි.. සත 39 යි.. වැඩකුළිය නොමිලේ.. ඒ සල්ලි කාගෙ සාක්කුවටද ගියේ...?? හරියට නත්තල් ගහක් හදාගන්න බැරි පාලකයො අපි වෙනස් කළ යුතු නැද්ද..??

SB -  මේක හදපු එකාව.. ගෝල් පේස් එකට ගෙනල්ලා ඇඳුං ටික ගලෝලා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇවිද්දන්න ඕනෙ.

වාසු - මේ මොන ප@$@& ද..?

විමල් - අම්මේ තාත්තේ... වහපාලනෙන් රට කොටියට ලියලා පෙඩරල් ව්‍යවස්ථා මර උගුල ගේන එක අමතක කරන්න බටහිර අධිරාජ්‍යවාදීන් ඉන්දියාවෙ රෝ සංවිධානෙ එකතු වෙලා කරපු කුමණ්ත්‍රණයක් ඕක..සිරිසේන මෙ අහපාආආආන්.... පොහොට්ටුව පිපෙනවාවාවා..... අපි එදාට ලොකුම පොහොට්ටුවක් හදනවා.... හදලා උඹලව එල්ලනවා සිරිසේඒඒඒඑනාආආඅ....

ගීතා - මේ නත්තල් ගහ හදන්න කෝටි එද්දාස් දෙසීයක් ගිහින් තියනවා.. ඉතින් අපිට අහන්න තියෙන්නෙ මේකද යහපාලනේ කියලා...

සමනලී - අර්ධ පාරගම්‍ය පටලයක ඒකක වායුරෝධන සම්මත අපගමනයේදී බහිස්‍රාවී ධනේශ්වරයේ ඇමයිනෝ ආම්ලික ද්‍රැවීකරණ තත්වයේ පිහිටූ ලාංකික පීඩිත පන්තියේ හෘද විභවය කැඩපතීමය ආශක්තය ඉරා එළියට පැමිණි ශිෂ්ණයක් ලෙස මේ නත්තක් වෘක්ෂය දෘෂ්ටිවාදීම්‍ය වශයෙන් දකින්න පුළුවන්.

නාමල් - මේක හදන්න පටන් ගත්තෙ ගිය මාසෙ 18.. අද දෙසැම්බර් 25.. ඔක්කොම දවස් 58 යි..මේ ලක්ස 120න් බාගයක්ම හොරකං කරලා අම්මෙ තාත්තෙ.. යකො මුන් මටත් වඩා හොරුනෙ..

චතුර - මේ නත්තල් ගහ හදන්න පිටසක්වල ජීවීන් ඇවිල්ලා උදව් කරනවා මං මේ ඇස් දෙකෙන්ම දැක්කා.. අපෙ තාත්තා පල්ලා..

ඩලස් -  යහපාලනෙන් ඒකට තමන්ගෙ නම දාගත්තට ඔය වැඩේට මුල් උනේ ශිරන්ති මැතිණිය...
ඒක නිසා මම යහපාලනේ ට අභියෝග කරනවා පුළුවන්නන් මේක " මහින්ද රාජපක්ෂ නත්තල් ගස " ලෙස නම් කරන්න කියලා..

ගෝටා - රනිල් වික්‍රමසිංහ ඕකට තමන්ගෙ නම දාගත්තට එයා අපේ නෑයෙක් වෙන හින්දා නත්තල් ගහේ ක්‍රෙඩිට් එක රාජපක්සලටත් අයිතියි..

කාදිනල් තුමා - මේක බාගයක් හැදුවම මට දෙවියන්වහන්සේ ඇවිල්ලා කිව්වා මේක හදලා ඉවර කරගන්න බැරිවෙයි කියලා.. ඉතින් ඒ මිනිස්සුන්ව ඉක්මන්ට හදන්න දිරිමත් කිරීමේ අරමුණින් තමයි මම ගෙවල් හදන්න කියලා කිව්වෙ.. මම එහෙම කියපු නිසා දෙවියන්වහන්සේගේ මගපෙන්වීමෙන් අද මෙය හැදිලා තියනවා.. ආමේන්..!!

ඥානසාර හිමි - බටහිර ඉවැන්ජලික පල්ලියෙ @%@& පුතාලා ලංකාවෙ සිංහලබෞද්ධයන්ව 2022 දි අන්‍යාගමීකරණය කරන්න කරන කූට උපක්‍රමයෙ කොටසක් මේක.. ඉතින් අපි කියනවා.. මේ පර අවජාතක බල්ලන්ට පේන්න මේ බම්බුව පෙරලලා සිංහලේ කොඩිය ඕකෙ ගහන්න වරෙව් හැම එකාම  ගෝල් පේස් එකට.. (සභාවෙන් -  සාධු සාධු සාධු )

ගම්මන්පිල - මේ නත්තල් ගහ ලස්සනයි කැතයි කිය කිය ෆේස්බුක් එකේ ළමයි බැනගන්නවා.. සිංහල බෞද්ධයන්ව පිල් බෙදලා කොටවන්න කරන කුමණ්ත්‍රණයක් මේක.. කරුණාකරලා අහුවෙන්න එපා..

රවී - නත්තල් ගහ බලන්න එන මිනිස්සු ගාන වැඩි වෙලා තියනවා. ඒ එන අයගෙන් එකතු කළ අගය සහිත ගස් බද්දක් අය කරන්න මම යෝජනා කරනවා ගරු කතානායක තුමනි..

ආසිරි - මේ නත්තල් ගහ හදන්න එපා කියලා කාදිනල් තුමා කිව්වම මං පාං ගෙඩියක් ඇතුලට නත්තල් ගහ කියලා ලියලා ලිඳට දැම්මා.. ඒකට වස්දොස් අයින් වෙලා තමයි මේක හැදුනෙ..

හක්ගෙඩි කීර්ති - වැඩ නවත්තලා තියෙද්දි මම රෑක හොරෙන් ගිහින් ඕක යට ධන ලක්ෂ්මි වාලම්පුරියක් වැළලුවා.. ඊට පස්සෙ තමයි වැඩ ඉවර කරන්න පුළුවන් උනේ..

බුදුබණට හීලෑ වුණ යකෙක් - පර අවජාතක *@$@%@ ලා.. තොපි බෞද්ධ රටේ එක එක එක  %@$@ හදන්නෙ කොහොමද %@%#* ?? ඕක අකුලගෙ පල @%#&#.. වීර සිංහලේ කොල්ලනේ වරෙව් මහසෝන්නු ටික මේකට &@%@%... කැති ගානව දැනගනියව් බල්ලන්ට ජාතක වෙච්ච &@%@*#....

ජිහාඩ් කැතලික් එකෙක් - පරයෝ නත්තල් ගහට එක එක ඒවා කියලා තොගෙ කන පලාගන්න ආසද.. පිළියන්දල නේද ඉන්නෙ තොපි.. මූණෙ හැඩේ වෙනස් වෙයි හරිද..

අසංක - ලෝකි ලොකුම නත්තල් ගහ අන්න අරහෙ බැබලිනිවා...
අර බලන්නි ලයිට් දාලා...
ආ.. ආ.. අපි අයින් විලා ගෝල් පීස් යමු පුතී...

නත්තල් ගහ හදපු පුතීලට ජයින් ජයිම වීවා..
ස්ධූදියී....

                             ======

( ඉහතින් දක්වා ඇති දෑ හුදු විනෝදාස්වාදය සඳහා පමණක් වන අතර නත්තල් ගහ පිළිබඳ මාගේ පෞද්ගලික මතය එය නොවන බවත් ඒ නිර්මාණය ලොකු වුවත් පොඩි වුවත් බොහෝ දෙනෙකුගේ මහන්සියක නිර්මාණාත්මක    ප්‍රථිඵලයක් බව මා පෞද්ගලිකව විශ්වාස කරන බවත්.. මහජන මුදල් නොවන නිසා මොන තොවිලයක් හදාගත්තත් මට ගානක් නැති බවත්... විහිලු සිරා ගැනීමෙන් වළකින ලෙසත් සිරා ගත්තද මට ගානක් නැති බවත් දන්වා සිටිමි.. )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Friday, December 23, 2016

වැහිසේන නිරිඳු කතා වත්තුව



වැස්ස වළා නරේන්ද්‍ර මෙත්පල් හෙවත් වැහිසේන නිරිඳු කතා වත්තුව...

පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් මහරාජාණන් වහන්සේ රාජ්‍ය විචාරන සමයෙහි යෙදුණා වූ මහා දුර්භික්ෂද නියංද උණට හිසරදයට සහනය ගෙන දෙන සිධාලේප වෙදමහත්තයා මෙන් සමනය කර වැසි වැස්සවූ කතා පුවත අකලංකාරයෙහි මෙසේ ගෙන හැර දක්වන්නාහ..

සකල ටසිරිලක විශ්වයේ ඈස්චර්‍යයේ ගිල්වා බත් කළා වූ මහින්දෝත්තම මහාධිරජාණන්ගේ පාලන සමයෙනැ අනතුරුව අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෙත්පල් තෙමේ පෙරැ අකලංකාරයෙහි ලියූ පරිද්දෙන්මැ දැහැමින් සෙමින් රට පාලනය කරන්නාහ... පයට පාවහන් පවා නොපළඳින්නාහ.. වායු සමීකෘත වැසිකිලි ප්‍රතික්ෂේප කළ එතුමානෝ කොටුවේ පොදු වැසිකිළියම භාවිත කළාහ. කිසි දිනකැ මහජන ධනය අවභාවිත නොකළ එතුමාණෝ සැප රිය ප්‍රතික්ෂේප කළාහ.. පෲඩෝ.. බෙන්සාදී මහේශාක්‍ය රිය ප්‍රතික්ෂේප කළ එතුමානෝ හන්දියේ අමරෙ මල්ලිගේ තුන්සක රියේම ජනදුක නිවාරණු පිණිස ගම් දනව් සිසාරා වැඩියාහ.. පීසා ද කේඑෆාසීදා මැකා ද බිරියාණිද ෆ්‍රයිඩ් රයිසාදා ප්‍රතික්ෂේප කළ එතුමාණෝ දියවැඩියා රෝගියෙක් මෙනැ සරලවම ආහාර ගත්තාහ... පාතරාසයට සුමනක්කාගේ පෙට්ටි කඩෙන් ආප්ප වළඳා ජයන්ති දේවීන් වහන්සේ කෙසෙල් කොළයේ ඔතා දෙන කරෝල බැදුම සමගැ අරලිය සහල් අනුභව කොට රෑට නොවළඳා  නින්දට ගියාහ..

Monday, December 19, 2016

කපුටන්ට කිරිබත්..!!


1 .
අඟහරුවල තව අවුරුදු 20 ක් ඇතුලත ඇමරිකාවෙන් ගෙවල් හදලා මිනිස්සුන්ව පදිංචි කරනවා..
සමහරවිට ඒ ජනපදවාසීන් අතර ඔබේ ළඟම හිතවතුන්ද ඉඳීවි..

 2.
ඔබේ ළඟම හිතවතෙක්ට,ඥාතියෙක්ට අසනීපයක් වෙනවා.. ඔබ යනවා ජ්‍යොතිෂඥයයා ළඟට හඳහනයි සල්ලියි  අරන්..
ඔබට කියනවා මේ දේ වෙලා තියෙන්නෙ මේ දවස් වල අඟහරු නීච වෙලා අපල කාලයක් ලබලා හින්දා කියලා කරන්න දේවල් දෙනවා..
 අඟහරුවාදා උදෙන්ම ඔබ නැගිටලා කිරිබත් හදලා අඟහරු ඉන්න පැත්තට වැඳලා කපුටන්ට කන්න කිරිබත් තියනවා අපලෙ නැති වෙන්න..

ඔබේ හිතවතුන් ඔබේම වර්ගයේ මනුෂ්‍යයන් ජීවත් වෙන ග්‍රහලෝකෙකට ඔබ වඳිනවා කිලෝමීටර් මිලියන ගණනක් මෙහා ලෝකෙක ඉන්න මිනිස්සු බිලියන හතක් අතරින් එක මනුස්සයෙක්ට බලපෑමක් කරන්න කියලා....

Saturday, December 17, 2016

රජවරු පොරවල් ද ??



රජවරු පොරවල් ද ??

ඔබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව නරඹා තිබේද.. තිබේනම් එහි ජොෆ්‍රිව හෝ සර්සිව මතක් කරගෙන මෙය කියවන්න..
( නරඹා නැතත් ගැටළුවක් නැත )

ලංකාවෙ මිනිස්සු හරි කැමතියි වහල්ලු වගේ ඉන්න. නිදහස් චින්තනය උපරිමව තියන බෞද්ධ දර්ශනය පිළිගන්න බහුතරයක් හිටියට ඒ අතරින් ශාතිශය බහුතරයක් නිදහස් චින්තනය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.. දේශපාලන නායකයෙක්ට.. එහෙම නැතිනං දේශපාලන ප්‍රතිපත්තියකට.. ඉතිහාසෙට. ආගමට ජාතියට බැරිම උනොත් ග්‍රහයෙක්ට දෙවියෙක් ට බූතයෙක්ට හරි වහල්ලු වෙලා ඉන්න කැමතියි.. 
මේ වගේ හැමදෙයක්ම කිසිම විමසා බැලීමක් නැතුව.. විචාරයක් නැතුව. විරුද්ධ මතවාද කිසිම දේකට ඇහුම්කම් දෙන්නෙ නැතුව. කොන්දේසි විරහිතව හරි උනත් වැරදි උනත් එකඟ වෙන මානසිකත්වෙකින් ගොඩක් දෙනෙක් ඉන්නෙ.. ඒ වගේම ඒ අයගෙනුත් බහුතරය මේ වහල් වෙලා ඉන්න දේකට විරුද්ධ මතවාදයක් ඉදිරිපත් උනොත් ඒ කඩු පොලු මන්න අරගෙන එයට විරුද්ධ වෙන ගෝත්‍රික මානසිකත්වෙක ඉන්නෙ..

අපි කතා කරමු රජවරු ගැන.
ලංකාවෙ රජෙක් කියලා කිව්වම තියන තත්වය පොඩ්ඩක් හිතන්න.. ඓතිහාසිකව මහා වටිනාකමක් ලැබුණ වන්දනීය පෞරුෂයක් විදිහට තමයි රජවරු සැලකෙන්නෙ ලංකාව ඇතුලෙ. සමහර අය දේවත්වයට පවා ලක් කරලා වන්දනාමාන කරනව අදටත්..
ඇත්තටම රජවරු කියන්නෙ කවුද..

ඉස්සරම ගෝත්‍රික ජනාවාස තියෙද්දි තමන්ගෙ රැහැ බලාගන්න නිරායාසයෙන් පත් වුන ශක්තිමත් මනුස්සයා නායකයා බවට පත් වෙනවා.. පස්සෙ ඒක ගාමනී ගම්පති වගේ තනතුරු එක්ක පරිණාමය වෙලා රජ කියන තැනට එනවා..

රජෙක් කියලා කියන්නෙ ඇත්තටම මානව සමාජයේ වහල් කමේ ගෝත්‍රික කමේ කන්නාඩියක් වගේ.. රජෙක් කොයිම වෙලාවකවත් පූජනීය වෙන්නෙ නෑ ( ඔව් එහෙම අය ඇති. ප්‍රතිශතයකට ගන්න බැරි ගාණක්) 
රජෙක් කියලා කියන්නෙ අසාමාන්‍ය පාලන බලයක් තමන් වටා ඒකරාශී කරගෙන හිටපු අතිශය දරුණු පැසිස්ට්වාදී ඒකාධිපතියෙක්.. කොටින්ම රජෙක් උදේ නැගිටින මූඩ් එක අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත පවා තීරණය කරන තරම් පහත් තත්වෙක තිබ්බෙ..

අපේ අය හරිම කැමතියි අපි අහවල් රජ පරම්පරාවෙ.. ඒ රජා අපේ නෑයෙක් වගේ කතා කියන්න.. ගොඩක් අය රජවරු ගැන ලොකු කතා කියද්දි හිතන් ඉන්නව ඒ කාලෙ ඔක්කොම මිනිස්සු රජවරු වගේ ඉන්න ඇති කියලා..
ඇත්තම කතාව ඔබ දුප්පත් ගැමියෙක් වෙන්න පුළුවන් රජතුමාගෙ අන්තඃපුරේ ට තමන්ගෙ බිරිඳව පූජ කරපු.. එහෙම නැත්තං බලෙන් අන්තඃපුරේ ට ඇදගෙන ආපු කාන්තාවක් වෙන්නත් පුළුවන්..

උදාහරණයක් විදිහට රජෙක්ට පුළුවන් තමන් දකින ඕනම කාන්තාවක් දූෂණය කරන්න.. ඒකට දූෂණය වචනය දැම්මම රජතුමා ස්ත්‍රී දූෂකයෙක් වෙන හින්දා අන්තඃපුරය කියලා එකක් ගොඩනගලා ස්ත්‍රී දූෂණය රජෙක්ගෙ නිල අයිතියක් බවට පත් කළා.. එතකොට ඔබ ඒ කාලෙ හිටියනං ඔබේ අම්මව. ඔබේ බිරිඳව ඔබේ සහෝදරියව. කොටින්ම තව්හිඩ් ජමාත් වගේ රජතුමා ඉල්ලුවොත් ඔබේ යන්තම් උස්මහත් උන දියණියව උනත් නිල වශයෙන් දූෂණය කරවන්න යවන්න වෙනවා.. ඒක කොන්දේසි විරහිතයි. අකමැති උනොත් ඔබට ඔබේ බෙල්ලෙන් වන්දි ගෙවන්න පුළුවන්.. ඒ කාලෙ හිටපු අසරණ නූගත් මිනිස්සුත්  ඒක රජතුමාට ලැබුණ වරමක් කියලා හිතාගෙන අකමැත්තෙන් හරි ඉෂ්ට කළා.. දහස් ගාණක් තාත්තලා අයියලා පෙම්වතුන් ස්වාමින් විරුද්ධ වෙලා දංහෙඩියට බෙල්ල තියන්නැති.. අරං යන ගෑනු ළමයි කොහොම දුකක් විඳින්නැද්ද හිර කාරියො වෙලා රජාගෙ අන්ත්ඃපුරේ.. ගෑනු පන්සීයයි දාහයි ලක්සයයි කිය කිය ඉතිහාසෙ වර්ණා කරන මේ හිරගෙවල් ඇතුලෙ කොයි තරන් කඳුළු තියෙන්නැද්ද.. රජවරු කියන ජාතිය ඒ තරම් පහත් තත්වෙක හිටියෙ.

ඒ වගේම තමයි රජතුමාගෙ කැමැත්ත මත තමයි මිනිහෙක් ගෙ ජීවිතය මරණය තීරණය උනේ.. ඕකව මරපං කිව්වොත් මරන්න වගේම ඕනම මිනීමරුවෙක්ට හොරෙක්ට අපරාධකාරයෙක්ට ඇතෙක් බරට වස්තුව දෙන්න.. අහිංසක ගැමියන් වගා කරගෙන හිටපු ඉඩම් ගම්වර පිටින් පවරලා දෙන්න පුළුවන් තත්වයක් ඒකාලෙ තිබ්බෙ. රජකම වෙනුවෙන් තමන්ගෙ තාත්තව සහෝදරයව මිතුරව පොඩි දරුවෙක්ව උනත් මරන්න පුළුවන් ම්ලෙච්ඡ තිරිසන් තත්වෙක හිටියෙ..

කාශ්‍යප.. ඇහැලෙපොල පවුල මරපු ශ්‍රී වික්‍රම රාජසිංහ හොඳම උදාහරණ..

මිනිස්සු කීයක් මරන්න ඇත්ද
කී දෙනෙක් හිංසනයට ලක්වෙන්න ඇත්ද.
පිරමීඩ චීන මහා ප්‍රාකාර ටජ්මහල් සීගිරිය වැව් වගේ ඉදිකිරීම් වලට තමන්ගෙ සුවපහසු මාලිහා හදන්න වහල්ලු විදිහට මිනිස්සු කීයක් යොදාගන්න ඇත්ද බලහත්කාරයෙන්... මොන මනුස්සයද අව්වෙ කර වෙවී කළුගල් කඩන්න එන්නෙ.. ( එන්නත් ඇති සමහරවිට වහල් මානසිකත්වෙ හින්දා )
සමහර රජවරු නීති පවා දාලා තිබ්බා මිනිස්සුන්ට ටිකක් ලොකු ගෙයක් හදන්න එපාය.. වහලෙට පොල් අතු පිදුරු විතරක් දාන්න කියලත්..

පොඩ්ඩක් හිතන්නෙ එක රජෙක් ගෙ හිතේ ඇතිවුණ තණ්හාව හින්දා වෙච්ච ආක්‍රමණ වලදි අන්තිම අහිංසක මිනිස්සු පොඩි දරුවො මිලියන කීයක් මැරෙන්න ඇත්ද ලෝක ඉතිහාසෙ.. ස්ත්‍රීන් කීයක් දූෂණය වෙන්න ඇත්ද..ලංකාවෙ ඉන්දියාවෙ යුරෝපෙ ඉඳන් එංගලන්තෙ ස්පාඤ්ඤ අධිරාජ්‍ය ව්‍යාප්තිය වෙනකන්ම ඕකයි වුණේ..

කිසිම අන් මතේකට ගරු කලේ නෑ.. පුරෝහිතලා ඇමතිලා මෙහෙම හොඳයි කියනව විතරයි. විරුද්ධ උනොත් කඩු පාර. ඒක හින්දා උන් එහෙමයි ස්වාමීනි කියාගෙන අර අපරාධකාරයන්ට උදව් කළා.. හිතන්න නිකමට හරි ඒ කාලෙ ඡන්දයක් තියන්න ඇහුවා කියලා සාමාන්‍ය වැසියෙක්.. ඔබම හිතාගන්න ඒ මනුස්සයටයි පරම්පරාවටමයි මොකක් වෙයිද කියලා..
පරම්පරාවෙන් ලේ උරුමෙන් රජකමට එන්නෙ.. හිතන්න මානසික අසහනකාරයෙක්.. එහෙම නැත්නම් මෝඩයෙක් රජවුණා කියලා ඒ විදිහට ( ඔක්කොම මානසික ලෙඩ්ඩු තමයි ) දැං ඒ මනුස්සයගෙ මානසිකත්වෙ මත රටක ජනතාවගෙ ජීවිත තීරණය කරනවා කියන්නෙ කොයි තරම් අමානුෂික ද.. කැකිල්ලෙ රජ්ජුරුවෝ.. යසලාලකතිස්ස.. නිරෝ අධිරාජ්‍යයා වගේ අය හොඳම උදාහරණ..

මේ අපරාධ හැමදෙයක්ම රජවරු ලස්සනට වහලා ජනතාව ගොනාට ඇන්දුවා... ඒක කලේ ආගම ජාතිය පාවිච්චි කරලා.. මම තමයි මේ ආගමේ ජාතියෙ එකම ගැලවුම් කාරයා.. මම තමයි අහවල් දේ එකම භාරකාරයා..අපි තමයි ශ්‍රේෂ්ඨ.. දෙවියන්ගෙන් හරි කාගෙන් හරි ලැබුණ බලය තියෙන්නෙ අපිට.. අන්තඃපුරය , මිනීමැරීම කියන්නෙ අපිට ලැබුණ පුජනීය අයිතියක්.. ඒකට විරුද්ධ වෙනව කියන්නෙ අර පූජනීයත්වයට ආගමට ජාතියට විරුද්ධ වෙන එක කියලා මතයක් ගොඩනැගුවා මිනිස්සුන්ගෙ මනස ඇතුලෙ..
ඒකට සෙල්ලිපි සාහිත්‍ය වගේ දේවල් යොදාගත්තා පස්සෙ කාලෙ එන මිනිස්සුන්වත් ගොනාට අන්දන්න.. සෙල්ලිපි වල පොත් වල තමන්ගෙ වර්ණාව ලියවලා ප්‍රසිද්ධ කරවගන්න තරම් මොන තරම් පොර මානසිකත්වෙක ඉන්න ඇත්ද.. ( ඔව් ඉතිහාසෙ ලියන්නෙ ජයග්‍රාහකයනෙ )

ඔන්න ඔය වගේ මිනීමරු ගෝත්‍රික ම්ලෙච්ඡ තත්වෙක හිටපු අධිමානයකින් පෙළුණ පැසිස්ට්වාදී ප්‍රජාපීඩක වහල් හිමියො පිරිසක් තමයි රජවරු කියලා කියන්නෙ.. 
පොඩි හරි සතුටුවෙන්න පුළුවන් කමක් තිබ්බෙ රෝමෙ සෙනෙට් එක ( දේශපාලන ය පැත්තෙක් අංශුවක් ප්‍රජාතන්ත්‍රවාදී උනාට කොලෝසියමට දාලා සිංහයන්ට කන්න දාපුව අපිට මතකයි ) බුදුන්ගෙ කාලෙ ලිච්ඡවි සමූහාණ්ඩුව වගේ ඒවා තමයි.. ( අජාසත්ත තාත්තව මැරුවෙත් ඔය සමකාලීනව තමයි. මොන ධර්මය කිව්වත් රජා රජාමය. )
සමහරු පස්සෙ හොඳ වෙන කතා තිබ්බට වැඩක් නෑ ඉතින් ඒ වෙද්දි මිනිස්සු මිලියන ගානක් මැරිලා ඉවරයි..
ඒ වගේම තමයි පොඩ්ඩක් හිතන්න හදිස්සියෙ බුද්ධාගම ලංකාවෙ තිබ්බෙ නෑ කියලා.. එහෙම තිබිලත් ඔය තරම් ම්ලෙච්ඡ වෙච්ච බිරිඳට ලියුමක් දුන්නම මනුස්සයෙක් ව තෙල් බාජනේක දාලා රෝස් කරන්න තරන් ත්‍රස්තවාදී රජවරු කොහොම හැසිරෙයිද...

ඉතින් රජවරුන්ගෙ මේ කතා කාලෙට සාපේක්ශයි..පරිණාමය වෙද්දි මිනිස්සු තමන්ගෙ මෝඩකම් අවබෝධ කරගෙන මැග්නාකාර්ටා ගිවිසුම් ගහල ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා..ප්‍රංස විප්ලවේ වගේ විප්ලව කරලා ලෝකෙ රාජාණ්ඩු වලට වැඩිය අනන්ත වාරයක් යහපත් තැනක් කරන්න උත්සහ කලේ.. ඒකෙ ප්‍රතිඵල විදිහට අද අපි ඊට වැඩිය යහපත් තැනක ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙක.. තව යන්න ලොකු දුරකුත් තියනවා අනිවාර්‍යයෙන්...

ඒක හින්දා ඒ දුර යන්න පරිණාමික ගමනට උදව් කරනවා මිසක් රජවරු ගැන ආඩම්බරයි.. ඉතිහාසෙ මෙහෙමයි කියලා අරයා මෙහෙමයි මාර ආඩම්බරයි කියලා කියවන්න එපා.. රජතුමාලා ගැන ආඩම්බර වෙන්න කිසිම දෙයක් නෑ.. මිනී මරපු ස්ත්‍රී දූෂණය කරපු කිසිම මනුස්සයෙක් ගැන ආඩම්බර වෙන්න බෑ ලැජ්ජ වෙනවා මිසක්.. 
ඒ අය ජාතියට ආගමට අරවා කලා මේවා කලා අරක හැදුවා මේක හැදුවා කිව්වට කරපු වැරදි වලට හොඳ මිනිස්සු වෙන්නෙ නෑ..වහල්කම් කරන්න මිනිස්සු යොදාගත්තුවා සාධාරණීකරණය කරන්න බෑ..  එයාලා කලේ ඒ කාලෙ ක්‍රමේ.. පාරම්පරිකව ඒ හැදිලා තිබ්බ මානසික තත්වෙ අනුව රජාලට බනින්න බෑ..

හැබැයි අපිට පුළුවන් ඒ වැරදි තේරුම් අරගෙන අනාගතේට යහපත් ලෝකයක් ගොඩනගන්න.. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කරපු පාලකයන්ව රජාලාට අන්දන්න යන්නත් එපා.. එයාලා රජා වෙනව කියන්නෙ ඔබ නිකන්ම අර මම කලින් කියපු වගේ වහලෙක් වෙන එක..

ඔය ඉතිහාස චිත්‍රපට පොත් ඔක්කොම රජවරු උත්කර්ෂයට නංවපු ෆැන්ටසි..
ඒ අතරෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ රජවරු බලය වෙනුවෙන් කරන ම්ලෙච්ඡ ක්‍රියා පෙන්නලා සළු පිළි ගලවලා දාන රියැලිටියක්.. ඒකයි මම ඒ ගැන කිව්වෙ මුලින්ම..

නැතුව රජ කතා පම්පෝරි ගැහුවා කියලා ලැබෙන දෙයක් නෑ..
ලේ කඳුළු වලින් නගපු ජයග්‍රාහකයින් ලියපු සුරාන්තයක් විතරයි රජකතා කියන්නෙ.. ඒ වගෙම තමයි හොඳින් මතක තියා ගන්න කොච්චර හොඳ රජවරුන්ගෙ නම් ඔබ කිව්වත්. කොයි තරම් හොඳ රජවරු හිටියත් රාජ්‍යත්වය කියන සංකල්පයම මනුෂ්‍යත්වයට ගැලපෙන්නෙ නැති බව..

ඒක හින්දා වහල්ලු වෙන්න එපා.. මිනිස්සු වෙනුවෙන්.. නිදහස් නිවහල් ලෝකයක් වෙනුවෙන් නිදහස්ව හිතන්න..


# අකලංකාරය 
  - චමල් අකලංක පොල්වත්තගේ 



Thursday, December 15, 2016

ගාන්ධි ආගම අරඹමු ද...!!



ගාන්ධි ආගම අරඹමු ද...!!

මට හිතෙනවා ගාන්ධිදහම කියලා දර්ශනයක් හදන්න.
ගාන්ධි තුමාගෙ අවිහිංසාවාදි දර්ශණය තමයි ඒකෙ පදනම වෙන්නෙ . කිසිදු සත්වයෙක්ට ගහකොළකට හිංසාවක් පීඩාවක් නොකර ජීවත් වෙන්න මිනිස්සුන්ට උගන්නන එක තමයි ඒකෙ අරමුණ වෙන්නෙ.. ඒ දර්ශනය පිළිගන්න තමන් තව මොනවහරි ආගමක ජාතියක හිටියට ඒක බාධාවක් වෙන්නෙ නෑ.. තමන් අවිහිංසාවාදි දර්ශනයට අනුගත වෙලා ඒ විදිහට හැසිරෙනවනං සමාජයට ලෝකයට කරදරයක් නොවී ජීවත් වෙනවනම් ඒ හොඳටම ඇති..  ජාති ආගම් භේද නැති කරලා ජීවත් වෙන්න.. කුලය ගෝත්‍රය හමේ පාට ආර්ථික තත්වය මත අසාධාරණයට ලක් නොවී ජීවත් වෙන විදිහ.. අසාධාරණ වලදි.. ප්‍රශ්ණ වලදි ඊට ආයුධ අතට නොගෙන තමන්ගෙ මතය අවිහිංසාවාදිව ගොඩනගන්න.... සන්නද්ධ නොවී අදහස් ප්‍රකාශ කරන්න.. වෛරයකින් කෝපයකින් තොරව අවිහිංසාවාදිව සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන්න.. නිදහස් නිවහල් පුරවැසියන් විදිහට ජීවත් වෙන්න.. අනිත් හැමෝටම උදව් කරගෙන තියන සම්පත් වලින් සරල ජීවිතයක් ගත කරන්න වගේ දේවල්.. කොටින්ම ගාන්ධි තුමාගෙ ජීවන දර්ශනයෙන් ගන්න පුළුවන් ලෝකෙට වටින ආදර්ශ එකතු කරලා මේක හදන්නෙ..

Friday, December 9, 2016

මහින්දෝත්තම මහසෝණ් දමනය හෙවත් මාරවින සිල්වෝත්තම කතා වත්තුව



පෙර ටසිරිලක කළ්‍යාණපුර නම් දනව්වක් වීයැ.. ගිරි හිසින් ඇරඹී ශිවන්‍යාවක් මෙන් ගලා බසින රණ තිසරුන් රුවැති රත තඹර පෙළකින් අලංකෘත වූ මහා කළ්‍යාණ නදිය අසබඩ පිහිටියා වූ මේ දනව්ව බටහිටින් මහ සයුරින්ද වටවූවක්මැ විය.. එහි සිටි වැස්සෝ නේක කර්මාන්ත කරමින් බදු ගෙවමින් අජිතාණන්ගේ ගීත අසමින්  සුවසේ දිවි ගෙව්වාහ.. 

මෙසේ කළක් ගතවන විට කල්‍යාණපුරයටද සිරියාවට මෙන් බොහෝ අභාග්‍යමත් කළක් උදාවිය.. බුදුන් කළ විශාලා මහානුවර මෙන් ජනී ජනයා භීතියෙන් ඇළලී ගියාහුය.. 
සයුරේ සිට පැමිණ ටෝනාඩෝවක් කැලිෆෝනියාව සුනු විසුණු කරන්නාක් මෙන් මාගම්පත්තුවේ සිට පැමිණ විමානයක් සාදාගෙන මහසෝන් නම්  රාක්ෂයා කල්‍යාණපුරයේ අධිගෘහිත විය..
හේ නම් මහා රකුසෙකි. දුටුවන් බියෙන් තැති ගත්තාහ.. දුම්රිය මොහොතක් නතර විය... මුහුණ තඩි වළසෙක් මෙන්මැ ය.. දිගු හොම්බය.. දත් විළිස්සූ විට හාඩ්වෙයාර් වල එල්ලා තුබූ කියත් තල බියෙන් සැඟවී ගියාහුය..ඇස් ගෙඩි වොට් පහේ වෙසක් බල්බ් මෙන්මැ විය.. සිරුර පුරා පාපිස්සක් මෙන් ලොම්‍ ය.. සත් බඹක් උසය.  හේ කෝපාග්නියෙන් දැවී අහසට බට විට අහස අඳුරු වී යන්නාහ.. වරක් මේ රකුසාගේ බාහුවක් තෙකලා විදුලි කණුවකමැ වැදී විදුළි කණුව සුණු විසුණු වී ගියාහුය.. ඒ විදුළි කම්බි ගෙන මුඛයට දමා ඉරා ගෙල වට ඔතා රෙස්ලින් වළල්ලේ ගිගුම් දෙන ජෝන් සීනා මෙන් හූ තබාහුය.. හෙතෙමැගේ යක්ස පුත්‍රයෝද එසේමැ විය.. පිය රකුසා මෙන් වචනාර්ථයෙන්ම මහාසෝණෙක්මැ විය.. 

මේ රකුසා නම් කල්‍යාණපුරයට තුන් බියම ගෙනාහුය.. මහසෝන් රකුස් තෙමේ කළ්‍යාණපුර වැස්සන්ට දොළ පිදේණි ගෙනෙවයි නියම කළාහ.. හේ ඒ පිදේණි වලින් මහේශාක්‍ය ව කල් ගත කළාහ.. කළ්‍යාණපුරයේ කඩ වීථි වල මසකට වරක් දොළ පිදේණි ගෙන ආ යුතුමය.. මගුලක් මරණයක් සැණකෙලියක් කොටහළුවක් විකුණුමක් සිදුවේනම් රකුස් තෙමේට බහිරව පූජාවක් තබා දොළ පිදේනි ගොටුවක් තබා ලිය යුතුමය.. නැතහොත් රකුස් තෙම ධවල රථයක් යවා සිය අතවැස්සන් අත දොළ පිදේනි කප්පම් නොගෙවූ උන් ගෙන්වා සත් කඩකට ඉරා රුධිරය බී ඉතුරු රුධිරයෙන් ස්නානය කළාහුය.. හැඩකාර ස්ත්‍රියක් දුටු කල්හී මහසෝන් තෙමත් පුත්‍ර යක්ෂයාත් ඈව බලෙන්ම විමානයට කැඳවා යථි.. මෙසේ 

Thursday, December 8, 2016

රවිචන්ද්‍ර කාරුණිකාණන්ගේ කතා වත්තුව



පෙර එක් කලෙක ටසිරි ලංකාපුරයෙහි සරලාභිධාන මෙත්පල් සිරිසන් නිරිඳුන් රාජ්‍ය කරන කල්හී මහින්දෝත්තම මහාධිරජාණන්ගේ සමයෙහි මෙන්මැ සීනි ගෝනියට බට හින්නන් මෙන් ටසිරිලක ජනී ජනතාවෝ මහත්වූ ආහ්ලාදයෙන්ම කල් ගත කළාහුය... ආහාර පානද..පිපාසාවට පැන්ද.. හැකියාවට රැකීරක්ෂා ද.. ආරක්ෂාවද නොඅඩුවම ලද්දාහ..

මේ සමෘද්ධියට යම් හේතුවක්මැ වී නම් ඒ භාණ්ඩාගාර අමාත්‍යා වූ රවිචන්ද්‍ර කාරුණිකාණෝමය.. හෙතෙම මහාභාණ්ඩාගාරයේ බන්ධකාර සුරක්ෂිතාගාරය සොරුන් බිඳීම නවතා ආරක්ෂා කළ කතාවත්තුව මීට පෙර අකලංකාරයෙහි පාඨක ඔබ කියවූවා මතක ඇති බව නිසැකමය...

හෙතෙම නීලමහා යෝධයා මෙන් කාලවර්ණ උත්තුංග දේහධාරී මහා පුරුෂයෙක්මැ විය.. ඔෂීන් මෙන් සැමවිටම සිනාවෙන් මුව සරසා සිටින්නාවූ එතුමානෝ දන්තාබුජ දත්කුඩු දැන්වීමකට වුව රඟපෑමෙහි සුදුස්සාණෝ වන්නාහ...  එතුමාණන්ගේ කහවණු කළමණාකාරණය නියාවෙන් රාජ්‍ය දිනෙන් දින සශ්‍රීකම වන්නාහ.. වෙනත් පාලකයෝනම් ජනයා තලා පෙලා සුනඛයන්ගෙන්ද මහා බදු පැනවූ නමුදු මෙතුමාණෝ එසේ නොවන්නාහ.. රාජ්‍යයේ ධනය රැස් කිරීම මහජනතාවට කිසිදු පීඩාවක් නොවිය යුත්තක්මයි අපෙ හාන්දුරුවනේ කියා සිංහනාද කළ එතුමාණෝ නින්දෙදී විද නොරිද්දා ලේ බී ඉවත යන ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවෙක් මෙන් මල නොතලා රොන් ගන්නා මහද නැමැති බඹරකු මෙන් ජනයාට අතුරු ආන්තරායක් නොවී බදු අය කළාහුය...
සත් රුවන් වැසි වැස්සවා භාණ්ඩාගාරය පුරවනු පිණිස එතුමාණෝ එකල ජම්බුද්වීපයේ විසූ මහා ඍෂිවරයෙක් වූ කීරිති වාලම්පූරි නම් ඇදුරාණෝ කැඳවා රාජ සභාවේ සිව් කොණද..පේදුරු තුඩුවේද දෙවුන්දර තුඩුවේද සංගමන්කන්දේද.. කෝලම්තොට කොටුවේද හක්ගෙඩි වළදමා රට ධනයෙන් ස්වයංපෝෂිත කළාහුය.. මේ වාලම්පුරියේ මහිමයෙන් දින තුනක් ටසිරිලකට සත් රුවන් වැසිද..
යාන වාහනද ලක්ස ගණනින් වැටුණාහ..
එම යාන වාහන නොමිලයේම ජනතාව අතර එතුමාණෝ බෙදා දුන්නාහ.. බැලු බැලූ අත

Saturday, December 3, 2016

තවත් ත්‍රීවිල් කාරයෙක්


අයියෙ කීයද ආයුර්වේදෙ ගාවට..
150ක් දෙන්න මල්ලි..
ආපෝ වැඩියිනෙ කිලෝමීටරයක්වත් නෑනෙ..
යන්න බෑ ට්‍රැෆික් මල්ලි මේ වෙලාවට... හරි 120ක් දෙන්න...
යං..

අයියලා ස්ට්‍රයික් නැද්ද..
දඩේ නං වැඩියි.. ඒ උනාට ගෙදර හිටියම පොඩි උන්ට කන්න දෙන්නෙ කවුද... ගුටි කෑවත් දුවන්නෙ ඒකයි..
හ්ම්..
............

අර ගවුම ලස්සනයි නේද මල්ලි..
කෝකද
අර කහපාට එක..
ආ..
කීයක් වෙයිද දන්නෑ...
අනේ මන්දා ටිකක් ගණං ඇති..
පොඩි එක්කෙනාට අරන් දෙන්න හැදුවෙ.. එයා ආසයි ගවුම් වලට..

අයියෙ අපිව ඉස්සරහින් දාන්න..
හරි..
ආ අයියෙ සල්ලි..
මාරු 20ක් නැද්ද මල්ලි...
නෑ කමක් නෑ 50 තියාගන්න...
.

Tuesday, November 29, 2016

මඩකලපුවේ සැබෑ තත්වය කුමක්ද..??


කවුද හාමුදුරුවනේ මේ ගම්වල ඉන්නෙ.. ?

යුද්ධෙ කාලෙ ගම් අතෑරලා ගිහින් ආයෙ උපන් ගම් වලට ආව මිනිස්සු ඉන්නෙ.. ඒමිනිස්සුන්ට හරියට කන්න ටිකක් නෑ.. ඉන්න ගෙයක් නෑ මහත්තයො..

රජයෙන් මුකුත් කරන්නැද්ද ඉතින්..?

මොන පිස්සුද මහත්තයො. උප්පැන්නයක්.. අයිඩින්ටියක් නෑ.. පදිංචිය තහවුරු කරලා ලියුමක්වත් දීලා නෑ තාම හිටපු එක ආණ්ඩුවක්වත්..

මහින්ද මහත්තයා මුකුත් කළේ නැද්ද යුද්ධෙ ඉවර උනාම..?

(උපහාසයෙන් )  කිසිම දෙයක් කළේ නෑ.. බැලුවෙවත් නෑ මේ සිංහල මිනිස්සු දිහා..
මේ මිනිස්සු ලංකාවෙ පුරවැසියො මහත්තයො.. ඉතින් අපි ඡන්ද අයිතිය ඉල්ලලා පාරට බැස්සම ජනාධිපතිවරණේ කාලෙ මේ සිංහල මිනිස්සුන්ගෙ ඇඳුම් ගලෝලා මහපාර මැද්දෙ ගැහුවෙ එයා.. මම දෙතුන් පාර හම්බෙන්න හැදුවා,. බලෙන් කතා කලා.. බැලුවෙවත් නෑ...



එතකොට දැන් ඉන්න අය මොකක්ද කළේ.. අර ඉස්සරහ පලකෙ තියෙන්නෙ සිරිසේන මහත්තයගෙ නමනෙ..??

( නැවත සිනාසී ) පන්සලට එන්න කියලා ආරාධනා කරලා මෙතෙන්ට ගාඩ් එකත් දැම්මා.. තදට වැහැපු හින්දා එන්න බෑ කිව්වා... මං තව ටික දවසක් බළලා ඕක පෙරළලා දානවා.. ( මේ ළඟදී කුළුගෙඩියකින් ගසා කුඩු කර දැම්මේ ඒ ඵලකයයි )

Monday, November 28, 2016

පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි



"පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි) - බුදුන් වහන්සේ

ප්‍රියයෙක් අහිමි වූ විටක කඳුළු නූපදීමට හෝ හදවත කම්පා නොවීමට මම අරහත්ඵල ලාභියෙක් හෝ යකඩින් හැදුණ යන්ත්‍රයක් හෝ  නොවෙමි.... බුදුන් කියූ ඒ දුක දැනෙන.. ලෙයින් මසින් නහරින් සැදුණු තවත් ආදරය දුක ප්‍රහර්ෂය වේදනාව විරහව රාගය දැනෙන හැඟෙන ජීවියෙක්මි....

පියෙකුට මවකට පුතෙකුට දියණියකට බිරිඳකට ස්වාමියෙකුට සහෝදරියෙකුට සහෝදරයෙකුට ඥාතියෙකුට ආදරවන්තයෙකුට ආදරවන්තියකට මිතුරෙකුට මිතුරියෙකුට ළබැඳියෙකුට හිතවතෙකුට හිතවතියකට,

මියගිය... තමන් ආදරය කළ... තම ආදරණීය..

පුතුන් , දියණියන්, පියවරුන්, මව්වරුන්, ස්වාමිවරුන්, බිරින්ඳෑවන්, සහෝදරයන් , සහෝදරියන් , ඥාතීන් , ආදරවන්තියන්, ආදරවන්තයන් මිතුරන්, මිතුරියන්, ළබැඳියන් , හිතවතියන්, හිතවතුන්...

සිහි කිරීම හදවතේ ගැඹුරුම තැනින් ඇතිවන සියුම් මිනිසත් හැඟීමකි... එය මිනිස් සිතට විශිෂ්ට වූ අවියෝජනීය බැඳීම් වල සංවේගාත්මක ප්‍රකාශනයයි....

අංගුලිමාල නවසිය අනූනමයක් මිනී මරා දඹදිවටම ඔහු ම්ලෙච්ඡයෙක් වුවද..
අංගුලිමාල මාතාවට ඔහු තම අහිංසක පුතු පමණකි....
අංගුලිමාල කෙරෙහි මවගේ සිතෙහි උපන් දාරක ස්නේහය තමන් ආදරයෙන් ඇති දැඩි කළ සිද්ධාර්ථ ගිහිගෙය අතැර ගිය දා සුධොවුන් රජු හා ප්‍රජාපතී මාතාවගේ සිතෙහි උපන් දාරක ස්නේහයෙන් වෙනස් වන්නේ කෙසේදැයි මම නොදනිමි...

එබැවින් නිවැරදි කරුවන් වුවද...කුමන වැරදි කරුවන් වුවද තම ආදරණීයයන්ට මියගියවුන් තම හැඟුම් බෙදාගත් ළබැඳියන් පමණි..
සිහිකිරීමේදී වැටෙන හැම කඳුලකින්ම පිටතට එන්නේ ලේ මස් නහර ඇට මිදුළු කරා විහිදුණු තම ළබැඳියන් කෙරෙහි ඇති සෙනෙහසයි... ආදරයයි.. බැඳීමයි...
එය කළු සුදු කුමන ගෝත්‍රයක් ආගමක් වුවද නොවෙනස්වන ස්වභාවික මානව ස්වභාවයකි...
එමනිසාවෙන් මළවුන් සිහිකිරීමට ඇති අතිශය සාධාරණ මානුෂීය අයිතිය.. ස්වභාවිකත්වයේ නියතය හෙළා දැකීමට තරම් මම තිරිසනෙක් නොවෙමි....

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, November 22, 2016

දඩ උපහාර ගීතය



(මෙම ගීතය අසංක ප්‍රියමන්ත මහතාගේ  "සඳ නාවත් කමක් නැතී රත්තරන් පුතී " ගීතයේ තාලයට ගායනා කළ හැක )

                            ====

දඩ ගැහුවට කමක් නැතී අනී රවි පුතී
හිරේ දැම්මත් කමක් නැතී අනී රවි පුතී
රිය අනතුරු අඩුවේ නං කමක් නෑනී අනී
ඒත් යකෝ ඔය නීතිය එක වගීද රටී...

බයිසිකලී යන එකාව අල්ලා කොනකටී
උගේ අතී හැම සතීම හූරන පොලිසිය
ලොකු එකෙක්ව අහු උනොතින් බීලා හිටියද
යන්න සර් ඔන්න කියා සැලුට් ගහයි අදී..

දඩ ගැහුවට....

වෙන රටකදි ඇල්ලුවාම අගමැතිවුව මග
දඬුවම් දෙයි එක වගේම ඌටද පොලිසිය...
රවී පුතී දඩ ගහපන් ඇති වෙනකන් තොට
මේ නීතිය හැම එකාට එක වෙන දවසට...

දඩ ගැහුවට...


#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ




Monday, November 21, 2016

වරෙන් සුගතදාසෙට



සියළු බල සේනා , අහවල් ජමාත්
ආවා කල්ලි , කොටි සිංහ ලේ
යක්කු මහසෝන්නු
බින් ලාඩන්ලා.. ගැමුණුලා.. ප්‍රභාලා...
ගෙන්නමු සුගතදාසෙට....
කඩු පොලු මන්න පිහි
කැති පොරෝ දෙමු
හැමෝගෙම අත් වලට....
ඉඳගමු බණ්ඩාර සෙල්වා
ඈන් පාතිමා අපි හැමෝම...
වටෙන් පුළුවන් විදිහට..
බලන් ඉමු එකෙක් නැති වෙනකන්
මරාගන්නා අපූරුව...
කපා කොටාගෙන රතු වෙනකන්
ලේවලින් පිටියේ පොළොව....
කැවුම් කිරිබත් තෝසේ ඉට්ලී
කේක් වටලප්පන් කමු..
එදා ඉඳන් අවුරුදුනේ අපි හැමෝටම....!!!!

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ



Sunday, November 20, 2016

අපේ අක්මුල් කියන්නෙ මිත්‍යාවනං.. ඔව් මම ඒවා කුඩු කරනවා




" ජාතික රූපවානියට ගහන්න ඕනෙ. ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහන යටතේ අපේ අක්මුල් සියල්ල සිඳිනවාය.. ජාතික නාලිකාව වහන්න ඕනෙ...""

- අතිපූජ්‍ය විචිත්‍ර ධර්ම කථික ඥානසාර හිමි

හාන්දුරුවන් වහන්සේට අනුව යථාරූප වැඩසටහන හරහා නිරුවත් කරන විනාස කරන "අපේ අක්මුල්" යනු දෙකයි පණහේ මිත්‍යා බහුබූතය.. 

ඒ අනුව 
ගණ දෙයියො යාලු කරගන්න ආසිරි පාංගෙඩි පෙංසුයි.
හක්ගෙඩි..
හඳහන් තරු රටා..
බූත කුම්භාණ්ඩ මලපෙරේත හූනියං
අලු ඔලුවයි මිනිස් ඇඟයි බද්ධ වෙච්ච  ගෑණු හතර පහ වටේ තියාගෙන ඉන්න අතපය දහපහළවක් තියන කෘතීම හයිබ්‍රිඩ් දෙයියො
මොකෙක් අරි අහවල් බලධාරියෙක් ලෝකෙ මැව්වා කියන මිත්‍යාව
පොල් ගැහිළි
පූජා වට්ටි උස්සන් යන එක
පන්සල් ඇතුලට හින්දු දෙයියො ගෙනල්ලා පන්සල දේවාලකරණය කිරීම
හූනො චික් චික් ගෑ විට සුභ කටයුතු නොකිරීම
නැකත් බලා හැම ලොකු අම්මගෙ වස්ත්‍රයම ආරම්භ කිරීම

අපේ  #අක්මුල් ය..

එතකොට ඒ බහුබූත මිත්‍යාවට ගහන එක අපේ රටේ අක්මුල් සිඳීමය..

හාන්දුරුවන්ගෙ ඒ ලොජික් එකෙන් බලන විට අපේ අක්මුල් මුලින්ම විනාස කර ඇත්තේ මීට වසර 2500ට ඉහතදී...

බූත පෙරේත කතා තොවිල් යන්ත්‍ර මන්ත්‍ර තිරස්චීන විද්‍යා කියපු..

""නක්ඛත්ත පතිමානෙත්තං අත්තෝ බාලං උපච්ඡගා...
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා..."""
නැකත් ගරු කරන බාලයාගේ (මනසින්) වැඩ අතපසු වී යයි... වැඩයට නැකත් නම් කිම.. තාරකාවෝ කුමක් කරත්ද..??

කියා කියපු...

තමන්ට තම සරණ මිස අන් සරණක් නැතැයි.. ( අත්ථාහි අත්ථනෝ නාථෝ )  

දේශනා කළ ගෞතම බුදුන් වහන්සේ ය

බුදුන්ගෙ සිවුර දාගෙන අවිහිංසාවාදි ධර්මයක් රකින්න කියලා ලේ ඉල්ලන පිසාච තත්වයේ තලේබාන් බෞද්ධාගමේ මේ චීවරධාරියා සිදු කරන්නේ බුද්ධාගම විකෘති කිරීමයි..

අනිත් කාරණාව වන්නේ අර කලින් කියූ පිස්සු විකාර ඇත්තටම අපේ අක්මුල් නම් ඒවා කුඩු පට්ටම් කිරීමට කිසිසේත්ම පසුබට නොවිය යුතු බවයි... 

අපි ඡන්ද දිනන්න තිරුපති යන
බලේ ගන්න පොල් ගහන
විභාග පාස් වෙන්න හඳහන් කේන්දර බලන
තොවිල් හූනියං කට්ටඩි පිස්සො පස්සෙ යන අපලෙට ග්‍රහලෝක වලට පහන් පත්තු කරන 
බුදුන් කියූ දේ හැර අනිත් හැමදේම කරන මීහරක් ජාතියකි... එය අප පිළිහත යුතුය. ඔය සුභ මූර්ත වලට හැම දේම කරද්දී ඒවා හරියනවානං අපි මේ වෙද්දී ඇමරිකාවට රොකට් හදා දිය යුතුය..
අපි ග්‍රහලෝක වලට සෙත් පතා කපුටන්ට කිරිබත් කවද්දී වෙන රටවල් ඒ ග්‍රහලෝක වල ගෙවල් හදන්නේ අපේ ඒ මීහරක්කමට පින්සිද්ධ වන්නටය..

එම නිසා ඒ ගෝත්‍රික මීහරක් කතා ප්‍රසිද්ද කරන, ත්‍රස්තවාදය වපුරන , බුදුන්ගේ ධර්මය විකෘති කරන ජාතිවාදී ලේ පිපාසිත මේ චීවරධාරීන් , ටෙරරිස්ට් ජමාත් ත්‍රස්තවාදීන් විග්නේෂ්වරන් ඇතුළු හැම මන්ද මානසිකයාවම බැඳ දැමිය යුතුය.. ප්‍රතික්ෂේප කළ යුතුය...

නැත්තං මේ සියවසේදිත් අපි අනිත් ගෝත්‍රයේ එකාව මරාගෙන කන , හඳට පශ්චාත්භාගය උඩ දමා වඳින, ම්ලේච්ඡයන් වනු ඇතිඅතර හඳේ ජනාවාස හැදූ උන් විනෝද චාරිකා පැමිණ අපව බලා පොටෝ ගසා යනු ඇත...

මම මිත්‍යාවට විරුද්ධයි.. ඒ මිත්‍යාව අපේ අක්මුල් නං මම ඒ ගැන ලැජ්ජා වෙනවා... මම දෙපාරක් නොහිතා ඒවා කුඩු කරනවා...

#ටෙරරිස්ට්ජමාත්උන්පෝම්වෙන්නෙපා
#බයියොඅදාලනැ #ඥානසාරරාසික්විග්නේස්වරන්ඉස්පෙරෙගැමුණුබැඳදමනු
#ලේඕනෙනෑ #තලේබාන්බෞද්ධකොටිදෙමළඅයිඑස්මුස්ළිම්කාලකන්නිපන්නපං
#යක්කුදඟලන්නඑපා #යුද්ධෙනැතුවපාළුයි
#මිත්තයාවටගහනවා #ගරහයොබූතයොකට්ටඩිලොකුනෑ


බුදු දහම විකෘති කරන ප්‍රකාස ඇතුලත් වීඩියෝවේ link එක

https://m.facebook.com/story.php?story_fbid=1237956349575974&id=1131732893531654

-චමල් අකලංක පොල්වත්තගේ 
.
.

Wednesday, November 16, 2016

රූකඩ



අම්මා පොඩි එකාට ගහලා කෝටුවකින්.. පොඩි එකා අඬනවා....
"මා පුතා අර බලන්නකෝ රූකඩ..
අර අර... අර බලන්න... "

රූකඩ ගොඩයි...
අන්දා තිබුනමුත් නෙක නෙක ඇඳුම්..
පාට පාටට.
නොයෙක් චරිත..
ආයුධ අභරණ දෑත් වල ගෙන..
නමුත් ඇතුලතින් 
තනා ඇත්තේ එකම කදුරු ලීයෙන්...
නූල් වලින් එල්ලා...
එක්කෙනෙක් හසුරවයි..
ඔහු මාරු වෙයි තවකෙක් පැමිණෙයි..
අත යන අත රූකඩද යයි...
පොඩි එකා හිනාවෙයි.
රූකඩ නටයි..
පොඩි එකා හිනාවෙයි
රූකඩ නටයි..
රූකඩ නටයි..
පොඩි එකා හිනාවෙයි...
එක් රූකඩයක් පහර දෙයි
තවත් එකකට....
පොඩි එකා අකමැති එකා ගුටි කයි...
හරිම සතුටුයි
අත්පොඩි ගසයි
හිනාවෙයි...
තවත් එකකට පහර දෙයි
පොඩි එකා කැමති එකා ගුටි කයි
දැන්නම් දුකයි
යන්තමින් ඔරවයි
නැවතත් නැටුම් අරඹයි
ටිකක් නැවතෙයි
යළිත් අරඹයි
ඇඬිල්ලත් ඉවර වෙයි....

පොඩි එකා නලවන්න අම්මා හැමදාම
රූකඩලු පෙන්නන්නෙ...
පොඩි එකාට බත් කවන්න රූකඩලු පෙන්නන්නෙ...
තිත්ත බෙහෙත් දෙන්නෙත් රූකඩම පෙන්නලලු...
රූකඩ බලන ගමන් වහ උනත් බොයිලු..
ලෝකෙ පෙරළුනත් ගානක් නෑලු...

                    ---------
 ( පලි - එක රූකඩයක් සිවුරකුත් තව රූකඩයක් වේට්ටියකුත් අනිත් රූකඩය රවුම් තොප්පියකුත් දමා සිටි බව උපකල්පනය කරන්න. )

.
.
.

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ 








Sunday, November 13, 2016

ටැබ් කතාව


ටැබ් ගැන කතා ගොඩක් ඇහෙන හින්දා මේක ලියන්න හිතුනෙ...

මේ අවුරුද්දෙ (2016) මුලදි මමයි මගෙ මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා කතා වුණා දුෂ්කර ඉස්කෝලෙකට පුළුවන් විදිහකට උදව්වක් කරමු කියලා.. ඒ අනුව තවත් මිතුරෙකුගේ මාර්ගයෙන් මොනරාගල වත්තේගම සිරිමල් විද්‍යාලය මේ කාර්‍යට තෝර ගත්තා.. මේ ඉස්කෝලෙ හිටියෙ දරුවො 95 යි ගුරුවරු දොළහයි..
අපි ෆේස්බුක් හා දන්න හඳුනන අය මාර්ගයෙන් අභ්‍යාස පොත් 1500 ක් , පෑන් පැන්සල් මකන කෑලි එකතු කරලා හැම දරුවටම ලැබෙන විදිහට පැකට් වලට ඇහිරුවා.. ඒ වගේම පුස්තකාලයක් හදන්න කියවන පොත් 2000ක් විතර එකතු කළා..
අපි එන්න කලින් ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට කතා කරන්න විදිහක් නෑ ගමට සිග්නල් නැති හින්දා.. ප්‍රින්සිපල් සර් අපිට කතා කරන්නෙ මොනරාගල ටවුන් එකේ කලාප කාර්‍යාලෙට ඇවිල්ලා.. ඉස්කෝලෙ තියෙන්නෙ මොනරාගල ටවුමෙ ඉඳන් තවත් කිලෝමීටර් 30 ක් විතර දුරින්. සියඹලාන්ඩුවට මායිම්ව..
කොහොමහරි පෙබරවාරි මාසෙ දවසක ඉස්කෝලෙට ගියා අපි පොත් තෑගි අරගෙන.. ඒ යන පාර බයිසිකලයකටවත් යන්න බැරි තරම් අබලන් වෙලා තිබ්බෙ.. වෑන් එකේ ඩ්‍රයිවර් අපිට නොබැන හිටියෙ බොහොම අමාරුවෙන්.. වේලිලා ගිය ඉරිඟු වතු මැද්දෙන් ඉස්කෝලෙට ගියා..
ගමේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය ඉරිඟු වැවිල්ල..
සමහර පොඩි උන්ට සපත්තු නෑ.. සමහර

Saturday, November 12, 2016

ජල බිල් උපහාර ගීතය



( මෙම ගීතය මම නම් ආසයි අහන්න නයනා ගීතයේ තාලයට ගායනා කළ හැක )


මම නම් ආසයි නාන්න නයනා
ඉස්සර වාගේ ෂවර් එකෙන්
බාල්දිය අරගෙන ළිඳටම යනවා
වතුර බිලත් දැං ඉහට උඩින්...

වෙනකවුරුත් නෑ ෂවර් අරින්නේ
පිං ළිඳ ළඟටයි නාන්න එන්නේ

මම නම් ආසයි....

පෙරේදා දහවල් නාමින් හිටියා
ඔයාගෙ රෙදිටික හෝදමින්
වතුර බිල අරන් ගෙදරට ආවා
දාඩිය දැම්මා බිල දැකලා...

පිං ළිඳ පමණයි පිහිටට ඉන්නේ
රෙදි ටික අරගෙන ළිඳ වෙත දිව්වේ....

මම නම් ආසයි.....

රෙදි හෝදන්නට කෑම උයන්නට 
වැසිකිළියට යන වතුර බිලෙන්
ඉතුරු කරන්නට ඕනේ නයනා
එකවර නාමුද ෂවර් එකෙන්...

වෙන කවුරුත් නෑ බලාන්න ඉන්නේ
ආණ්ඩුව පමණයි මේ චාන්ස් දෙන්නේ....

මම නම් ආසයි...

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ 





Friday, November 11, 2016

නව නිපැයුම්කරුවන් ඝාතනය නවතනු


රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පොල් කුඩු මගින් නව ජීව ඉන්ධනයක් නිපදවා තිබෙනවා.. මෙය ඩීසල් වලට සමාන ගුණ ඇති එකක් බවයි ඔවුන් සඳහන් කරන්නෙ..  තවද මේ ඉන්ධනය නිපදවීමට හැකි යන්ත්‍රයක්ද ඔවුන් නිෂ්පාදනය කර තිබෙන අතරම පොල් කුඩු වෙනුවට ගංගාවල හැදෙන ඇල්ගීද මේ සඳහා යොදාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම පරිසර හිතකාමී බව එහි ඇති විශේෂත්වය ලෙස ද සඳහන් කර ඇත.

ලෝකයම බලශක්ති අර්බුධයෙන් පෙළෙන අවස්ථාවක මේ සිසුන්ගේ සොයාගැනීම මිලකල නොහැකි එකකි.. අධිතාක්ෂණික උපකරණ හෝ පර්‍යේෂණාගාර නොමැතිව

Thursday, November 10, 2016

අයවැය උපහාර ගීතය




( මෙය ආදරය සුන්දර වරදකී ගීතයේ තාලයට ගායනා කළ හැක )
.
.
අයවැයත් පෙම්වතියක් වගේ
කිසිදා සහනයක් නම් නැතී
මට පෙන්නලා අයවැයේ හැටී
නුඹ ගහපු බදු හොඳටම ඇතී.....//

බැංකුවෙන් සල්ලි ගද්දිත් ගාන කපලා
ඩේඩා වලට තව ගාන වැඩි කරලා
නෙට් යන්නෙපානං රටේ එවුන්
ෆ්‍රී ටැබ් බෙදන්නේ උඹ මොන මගුලටදෝ.....

අයවැයත්...

පරිප්පුයි බතුයි මුංඇටයි තම්බා කාලා
පඩි වැඩි නොකර තව තවත් බදුත් ගහලා
ප්‍රාඩෝ වලින් උඹලා යද්දි
ඒවට ගෙවන්නේ උඹෙ  අප්පොච්චිදෝ...

අයවැයත්....
.
.
.
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, November 8, 2016

හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි...!!



හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් , පැස්ටා, මැකරෝනි ,බේකන් තැම්බීම නැවතීම ද බොහෝ හිලරි අනුගාමිකයන් බඩ දැඟලීම, ආහාර දිරවීම අපහසු වීම, මළ බද්දය, හදවත් රිදීම ආදී රෝග තත්වයන් නිසා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වේ..

ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් පසු රටපුරා මැතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා මේ වනවිට හිලරි උණුසුම තීව්‍ර වෙමින් ඇත.

පරාජයෙන් පසු හිලරි මැතිණිය චිකාගෝ හී ඉලිනොයිස් ගම්මානයේ තම නිවසට ගිය අතර ඒ නිවස වටා දහස් ගණනක් ඇමරිකානුවන් ඇමරිකානු කොඩි ඔසවමින්...

" හිලරි මමී. හිලරි මමී.. යූ ආර් අවර් හිලරි මමී..,"
"ඕ මයි ගෝඩ් "
 " කාන්ට් බිලීව් දිස් හිලරි මමී..."
" වට් ද ෆාක් හිලරි මමී.."
" ප්‍රේ ෆෝ අමෙරිකා.."

ආදීය කියමින් ගෝෂා කරමින් හොටු හූරමින් හඬා වැළපෙන බව වාර්ථා වෙනවා...

මේ අතර වොෂින්ටන් සිට විශේෂ ජෙට් යානයකින් ඉලිනොයිස් හී තම නිවසට ගිය හිලරි මැතිණිය නිවසේ ජනෙල් පඩිය මතට නැගී විශේෂ  ප්‍රකාශයක් කරමින්...

Monday, November 7, 2016

හිලරි උපහාර ගීතය



ට්‍රම්ප් උපහාර ගීතය ලිවීමෙන් පසු හිලරි පාක්ෂිකයන්ගෙන් එල්ල වූ බලවත් විරෝධතා හා ඉල්ලීම් මත ලියූ...

#හිලරි_උපහාර_ගීතය..

(  මෙය ආයුබෝවේවා මහරජාණෙනී ගීතයේ තාලයට ගායනා කළ හැක )
.
.
ආයුබෝවේවා....//

ක්ලින්ටන් රජුන් දුන් විවරණින්
අපටත් රැජිනක් පහළව ඇතේ
ඒ රැජිනියන් පෑ පෙළහරින්
ජනපදය එක්සේසත් කළේ....//

ආයුබෝවේවා...
හිලරි රැජිනියනි....//

මිනසෝටා උතුරින්
ටෙක්සාස් ප්‍රාන්තය දකුණින්
නැගුණ දුක් සෝ සුසුම් නිවමින්
ට්‍රම්ප්ව පරදවමින්....
චීන රුසියා ඇස් මවිත කරවයි
මහ රැජිනියනි...

ආයුබෝවේවා
මහා රැජිනියනි.....

සිරියාවද අභිමන්
ලිබියා උදානය ගෙනදුන්
අරාබියටම වසන්තය වී
ලොවම දිනු ක්ලින්ට...
Isis දණින් වැටිලා
මහා රැජිනියනී....

ආයුබෝවේවා
හිලරි රැජිනියනී....//

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ




ට්‍රම්ප් උපහාර ගීතය



ඇමරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ආධාර කරන පාක්ෂිකයන් වෙනුවෙන් ලියූ...

ට්‍රම්ප් උපහාර ගීතය..

(  මෙය ඔබයි අපට අප්පච්චී ගීතයේ තාලයට ගායනා කළ හැක )

.
රන් අරුණැල්ලේ පීදෙන
තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
නිල් පවනැල්ලේ රැලි
නයගරාවේ නුඹ පෙනෙනා....//

ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
නුඹයි අපට ට්‍රම්පච්චී...//
ආසිරි ආසිරි ආසිරි ආසිරි
පතමු දිගාසිරී...

කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
බිළිඳු මුවේ නුඹ හිඳිනා...
දෙව් මව් සුවඳේ මුමුණන
මව් තුරුලේ නුඹ පෙනෙනා....

ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...
නුඹයි අපට ට්‍රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...

පුටින්ටත් වද දෙමින්
අයි එසුත් යටකරන්
හිලරිවත් පරදමින්
මුළු ලොව දිනන්න
කියා දුන්නේ නුඹයි.....

ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
නුඹයි අපට ට්‍රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

Sunday, November 6, 2016

නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව




පෙර එක් සමයකැ ලංකාපුරයේ සිය අණසක පැතිරූවා වූ වීර විභූසන සද්ද විද්ද පළඟ පතිර පණික්කිරාලලාගේ නිමල වංශාභිධාන මහාමාත්‍යාගේ කතාවත්තුව හුදී ජන පහන් සංවේගය උදෙසා අකලංකාරයෙහි මෙසේ ගෙන හැර දක්වන්නාහුය...


පෙර ලංකාපුරයෙහි කාලෞත්තර පෙදෙසෙහි එක් දුර බැහැර නියම් ගමෙක පින්වත් නිමල වංශාභිධානයෝ උපන්නාහ.. කුමාරනුවානෝ උපන් දිනයෙහි ලොව බලගතු අධිරාජ්‍ය වූ මහා යැංකි අධිරජයද, හිරු නොබසින යූ කේධිරාජ්‍යයද, ජම්බුද්වීපයද , මකරාධිරාජ්‍යයද පරමාණු පහර කෑ හිරෝසීමාව මෙන් මහාභූමිකම්පාවකින් සෙලවී ගියාහුය... මෙය දුටු නැකැත් කරුවෝ සුදු කපුටෙක් දුටුවාක් මෙන් මහා පුදුමයට පත්ව දෙඅත් නලලේ තබා බිම පෙරළී කුමරාට වැඳ මේ නම් මුළු ලොව බලවත් අධිරජයන් බියෙන් තැතිගන්වන්නා වූ මහා පුරුෂයෙක්මය.. මේ කුමරාගේ නියම ජන්ම පත්‍රය කිසිවෙකුටත් හසු නොවන්නා සේ ආරක්ෂාම කළ යුතුය.. එය දැක පමණි මොහුගේ බල බිඳිය හැක්කේ .. " කියා.. උපන් වේලාව හා දිනය දන්නාවෙකුට වේලාපත්කඩයක් සෑදිය හැකි බැවින් ව්‍යාජ උපන් දිනයක්ම දමා වෙනත් වේලා පත්කඩයක් සාදා දොරමඬලාවේ සඟවා රැකි පණ්ඩුකාභය කුමරුන් මෙන් ලොවින් සඟවා කුමරුන් රක්ෂා කරන්නාහුය... බටහිරාධිරාජ්‍යයේද ජම්බුද්වීපයේද නැකැත් කරුවෝ ඔවුන්ට බලපෑම් වන්නා වූ මේ කුමරුන් සොයා අනාගත වකෲන් කියූ ලෙස ලොව පීරමින් සෙවූ නමුදු ඔලු දෙකක් ඇති දෙපත් නයෙක් සේ උපන් දින ද්විත්වයක් ඇති නියා නිමලා කෞමාරනුවානෝ සොයා ගැනීමට අපොහොසත් වන්නාහුය..
කෞමාරනුවානෝ නිසි වයස් එළඹි කල්හී   සිප් සතරාග්‍රහණය පිණිසමැ දිසාපාමොක් ආචාරීන් සෙවණට යවන්නාහ.. පූර්වයේ කරන ලද කුශලකර්මානුභාවයේ මහිමයෙන් ගෙනා නිසඟ ඥානය ඉඳුනු අඹ වල්ල ගසේ කොතැනක සැඟවුවත් ගමේ කොල්ලන්ගෙන් වසන් කරන්නට නොහැක්කා සේ ලොවටම විහිදා පෙනෙන්නට විය...
දිනක් කෞමාරනුවානෝ දිසාපාමොක් ඇදුරාණන් ගණිත විශයෙහි සතතාග්‍රහණය කරන්නාවූ වේලාවේ ද්විත්වයෙන් ද්විත්වය බෙදීමක් කළාහූ නම් පිළිතුර එක යැයි කී විට...

Wednesday, October 26, 2016

ශ්‍රී පාදය රැකගන්න ඕනෙද..?


ඔව් විල්පත්තුව වගේම ශ්‍රී පාද රක්ෂිතයත් රාජපක්ෂලාගේ පූර්ණ සහයෝගයෙන් පටන් අරන් යහපාලනේ ඇතුලෙදිත් විනාශ වේය....
ඉස්ලාම් අන්තවාදීන් එතන ව්‍යාප්තවාදය ගොඩනගමින් සිටිති...
දැන් උන්ව සහජීවන කතා කියා බබා කළ යුතු නැත. කළ යුතු එකම දේ නීතිය ක්‍රියාත්මක කිරීමයි... ( අන්තවාදීන් යනු හැම මුස්ලිම් එකාටම යොදන සමාන පදයක් නොවේ. )

දැං එතකොට කළ යුත්තේ මේකෙ එක එකාගෙ සිම් කඩ කඩා පොටෝ දාන එක අරූට මූට වීරයො වගේ කීබෝඩ් එක උඩ නැගලා බැන බැන ජාතිය අමතන එක නෙමේය.. සිම් කැඩුවා කියා උන් මේක නවත්තන්නේ නැත.. කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමයි..
අර සේනා මේ සේනා අහවල් බලය හදාගෙන ප්‍රශ්ණය ජාතිවාදී කරගෙන මරාගැනීම නෙමේය..
කඩු පොලු මන්න කැති ගෙන අහවල් ජාතිය කඩු ගෑමද නෙමේය..
මොකද ලංකාවේ කැලෑ කපන්නේ එක ජාතියක උන් විතරක් නෙමේය.. ඒ නිසා කොයි කැලෑවත් කැලෑවය.. මොකා කැලෑ කැපුවත් වැරදිය.. ප්‍රශ්නයට ජාති පක්ෂ ගාවා ගැනීමෙන් වෙන්නේ ඇත්ත යට ගොස් වෙන ජාති පක්ෂ පාට කතා ඉලිප්පී විය යුතු දේ නොවීමයි... විල්පත්තු ප්‍රශ්ණයටත් උනේ ඒකමය...
අන්තවාදය කොයි ආගමෙන් කළත් කොයි ජාතියෙන් කළත් වැරදිය... එම නිසා එයට සියළු මිනිසුන් විරුද්ධ විය යුතුය...

Thursday, October 20, 2016

පශ්චාත් අන්තර්ජාල මරණ කළමණාකරණය පිළිබඳ එක්සත් සමාජජාලා මරණාධාර සංගමයේ ඒකාබද්ධ නිවේදනය...


හදිසි අනතුරකින් මියයන්නේ නම් බීමතින් සිටීමෙන් , මීට පෙර මත්පැන් පානය කර තිබීමෙන් හෝ කොකාකෝලා වීදුරුවක් අත තබාගෙන හෝ ඡායාරූප ගැනීමෙන් වළකින්න..
සමාජජාල තර්කයට ( බුකිලොජික්) අනුව හදිසි අනතුරුවලට ලක්වී මියයන සියල්ලන් බේබද්දන් වන බැවින් ඒ අවමානයෙන් ඔබට ගැලවිය හැක..
එසේම විශාල අශ්වබල ප්‍රමාණයේ වාහල වල, යතුරු පැදි වල සිට ඡායාරූප නොගැනීමෙන් ඔබට අහවල් වාහනේට පෙම් කළ එකා ඒකෙන්ම මරු දකී වැනි ප්‍රකාස වලින් ගැලවිය හැක...
එමෙන්ම සිගරට් බීම්,  ගැහැණු ළමුන් ළඟතබාගෙන ඡායාරූප ගැනීම්, ඇඟිලි දෙක පෙන්වා රැප් ආකාරයෙන් පොටෝ ගැනීම්, හෝ ඒවා අප්ලෝඩ් කිරීමෙන් , කොට කලිසම් අත් නැති ටි ෂර්ට් ඇඳීමෙන්ද වළකින්න..
එසේම සමාජශාලාවක හෝ ඒ හා සමාන ආලෝකය ඇති නයිට් කඩයක් අසල සිට හෝ ඡායාරූප ගැනීමෙන් වළකින්න..
මේ මගින් ඔබ සල්ලාලයෙකු, ස්ත්‍රී දූෂකයෙකු , පව්කාරයෙකු , හොඳ වැඩේ ඕකට ආදී ලෙස අනවශ්‍ය ප්‍රතිචාර ලබා ගැනීමෙන් වැළකිය හැක...

Wednesday, October 19, 2016

සජිත් විතරද වැරදි..??



ආසියාවේ ප්‍රථමයෙන් සර්ව ජන ඡන්ද බලය ලැබූ රටවල් වලින් එකක් වන ශ්‍රී ලංකාවේ මහජනයාට සේවය කිරීමට පත් කරන ලද මහජන සේවකයෙක් වන සජිත් ප්‍රේමදාසගේ ලැජ්ජා නැති ගහයට රස්සා දන්සල දෙස බලා පුදුම වූවාද..? එහි කිසිදු පුදුම වීමට දෙයක් නොමැත, අවුරුදු 68 ක් තිස්සේ ලංකාව පවතින්නේ ඔයිටත් වඩා අන්ත පහත් තත්වයක බව එසේ සිතුණානම් ක්ෂණිකව මතක් කර ගන්න..
         රැකියාවක් නොමැතිව පූර්ණ කාලීන දේශපාලනය කරන සජිත් ට ද ඔහුගේ බිරිඳටද පවුලේ අනෙක් අයටද කන්න අඳින්න දෙන්නේ ඒ ගහට පොඩ්ඩක් එහා පැත්තෙන් අව්වේ කරවූ මහජනතාවයි.. යන්න ප්‍රාඩෝ මොන්ටේරූ ද.. විදේශ සංචාර ද.. නවතින තරු හතේ හෝටල් වල බිල් ගෙවන්නේද ඒ අව්වේ කර වූ වැඩකර කඹුරා බදුගෙවනා මේ රටේ මහජනතාවයි.. ඒ මහජනතාව සිරියාවේ යුධ අනාථයන් පිරිසක් සේ ප්ලාස්ටික් පුටුවල කට්ට අව්වේ ඉන්දවා.. තමන්ට කන්න දෙන මිනිසුන් ඉදිරියේම සුවපහසු කැරකෙන පුටුවක් තබා පඬුපුල් ආසනයේ විරාජමානව වැඩහිඳින ශක්‍රයා මෙන් ඉඳගෙන.. බල්ලන්ට පාන් දමන්නාක් සෙ

Monday, October 17, 2016

සුජිතෝත්තම පෙම්දස් කෞමාරනුවානන්ගේ " කතාවත්තුව


එක් සමයෙක බෝ කලකටැ පෙර ලංකාපුරයේ රෞණාසිහ පෙම්දස් රජතුමාණෝ රාජ්‍ය කරන සමයේ එතුමාණෝට දාව පින්වත් පුත් කුමරෙක් උපන්නාහ... ඒ පින්වත් කෞමාරනුවානෝ උප්පතිය ලද්දාවූ දින ලංකාපුරයේ ගම් නොයම් ගම් සිසාරා අමිල නිධන් පහළ වී ජීවිත සරුසාර වූ නියා සුජිතෝත්තම ලෙස කුමරුන්ව නම් කළාහුය..
කෞමාරනුවානෝ ද සිය පිය රජුන් මෙන් රාජ්‍යට උරුම් කම් ඇත්තා බව නැකැත්කරුවෝ කී හෙයින් ශාස්ත්‍ර ග්‍රහණය පිණිසම විදේශ ගත කළාහුය..
මෙසේ පියරජුන්ගේ ඇවෑමෙන් විජයාංග රජුද, සැටලයිටානියා අධිරාජිනියද, ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහාධිරජාණෝද , පසුව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් රජුද රාජ්‍ය භාර ගත්තෝමය...
මේ සියළු අවධි වලදී මහාමාත්‍ය මණ්ඩලයේ කාර්‍යශූර මන්ත්‍රියෙක් ලෙස සුජිතෝත්තම පෙම්දස් කෞමාරනුවානෝ රාජ්‍ය සේවය පිණිසම කැපවීය... දහස් ගණනක් ජනතා මනාපයෙන්ම දිනෙන් දින වැජඹුනාහුය...
මේ කෞමාරනුවානෝ ගේ පින් මහිමය කෙතෙක්ද යත් එතුමාණෝ යන යන තැන් වල සිව්මහා නිධන් පහළ වන්නාහ.. කෞමාරනුවානෝ ද ඒවා එක් කර තම සැප පිණිස නොයොදා ගම් දනව් සිසාරා යමින් මහ ජනයා අතරේම බෙදා දුන්නාහ..
දුටුගැමුණු පුත් ශාලිරාජ කුමරුන් තමන්ට ලැබෙන සියළු වස්තු මහජනයාටම දෙන්නාක් මෙන් මෙතුමානෝ ද මහජන සේවයෙහිම යෙදුනාහ..
ගමෙන් ගමට දොරින් දොරට ජනේලයෙන්

Friday, October 14, 2016

මන්දිර බැසිලාණන්ගේ කතා වත්තුව


පෙර ලංකාපුරයේ ත්‍රී සිංහලාධීෂ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන අධිරජාණෝ රාජ්‍ය කරන සමයෙහි ලංකාපුරය සීඑෆ්ඇල් පහනින් ආලෝකමත් කළ කේතුමතී පුරය මෙන් බබලන්නාහ.. එතුමාණන්ගේ පූර්වයෙහි කරන ලද ආනුභාවයෙන් රාජ්‍ය දිනෙන් දින ඉදුණු පොල්වල්ලක් මෙන් ඉසුරින් බර විය..

මෙකල ලක් පුරයේ සකල කහවණු කටයුතු භාණ්ඩාගාර භාරව සිටි අමාත්‍යා වූයේ ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහාධිරජාණන්ගේ මළනු බැසිළානෝ ය... හෙතෙමද මහා පුන්‍යවන්තයෝ ය.. පූර්ව ආත්ම භාවයකදී අධ්‍යාපනය හදාරන භික්ෂූන්ට පොහෝ කටයුතු දැනගනු වස් ඈපා ලිත් ලක්ෂයක් තම දෑතින් සත් වසක් මුළුල්ලේ ලියා පූජා කළ පිනෙන් දහස් වසක් දෙව්ලොව සිට මෙහි ඉපිද ඒ පුන්‍යානුභාවයේ මහිමයෙන් මෙහිද බැබළෙන්නාහ...

මෙතුමාණෝ බෝ දන හිත සුව පිණිස ගම් දනව් නියම් ගම් ග්‍රාමසේවා වසම්  සිසාරා සැරි සරමින් සකල ලක්වැසි දණන්ට උපකාර කරන්නාහ.. දිනක් මෙතුමාණෝ දුෂ්කර ග්‍රාම සංචාරයක නිරත වෙද්දී එක් විහාරයක පෙහෙවස් සමාදන්වූ උවැසියන් පිරිසක් දුටුවාහ..
ඒ උවැසියන්ගේ සුදු වන් උතුරුසළු වෙදර්ෂීල්ඩ් නොගා කලක් වැස්සට හසුව දිය සෙවල බැඳි තාප්පයක් මෙන් කහවන් වී අවපැහැ වී තිබුණ.. මෙය දුටු බැසිලාණන්ගේ සිත පෙට්‍රල් බඳුනකට දැමූ රෙජිපෝම් කැබැල්ලක් මෙන් උණු වන්නට වන්නාහ..

මා සුදු හැඳ සිටියදි මේ පින්වත් උවැසියෝ අවපැහැ පිරුවට දරති.. අහෝ මහත් ලැජ්ජාවකියි...!! සිතා සුනාමියට ලක්වූ කෝච්චිය මෙන් කම්පාවට පත්ව සිය හැඳ සිටි සුදු සරම ගලවා

Wednesday, October 12, 2016

මහභාණ්ඩාගාර බන්ධකාර සොරකම කතාවත්තුව


පෙර ලංකාද්වීපයේ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රජුන් රාජ්‍ය කරන සමයෙහි රාජ්‍ය භාණ්ඩාගාරය බටහිර අධිරාජ්‍යවාදී මං පහරන්නන් විසින් බිඳීමට යෙදිණ..
ඒ වෑයම ව්‍යර්ථ කළ නියා වීර පුත්‍රයෝ වෙනුවෙන්මැ ලියවෙන අකලංකාරයෙහි  භාණ්ඩාගාර සොරකම් කතා වත්තුව මෙයි ඇරඹෙන වගයි....!!

පෙර ලංකාපුරයේ ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන මහා අධිරජාණෝ රාජ්‍ය විචාරන අවධියේ ලංකාපුරය පිරිමි නේවාසිකාගාර රැසක් මැද පිහිටියා වූ කාන්තා නේවාසිකාගාරයක් මෙන් ලොව නේක නේක දේශයන්හි කිත් පැසසුම් මැද වැජඹුනාහුය... උතුරින් උගන්ඩානු මහා අධිරාජ්‍යයද... වයඹින් ස්වාසීලන්තානු අධිරාජ්‍යද.. හයිටියද , සීෂෙල්ස් ද , අඟහරු පිටසක්වල ද ආදී ලොව යටත් කරගෙන සිටි මහා අධිරාජ්‍යවල පවා ගෞරවයට ලක්වෙමින් වැජඹුනාහුය.... අමෙරිකානු අධිරාජ්‍යයද ජම්බුද්වීපයද.. මකර දේශයද බල්ලකු දැක වෙව්ලන පූසෙකු මෙන් ලංකාධිරාජ්‍ය ඉදිරියේ දණින් වැටී මහින්දෝත්තම මහ රජුන්ට නමස්කාර කරන්නට වන්නාහ... සෙන්පති විමලා වංසාභිදානන්ගේ එක බැල්මෙන් සලිත වන්නාහ... සේනාධිපති යසෝසිතා කුමාරණුවෝට භය පක්ෂපාතව සිටියාහුය...

යටකී අධිරාජ්‍ය වලින්ද... ලොව මවිත කල මත්තල අභ්‍යාවකාශ පරීක්ෂණායතන වලින්ද... බැලූ බැලූ අත මහා නැව් වලින් කූඹි ගුලක් මෙන් වැසී ගියා වූ හම්බන්තොට තොටුපලින්ද... එතනෝල්ද, හේරෝයිනාදී ආහාර ද්‍රව්‍ය වලින්ද ස්වයංපෝෂිත ව ලංකාදීපය බැබළෙන්නට වන්නාහ...
මකර දේශය වැනි මහා රටවල්වල රජුන් මහින්දෝත්තමයන් ඉදිරියේ දණනමා තම ජනයාට කෑමට දීමට කහවනු ණය ට ඉල්ලා ලංකාපුරයට පැමිණියාහුය... ඇබොරිජීන්වරු බෝට්ටු සාදා මහාසාගරය තරණය කරමින් ලංකාද්වීපයට ඇදී ආවාහ..
මෙසේ සංවර්ධනයෙන් ආඩ්‍ය වූ දේශයේ මහා භාණ්ඩාගාරය වික්ටෝරියා වේල්ල ඇර එහි ජලය එකතු කිරීමට ෂොපිං උරයක් තැබුවාක් මෙන් පිරී ඉතිරී යන්නට විය...

මේ අතරවාරයේ

Monday, October 10, 2016

ෂර්ලොක් හෝම්ස් සහ ප්‍රියන්තගේ මැණික් පෙට්ටිය


පමුණුව පාරට තවත් එක් උදෑසනක ... හෝම්සුත් මමත් උදේ කෑමට පෙර දවසේ පුවත්පත් බලමින් සිටියෙමු... රූපවාහිනියේ "සරණ" නාලිකාවේ පුවත් පත් කියවන කොල්ලාගේ විස්තර විචාරය අසමින් සිටියෙමු... ඒ තරුණයා ද හෝම්ස් මෙන් විශ්ලේෂණයට උපන් හපන්කම් ඇත්තෙකි.. ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කොටහළුවක රතිඤ්ඤා කරලක් පිපිරී තුවාල වීමේ පුවතට අනුව තවත් දින 114 යි පැය 5යි විනාඩි 8 ක් තුළ කොටි නැගිටින බවත්... ජාතික ආරස්සාව බිඳවැටී ඇති බවත් රතිඤ්ඤා කරලේ මැටි ගුලිය විසිවී ඇති ආකාරය දෙස බලා ඔහු නිගමනය කර පැවසුවේ ය...

උගුර පෑදූ හෝම්ස් මා දෙස බලා..

" ඔන්න බලන්න වොට්සන් ඔය කොල්ලා කවද හරි CID එකට බැඳුනොත් ඔබටයි මටයි මේ රැකියාවෙන් විශ්‍රාම අරගෙන 138 බස් එකක කොන්දොස්තර වැඩකට යන්න වෙනවා..."" කියා බැරෑරුම්ව කීවේය...

මේ අතර යමෙක් වේගයෙන් පඩිපෙල තරණය කරමින් එන හඬක් ඇසුණි... මම වහා රූපවාහිනිය විසන්දි කර කන් දුන්නෙමි...

දොරට තට්ටු කරන හඬ ඇසුණි...

මම ගොස් දොර ඇරියෙමි...

උස කෙට්ටු කොණ්ඩය අවුල් වූ අවු 33 ක පමණ තරුණ පුද්ගලයෙක් දොර අසලම සිටගෙන සිටියේය.. ඔහුගේ දෙනෙත් වල පෙණුනේ ශෝකාකූල බවකි...!!

ඔබද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ...?

තරමක් වෙව්ලන ස්වරයකින් ඔහු මා දෙස බලා කතා කළේය...

නෑ.. අර ඉඳගෙන ඉන්නෙ ෂර්ලොක් හෝම්ස්... එන්න ඇතුලට...

හොඳයි...


ඔහු කඩිසර ගමනින් පැමිණ ඉඳගත්තේය...

මොකක්ද මහත්මයා ඔබේ ගැටළුව...
හෝම්ස් මදක් සිනාසී දෑත් නිකට මත තබා ඉතාමත් උද්‍යෝගයෙන් ඇසුවේය...

Sunday, October 9, 2016

මෙත්පල් සිරිසොන් පුත් යුවරජ "ක්ලබ් දෝහොම් සිරිසන්" කතා වත්තුව


එකල්හි ලංකාපුරයේ අපමහා ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන නිරිඳානෝ සිය දිවියේ සැඳෑ සමය භාවනායෝගීව ගතකරන්නෙමිහියි සිතා සිය අනුප්‍රාප්තික අමාත්‍යා වූ මෙත්පල් සිරිසන් තෙමෙ හට රාජ්‍ය භාර කර මන්දමූලන ගම්මානයට නික්මීමෙන් පසුවැ මහින්දෝත්තම රජුන් කළාක් මෙන්ම සශ්‍රීකත්වයෙන් මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන්නාහුය... එක් රත්තී මුලකින් කෝප්ප 40ක් හදනා මිසිස් පෙරේරා මෙන් රාජ්‍යයේ ධනය ඉතිරි කරමින් පොදු ප්‍රවාහනයේ එල්ලී ගමන් කර , හන්දියේ සුමනක්කා ගේ කඩයෙන් වන්ඩු ආප්ප කා ප්ලේන්ටී බී සරලව රට පාලනය කළ නියාවෙන් රටවැස්සෝ එතුමාණෝ ව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ගෞරවනාමයෙන් අමතන්නාහුය....
මෙසේ මහින්දෝත්තම රජුගේ සමයේ නිදුක්ව සුවපත්ව කල් ගත කළ අණබෙරවේදීන්, දිසාපාමොක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, රගර් පන්දු ක්‍රීඩකයෝ ද මෙන් මෙකල්හිද සියලු සත්වයෝ නිදුක්ව නීරෝගීව සුවපත්ව කල් ගත කරන්නාහුය...

මෙසේ සුඛිත මුදිතව ජනයා කල් ගෙවද්දී රටේ සදාචාරය සංස්කෘතිය ද වැවද
 දාගැබද ගමද පන්සලද රැක්මෙහි ද මෙත්පල් නිරිඳානෝ වැඩ කටයුතුම කරන්නාහුය...
වරක් පරදේශයක සිට පැමිණි හෙන්දිරික්  ඉලේපෙරුමාල් නැමැති ගායක තෙමේ නේක නැටුම් ගැයුම් සමගැ අගනුවර මන්මත්ව ගී ගයන්නට වන්නාහ... අප්පච්චී ගේ රැළියක් මෙන් කෝටි ගණන් ජනී ජනයාගෙන් ප්‍රසංග ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියාහුය..
මින් රළ බේරේ වැවට රැස් වූහ... කොළඹ බල්ලෝ සිතියම් ලෙසින් සිටියෝය... මව් වරුන්ගේ ඇකයේ දරුවන් පියාගේ උරිස්සට වැටුණි... ඔහුගේ කඩවසම් පෙනුමට වශී වී වෙව්ලා ගිය තරුණ කාන්තාවන්ගේ තිසර පට

Tuesday, October 4, 2016

ෂර්ලොක් හෝම්ස්


එදා සිකුරාදා දිනයකි.. මහරගමට  සුවබර රාත්‍රියක් වූ නමුත් තරමක වැහිබර ගතියක් තිබිණි. හෝම්සුත් මමත් සුපුරුදු පරිදි ඉරිදා පුවත්පත් බලමින් සිටියෙමු..
හෝම්ස් තම ඇඟිලි අතරේ සිය සිගරට්ටුව රඳවාගෙන පුවත්පත බලන අතරතුර තරමක කල්පනාවක නිමග්නව සිටි බවක් පෙණුනි..
එක්වරම උගුර පාදා හෝම්ස් තම හඬ අවධි කළේය..
"වොට්සන් ඔබට මම කිව්වොත් මේ මම බොන අන්තිම සිගරට් එක කියලා එයින් ඔබ එළඹෙන නිගමනය මොකක්ද...? "

හෝම්ස් එය ඇසුවේ මා දෙස නොබලාම පුවත්පත දෙස දෑස් අයාගෙනය.. තරමක බැරෑරුම් ස්වරූපයක් ඔහුගේ මුහුණේ තිබුණි..
මට එකවරම දීමට පිළිතුරක් සිතා ගත නොහැකිව " මම හිතන්නෙ ඔබේ ඇදුම ගතිය වැඩි වෙලා වෙන්න ඇති " යයි කීවෙමි..
නෑ මගේ මිත්‍රයා තව වරක් උත්සහ කරලා බලන්න.. ඔබේ නිරීක්ෂණ හැකියාව දියුණු කරගන්න නම් මීට වැඩිය මනස මෙහෙයවන්න ඕනෙ වොට්සන් යැයි හෝම්ස් නැවතත් මා දෙස නොබලාම කීවේ ය...
මම නැවතත් සිතන්නට වූයෙමි.. මීට සතියකට පෙර හෝම්ස් පමුණුව පාරේ ෆාමසියෙන් මා සමගම ගොස් මා ලියා දුන් බෙහෙත් ගත්තේ කැස්ස වැඩි වීම නිසාය.. එහෙයින් මට සිතුනේ මීට පෙර කළාක් මෙන් බෙහෙත් නියමිත වෙලාවට නොබීම නිසා මම බනින බැවින් වත්තෙගෙදර ඩිස්පෙන්සරියෙන්  දොස්තර වරයෙක් චැනල් කර බෙහෙත් ගෙන ඇති බවත් ඔහු දුම්පානය නවතන ලෙස තදින් අවවාද කර ඇති බවත් ය...

මේ අතරම එක් වරම කාන්තාවන් කෑ ගසන ශබ්දයක් ඇසුන බැවින් වහාම මා එයට අවධා යොමු කළෙමි...

" හඩ්සන් නෝනට කරදරයක්ද දන්නෙ නෑ හෝම්ස්.. කෑගහනව ඇහෙනව පහළ.. අපි ගිහින් බලමු... "

එසේ කියමින් මම සරම හදා ගන්නා අතර පුටුවෙන් නැගිට්ටෙමි..

හෝම්ස් මා දෙස බලා මද සිනහවක් පා " ඉඳගන්න යැයි හිසින් සංඥා කළේය.. මා දොර දෙස බලා නැවත හිඳගත්තෙමි..

ඇයි හෝම්ස් හඩ්සන් නෝනට කරදරයක් ද දන්නෙ නෑ.. ගිහින් බලන්න ඕනෙ නේද අපි...  ?

වොට්සන් ඔබට ඇහුනද ඒ ශබ්ද..

Saturday, October 1, 2016

අනේ උඹලෑ ළමා දිනේ


ගසා හොරණෑ දවුල් වන්නං ඇවිත් ලොකු ඇමති .........මැතී
පිරිවරා මැති ඇමති සමගින් වේදිකාවක වැනි...............වැනී
දොඩා කියමින් ලොකු කතා මළු ළමා දිනයේ හැපි........හැපී
හමාරව යයි කතා කර පැය තුනට දරුවෙක්......කෙළෙසෙති

ඇමති නිළදරු එක එකා ඇත ළමයි රකිමියි....................කියමිනා
සභාපතිල ද සංවිධානද පඳුරු ගණනින්..........................බිහිවෙනා
මීඩියා වල පුවත්පත් වල දරුවො ගැන උන්.....................කියවනා
එක් දිනට මේ පොළොව මත අට දෙනෙක් දරුවන්....කෙළසෙනා

කප්පරක් ඇත සම්මතව ලොකු නීති උන්ගේ ...............හිතුමතේ
පාසලක් නැත දරුවො දහසක් හඬයි තවමත්.................මහමගේ
උගන්වන්නට  දරුව යවනට එකේ වසරට......................පාසලේ
ප්‍රින්සිපල් හා නිදිවදින්නට අම්මා යායුතු මේ.......................රටේ

Friday, September 30, 2016

පාසල් ශිෂ්‍ය නායක මානසික රෝගය


පාසල් ශිෂ්‍ය නායකයෙකු යනු කවුද..?
ඔවුන්ට අනෙකුත් දරුවන්ට පහර දීමට අඩන්තේට්ටම් කිරීමට බලය ලැබුණේ කෙසේද..??
ඔවුන් අනෙකුත් දරුවන්ගෙන් වෙනස් විශේෂයක් ලෙස පෙනී සිටින්නේ ඇයි...?
පාසලේ අනෙක් දරුවන්ට නොලැබෙන විශේෂ වරප්‍රසාද ඔවුන්ට ලැබෙන්නේ කෙසේද..??
පාසල් පරිපාලනය හා අධ්‍යාපන බලධාරීන් , ළමා කාර්යාංශ නිදිද..?


මෙසේ දිගු කාලයක් තිස්සේ ඔවුන් බොහෝ බහුබූත නොගැලපෙන ක්‍රියා සම්ප්‍රදායක් ලෙස කරගෙන ගොස් එය පාසලේ නීතියක් සේ සිතා ක්‍රියා කරගෙන යන අතර විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද එය එසේය කියා නිශ්ශබ්දව සිටියි...

ශිෂ්‍ය නායකයෙකු යනු පාසලක අනෙකුත් ළමුන් අතුරින් අධ්‍යාපනය, බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, නායකත්ව ගුණාංග වැනි සාධක මත පාසලේ වැඩකටයුතු වලට යම් සහයක් ලබා ගැනීමේ අරමුණින් පත් කරගන්නා සිසුන් කොටසයි... එමගින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය ද ඒ ආදර්ශයෙන් අනෙක් සිසුන්ට නායකත්වය පිළිබඳ ආදර්ශයක් ලබා දීම , පාසලේ හා සිසුන්ගේ විනය ආරක්ෂා කිරීමද බලාපොරොත්තු වෙයි...

නමුත් බැජ් එක නිසා ඔවුන් විශේෂ වරප්‍රසාද සහිත, පොලිස් බලතල ඇති විශේෂ ජීවීන් පිරිසක් වන්නේ නැත...

සත්‍ය තත්වය එසේමද....?

Monday, September 26, 2016

Music පුපුරෝපං.....!!



අපෝ අපේ කාලෙ වගේද දැන් හැදෙන ඒවා කිසි කමකට නෑ...
අපේ කාලෙ සින්දුනෙ සින්දු... දැන් ඒවා ප්‍රබුද්ධ නෑ.. සුභාවිත නෑ..

වගේ කතා ගොඩාක් ඔබේ වැඩිහිටියන්ගෙන් ප්‍රබුද්ධ යැයි සම්මත උගත් බුද්ධිමත් යැයි සම්මත විචාරකයන්ගෙ ගීත විශාරදයන්ගෙන් හැමදාම අපි අසන්නෙමු...

අනේ සතේකට ගණං ගන්නෙපා...

ඕකට කියන්නෙ අතීතකාමය...
ඔය මිනිස්සුන්ගේ තාත්තලාගේ පරම්පරාව කිව්වේද ඕකමය..
ඒ තාත්තලාගේ තාත්තලාද කිව්වේ ඕකමය..
අපේ කාලෙ තමා හොඳ තොපේ කාලෙ හොඳ නෑ කියා හැම පරම්පරාවම තම දරුවන්ට කියයි..
කලාව කියන්නෙ මනුස්සයෙක්ගෙ හිතේ ඇතිවෙන හැඟීමෙ පිටතට දාන නිරූපණය... ඒක ජීවත්වෙන කාලෙට සමාජෙට සාපේක්ශයි.. එතකොට ප්‍රබුද්ධ විචාරක මහත්තයෙක් කියනවනං එයාගෙ කාලෙ ඒවා හොඳයි දැන් ඒවා හොඳ නෑ කියලා ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නෙ " මං හිතපු විදිහට තොපිත් හිතපල්ලා"  කියන එක....

නෑ එහෙම වෙන්නෙ මොන එහෙකටද...

Saturday, September 24, 2016

ලංකාවේ සින්දු හිට් කිරීම


මීට කලින් ලිපි වලින් ලංකාවේ හිට් කරගත හැකි ටෙලියක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඔබව දැනුවත් කළා මතක ඇතිය.....

මේ කියන්නට යන්නේ හිට් කර ගත හැකි සින්දුවක් නිර්මාණය කර ගන්නා ආකාරයයි...

මුලින්ම ඔබ ගීය හිට් කිරීමට නං අනිවා බූට් සින්දුවක් හැදීමට සිහිතබා ගන්න..

දැන් කළ යුත්තේ ගීය ලිවීමයි

ඒ සඳහා එදිනෙදා ජීවිතයේ භාවිතාවන කෙඳිරි ගෑම් , අඳෝනා , ලතැවීම් , හීල්ලීම් , හොටු පෙරීම් ආදී අවස්ථාවල භාවිත වන වචන යොදා ගන්නේ නම් මැනැවි...
උදාහරණයක් ලෙස

 " ඔයා ගියේ මොකෝ,
අනේ ආපහු එන්න දෙයියනේ ,
මම මැරෙනවා ,
අනේ මාව මරන්න,
ලොකු අම්මා පල්ලා මං වහ බොනවා, මට සල්ලි නෑ ඒ උනාට මගෙ හදවත පෝසත් , ( ඒක බැංකුවෙ තියලද මිනිහො සොපිං යන්නෙ ඇහුවොත් අදාල නැත ) ,
 යන්න කලිං කියන්න තිබ්බනෙ....( හොඳ නෑයි කියලා කලිං කියන්න මං සුමනදාසද ඕයි කියලා ඇහුවොත් ඒත් අදාල නැත )
එයා එක්ක ඉඳලා එපා උනොත් ඔයා ආයෙ මං ගාවට එන්න බබා...
ඕන්නං ආයෙ යන්න මං තරහ නෑ...
සතියකට සැරයක්වත් ඩේටා කාඩ් එකක් අරන් මාව බලන්න එන්න....
මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ....
ඔයා මගේ පණ...
පණටත් වඩා ආදරෙයි... ඔයා නැතුව මං දිවි නහගන්නවා.. ( දිවි නහගන්නෙ පණට ආදරේ නැති හින්දනෙ මිනිහො.. ඉතිං මං පණ නං තෝ මටත් ආදරේ නෑනෙ කියලා ඇහුවොත් කරන්න දෙයක් නැත )
අයියෝ

අම්මේ
බුදුඅම්මේ
වාවන්නෑ
පපුව පැලෙනවා
ඔන්න පැලුනා...

ආදී වචන ලිස්ට් එකක් සාදා ගන්න...

දැන් තියෙන්නේ ඒවා එකතු කිරීමයි.. ඒවා සරල ලෙස ඔබට හිතෙන අයුරින් එකතු කරන්න... උදාහරණයක් ලෙස...

ඔයා ගිය දා රෑ පුරා
මම බිම පෙරළී ඇඬුවා
කඳුලු වලින් කම්මුල් තෙමිලා
ලස්සන රතු සායම් මැකුනා
ඔයා අරන් දුන් කමිසේ.....

Saturday, September 10, 2016

48 සිට - තාම එතනමය


48 සිට...,
ගෝත්‍රිකයෝ රැස්වෙති
සෙනග ගණන් කරති
අපි කැපුවත් අහවල් පාටයයි පවසති
අහවල් එකා අපේ අහවලා යයි පවසති
ඌ මත්තේ මැරෙති
ගිණි තියාගති
අපේ අහවල් මුත්තාගේ සිට මේකේ යකෝ යැයි කියති
පොඩි එකාවත් බන්දති
අපේ ආදරණීය මෙව්වා එක යයි නටති
රඟති
පයින් යති
කති
බොති
පාර වසති
හුරේ දමති
විසිර යති
ලොක්කන් ලොකුවෙති
හුරේ දැමු වහලුන් හැමදා විසිල් ගසා ණයට බඩු ගෙන පෝලිමෙන් බෙහෙත් ගෙන ගෙදර යති
පම්පෝරිය නම් ගසති
රට එතැනම සිටිති

Thursday, September 8, 2016

දුමින්ද පෝරකේට - සතුටු වෙන්න පුළුවන් ද ?


දුමින්ද ට මරණ දඬුවම ලැබීම පිළිබඳ ඔබත් ප්‍රීතියෙන් පිනා ගියේද...?  සතුටු වීමට දෙයක් නැත.. ඇත්තේ අධිකරණය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක් පමණි.. එයත් සියුම් ය...
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආණ්ඩුවේ මන්ත්‍රීවරියකි... ඇය ආණ්ඩුවේ නොසිටියා නම් තත්වය මීට වෙනස් වන්නට තිබුණා යැයි උපකල්පනය කළ හැක..දුමින්ද ලෙසම මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නිමල් ලන්සා , කුඩු කන්ටේනර් සිද්ධියට චෝදනා ලැබූ අනුරාධ ජයරත්න වැන්නවුන් යහපාලනය රජයේ තනතරු වරප්‍රසාද දරමින් තවමත් නිදැල්ලේ පසුවෙයි... පරීක්ෂණ ද චෝදනා ද නැත..
සමහරවිට වෙඩි තැබීමෙන් දුමින්ද මියගොස් භාරත ජීවත් වූවානම්ද තත්වට මීට වෙනස් වන්නට තිබුණි...
එම නිසා මේ සිදුවීම බලාපොරොත්තු සහගත එකක් වුවද


"අම්මෝ යහපාලනෙන් රටේ නීතිය ආයෙ ආවා දෙයියනේ......"

කියා සතුටු වීමට දෙයක් සිදුවී නැත...

වසීම් තජුඩින් , ලසන්ත වික්‍රමතුංග , ලලිත් ,කුගන් , කටුනායක රොසේන් චානක , හලාවත ඇන්ටනී , රතුපස්වල දරුවන් , 88/89 භීෂන සමයේ බටලන්දේ ඝාතනය වූවන් ඇතුළු පසුගිය සමයේ, යුද්ධයේදී ද උතුරේත් දකුණේත් සිදුවූ සියළු ම්ලෙච්ඡ ඝාතන වල වැරදිකරුවන් නිදැල්ලේය....

Monday, August 29, 2016

හැක් සිද්ධිය

දැං ලංකාවේ ගිනිගෙන දැවෙන ප්‍රස්ණය හැක් සිද්දියයි...

අනේ ඒ කොලුවා මාරයි දෙයියනේ...
ඉස්ටීව් ජොබ්ස් හිටියනං ඇපල් එක බාර දෙනව පුංචි අම්මේ..
හපෙ අප්පේ මෙහෙමත් මොළයක්..
වාවන්නෑ හසන්ත මහත්තයෝ...
මෙවන් පුතෙක් ලද දෙමව්පියන් හැක්වන්නේමය..
බත් ඉදෙන්නෑ පුතේ... ඔවා තමයි දැයේ it වීරයා...
මොරටුවෙ , කොළඹ it උන් මොක්කුද...
උඹට රස්සාවක් දීලා සුපර් කොම්පියුටරයක් අරන් දීලා ටෙලිකොම් එකේ ලොක්කා කරලා නාසා එකට සිස්සත්වයක් දෙන්න මේ සිරිසේනට බෑනෙ යකෝ...

ඔන්න ඔය ආකාරයේ අනේකවිද හීල්ලීම්, හොටු පෙරීම්, නාහෙන් ඇඬීම් වලින් වෝල් එක එකම සෙවල ගොඩක් වී ඇත...
උදේ නැගිට ෆේස්බුක් ආවේ ඩිස්ප්ලේ එක  පිහදලාය.. තව පොඩ්ඩෙන් හැකර් වෙනුවෙන් හැලූ කඳුලු ගංගා මත මා ලිස්සා ඇදවැටීමට තිබිණ....

Friday, August 19, 2016

මහා සිස්සත්ව පාස් ගණ දෙවි යන්ත්‍ර රාජයා

   

 දිනූ අධ්‍යාපනය රැකගමු...

 ඝණ දෙවියන් අධ්‍යාපන ඇමති කරනු...!!

==== මහා සිස්සත්ව පාස් ගණ දෙවි යන්ත්‍ර රාජයා ====

ඔබෙ දරුවා සිස්සත්වය සමත් කරවීමට පාසල් යාම නවත්වා කාටුන් බලන්නට ඉඩදී මේ සෙත් කවි කියා ගණ දෙයියන් පුදන්න...!!


සුරිඳ ගණදෙවි
සතට අධිපති
බලනු අප දෙස
පුදන බැතියෙන....

අපේ කොලුවගෙ
වැරදි උත්තර
හරි ඒවා මෙන්
මාක් කරලා...

අනඳ නාලඳ
රෝයලය වෙත
යන්න වරමක්
අරන් දෙනු මැන....


Friday, August 12, 2016

ලංකාවේ ටෙලිනාට්ටි හිට් කිරීම ( 2 කොටස )


මෙහි පළමු කොටසේ ලින්කුව පහතින් දක්වා ඇත.....
පිට රටකින් ගෙන නාට්ටි හිට් කිරීම ගැන අපි පළමු කොටසින් සාකච්ඡා කළ බැවින් අද අප සාකච්ඡා කරන්නේ ලංකාවේ නිපදවා හිට් කිරීමයි...

1 . රජ කතා

මේ කතා සූර වීර බට්ටා., ලක්කම්මා, වංසෙ, හෝ අහවල් රජු හෝ අහවල් දේවී ලෙස නම් කළ හැක...

මේ සඳහා ඔබට මහාවංසයක් අවස්‍ය වෙව්... දැන් ඔබ කල යුත්තේ දෑස් පියාගෙන පොත පෙරලන අතර ක්ෂණිකව අහඹු ලෙස පිටු අතර අත දැමීමයි.. දැන් ඔබේ අත ඇති පිටුවට ආසන්නයෙන් ඇති රජතුමාගේ නම බලන්න... ඔබේ නාට්‍යයේ නම එයයි... බල්ලාටනාග, දප්පුල, ගැමුණු, හෝ සිරියාවතී වන් රැජිනක් වුවත් අවුලක් නැත...
ඔබ කළ යුත්තේ කොහේ හෝ ලෑලි ගසා මාලිගා කෑල්ලක් අටවා රූපගත කිරීමයි... මෙයට ඒ කාලයේ භාවිත කළ ආකාරයෙන්ම ඇඳුම් අවස්‍ය නොවන අතර පමුණුවෙන් පාට පාට රෙදි කෑලි ගෙන මූට්ටු කර අඩු වියදමින් සාදාගත හැක්..
නාට්ටිය ජනප්‍රිය කිරීමට අවස්‍ය වන්නේ ගැඹුරු හඬකින් මේ අපේ ලංකා අම්මා යකෝ... පරයන්ව එලෝනවා යකෝව්... කෑලි කපනවා යකෝව් වැනි පපුවට ගසා කෑ ගසනා වදන් ය....
උඩ පැන කරනම් ගසා හයේ හතරේ කොල්ලන්ට අංගම්පොර නෙලන, අයිබ්‍රෝ සාදා කොන්ඩෙ ස්ට්‍රේට් කළ හුරුබුහුටි කෙල්ලක් සිටීයි නම් වඩාත් උචිතය..
දවුලක් තම්මැට්ටමක් ගසා ඕ ඕ ගසා ගැඹුරින් කියනා ගීයක් තිබීමෙන්ද රේටින්ස් වැඩිවේ...

2. හත්වලාමේ පවුල් කතා

මේ කතා පවුලේ අවුල, අල්ලපුගේ, දරුවෝ මරුවෝ, ලොකු ගේ ආදී ලෙස නම් කළ හැක...

මේ කතාවක් නිස්පාදනය කරන්නේනම් ඔබට වැඩි මුදලක් වැය නොවන අතර මෙගා කිරීමෙන් පට්ට ආදායමක් ලබා ගත හැක..
මෙහි පළමු වර්ගය පොස් පවුල් කතාය..


Wednesday, August 10, 2016

නීමල් කෞමාර කතා වත්තුව


පෙර එක් සමයකැ ලංකාපුරයෙහි ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම පක්සාභිධාන මහා අධිරාජණෝ රාජ්‍ය කරන සමයෙහි එතුමාණන්ටත් සූරන්තී දේවීන් වහන්සේටත් දාව පින්වත් පුත් කුමරාණෝ තිදෙනෙකු ඉපදුනාහ..
අධිරජාණෝ රාජ්‍ය විචාරන කල්හී නිසි වයස් සම්පූර්ණයෙන් සිටි ඔටුන්න හිමි නීමල් කෞමාරනුවානෝ බණ්ඩි ගොයමේ වී ගහක් සේ නෛකශ්‍රීන් විරාජමානව රටවැසි දනන්ට සේවය කරමින් සිටියාහ..
කුමරාණෝ කුඩා කළ සිටම පින්වන්තයෝය... කුමරු උපන්නේ භාග්‍යවන්ත වූ මාසයේ පළමුවැනිදාය.. එදින මන්දමූලන ගම්මානයට සත් රුවන් වැසි වැස්සාහ.. කලක් මහ ඉඩෝරයෙන් පීඩා විඳි මන්දමූලන ගම්මානයට මහ වැසි ඇද හැලී දියෙන් පෙඟී ඇලලී තෙත බරි වී වැව් අමුණු පිරී ගියේ කුහුඹුවන් යන මගකට මුත්‍රා ඇදහැලෙන්නාක් මෙනි.... මෙසේ මහ වැසි ද සත් රුවන් වැසිද වැස දනව්වම නීල වර්ණයෙන් බැබැළු හෙයින් ද පවිත්‍ර වී නිර්මල වී සුද්ද වී ගිය හෙයින්ද පින්වත් කුමරුන් ට නීමල් යැයි නම් තුබූහ..

Thursday, August 4, 2016

ප්‍රේම් දඩයම් තූ ලංකා දේශ් ජාත්‍යන්තරම්


ප්‍රේම් දඩයම් තූ බොහොත් අච්චා ඩ්‍රාමා හේ.. ඒක් ලඩ්කා ප්‍යාර් හේ නාගීනා බොහොත් සුන්දර් මනුශ්‍ය ලඩ්කී... උස් ලඩ්කා හේ ලඩ්කී හේ ප්‍යාර් හා වෙලී දරණම්...
ලංකාදේශ් ආන්ටී හේ නංගී හේ ආච්චී හේ අම්මා අක්කා හේයින් උස්කා ලඩ්කා හෙ උස්කා හස්බන්ඩ්ස් හේ දෝ ඒක්සාත් කර්තාහේ ආවානම් රූපවාහිනී ඉදිරිපසම් යෝ මුඛං අයං හේ බලනම්... තුන්හුලස් චැනලම් බොහොත් සුන්දර් මෙගා ඩ්‍රාමා කර්තා හේ.. ස්වප්නා, මේ ආදරයයි , දෝ ප්‍රේම් දඩයම්... බොහොත් සන්තෝශම්..
ඒක් නාගිනා ලඩ්කී දේ ඩබල් ජීවිතම්.. දිවා වේලම් මනුශ්‍ය හේ චන්ද්‍රා පායනම් වේලම් දෝ නාගීනා ට්‍රාන්ස්ලේට් කර්තාහූ.. කෙසේ හුවා දෝ ලඩ්කා බොහොත් ප්‍යාර්..

හස්ති ආල තෙරුන්ගේ කතා වස්තුව


එක් සමයක කෝලම්තොටේ ඕන්බබෝඇතිනියාරාමයේ බොහෝ තෙද බල ඇති විචිත්‍ර ධර්ම කතික තෙරණුවෝ කෙනෙක් වාසය කළාහුය.. පූර්වයෙන් ගෙනා කුශල කර්මයන්ගේ ආනුභාවයෙන් ලද නෙක ශ්‍රීන් විරාජමාන වූ මහා මන්දිරයක් බඳු විහාරයේ උන්වහන්සේ  විසූ සේක.. ප්‍රාඩෝ ද මොන්ටේරෝ ද අතට පයට දැසි දස්සෝද ලද්දාහුය.. පූර්ව කුශලයේ ආනුභාවය කොතෙක්දැයි කිවහොත් රාජ සභාවට වැඩම කිරීමට ද භාග්‍යවන්තයෝ ම විය.....
පූර්වයෙන් ගෙනා කුශලයේ ආනුභාවය උන් වහන්සේ ගේ දිවිය පුරා සෙවනැල්ලක් මෙන්ම පැමිණියේ ය...
එක් උදෑසනක මනු ලොව දෙස බලා වදාරන ශක්‍ර දේවේන්ද්‍රයා යාල මහ වනයේ මව් මගහැරී සොවින් තැවෙන සුදු ඇත් පැටවෙක් දුටුවාහ..
මේ තේජවන්ත ඇත් පැටවාට පිහිට වන්නේ කෙසේදැයි විමසන ශ්‍රක්‍ර දේවේන්ද්‍රයෝ සිය දිවැසින් අප කතා නායක මහ තෙරුන් දුට්ඨාහ...
උන් වහන්සේගේ මෛත්‍ර්‍රී කරුණා බර හදවත විමසූ ශ්‍රක්‍ර දේවේන්ද්‍රයා ගේ රුධිර සීනී මට්ටම බල්ලෙකු දුටු පූසෙකු මෙන් වහා පහළ ගියේය....
මේ ඇත් පැටවාගේ අනාගතය මේ උතුම් තෙරුන්ටම දෙමියි යැයි ඉටා ගත් ශ්‍රක්‍රයා පසුදා විහාරයේ තිබූ පෙරහැරේ ඇත්ගොව්වෙකුගේ මුඛයට අධිගෘහිත ව ඇත් පැටවා කමිසයේ උඩු සාක්කුවේ දමාගෙන කසකරුවන්ට පිටුපසින් ප්‍රාදුර්භූත විය...
මෙසේ සීරුවෙන් මහ පෙරහැරේ ගමන් කරන ශ්‍රක්‍රයෝ පෙරහැර අවසානයේ සිය  ඉන්විසිබල් ඥාණය මෙහෙයවා කමිස සාක්කුවෙන් ඇත් පැටවා ගෙන සීරුවෙන් විහාරයේ බෝ මුලක් අතර සඟවා තව්තිසාවට අන්තර්ධාන වූවාහ....

Tuesday, August 2, 2016

ලංකාවේ ටෙලිනාට්ටි හිට් කිරීම



    පළමු දිගහැරුම

ඔබටත් නාට්ටියක් හදා  විකිණීමට අවශ්‍යද.... නැතිනම් ඔබේ චැනල් එකේ නාට්ටියක් ජනප්‍රිය කිරීමට අවශ්‍යද.... එසේනම් මේ ආකාරයේ විසඳුම් ඔබට ක්‍රියාත්මක කළ හැක..

මේ ලිපි පෙළේ පළමු පියවර ලෙස මෙය ගෙනහැර දක්වමි... එහිදී මෙම පළමු පියවරෙන් ඔබට චැනලය ජනප්‍රිය කිරීමට හඬකවා පෙන්වන විදේස නාට්ටි ලබා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක...

1) ඇන්ටි නැන්දම්මා ගහමරා පවුල් ටෙලි

   පහසුවෙන්ම ඔබේ චැනල් එක ජනප්‍රිය කර ගැනීමේ විකල්පය මෙයයි.. මුලින් කළයුත්තේ ඉන්දියාවේ විකාශය වන හින්දි මෙගා නාට්ටියක් සොයා ගැනීමයි..
එහි අනිවාර්‍යයෙන් එක ගෙදර වේ තුඹසක් සේ සූ ගා සාමාජිකයන් සිටින පවුලක් වටා එතී වෙලී ඇඹරී සිටින කතාවක් විය යුතුය...ගෑනු සියල්ලෝම මණිපුරි සාරි ඇඳිය යුතුය.. නිදාගැනීමේදී නයිටි ඇඳීම් නොකල යුතුය.. වැඩකාර කෙල්ල පවා ඩිස්කො දිලිසෙන සාරියක් ඇඳිය යුතුය.. තොල් රතු කර නිය පාට කර මේක් අප් උලා හෙයාර් ඉස්ටයිල් දමා සිටිය යුතුය.. අතේ කකුලේ මෙහෙන්දි ගා තිබීම යහපති..
පට්ට සුන්දර නොකිපෙන දෙවියන්ගෙන් ලද ආසිර්වාදයක් බඳු වූ බෝ පැලයක් වන් ලේලියෙක් සිටිය යුතු අතර.. අජිත් මුතුකුමාරණ ගේ සින්දුවක් අසා බසයෙන් බසින ලද ඔෆිස් ගිය එකෙක් මෙන් මුස්පේන්තු මළපනින නැන්දම්මෙක් සිටිය යුතුය.. බයිසිකල් පැදීම, රඹුටන් කැඩීම , සව්දොදොල් හැදීම, අග්ගලා ගුලි කිරීම, ටීවී රේඩියෝ හැදීම, අවකලනය යොදා අල්ලපු ගෙදර පොඩි එකාගෙ ගණිත ගැටලු විසඳීම , කාබියුරේටර් සුද්ද කිරීම, හොරු ඇල්ලීම ආදී සබ්බ සකල සාත්ත්‍ර ලේලි දැනසිටිය යුතුය... මේ නැන්දම්මාත් ලේලිත් ආ දා පටන් ගහගතයුතු අතර පුතා පියා හා පවුලේ බල්ලා පූසා ඇතුලු අනෙක් උන් මේ ගැටුම් වලට මැදි වී ඒ මේ අත පැද්දිය යුතුය...