== ==
පෙරැ එක් සමයකැ ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිදානෝ අට සිල් ගන්නා ලද ගුණවතී ආච්චි මෙන් දැහැමෙන් සෙමෙන් සරලව රට පාලනය කරන්නාහ. පූර්වයේ දැමූ බල්බ නොනිවෙනා ලෙස කරන්ට් බිල ගෙවනා ගෘහපතියකු සේ පෙර මහින්දෝත්තම අධිරජාණෝ කරව ගියාවූ ශ්‍රී විභූතිය ඒ අයුරින්ම නංවාලමින් කෑම පිරවූ දොරදෙකේ ශීතකරණයක් මෙන් බතින් බුලතින් ස්වයංපෝෂිත කරමින් පාලන කටයුතු මෙහෙයවනු ලද්දාහ..
රටවැසි කතුන්ගේ කර මත දෑත කන් පෙති මත හෙට්ටිවීදියට බෝම්බ ගැසුවාක් මෙන් රනින් මැණිකෙන් පිරී ගියාහ. තරුණියෝ ආයි දාලා කරාඹූ කියමින් දෙකන් පුරා තෝඩු අරුංගල් ලෑවාහ.. මිලාධික පෑඩඩ් බ්‍රා ඇන්දාහ.. සකල සතම බොදු බැතියෙන් පන්සල් ගියාහ. ජනතාවෝ කෙතරම් යහතින් විසුවේද යත් මාලිංගයාණන් විකට් ගන්නා සේ ටසිරිලක පුරා මහ රහතුන් පහළ විය.. තව්තිසා දිව්‍ය ලෝකයද, ඇස්ගාඩය ක්රිප්ටෝනියාවාදී පිටසක්වල දීපද ටසිරිලක සමෘද්ධිය දැක ඇමැතියන්ට ප්‍රාඩෝ ජගුවරාදී මහා රථද , තරුණයෝ සඳහා දසලක්ෂයක් වෘත්තීන් පිටසක්වලින් ලබා දුන්නාහ.
මෙසේ ඉන්දිය සයුරේ බබලන සීඇෆ්එල් එකක් මෙන් ටසිරිලක බබලද්දී අල්ලපු ගෙදර දියුණුව දැක ඇහේ කටු ඇණෙනා සීසීටීවී ඇන්ටියෙකු මෙන් අසල මහාභාරතය ටසිරිලක මේ සමෘද්ධිය දැක ඊර්ෂ්‍යා වන්නට වන්නාහ..
මහාභාරතයෝ පෙර රාවණ සමයෙහි සිටම කුහකයෝමැය. ටසිරිලක සමෘද්ධියට අකුල් හෙලන්නේමයැ. ඉදින් අපට ශරීර කෘත්‍ය කිරීමෙහිලා වැසිකිලියක් පවා නොමැත්තේය.. ටසිරිලක වාසීහු රැකියාවට අභ්‍යාවකාශයට පවා යෙති. ඉදින් අප මොවුන්ගේ වස්තුව කොල්ලකෑවේනම් අපටද දියුණු විය හැක්කේයැයි පෙම්වතියගේ නිවසට කොටු පැනීමට සැරසෙන්නාවූ පෙම්වතකු සේ භාරත නායක තෙමේ සිය ඇමැතියන් හා කතිකා කර ගත්තේයැ.
අප පන්තියේ එකෙකුට ගැසූ අල්ලපු පන්තියේ එකෙකුගේ කර්ණ පටහ පටලය බිඳීමට බහිනා ගැන්සියක් සේ භාරත නායක නරේන්ද්‍ර සිං දෝණි රකුස් තෙමේ සිය සේනාවෝද සමගින්මැ ටසිරිලක බලා පිටත් වූවාහ..
ඉදින් මෙය කන වැකි මෙත්පලානෝ මෙසේ සිතන්නාහ.. භාරතය සමෘද්ධිමත් නොවුවද එහි සේනාවෝ සුවිසල් වූවෝමය... අවුරුදු දා පමුණුව මෙන්
ටසිරිලක වැසියන්ටත් වඩා සේනාවෝය. ඉදින් උන් පැමිණියෝනම් එක් දිනයක වුවද ටසිරිලක නතු කරගත හැක්කාහ.. මා කුමක් කරම්දැයි හිටන් කියා හෙතෙම සිය සරල මන්දිර පිලේ පැදුරේ සිටගෙන ගංවතුරට අසුවී කූඩාරමක් ගසා පැමිණි තැනට කුණුකන්ද කඩන් වැටුණ අයෙකු මෙන් තෙමේගෙන්ම විමසන්නාහ..