Friday, June 22, 2018

අයියනායක පද්‍ය පන්තිය

විමලරත්න කුමාරගමයන් ගැන ashan weerasinghe එක්ක ටික දවසකට කලින් කෙරුණ සංවාදෙකට පස්සෙ හිතුන දේවල් ටිකක් ලියන්න හිතුනා..

අයියනායක පද්‍ය පන්තිය කියන්නෙ එතුමගෙ කවි වලින් මම ඉතාමත් ප්‍රිය කරන කවි පන්තියක්. මේ කවි පන්තිය ඇතුලෙ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් විමලරත්න කුමාරගමයන් තමන්ගෙ පෑන මෙහෙයවන විදිහ වගේම ඒ ඇතුලෙ රාජ්‍යට කරන අභියෝගයට මම මාර ලව්..

බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

නිතරම ඔබ පුදන මේ අය හැඳින  ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින  තැන
මීමුන් මදින් මත්වී අං මදින  තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද  දැන
මේ අය රකිනු මැන යන එන සියලු  තැන

මේ අයියනායක දෙවියන්ට ගමේ මිනිස්සුන්ව බාර කරලා විමලරත්න කුමාරගම මහත්තයා කරන්නෙ රාජ්‍යයට වගේම පවතින සිස්ටම් එකට අබියෝග කිරීමක් කියලා මට හිතෙන්නෙ.

එතුමා රාජ්‍ය නිලධාරියෙක්. රාජ්‍යයේ වගකීම තමයි තමන්ගෙ පුරවැසියන්ව ආරක්ෂා කිරීම., නමුත් වන්නියෙ මේ මිනිස්සුන්ට ඒ ආරක්ෂාව විතරක් නෙමෙයි , මූලික අවශ්‍යතා වෙච්ච ජලය ,ආහාර පවා සපුරන්න රාජ්‍යය අසමත් වෙනවා. වසංගත වලින් මිනිස්සු මැරෙන එකට රාජ්‍යට උත්තර නෑ. අදටත් ලංකාවෙ ඈත ගම්මාන කොච්චරක් තියනවද අන්ත දුශ්කර.රාජ්‍යය තමන්ගෙ පුරවැසියො සුරක්ෂිත කරන්න අසමත්වීම කුමාරගම කවියෙන් උපහාසයට ලක් කරලා ඒ මිනිස්සුන්ව රකින්න නොපෙනෙන බලවේගයක් වෙච්ච දෙවියන්ට බාර කරනවා. රාජ්‍යයයේ හැකියාව අභියෝගයට ලක් කරනවා.. දෙවියන්ට බාර කරන්නෙ රාජ්‍යට බැරි හින්දා. එතුමා නිලධාරියෙක් විදිහට වගකියන්නෙ රාජ්‍යයට. නමුත් එතුමා තමන්ගෙ කවි ඇතුලෙ ගම්වැසියන්ව අයියනායක දෙයියන්ට බාර කරලා රාජ්‍යයේ නොහැකියාව පෙන්නනනවා.

ඒ වගේම අනිත් අයට කියනවා..

සාගත වසංගත හා එන නියං වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

කියලා.

සරලවම මේකෙන් කියන්නෙ උඹලා ඒ මිනිස්සු වෙනුවෙන් කරපු මගුලක් නෑ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවත් සපුරලා නෑ. එහෙම තත්වෙක ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ අහිංසක ඇදහිල්ලක් ගැන හොයන්න කලින් උඹලා උඹලගෙන් වෙන්න ඕන දේ ගැන හොයලා හිටපන් කියලා.  හැබැයි අමතක කරන්න එපා ඒකෙ කියලා නෑ නුවණ මලින් සැරසීම කල යුතු නෑ කියලා. හැබැයි මේ ගම්වාසීන්ට එසේ කරන්න එන අය ඒ මිනිස්සු ඉන්න තත්වෙ ගැන හිතලද එහෙම කරන්නෙ කියලයි අහන්නෙ.

ආගම් ඇදහිලි විශ්වාස ගැන කරන සංවාද වලදි බොහෝ දෙනෙක් උපුටා ගන්න හෝ අනිත් අයට කියන කවියක් තමයි විමලරත්න කුමාරගම මහත්තයගෙ

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකලමි එය ගැරහීම

ඔය කවිය.

ඕකෙත් අන්තිම පද දෙක.

ඇත්තටම කුමාරගම මහත්තයා කියලා තියෙන්නෙ මොකක්ද..

මේ වන්නිය. එතුමා ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි විදිහට එහෙ වැඩකරන කාලෙ අදටත් දුශ්කර ඒ පැති ඒ කාලෙ කොච්චර දුශ්කරද කියලා හිතාගන්න පුලුවන්. මිනිස්සු ජීවත් උනේ ගොවිතැනෙන්. ඒකත් හරියට වතුර තිබිලා නෙමෙයිනෙ.

"සාගත වසංගත හා එන නියං වලින්.."

ඔය අයියනායක කවි පන්තියෙ එක පදයක්. එතකොට ඒ වගේ හරියට කෑමවත් නැතුව, නිතරම මැලේරියාව වගේ වසංගත වලට ගොදුරු වෙවී, නියඟ වලින් පීඩා විඳිමින් වතුරවත් නැතුව වේලිච්ච කර්කශ පොලොව එක්ක ඔට්ටුවෙමින් ජීවිත ගතකලේ.
ඔය හරහා ගොඩනැගෙන සමාජ ආර්ථීක මානසික ගැටළු කොච්චරක් ද. හරියට අධ්‍යාපනයක් නැහැ. සමාජ දැනුවත්භාවයක් නැහැ.  ලෝකෙට විවෘත නැති හින්දා ඒ මිනිස්සුන්ගෙ දුක අහන්නවත් එයාලට දුක කියන්නවත් කවුරුත් නැ. තමන්ගෙ ලෙඩකට බෙහෙත් ගන්න හරිහමන් වෛද්‍ය පහසුකම් නැති හින්දනෙ සංහිඳ ළඟට එන්නෙ. ඉතින් ඒ නොදැනුවත්වකම අසරණකම හින්දා නිරායාසයෙන්ම ඒ මිනිස්සු පෙළඹෙනවා නොපෙනෙන බලවේගයක් හරහා තමන්ගෙ පීඩනය පිටකරගන්න සහ ගැටළු වලට උත්තර හොයන්න. සහනයක් ලබා ගන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අයියනායක දෙවියන්ගෙ පිහිට ආරක්සාව ඉල්ලන්නෙ.
ඒක අතිශයින්ම සාධාරණ තත්වයක්. 
එතකොට එහෙම තත්වෙක ඉන්න අහිංසක මිනිස්සුන්ට ගරහන්න එපා කියලයි විමලරත්න කුමාරගම මහත්තයා කියන්නෙ.

නැතුව ලෝකෙ මෙච්චර දියුණු කාලෙ අධ්‍යාපනය දැනුම ලබන්න ඕනතරන් අවස්ථා තියන කාලෙ දෙයියො ලෝකෙ මැව්වය, දෙයියො බූතයො ලෙඩ හොඳ කරනවය, විබාග පාස් කරනවය,දරුපල දෙනවය, පාංගෙඩි වලින් අපල නැතිවෙනවය, හක්ගෙඩි වළලලා සල්ලි හම්බෙනවය, අරකයි මේකයි කියල හිතාගෙන ඉන්න උන්ගෙන් ඒ ඇදහිලි විස්වාස ගැන ප්‍රස්ණ කරන්නෙපා කියලා නෙමෙයි.
ඒ ලොජික් එක දැම්මනං බුදුහාමුදුරුවො බ්‍රාහ්මණ මැවුම්වාදය ප්‍රස්න කරනකොට බ්‍රාහ්මණයන්ගෙන් අහන්නෑනෙ මහාබ්‍රහ්මයා කටින් බ්‍රාහ්මණයො මැව්වනං මහාබ්‍රහ්මයාගේ කටෙත් යෝනියක් තිබ්බද කියලා.. අනේ මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම කියලා සද්ද නැතුව ඉන්න තිබ්බනෙ.
ඒක හින්දා තමන්ට මොකකට හරි උත්තර දෙන්න බැරි උනාම තමන්ගෙ මතවාදයක් අභියෝගයට ලක්වෙනකොට කුමාරගම මහත්තයගෙ කතාව කියලා මාරුවෙන එක දැන් වලංගු නෑ.

ඒ වගේම එතුමා කියනවා

මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

කියලා. දැනුම බුද්ධිය තියනවා කියලා සම්මත තැන් වලදි ලෝකයෙ සුවය නැතිවෙලා තියන වෙලාවකදි ඒ අහිංසක මිනිස්සු කාටවත් කරදරයක් නැතුව කරන දේ ගරහන්නෙ මොකටද කියලා.

( දැන් වරදවා වටහාගන්න එපා දැන් දියුණු හින්දා ඇදහිලි ප්‍රතික්ෂේප කරන්න කිව්වා කියලා. අනේ නෑ අදහන්න. හැබැයි අර ලොජික් එක දාලා ඒවා ප්‍රශ්ණ කිරීමෙන් වියුක්තයි කියන්න එපා. )

සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

සාගත වසංගත හා එන නියඟ   වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ   මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ  මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු  වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

#අකලංකාරය
  - චමල අකලංක පොල්වත්තගේ

4 comments:

  1. මම උසස් පෙල හෝ සාමාන්‍ය පෙල කරන කාලයේ මේ කවි පන්තිය අපේ විෂය නිර්දේශයේ තිබුණා. ඒ කියන්නේ 90 දශකයේ.

    ReplyDelete
  2. /සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ../

    මේ කවිපංතිය අපේ සිංහල - 8 පොතේද කොහෙද තිබ්බා.වැව ළඟ දෙවොල ඔන්න ඔය වගෙ මාතෘකාවක් දාල තිබ්බෙ මට මතක විදිහට...

    මම මේ කියන්නෙ 1975 අවුරුද්දෙ වගෙ..:)

    ReplyDelete
  3. මං ගොඩක් පොඩිකාලෙ ඉඳං අපේ තාත්ත ළඟ තිබුණ - විමලරත්න කුමාරගම නොපළ කවි - කියල පොතක්. ඒකෙ පිටකවරෙ උන්න, ටයි කෝට් දාගත්ත කොණ්ඩෙ පැත්තට පීරපු වැදගත් මැදිවියේ මහත්තයෙක්ගෙ පින්තූරෙයක්. පස්සෙ මං හතර වසරෙදි විතර, අපේ අයියගෙ සිංහල පොතක තිබුණ ඔය කවි පංතිය. මං හෙණ ආසාවෙං, පරණ යාළුවෙක් හම්බුණා වගේ කියෙව්ව. තව මොකක් හරි පොතක කිබුණ, “ආරච්චිරාළ“, තව තැනක තිබුණ “හේරත්හාමි“ පස්සෙ අට වසරෙදි වගේ අපේ සිංහල පාඩම් පොතෙත් ඔය කවිපංතිය තිබුණ.

    (අපිට සිංහල සාහිත්‍ය රසවින්දනය කියල දුන්නෙ නිශ්ශංක මිස්. දීර්ඝායුෂ ලැබෙන්නෝනෙ ඒ මිස්ට...)

    ReplyDelete
  4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete