Tuesday, November 29, 2016

මඩකලපුවේ සැබෑ තත්වය කුමක්ද..??


කවුද හාමුදුරුවනේ මේ ගම්වල ඉන්නෙ.. ?

යුද්ධෙ කාලෙ ගම් අතෑරලා ගිහින් ආයෙ උපන් ගම් වලට ආව මිනිස්සු ඉන්නෙ.. ඒමිනිස්සුන්ට හරියට කන්න ටිකක් නෑ.. ඉන්න ගෙයක් නෑ මහත්තයො..

රජයෙන් මුකුත් කරන්නැද්ද ඉතින්..?

මොන පිස්සුද මහත්තයො. උප්පැන්නයක්.. අයිඩින්ටියක් නෑ.. පදිංචිය තහවුරු කරලා ලියුමක්වත් දීලා නෑ තාම හිටපු එක ආණ්ඩුවක්වත්..

මහින්ද මහත්තයා මුකුත් කළේ නැද්ද යුද්ධෙ ඉවර උනාම..?

(උපහාසයෙන් )  කිසිම දෙයක් කළේ නෑ.. බැලුවෙවත් නෑ මේ සිංහල මිනිස්සු දිහා..
මේ මිනිස්සු ලංකාවෙ පුරවැසියො මහත්තයො.. ඉතින් අපි ඡන්ද අයිතිය ඉල්ලලා පාරට බැස්සම ජනාධිපතිවරණේ කාලෙ මේ සිංහල මිනිස්සුන්ගෙ ඇඳුම් ගලෝලා මහපාර මැද්දෙ ගැහුවෙ එයා.. මම දෙතුන් පාර හම්බෙන්න හැදුවා,. බලෙන් කතා කලා.. බැලුවෙවත් නෑ...



එතකොට දැන් ඉන්න අය මොකක්ද කළේ.. අර ඉස්සරහ පලකෙ තියෙන්නෙ සිරිසේන මහත්තයගෙ නමනෙ..??

( නැවත සිනාසී ) පන්සලට එන්න කියලා ආරාධනා කරලා මෙතෙන්ට ගාඩ් එකත් දැම්මා.. තදට වැහැපු හින්දා එන්න බෑ කිව්වා... මං තව ටික දවසක් බළලා ඕක පෙරළලා දානවා.. ( මේ ළඟදී කුළුගෙඩියකින් ගසා කුඩු කර දැම්මේ ඒ ඵලකයයි )



එතකොට බොදු බල සේනා වගේ සංවිධාන ?

ඒවත් එහෙම තමයි.. ඇවිල්ලා සාමාජිකයො බන්දගන්නවා කියලා යනව.. ආයෙ එන්නෙ නෑ..


මඩකලපුව නගරයටම ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය මඩකලපුව මංගලාරාම විහාරයයි..
ඉහතින් දැක්වූයේ එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සමග අප  සිදුකළ සාකච්ඡාවේ කොටසකි.. ( ත්‍රස්ථවාදීන් විනාශ කළ මංගලාරාමය නැවත ගොඩනගා ඇත්තේ සුමනරතන හිමියන් විසිනි )
විහාරයේ සිටින පොඩි හාමුදුරුවන් සියල්ලෝම මඩකලපුවේ පිරිවෙන් නැති නිසා නේවාසිකව ඉගෙන ගන්නේ මහනුවරය..


කොළඹ සිට කෑගසනවාට විචාර දෙනවාට වඩා පුළුල් සමාජ ආර්ථික හා දේශපාලනමය ගැටළුවක් මඩකලපුවේ පවතින බව මේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිසම එහි ගිය අවස්ථාවේදී අපි දැනගත්තෙමු..

පැවති යුද්ධය නිසා උතුරේද නැගෙනහිරද මිලියන ගණනක් සිවිල් වැසියන් තම ගම්බිම් අතහැර පලා ගිය අතර මඩකලපුවේද එසේමය..එසේ පලායන සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගේ හදිසි දැනුම් දීමකින් පලා ගියේ ඇඳිවත පිටින් ය.. පසුව යුද්ධය අවසන් වී ඔවුන් තම උපන් ගම් බිම් වලට පැමිණියේ දෙවනි හෝ තෙවැනි පරම්පරාවන් ද සමගය..
මඩකලපුවේ ගැටළුව වන්නේ එසේ යුද්ධය නිසා පලා ගොස් නැවත තම ගම්බිම් වලට පැමිණි සිංහල ජනතාවට තම මුල් ඉඩම අයිතිය හෝ මූලික අවශ්‍යතාවයන් හෝ නොලැබීමයි...

එහි පැමිණි සිංහල ජනතාව පදිංචිව ඇති ගම් වන්නේ,,

සිප්පියාමඩුව
පිල්ලුමලේ
සින්නවත්ත
කුළුකුණාමඩුව
කොස්ගොල්ල
පුන්නකුඩා
ජයන්තිපුර
මංගලගම යි..

මේ ගම්වල පවුල් 3500 ක් පමණ ජීවත් වෙති.. ඔවුන් මේ බිමේ ඉපදුණු ශ්‍රී ලාංකික පුරවැසියන්ය.. නමුත් කණගාටුවට කරුණ වන්නෙ මේ මිනිස්සුන්ගෙන් බහුතරයකට තවම ඡන්ද අයිතියවත් නොලැබීමයි.. උප්පැන්න නැත.. ජාතික හැඳුනුම්පත් නැත.. මරණ සහතික, විවාහ සහතික ගැනීමට ක්‍රමයක් නැත.. සමෘද්ධිය නැත.. අඩුම තරමේ ඉන්න බිමේ අයිතියවත් ඔප්පුවක්වත් නැත..රැකියා නැත.. ජීවත් වන්නේ කුලී වැඩක් හෝ වගාවක් කිරීමෙනි.. ගොවිතැන් කිරීමට ඉඩම් නැත.. ගොවිතැන් කළද ශුෂ්ක පරිසරයේ ජලය සොයා ගැනීමට ජල යෝජනා ක්‍රමද නැත.. නියං කාලෙට බොන්න පවා වතුර නැත.. වන අලි ගම් වදින නිසා රෑට නින්දක් නැත.. දරුවන් පාසල් ගැන සිතන්නේ නැත.. කෙවිළියාමඩුවේ සිට පාසලකට යාමට මංගලගමට යා යුතු දුර කිලෝමීටර් 10 කි..
හාමුදුරුවන් අප සමග පැවසුවේ දිනක් ගමකට යනවිට බඩදරු අම්මා කෙනෙක් දින තුනකින් නොකා සිට ඇයට ආහාර දී උපකාර කළ බවයි..

සැබෑ ප්‍රශ්ණය එය නොවන අතර මේ සියළු ගැටළු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඉක්මනින් විසඳිය හැකි වුවද..,
 ගැටළුව වන්නේ එම මිනිසුන් උප්පැන්න.. හැඳුනුම්පත්., ඔප්පු ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට ග්‍රාමසේවකගේ සිට ඉහළ රජයේ නිලධාරීන් හමුවට ගිය විට ඔවුන්ට අදාල සේවා නොලැබීමයි... රාජ්‍ය නිලධාරීන් සියල්ලම පාහේ සිංහල නොවීම නිසා තමන්ට මේ ආකාරයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව බවයි ගම්වැසියන්ගේ චෝදනාව වන්නේ...
හාමුදුරුවන් පැවසුවේ නඩු කීවද මේ ගැටළුවම උසාවියේද ඇති නිසා පලක් නොවූ බවත්.. මඩකලපුවේ නීතිඥ සහය නොලැබෙන බවත් කොළඹින් හෙව්වට ඒ අයට ගාණක් නැති බවත් ය..      

උපන් බිමේ පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය පවා නොලැබීමේ ගැටළුවක් මෙතැන පවතින බව දැන් ඔබට වැටහෙනු ඇත..

මෙයට හේතුව කුමක් ද..?

හේතුව සරලය.. එනම් ඡන්ද පදනමයි,, මඩකලපුවෙ බහුතරය දෙමළ මුස්ළිම්ය.. සිංහල ජනතාවට කේවල් කිරීමට තරම් ඡන්ද ප්‍රමාණයක් නැත..
සිංහලයාගේ ගැලවුම්කාර දියසේන කුමාරයා ලෙස තමන්ව හඳුන්වන මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිවරයා ඒ මිනිස්සුන්ට ඇඳුම් ගලවා පහර දුන්නේ ද.. යහපාලනය ගෙන එමියි.. සියල්ලන්ට සමානව සලකමියි කියූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති ලෙස ගැටළුව නොදැක්කා සේ සිටින්නේ ද අනෙක් දේශපාලුවන්ටද ප්‍රශ්ණය ගාණක්ම නැත්තේ ද ඡන්ද අහිමිවන නිසාය...

ඒ  නිසා මේ ප්‍රශ්ණය දෙස බයි ටොයි හෝ කිසිදු දේශපාලනයක් ලෙස බෙදී බැලීමෙන් වළකින්න.. ඒ කාටවත් ඡන්ද නැති නිසා මේ මිනිස්සු ගැන ගාණක් නැති බව අකමැත්තෙන් හෝ තේරුම් ගන්න...

සිංහලේ, බොදුබල සේනාව ,රාවණා බලය ආදි ඊනියා සංවිධාන ගැන ද කතා කර පළක් නැත.. හරිනම් ඇඳුම් කඩවල් වලට ගල් ගැසීමට පෙර.. ඇමරිකාවට විරුද්ධව කොටුවේ උද්ඝෝෂණ කිරීමට පෙර.. ප්‍රධාන සටන් පාඨය විය යුත්තේ මේ අහිංසක මිනිස්සුන්ගේ ගැටළුවයි,,
ඒ මිනිසුන් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අයිතිය ඉල්ලා නිරුවත් කොට පහර දෙද්දී මහින්දට ඡන්දෙ දෙන්න කී බල සේනා හෝ අනෙක් සංවිධාන වලින් මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක..

එසේනම් මේ ගැටළුව දෙස දේශපාලනය හෝ ඊනියා ස්වෝත්තමවාදය පසෙකට දමා විවෘතව බලන්න.. එයට පක්ස පාට ජාති ආගම් අදාල විය යුතු නැත.. උපන් බිමේ අයිතිය අහිමි වී සිටින්නේ අපේම ජනතාවයි.. ඒ මිනිසුන් වෙනුවෙන් නැගී සිටින්න මිනිසුන් ලෙස.. උතුරේ දමිළ වැසියන්ගේ මුල් ඉඩම් නිදහස් කරනවා සේම මේ මිනිසුන්ටද තම ඉඩම් වල අයිතිය උප්පැන්න සහතික ජාතික හැඳුනුම්පත් ආදී සියල්ල ලැබිය යුතුය.. නිලධාරීවාදය වහා නැවැත්විය යුතු අතර සැමට සාධාරණව සාමයෙන් ජීවත් වීමේ වටපිටාවක් ජාති භේදයකින් තොරව බිහිවිය යුතුය...
 ජාති භේදයෙන් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගත යුතුය...
ජනාධිපතිවරයා ඇතුළු සියළු වගකිවයුත්තන් මෙයට වගකිව යුතුය.. අපට කළ හැක්කේ අදාල ආයතන හා නෛතික රාමුවට මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීම මිස ජාතිවාදය අවුලා කඩු පොලු මන්න වලින් ලේ වගුරා ගෝත්‍රිකයන් ලෙස හැසිරීමෙන් නොවන බව ත් සිහිතබා ගත යුතුය..

එක් අන්තවාදයක් තවත් අන්තවාදයකින් විනාශ කළ නොහැක.. දේශපාලනය හා ජාතියේ ආගමේ නාමයෙන් සිටින සියළු සංවිධාන සියල්ලන්වම රවටා ඇති බව පැහැදිලිය.. මේ මිනිසුන් වෙනුවෙන් කතා කළ හැක්කේ සිංහලයන්ට පමණක් නොවන අතර දෙමළ මුස්ළිම් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට එය අදාල විය යුතුය..
සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ශ්‍රී ලාංකිකයෙක්ට ඇතිවූ ගැටළුවක් ලෙස සැලකිය යුතුය...

ජාතියක් ගෝත්‍රයක් ආගමක් වර්ණයක්  නිසා මිනිසුන් අසාධාරණයට ලක් වේ නම් එය ම්ලෙච්ඡ තත්වයකි... එය සිංහලයාටද දෙමළාටද මුසල්මානුවාටද  හෝ කුමන ජාතියකට හෝ සිදු වේ නම් සියල්ලන්ම ඊට විරුද්ධ විය යුතුය..
අවාසනාවකට ලංකාවේ මේ ජාතීන් තුනම ජාතිය ආගම නිසා අසාධාරණයට ලක් වුවද.. බොහෝ අවස්ථා වලදී ඊට අනෙක් ජාතීන් හඬ නගන්නේ නැත...
නමුත් විය යුත්තේ මිනිසුන් මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමයි....
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙන් වන්නේ කරන ක්‍රියාවෙනි.. එය උපතින් ජාතියෙන් සිදු නොවේ..
කඩිනම් විසඳුම් සොයමු...
සාධාරණව සාමකාමීව..

( මෙය ලිවීමට හේතු වූයේ මේ දිනවල අම්පිටියේ හිමියන්ගේ වීඩියෝපට සමාජජාල හරහා සැරිසැරීමෙන් ඇතිවී ඇති ගැටළුව සම්බන්ධ වැරදි වැටහීම් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමට වන අතර බුද්ධ චීවරය දරා සිදුකරන හිමියන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත නොකරමි..
නමුත් හාමුදුරුවන්ව අමතක කර ඊට එහා ගිය සැබෑ ගැටළුව ගැන මනුශ්‍යයන් ලෙස සිතීම වඩා වැදගත් වන බව මාගේ විශ්වාසයයි... )

චමල් අකලංක පොල්වත්තගේ





8 comments:

  1. සිංහලයන්ට මේ රටේ ගැටලු කොහෙද මේ රටේ. ඔන්න දෙමළට නං පස්න ගොඩයි. ඕවට කතා කලට අපට ඩොලර් ලැබෙන එකක් යැ.
    උ...වා

    ReplyDelete
  2. දේශපාලනඥයෝ කියන්නේ එක ජාතියක් විතරයි..... අපි උන්ගෙන් අමුතු අමුතු දේවල් බලාපොරොත්තු වෙන එකයි වැරැද්ද........

    ReplyDelete
  3. මෙතන නීතීඥ සහයක් නොලැබීම ගැන වැඩි දුර විස්තර කියන්න පුලුවන්ද? පුලුවන්නම් උදව්වක් කරන්න බලන්න ඕන.

    මොකද හමුදා සෙබලුන්ගෙ බොහෝ නඩු වලට පවා නීතීඥවරු නොමිලේ පෙනී සිටිනවා. .එමෙන්ම මේ වගේ අසාධාරන වෙනුවෙන් පෙනී සිටින අයත් මා දන්නවා. ඒ වගේම මේ රජයේ නිලධාරීන්ගෙන් වන වැරදි වලට නඩු දම්න්න ඕන අභියාචනාධිකරනයේ හෝ ශේෂ්ඨාධිකරනයේ. ඒ කියන්නේ කොළඹ.

    ReplyDelete
  4. ඉස්ලාමෝෆෝබියාව දැන් රටට ඇති ප්‍රශ්ණයයි

    ReplyDelete
  5. දැන් මේවා නොදැක්ක වගේ ඉමු. තව අවුරුදු 20 ක් ගියාම අපි අපිටම බැණගමු. නැත්නම් දේශපාලඥයින්ට බනිමු.

    ReplyDelete
  6. සෑහෙන වැදගත් ලිවිල්ලක්. මන් පෞද්ගලිකව දැක්ක දේ වෙනස් වුනා මේකෙන්

    ReplyDelete