Wednesday, August 10, 2016

නීමල් කෞමාර කතා වත්තුව


පෙර එක් සමයකැ ලංකාපුරයෙහි ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම පක්සාභිධාන මහා අධිරාජණෝ රාජ්‍ය කරන සමයෙහි එතුමාණන්ටත් සූරන්තී දේවීන් වහන්සේටත් දාව පින්වත් පුත් කුමරාණෝ තිදෙනෙකු ඉපදුනාහ..
අධිරජාණෝ රාජ්‍ය විචාරන කල්හී නිසි වයස් සම්පූර්ණයෙන් සිටි ඔටුන්න හිමි නීමල් කෞමාරනුවානෝ බණ්ඩි ගොයමේ වී ගහක් සේ නෛකශ්‍රීන් විරාජමානව රටවැසි දනන්ට සේවය කරමින් සිටියාහ..
කුමරාණෝ කුඩා කළ සිටම පින්වන්තයෝය... කුමරු උපන්නේ භාග්‍යවන්ත වූ මාසයේ පළමුවැනිදාය.. එදින මන්දමූලන ගම්මානයට සත් රුවන් වැසි වැස්සාහ.. කලක් මහ ඉඩෝරයෙන් පීඩා විඳි මන්දමූලන ගම්මානයට මහ වැසි ඇද හැලී දියෙන් පෙඟී ඇලලී තෙත බරි වී වැව් අමුණු පිරී ගියේ කුහුඹුවන් යන මගකට මුත්‍රා ඇදහැලෙන්නාක් මෙනි.... මෙසේ මහ වැසි ද සත් රුවන් වැසිද වැස දනව්වම නීල වර්ණයෙන් බැබැළු හෙයින් ද පවිත්‍ර වී නිර්මල වී සුද්ද වී ගිය හෙයින්ද පින්වත් කුමරුන් ට නීමල් යැයි නම් තුබූහ..



කුමරු කුඩා කළ සිටම ශිල්පයේ දක්ෂයෝය.. දිනක් සිප් හලේ දී ගණිතයේ  දී ඔළිඳ ඇට 1922 න් 2016 ත් අතර වෙනස පිළිතුර 94 ක් යැයි පැවසූ ගුරුතුමාට ඔය වැරදියි සර් යනුවෙන් සිංහනාද කර නිවැරැදි පිළිතුර 88 ක් යයි පෙන්වා දී ප්‍රයිස් ගිවින් උළෙලේ ගණිතෝලිම්පියාඩා නම් සම්මානයෙන් පිදුම් ලබා ජාත්‍යන්තරේට ගියාහුය...
කුමරාණෝ ක්‍රීඩාවෙහිද සමර්ථයෝමය.. රාපන්දු ක්‍රීඩාවෙහි කෙතරම් සමර්තයෝ ද යත් නීමල් කුමරු අත පන්දුව ඇති විට අනෙක් ක්‍රීඩකයෝ සිය ජයග්‍රහණ අදහස අතහැර විසිර යන්නේ පෙරහර මැදට ආ කුලප්පු වූ හස්තිරාජයෙකු මෙන් නීමල් කුමරාණෝද ශක්තිවන්තයෝ හෙයින්මය..
මෙසේ කුඩා කළ සිටම ගුණින් ද නුවනින්ද ජවයෙන්ද ආඪ්‍ය වූ කුමරාණෝ සත්පුරුෂ ගුණයෙන්ද යුත්තෝමය.. තමා යුව රජු වුවද වැඩිහිටියෙකු දුටු විට සිය අසුනින් නැගිට අසුන දී හිටිවනම සිටින්නට තරම් නිහතමානී ය හේ...
මෙසේ යුව රජු ලෙස කුමරාණෝ රටත් ජනතාවත් බබළවන්නට විය.. රට වැසි තරුණ දනන්ගේ අභිවෘද්ධිය උදෙසා නීල බලකා නම් සංගමයක් සාදා තරුණ තරුණියන්ගේ විරැකියාවට විසඳුම් ලබා දීය.. යුව රජු වුවත් රජ මැදුර යාන වාහන ඔහුට අකැප විය.. ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ කුමරාණෝ "මාගේ ජනතාව පීඩා විඳිද්දී මට කවර සැපතක්දැයි"  පවසා තම රනින් කළ ලැම්බෝගිනියා නම් අශ්ව රථය විකුණා ඒ මුදලින් මහ ජනතාව අතර සව්දොදොල් බෙදාදීය.. රාජකීය රථ ප්‍රතික්ෂේප කළ කුමරාණෝ ගුණපාලයියාගේ තුන්සක රික්ෂෝවේ ගම් දනව් සිසාරා සැරි සැරීය..
බුදු සසුනේ උන්නතිය උදෙසා ලක්ෂයක් උවැසියන්ට තම අත් පළඳනාව හා මන්දමූලනයේ තම ඉඩමක් විකුණා සිල් රෙදි බෙදා දීය...
මෙසේ රටපුරා ගම්දනව් සිසාරා දියපට්ටා නැගෙනා තරම් පාගමනින් ලෝ වැසි දණන්ට හිතසුව පිණිස ගමන් කළාහුය.. මේ කුමරාණන්ගේ පින්වන්ත භාවයේ මහිමයෙන් ශක්‍රයාගේ පඬුපුල් ආසනය රොටී තැටියක් සේ රත් වී පස්චාත්භාගයෙන් දුම් දමන්නට විය.. මෙය විචෑරූ ශක්‍රයාණෝ පින්වත් කුමරා ජනදුක් විචාරනු දැක කුමරාගේ භාණ්ඩාගාරයේ රන්‍ රිදී මුතු මැණික් කහවණු ඩොලර් මැවීය... මේ දුටු කුමරාණෝ මගේ ජනයාගේ පින්වන් බවේ මහිමයෙන් මේ වස්තුව ලද්දාය.. මෙය ජනයාටම කැප කරමියි සිතා දුගී දුප්පත් ජනයාට වියදම් කළාහුය..
මේ අතරේ කුමරාණෝ රාජසභාවේ නීතිය ගැන වැඩිදුර හදාරන්නටම වන්නාහ..
මේ පින්වත් කුමරාණෝ අවසාන පරීක්ෂණය සිදුකරන්නා වූ මොහොතේ කුමරාගේ ආමාශයට අධිගෘහිත වූ ශක්‍රයාණෝ සියලු පැන විසඳාලීය... නමුත් කුමරාගේ දැනුම ශක්‍රයාගේ දැනුමට වඩා බොහෝ බලවත් වූ හෙයින් මේ උතුම් පුරුෂයා හා සසඳන කළ මා දන්නා නීතියක් නැතැයි කියූ සක්දෙවිඳු ආමාශයෙන් සාධුකාර දී නික්මුණාහ.. කුමරාගේ දැනුම් මහිම කෙතෙක්ද යත් කුමරාණෝ අවසානයේ ලොවම මවිත කරමින් වාර්තා තබමින් මරණයෙන් උට්ඨාන වූ ජෝන්ස්නෝ මෙන් පරීක්ෂණයෙන් සමත් වන්නාහ..
මෙය නම් එතෙක් මෙතෙක් කළ සිදු වූ ආශ්චර්‍යයක්මැයි කියූ මහාආචාර්‍යවරු නීති විද්‍යාලයේ මුලාචාරී ධූරය ද පිරිනමන්නට විය.. මා තවම ලා බාලයෙක්මි... තවත් දැනගතයුතු දේ බොහෝ යැයි පවසා එය ප්‍රතික්ෂේප කළාහුය.. මේ නිහතමානීබව දුටු ලෝ වැස්සෝද දෙවියෝද සාධු කාර දුන්හ..
.
.
.

නීමල් කෞමාර කතා වස්තුවේ පළමු කොටස නිමියේ ය...

පාඨක ප්‍රතිචාර මත දෙවන කොටස #අකලංකාරයෙහි ලියැවේවි..


#අකලංකාරය

4 comments: