Wednesday, October 12, 2016

මහභාණ්ඩාගාර බන්ධකාර සොරකම කතාවත්තුව


පෙර ලංකාද්වීපයේ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රජුන් රාජ්‍ය කරන සමයෙහි රාජ්‍ය භාණ්ඩාගාරය බටහිර අධිරාජ්‍යවාදී මං පහරන්නන් විසින් බිඳීමට යෙදිණ..
ඒ වෑයම ව්‍යර්ථ කළ නියා වීර පුත්‍රයෝ වෙනුවෙන්මැ ලියවෙන අකලංකාරයෙහි  භාණ්ඩාගාර සොරකම් කතා වත්තුව මෙයි ඇරඹෙන වගයි....!!

පෙර ලංකාපුරයේ ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන මහා අධිරජාණෝ රාජ්‍ය විචාරන අවධියේ ලංකාපුරය පිරිමි නේවාසිකාගාර රැසක් මැද පිහිටියා වූ කාන්තා නේවාසිකාගාරයක් මෙන් ලොව නේක නේක දේශයන්හි කිත් පැසසුම් මැද වැජඹුනාහුය... උතුරින් උගන්ඩානු මහා අධිරාජ්‍යයද... වයඹින් ස්වාසීලන්තානු අධිරාජ්‍යද.. හයිටියද , සීෂෙල්ස් ද , අඟහරු පිටසක්වල ද ආදී ලොව යටත් කරගෙන සිටි මහා අධිරාජ්‍යවල පවා ගෞරවයට ලක්වෙමින් වැජඹුනාහුය.... අමෙරිකානු අධිරාජ්‍යයද ජම්බුද්වීපයද.. මකර දේශයද බල්ලකු දැක වෙව්ලන පූසෙකු මෙන් ලංකාධිරාජ්‍ය ඉදිරියේ දණින් වැටී මහින්දෝත්තම මහ රජුන්ට නමස්කාර කරන්නට වන්නාහ... සෙන්පති විමලා වංසාභිදානන්ගේ එක බැල්මෙන් සලිත වන්නාහ... සේනාධිපති යසෝසිතා කුමාරණුවෝට භය පක්ෂපාතව සිටියාහුය...

යටකී අධිරාජ්‍ය වලින්ද... ලොව මවිත කල මත්තල අභ්‍යාවකාශ පරීක්ෂණායතන වලින්ද... බැලූ බැලූ අත මහා නැව් වලින් කූඹි ගුලක් මෙන් වැසී ගියා වූ හම්බන්තොට තොටුපලින්ද... එතනෝල්ද, හේරෝයිනාදී ආහාර ද්‍රව්‍ය වලින්ද ස්වයංපෝෂිත ව ලංකාදීපය බැබළෙන්නට වන්නාහ...
මකර දේශය වැනි මහා රටවල්වල රජුන් මහින්දෝත්තමයන් ඉදිරියේ දණනමා තම ජනයාට කෑමට දීමට කහවනු ණය ට ඉල්ලා ලංකාපුරයට පැමිණියාහුය... ඇබොරිජීන්වරු බෝට්ටු සාදා මහාසාගරය තරණය කරමින් ලංකාද්වීපයට ඇදී ආවාහ..
මෙසේ සංවර්ධනයෙන් ආඩ්‍ය වූ දේශයේ මහා භාණ්ඩාගාරය වික්ටෝරියා වේල්ල ඇර එහි ජලය එකතු කිරීමට ෂොපිං උරයක් තැබුවාක් මෙන් පිරී ඉතිරී යන්නට විය...

මේ අතරවාරයේ



"රාජ්‍ය බලයනම් නැසෙන සුළුය... පින්කම් නම් සදා රැකෙන සුළුයැයි " සිංහනාද කළ
මහින්දෝත්තම අධිරජාණෝ සිය ධූරය අනුප්‍රාප්තික මෙත්පල් සිරිසන් ඇමතියාට භාර දී ඉෂිතාව දමා වනගත වෙන රමන් බල්ලා මෙන් මන්දමූලනයේ සමවත් සුවෙන් භාවණා කිරීමට සුදු පිරුවට හැඳ නික්මුණාහ...

මෙයින් පසු රජු බවට පත් මෙත්පල් නිරිඳානෝද මහින්දෝත්තමයන් මෙන් සශීකව රට පාලනය කරන්නාහ...

එකම ටිෂියු පේපරයෙන් දවස් දෙකක් මුහුණ පිහදනා ගෑල්ලමයෙක් මෙන් සරලව සකසුරුවමින් ඉතිරි කරමින් නිල රථ එපා කියමින්, පයින් ගමන් කරමින්, පුලතිසිපුර කටු මැටි ගෙදෙර සිට රාජ්‍ය පාලනය කරමින් සිටියාහුය...

මේ අතරවාරයේ ලංකාදීපයේ සශීකත්වය උහුලාගත නොහැකිවූ අසල්වැසි ජම්බුද්වීපයද .. බටහිර අධිරාජ්‍ය ද රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ලකෑමේ කූට උපායක් දියත් කළාහුය.. මේ සඳහා පුහුණුව ලත් භටයෝ කෝලම්තොටට රහසේම එක් රාත්‍රියකදී එවන්නාහ...

මහාභාණ්ඩාගාරයේ කහවනු තැන්පත් කරන ලද සුරක්ෂිතාගාරය රනින් කළ එකකි... යදම් වලින් බැඳ සිසීටීවීද සවිකර , විදුලි අගුල් පද්ධතියකින්ද සුරක්ෂිත කර තිබුණාහුය... වේගය හා පියුරියස් වීර කාව්‍යයේ පෝල්වෝකරාණන් පැහැරගත් සේප්පුවටත් වඩා සිය ගුණයකින් ශක්තිමත් වූ මෙය ඇතුන් සියයකටවත් විසුණ කල නොහැක්කාහ...
එය එතරම් ශක්තිමත්ව තද කර බැඳ තුබූ නියා එයටැ " භාණ්ඩාගාර බන්ධකාර " ලෙස හඳුන්වාහුය...

එදින මහා මූසල රාත්‍රියක් විය... කෑලි කෑලි කැපිය හැකි ගණ අන්ධකාරයේ වළා පටලයෙන් කෝලම්තොට වැසී ගියාහුය... හෝ ගාණා පොකුණේ ඉකිඹිඳින රැල්ල බලහත්කාරයට ලක්වන කාන්තාවකගේ විලාපයක් මෙන් විය.. අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් විය... ගහක් කොළක් ගෙයක් නොමැති මරු කතරට දිය පොදක් ඉසින්නට නැතුව වේලී ගියේය.. ඉඳහිට ඇසෙන බස්සෙකුගේ කෑ ගැසීම හැර වෙනත් ශබ්ද නැති විය..
නපුරෝ මව්බිමෙ හදවත කරා ඇදෙන්නට විය... ගගන යානාවක නැගුණු සීඅයිඒරෝ කුමන්ත්‍රණ කරුවෝ භාණ්ඩාගාරයේ සූසැට මහල් ප්‍රාසාදයේ ඉහළ මහලට බසින්නට විය...

මේ අතරතුර එදා රාත්‍රියේ ඉඳිආප්ප කෑමට ආනන්ද භවාන් අවන්හලට ගොස් නිවසට යමින් සිටි රාජ්‍යයේ ප්‍රධානාමාත්‍යවරයා වූ රෞනීලමහා සිංහද , මූල්‍ය අමාත්‍යා වූ රවිචන්ද්‍ර කාරුණිකාණන් ද , භාණ්ඩාගාරයේ යතුරු භාර තැන වූ අර්ජෞන මිහිඳු සිංදෝණි ද ත්‍රීරෝද රථයකින් භාණ්ඩාගාර ප්‍රාසාදය අසලින් ගමන් කරමින් සිටින්නාහුය....

ප්‍රාසාදයේ මුදුනේ එළියක් දුටු ප්‍රධාන අමාත්‍යයෝ...

"මල්ලි ඕක නවත්තහං " යැයි රථාචාර්‍යාට සන් කර වහා රියෙන් බැස්සාහුය... රවිචන්ද්‍රයෝද , මිහිඳුසිංදෝණියෝ ද, රෞනීලයෝද වහ වහා ඒ දෙස බැලුවාහුය...

අහෝ විශ්මයකි.. භාණ්ඩාගාරය සොරුන් බිඳිති... ගුවන් යානයකින් ප්‍රාසාදයට බසිති...

උතුරින් කළුවරද... ගෝල්පේස්වල ගොලු මුහුදද අප කෙසේ අතපය දිගහැර මුන්ට ගසන්නදැයි සිතා වහ වහා ඒ දෙසට දිව ගියාහුය...

" මේ අතරේ සිංහනාද කළ රෞනිලානෝ , රවිචන්ද්‍රය , මිහිඳු සිං දෝණිය බිය නොවන්න... සොරු අල්ලනා සැටි මං පෙන්වමියි කියා..."

ජනෙල් පඩිය උඩ නැග පපුවට ගසා ගත් මහින්දෝත්තමයන් මෙන් පඩිපෙළ තරණය කරන්නට විය...

එසේය අමාත්‍යනි... නමුත්..

" මොන හත්තිලව්වකටද යකෝ තට්ටු හැටක් පයින් යන්නෙ.. වර ලිෆ්ට් එකෙ යමු..." කියා රවිචන්ද්‍රයෝ කෑ ගැසූහ...


හම්මටසිරි ඔව්මනේ කියා තිදෙනා සෝපානයේ නැගී ඉහල මාලයට ගියාහුය....


රූෆ් ටොප් හී සී සී  කඩ විසුරුණු කහවනුය... දිය බුබුලේ නලියන පෙණකැටි වාගේය.. නිමක් නැත...
හුදකලාවේ තනිවම මේ තුන් බෑයෝ සිහින ආකරේක ගිලී... මොහොතින් මොහොතට නැතිවෙන කහවණු රකින්නේ කෙසේදැයි ගිනියම් ඉරක් මෙන් සඳ සිසිලසේ කල්පනා කරන්නාහුය...

කත්තී නාටකයේ විජය වට කර ගත් මැරයන් මෙන් අප විරුවාණන් තිදෙන වට කළ සොරුන්‍ ය...
පොළොව දෙදර දෙදරා පැමිණෙන බටහිර කුමන්ත්‍රණ කරුවෝය... රා කල සතක් බිව් නාලාගිරි මෙන් සොරුන් කුපිත වී කඩු පොලු ටී 56 අවිද රැගෙන එන්නාහ...

වහා බඹ සයක් අහසට පැන රන්ජා මෙන් සිංහනාද කර... මාගේ රාජ්‍යයේ ධනය නම් මහජනයාගේ රුධිරයි.. එය පැහැරගැන්මට ඉඩ නොදෙමියි කියා රෞනිලානෝ සටනට බටහ.. මෙය දුටු මිහිඳු සිං දෝණියෝ ද, රවීන්ද්‍ර යෝද.. මව්බිම නැතිනම් මරණයයැයි කියා සිංහනාද කළහ...

අවි වලින් නික්මෙන්නාවූ උණ්ඩයන්ට අතින් අල්ලා ඉවතට දමන්නාහ..... පිහි කඩු පාරවල් සිය බාහුවෙන් තුතූ කර දමන්නාය... සිය කමිස ගලවා හල්කාණන් මෙන් ඉදිරියට පැන සොරුන්ගේ ගෙලින් අල්ලා ඇද දමන්නාහ... නන්දිකඩාල් කලපුවට බස යසෝසිතා සෙන්පතියාණන් මෙන් එක පා පහරින් සොරුන්ගේ උදර පසාරු කරන්නාහ....කඩු වලින් ගැටෙන හඬින් විදුලිය නිපදවන්නට වන්නාහ... මෙලෙස මැදියමේ අවසන තෙක් සටන දියත් විය...

කෙසේ හෝ ලයිට් දමන විට සොරුන් සූ සැටක් වැටී කෙඳිරි ගාමින් සිටියාහ.... අප විරුවෝ තිදෙනා කිටි කිටියේ බදා මචං අපි ඒක කලා යැයි ඔල්වරසන් දුන්නාහ...

වහා ආරක්ෂක අංශ සෙන්පතියන්ට සිය ඇපල් 6 තලබනුවෙන් අමතා ගෙන්වන්නට යෙදුණාහ...

කහවණු නැවත මෙතැන තැබීම ආරක්ෂාවට තර්ජනයක් යැයි කියූ යතුරු භාර නිලධරු මිහිඳු සිං දෝණියෝ , රවින්ද්‍ර යෝද රෞනිලානෝද කැටුව ගොස්  ආරක්ෂාව පතා වහලේ වැටී තිබූ කහවනු ගෝනි රන් රිදී මැණික් ගෙන සිය බෑණනුවන්ගේ නිවසේ වී පෙට්ටියේ සඟවාලීය....

මේ පුවත් පසුදා පුවත්පතෙන් දුටු සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රජිඳානෝ ඇතෙක් බරට වස්තුවද...
කොටස් වෙළඳපොළ ගරු නම්බු නාමද ලභා දී මහජන කහවණු මව්බිමේ උනතිය වෙනුවෙන් දිවි පරදුවට තබා රැකීම කරනු වස් මේ විරුවානෝ තිදෙන " ගං උරුලෑවා " සම්මානයෙන් පුදනු ලද්දාහ....


භාණ්ඩාගාර බන්ධකාර සොරකම

කතා වත්තුව නිමියේයැ...


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

21 comments:

  1. හපෝයි හා හා හා හා හිනාවෙලා පණ ගියා මල්ලි

    ReplyDelete
  2. පට්ටයි බං... දිගටම මේ ඉට්ටෑයිල් එකටම ලියහන්....

    ReplyDelete
  3. තොපැ ලියුම් අපැ මනැ බඳී. පොල්වත්තැයෝ පෙරැ කලැ මෙලකැ වුසූ පොරන පඬුවකැයි සිතැනුයේ මට පමණෙක්දැ?

    ReplyDelete
    Replies
    1. HahaHaha
      ඉස්තූති මිත්‍රයා

      Delete
  4. තොපැ ලියුම් අපැත් මනැ බඳී. :)

    ReplyDelete
  5. එළ යැ! සිනාසීමෙන්ම තරවී සිටින්නාහුය..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. යහපති මිතුර...අවැසි එයමැයි

      Delete
  6. තොපැ ලිපිය කියා අවසන ආසනය තෙත බරිත වූ නියාව දැක නැගිට කුමක් වීදෝ විමසුවෙමි "යකෝ හිනාවෙලාම බඩ ගිහින්".. උබනම් පට්ට බන් කතා දෙකයි තාම කියෙව්වේ සුප්පා.....

    ReplyDelete
    Replies
    1. අහෝ කිනම් ශෝකයක්මැයි...😕
      කෙසේ වුවත් පැසසුමට ප්‍රණාමයමැ 😊😊

      Delete
  7. අඬාවැටෙමින් හිනා වුනා හරිම ඉහළයි

    ReplyDelete
  8. WOW ...!!! Wonderful..!!!

    IT's remind me Sinhala Literature lessons on O/L classes
    No Arguments with "Sranga" & "Ajith's comments
    Keep it up Bro ..!!

    ReplyDelete