Friday, November 11, 2016

නව නිපැයුම්කරුවන් ඝාතනය නවතනු


රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පොල් කුඩු මගින් නව ජීව ඉන්ධනයක් නිපදවා තිබෙනවා.. මෙය ඩීසල් වලට සමාන ගුණ ඇති එකක් බවයි ඔවුන් සඳහන් කරන්නෙ..  තවද මේ ඉන්ධනය නිපදවීමට හැකි යන්ත්‍රයක්ද ඔවුන් නිෂ්පාදනය කර තිබෙන අතරම පොල් කුඩු වෙනුවට ගංගාවල හැදෙන ඇල්ගීද මේ සඳහා යොදාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම පරිසර හිතකාමී බව එහි ඇති විශේෂත්වය ලෙස ද සඳහන් කර ඇත.

ලෝකයම බලශක්ති අර්බුධයෙන් පෙළෙන අවස්ථාවක මේ සිසුන්ගේ සොයාගැනීම මිලකල නොහැකි එකකි.. අධිතාක්ෂණික උපකරණ හෝ පර්‍යේෂණාගාර නොමැතිව

ඔවුන් කළ මේ සොයා ගැනීමට අනිවාර්‍යයෙන් මීට වඩා පැසසුම් හිමිවිය යුතුමය.. ඒ වගේම එක ට්‍රාන්ස්පෝමරයක් ගිණිගත්විට රටේම විදුලිය විසන්ධි වන, ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් නොමැති රටකට මෙය ලැබුණ හොඳ අවස්ථාවකි..

තත්වය එසේ විය යුතු වුවද එදා පටන් අද දක්වාම ලංකාවේ පවතින්නේ නව නිපැයුම් මස්තිෂ්කයක් දුටුතැන මරා දමන තුච්ඡ තත්වයකයි..

එද සිට මේ දක්වා ලෝකයම මවිත කළ නිපැයුම් මෙහි නිපදවූවද, විද්‍යා තාක්ෂන අමාත්‍යාංශ බිලියන ගණනින් මහජන මුදලින් නඩත්තු වුවද ඒ දැනුම රටේ ප්‍රයෝජනයට කිසිදා යොදා ගත්තේ නැත..

රොකට් තාක්ෂණික මෙවලම් නිපදවූවද,රොකට් ගුවන් ගත කළද,  ලොව ප්‍රකට මෝටර් රථ සමාගම් වල සංකීර්ණ පද්ධති නිර්මාණය කළද, ජෙට් එංජින් වල දෝෂ නිරාකරණය කලද,  පිළිකා වලට, ඒඩ්ස් වලට,ඩෙංගු වලට  බෙහෙත් සොයාගත්තද , මෝටර් රථ නිපදවූවද, දුම්රිය පාරවල්, ගේට්ටු ස්වයංක්‍රීය පාලක පද්ධති නිපදවුවද, කෘතිම බුද්ධිය හෝ අධිතාක්ෂණික පරිගණක මෘදුකාංග නිපදවූවද, නියර රහින යන්ත්‍ර නිපදවූවද, ෆෝමියුලා රථ නිපදවූවද,ආදී මෙකි නොකී කුමන දේ කළද ඒ නිර්මාණ කරුවන් උපන්ගෙයිම මියගියහ.වගකිවයුත්තන් ඒ මරා දැමුවේ රටේ අනාගතයයි..
එසේත් නැතිනම් අද ඔවුන් වෙනත් රටක සංවර්ධනයේ නියමු කාර්‍යන් ඉටු කරන්නාහ..
ලංකාව දන්නේ මෙහි සිටිනා විට සතේකට ගණන් නොගෙන පසුව ඒ මිනිසුන්ට බුද්ධි ගලනය කළා කියා ජාතිය ඇමතීමට පමණි..

දිනකට ලංකාවේ පොල් කුඩු ටොන් දහස් ගණනක් අපතේ හරිනු ඇත.. එමෙන්ම ගංගාවලද විනාශකාරි ඇල්ගී ඕනෑ තරම් ඇත.. මට සිතෙනා ලෙස මේ ක්‍රමය තව වැඩි දියුණු කළහොත් කසල වලින්ද ඉන්ධන නිපදවිය හැකි විය හැක... නැතහොත් ලෝකෙ කුමන හෝ සමාගමක් මෙය අපටම නැවත විකුණන තෙක් බලා සිටිනවාද කියා සිතා බැලිය යුතුය..

මේවාට වෙන් කිරීමට මුදල් නැතැයි කියන්නේ නම් වහා ඒ පුද්ගලයාව පෙරපාසක් යැවිය යුතුය..
නත්තල් ගස් හැදීමට , අහවල් අහවල් පූජා පැවත්වීමට, ජාත්‍යන්තර සමුළු තැබීමට , බල්ලෙක් නැති පළාත් වල වී වේලීමට තීරු හයේ පාරවල් කාපට් කිරීමට, මෙලෝ වැඩකට නැති 225 නඩත්තු කිරීමට යන බිලියන ගණන් මුදලින් 1% ක් හෝ මේ සඳහා යොමු කිරීමට හැකිනම් ලොවට බරක් නැති මේ මිනිසුන් තව දිරිමත් වනු ඇත..

ජපානය, චීනය, සිංගප්පූරුව , ඊශ්‍රායලය ආදී රටවල් අද යෝධයන් සේ වැජඹෙන්නේ දැනුමට ගරු කල දැනුමෙන් නිර්මාණය කළ ජාතිය නිසාය...
කෙතරම් අසාර්ථක වුවද මිසයිල නිශ්පාදනයේදී ඉන්දිරා ගාන්ධි මැතිණිත් ඉන්දීය රජයත් දැක්වූ සහයෝගය ගැන අබ්දුල් කලාම් මහතා සිය wings of fire කෘතියේ විශේෂයෙන් සඳහන් කර ඇත.. එහි ප්‍රථිපල ලෙස න්‍යෂ්ටික බලය පවා හිමි ජාතියක් ලෙස ඉන්දියාව අද ලෝකයේ ඉදිරියටම ගමන් කරනු ඇත..

එබැවින් රටේ අනාගතය ගොඩනැගෙන්නේ දැනුම මතයි.. දැනුමට ඉඩ අහුරන තාක් බිහිවන්නේ හක්ගෙඩි පස්සේ යන, ගණ දෙයියො යාලු කරගෙන විභාග පාස් වෙන, යන්තර මන්තර ගුරුකං හදි හූනියම් පසුපස යන,වෙන උන් අඟහරු වල ගෙවල් හදද්දී අඟහරු අපලෙට බෝධිපූජා තියන, අනෙකා විනාසවේවා කියා පොල් ගසන ගෝත්‍රිකයන් පමණි..

එමනිසා මේ නිපැයුම් කරුවන්ව දිරි ගැනිවීම,  ඔවුන්ට උදව් කිරීම, අවශ්‍ය පර්‍යේෂණ සහය ලබා දීම, ඒ සඳහා ක්‍රියාකාරී ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇතිවීම අනිවාර්‍යයෙන් සිදුවිය යුතුමය..
දැනුමට ඉඩ අහුරා නැවත පාහියන්ගල ගොස් බෙලි කටු හූරනවාද , දැනුමැති සමාජයක් බිහිකර ලෝකය සමග ඉදිරියට යන තිරසාර ශක්තිමත් ජාතියක් බිහිකරනවාද කියා අප සිතා බැලිය යුතුය...
( ඡායාරූප නෙත්news වෙබ් අඩවියෙන් )

- චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. ඔය විදියෙ දෙයක් වෙන්න සෑ...... හෙන කාලයක් යයි මයෙ හිතේ.

    ReplyDelete
  2. ඔය වගේ දෙයක් රජය මදිහත් වෙලා කරයි කියල නම් කවමදාකවත් බලාපොරොත්තු වෙන්න එපා මේ වගේ රටකදි නම්....:(

    ReplyDelete
  3. Well said Malli...

    If you can publish this in a paper media that president of Sri Lankan can find this out from a paper and pay his attention to brilliant ideas like this

    ReplyDelete
  4. //එමනිසා මේ නිපැයුම් කරුවන්ව දිරි ගැනිවීම, ඔවුන්ට උදව් කිරීම, අවශ්‍ය පර්‍යේෂණ සහය ලබා දීම, ඒ සඳහා ක්‍රියාකාරී ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇතිවීම අනිවාර්‍යයෙන් සිදුවිය යුතුමය..
    දැනුමට ඉඩ අහුරා නැවත පාහියන්ගල ගොස් බෙලි කටු හූරනවාද , දැනුමැති සමාජයක් බිහිකර ලෝකය සමග ඉදිරියට යන තිරසාර ශක්තිමත් ජාතියක් බිහිකරනවාද කියා අප සිතා බැලිය යුතුය...// හරියට හරි සන්නි මලේ මෙහෙමයි වෙන්ට ඕනෑ..

    ReplyDelete