Wednesday, January 25, 2017

වැස්ස

අද වැස්සම ඕලෙවල් කාලෙ හරිම ආසාවෙන් කරපු තාමත් කටපාඩම් "වැස්ස" කවි ටික මතක් උනා..
ඉතින් කුඩලිගම මහත්තයා අද පොඩි වැස්සකට යටවෙන කොටුව වගේ ටවුමක හිටියනං මේ කවි ටික මෙහෙම ලියවෙයි කියලා හිතුනා...

වාහන තදබදය හා තරඟයක............යෙදී
රියදුරු බසය පාරේ සීරුවට...................පදී
මහමග දිගේ එන දිය රළ බසයෙ.........වැදී
පදික වේදිකාවල බැමි මතට.................වදී

පදමට වෙරළු මිනි කැට සුණු විසුළ...........හැඩ
ජෝතිය ලැගුම් ගත් මග වේදිකා..................උඩ
නැහැපුඩු අකුලගෙන ගැහැණුන් මුළුව.....හැඩ
අඩිය තබති හෙමිහිට මඩ පොළොව...........උඩ

දිය වැල් ගලා බස්වන්නට කාණු..........කඩා
බලධාරීන් නොගනිති මදපමණ...........විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී...........හඬා
කිසි වෙනසකුත් නැත ගංවතුරකට......වඩා



වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ.......දිදී
වතුර පිරෙයි මහමග දියවැල් බිදි..........බිඳී
වතුරට ගසා ගෙන එන කුණු මගෙහි....රැදී
දිය වැල් බහින්නට කාණුවෙ ඉඩත්........මදී

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු.......ගිල
දිය වැල් ගලායයි රැඳි වැහිපිලී.....................තුල
පාරේ පුංචි ගංගාවල් ගලන.........................කල
පෙම්වන්තයෝ ගුලි වෙති පෙම්මුල්ල..........තුල

තැන තැන කසල මතුකොට ගල් කැට.......බේරා
කාපට් පාරෙ දුහුවිලි, කොළ රොඩු................සූරා
දෙපසෙහි සැදි කාණු සුළි නැගී නැගී...........හාරා
අවහිර කර ඇදෙයි ගුරු පැහැ දිය.................දාරා

දරුවන් තිගැස්සෙයි මේ කුළු ගැටෙන....හඬින්
කුළුණු වසා විහිදෙයි වැහිගිලිය..............උඩින්
අකුණක් ගැසූ විට එක වර මහ...........හඬකින්
විදුලි උපකරණ ගැලවෙයි පේනු...............වලින්

පොළොවට වැටෙන හැම වැහි බිඳුවකම...පහේ
ගැබ්වුණ හඬක් එයි, ඊතල පරිදි.............මෙහේ
වාහන වහල ටකරම් මතුපිටට.................ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු.................ඇහේ

හැම වැහි වලාව ම ඉගිලිගෙන............එද්දී
ටවුමට ඉබේ මූසල ගතියක්................ඇද්දී
වාහන තදබදය රිය අනතුරු................සිද්දී
එකිනෙක මතක් වෙයි මහා වැසි...පවතිද්දී

සුළඟට විදුලියට ගිගිරුමට හඬ................ගගා
අඳුරුබර ගතිය පිටුතලය කොට.................නගා
දිය සීරාව අඳුරත් සමගම කුර.....................ගගා
සැන්දෑවට කලින් ටවුමට විය.....................ළගා

සූකරයන්ට කැප කළ කොටුවකට..............සම
මඩ ගොඩ අතර තෙරපෙන කළුපාට...........දුම
අද නම් එකම අවුලක් විය මේ.................ටවුම
හැම වැහි දාට මේ බව දකිනවා............සැවොම

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment