Thursday, February 9, 2017

ලංකාවට වැලන්ටයින්...!!!


======
.
.
වැලන්ටයින් කිව්වම ඉතින් ඕක එක දවසක් මොකෝ.. දැං එක පශ්චාත්නූතනවාදයේ ලිබරල් මෙව්වා එකක්‍ ය. වෙළඳපොළෙන් විකුණනවය ඒකයි මේකයි කතා..
ඕවා හැමතැනම තියන හින්දා අපි වෙන දෙයක් ගැන කතා කරමු..
.
ලංකාවෙ ආදරේ තියනවද..?
ඔව් ලොකු ප්‍රශ්ණයක්..

සරලව අපි මෙහෙම හිතමු..
ලංකාව ඇතුලෙ හැම මනුස්සයෙක්ටම ගරුත්වයක් ලැබෙනවද..
තවත් ජාතියකට ආගමකට ගරුත්වයක් ලැබෙනවද.. තව මනුස්සයෙක්ට මතයක් දරන්න අයිතියක් ලැබෙනවද.. කොටින්ම නිදහස් පුරවැසියෙක් ලෙස ජිවත් වෙන්න ලංකාව ඇතුලෙ ඉඩ තියනවද.. යුක්තිය සාධාරණය තියනවද..

ඔය ප්‍රශ්ණ වලට පිළිතුර කොහෙත්ම සතුටුදායක මට්ටමක නෑ ලංකාව ඇතුලෙ..

මනුස්සයෙක් වීම නිසා උරුම වුණ මූලික මිනිස් අයිතිවාසිකම්වත් පිළිගන්න අකමැති සමාජයක් ඇතුලෙ ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද..

ඉතින් මෙහෙ මොන වැලන්ටයින්ද..

ලංකාව කියන්නෙ ආදරේ කරන්න ඉඩ දෙන සමාජයක්ද..?

ලංකාවෙ සමාජෙට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ආදරේ කරනව කියන්නෙ මැජික් එකක්.. මහා අපරාධයක්...!!
කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් යන්න ඕනෙ බැන්දට පස්සෙ.. හාදුවක් දෙන්න ඕනෙ බැන්දට පස්සෙ කාමරේ ඇතුලෙදි විතරයි.. ආදරේ කලානං බඳින්නම ඕනෙ.. නැත්තං අම්මා හොයලා දෙන එකක් කරගෙන පාඩුවෙ ඉන්න ඕනෙ.. ළමයිනුත් හදන්නම ඕනෙ.. නැත්තං අවාසනාවන්ත කාලකන්නි මුස්පේන්තුවො වෙනවා..

කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ යද්දි උන්ට අත් අල්ලගෙන යන්න බෑ.. අඩු තරමෙ ඉස්කෝලෙ එකට ඉගෙනගත්ත කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරෙ හම්බෙලා කතා කළත් උන් දෙන්නා දිහා වපර ඇහෙන් බලන්නෙ... බස් එකක පෙම්මුල්ලෙ කතා කරන්න බෑ.. ( ඔව් ඒකට පෙම්මුල්ල කියලා නම දාලා තියෙන්නෙත් ඒක මැජික් වෙලා තියන හින්දා ) බීච් එකක පාක් එකක ඉන්න බෑ විසිල් ගහනව.. එලෝනවා.. එක එකා ඇවිල්ලා කප්පම් ඉල්ලනවා...



මහ පාර අයිනෙ මුත්‍රා කරද්දි දැක්කෙ නෑ වගේ යන මිනිස්සු කොල්ලෙක් කෙල්ලෙක් සිපගන්නව දැක්කම ඒක දකින්නෙ ක්ලේමෝ එකක් බදාගත්ත ත්‍රස්තවාදියො දෙන්නෙක් දැක්කා වගේ..
ඉස්කෝලෙක ගෑණු ළමයෙක්ගෙ බෑග් එක ඇතුලෙ රෝස මලක් තිබිලා අහුවුණාම ඒ ළමයව ගණිකාවක් කරලා දෙමව්පියො ගෙන්නලා බැනලා ගහලා පන්ති තහනම් කරලා ජීවිතේම විනාස කරන්න තරම් කුහක වැඩවසම් ගෝත්‍රික සමාජයක් මේක..

ඇයි මෙහෙම කරන්නෙ කියන එකට සමාජෙන් දෙන උත්තරේ මොකක්ද..??

අපේ අහවල් අවුරුදු ගානක සංස්කෘතික මෙව්වා එකට හානි වෙනවලු.. ඒකෙ කන්‍යාභාවය විනාස වෙනවලු..
මං අහන්නෙ සරල ප්‍රශ්ණයයි..
අපේ ඔච්චර දියුණු සංස්කෘතිය කියන්නෙ කොල්ලෙක් කෙල්ලෙක් අත් පටලන් ගියාම.. උම්මා එකක් දුන්නාම.. නැතිවෙන එකක් නං තවත් ඒකෙන් ඇති වැඩක් තියනවද..


ඉතින් තරුණ වයසෙදි මනුස්සයෙක්ට එන හැඟීම් වලට වැටවල් කොටු ගහන සමාජෙම උන්ට පාර, වෙරළ බීච් එක බස් එක තහනම් කලාප කරලා,. උන්ව අපරාධකාරයො කරලා.. කොන් කරලා දැම්මට පස්සෙ උන් නිකන්ම බොක්ස් වලට රූම් වලට යනවා.. පස්සෙ ඉතින් ඒකට ආයෙ කෑගහනවා...

පොඩි කාලෙ ඉඳන්ම විරුද්ධ ලිංගිකයා වනාහී බයානක හප්පෙකි.. රකුසෙකි.. ඩයිනෝසරයෙකි.. ඌ සිටින්නේ ඔබව මරා උයාගෙන කෑමටය.. ඒක නිසා උන්ව හෙවීමෙන් වැලකී ඉන්නය කියා භීෂණයක්  දරුවන්ගෙ හිත් ඇතුලෙ පැලකරනවා..

පස්සෙ උන් ලොකු වෙද්දි උන්ට ස්වභාවයෙන් උරුම වෙන හෝමෝන වලින් පිටකරන හැඟීම් කොහොම හරි එලියට දාන්න ක්‍රම හොයනවා.. නිදහස සීමා කරපු නිසාම උන් ඒ වැටවල් කඩන්න පාරවල් වෙනත් ක්‍රම හොයනවා..

ඊට පස්සෙ ඉතින් කෑගහලා වැඩක් නෑ අරක උනා මේක උනා කියලා..

ගොඩක් අය කියන කතාව දැන් ඉන්න උන් බස් එකක යන්න දන්නෑ.. ඇඳේ ඉන්නව වගේ බස් එකේ පාරෙ බීච් එකේ හැසිරෙන්නෙ කියලා..

ඔව් ඇත්ත.. එහෙම හැසිරෙනවා තමයි..
නමුත් ඒක එහෙම උනේ ඇයි...

සංස්කෘතියෙන් සමාජෙන් වැටකඩුළු දාලා ආදරය අපරාධයක් විදිහට දකින සමාජයක් ඇතුලෙ සමහර පෙම්වතුන්  මුණගැහෙන්නෙ හොරෙක් හිරෙන් පනිනව වගේ ගේම් එකක් ගහලා..
ඉතින් උන් උන්ගෙ හැඟීම් ඔක්කොම අර සුළු වෙලාවෙ පිටකර ගන්නවා..

අනිත් දේ තමයි ගොඩක් අය කියන ලිංගිකත්වය කියන කාරණය..

ඔව් ලංකාවෙ එතනත් දරුණු ප්‍රශ්නයක් තියනවා..
සංස්කෘතිය ඇතුලෙ මහා අපරාධයක් විදිහට ලිංගිකත්වය නිර්වචනය වෙන්නෙ..

 ලිංගිකත්වය කියන්නෙ අමු කුණුහර්පයක් විදිහට අපේ සමාජෙ දකින්නෙ..
ලිංගික අධ්‍යාපනය අතින් බින්දුවෙ ඉන්නෙ ලංකාව.
ස්ත්‍රියකට අනිවාර්යයෙන් කන්‍යාපටලයක් තිබිය යුතුමය කියලා හිතන වැඩිහිටියො ඕන තරම් ඉන්නවා තාම ලංකාවෙ..
ඉතින් ලංකාව ඉන්න ගෝත්‍රික වැඩවසම් තත්වෙ ගැන තවදුරටත් කතා කරලා වැඩක් නෑ..
ඉස්කෝලෙ ප්‍රජනනය පාඩම කරන්න පන්තියට එන ටීච ඇඹරි ඇඹරි ඉඳලා විනාඩි පහෙන් වෙන පිටුවක් පෙරලගනිල්ලා කියන අන්ත පහත් තැන අපි ඉන්නෙ..

ඉතින් ලිංගිකත්වය මැජික් එකක් කුණුහර්පයක් වෙච්ච සමාජෙ ඇතුලෙ සමාජෙම වරදින් ළමයින්ට ලිංගික අධ්‍යාපනය නොදීම හින්දා තරුණ පරපුරම අගාධයකට ඇදලා දාලා තියනවා..

ලිංගික අධ්‍යාපනය නොදීමේ විපාක විදිහට තමයි අහවල් අවුරුදු ගාණක මහා සංස්කෘතිය තියන රටේ
ළමයි. තරුණ පරපුර මැජික් එකක් වෙච්ච ලිංගිකත්වය හොයාගෙන ඇවිදින්නෙ..
Sex සර්ච් කරලා ගූගල් එකේ කප් ගැහුවේ..
ගබ්සා සිය ගණනක් දිනකට සිද්ධ වෙන්නෙ..
ළමුන් ගැබ් ගැනීම්.. ලිංගික හිංසන,. ස්ත්‍රී දූෂණ මේ තරම් සිද්ධ වෙන්නෙ..
 සමාජ රෝග ව්‍යාප්ත වෙන්නෙ..  ඒවගෙන් බේරෙන්න දැනුමක් නැත්තෙ..
ලිංගික කුහකයො.. බාල අපරාධකාරයො මානසික අසහනකාරයො බිහිවෙන්නෙ..

ඉතින් සමාජයක් සංස්කෘතියක් අධ්‍යාපන පද්ධතියක් ඇතුලු සමස්ත යාන්ත්‍රණයක් විසින් කරන ලද මහා වරදකට වන්දි ගෙවන්නෙ ලංකාවෙ තරුණ පරපුර.. දැන් උන්ද වැරදි කාරයො..??

එතකොට ලංකාවෙ තරුණ පරම්පරාවේ ආදරේ ඇතුලෙ නිරූපණය වෙන ලිංගිකත්වයටත් හේතුව ආදරේ වගේම ලිංගිකත්වයත් සංස්කෘතිය සමාජය විසින් මැජික් එකක් කරපු එක..

හෝමෝන ගැන.. ප්‍රජනනය ගැන..  ආකර්ශනය ගැන.. ලිංගිකත්වය ගැන දැනගත්ත දවසට ලංකාව ඇතුලෙත් අර උඩින් කියපු දේවල් නවතියි..
ඒ අධ්‍යාපනය නොදී රූම් ගැන බොක්ස් ගැන කතා කිරීම තේරුමක් නෑ..
අනිත් එක නිසි වයක් සම්පූර්ණ කරපු උන් කොහෙ ගියත් උන් ගැන හොයන්න සමාජෙට අයිතියක් නෑ.. උන් දෙන්නත් එන කරදර වලින් ගැලවෙයි අර අධ්‍යාපනේ තියනවනං..

වැලන්ටයින් පියතුමා රජතුමා තහනම් කරපු ආදරය ඉල්ලලා තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙව්වා...

මේ දූපතටත් ආදරය අවශ්‍යයි...
හැම මනුස්සයෙක්ටම.. හැම සතෙක්ටම හැම ගහකොළටම ආදරය අවශ්‍යයි..
ආදරය තියන තැන තමයි මනුශ්‍යත්වය උපදින්නෙ.. දෙන්නෙක්ගෙ හදවත් වල ගොඩනැගුණ ආදරය තමයි මේ ලෝකෙ නිර්මාණය කළේ..

ඉතින් සැබෑ ආදරය කියන්නෙ මොකක්ද කියන එකට නිර්වචන මම දන්නෙ නෑ..
 ඒක ආදරය කරන උන් දෙන්නට සාපේක්ශයි කියන තැන මම ඉන්නවා..

ආදරේ වෙන්න ඕනෙ.. කරන්න ඕනෙ කොහොමද කියන එක පස්සෙ බලමු..

හැබැයි උන්ගෙ ආදරේ උන් කොයි විදිහට කරගන්නත් නිදහසක් තියෙන්න ඕනෙ..!!

වැලන්ටයින් පියතුමා ආදරේ කරන්න ඉගැන්නුවෙ නෑ.. කොයි විදිහකට හරි ආදරේ කරන්න නිදහස ඉල්ලුවා..
අන්න ඒ නිදහසයි වැලන්ටයින් පියතුමාගෙ සටනෙ පරමාර්ථය උනේ..

ලංකාවටත් ඕනෙ අන්න ඒක..
මොකක්ද..

ආදරේ වෙනුවෙන් නිදහස !!


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. ආදරය තහනම් රටක​


    මිනී කඳු ගොඩ ගැසූ දේශයක
    රුධිර ගංගා මත පීනූ සමාජයක
    වෛරය ද්වේෂය වගා කල භූමියක
    අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ
    අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක
    ජීවත් වන දනන් හට ආදරය කරුණාව
    වලංගු නොවන හැටි බලව මිතුර

    උගන්වා තිබෙන්නේ ආදරය නොව
    එකිනෙකාට ද්වේශ කරමින්
    විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ

    එව බලව මිතුර
    දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
    එහි චමත්කාරය නොව
    නොකෙරුණු රාගයේ ඕජස් දකින
    අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන
    දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු
    ආගම් වල පහස ලත් දේශය
    වහා එව බලව මිතුර

    ReplyDelete
  2. මෙන්න මේ වගේ සමාජයක තමයි මචෝ පෙබරවාරි 14 වෙනිදාට ලොරි ගනන් රෝස මල් විකුනන්නේ. ඔය මල් දෙන සහ ගන්න අයියලාම අක්කලාම තමයි ලිංගික අවයව තියෙන්නේ චූ කරන්න විතරයි කියලා හිතාගෙන හැසිරෙන්නේ.

    මේ අදහස්වලට ගරු කරමි.

    ReplyDelete
  3. හොඳ ලිපියක් ජයවේවා.

    ReplyDelete
  4. //ඉස්කෝලෙක ගෑණු ළමයෙක්ගෙ බෑග් එක ඇතුලෙ රෝස මලක් තිබිලා අහුවුණාම ඒ ළමයව ගණිකාවක් කරලා දෙමව්පියො ගෙන්නලා බැනලා ගහලා පන්ති තහනම් කරලා ජීවිතේම විනාස කරන්න තරම් කුහක වැඩවසම් ගෝත්‍රික සමාජයක් මේක..//
    හරිම කතාව

    ReplyDelete