Friday, April 7, 2017

රාත්‍රිය | ගීත | කෝපි



ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා....

කසුන් කල්හාරගෙ ප්‍රේමණීය කටහඬ රාත්‍රියෙ නිහඬබව අතරින් හදවත විඳිනවා..මෙහි අරුතට ගැලපෙන අත්දැකීම් නැතත් මේ ගීතය මට මෙතරම් සමීප ඇයි දැයි කියා මම නොදනිමි. අලුයම එක පසුවී එළඹෙන්නෙ නව ලෝකයකි. එය උදේ හිරු නැගෙනවා වැනි අලුත්ම සිදුවීමකි..  රාත්‍රියේ ඇරඹුනු යාමයේ ගුප්ත බව.. නිහඬ බව.. අඳුර..  වෙනමම තලයකට හදවත අරන් යන අපූර්ව කාලයකි.. සාන්ද්‍රණය වැඩි උණු කෝපි උගුරක් එක්ක ආයෙත් නියුරෝනයක් ගානෙම ජීවිතය අලුතෙන් පණ ලබයි.. දැහැන බිඳින්න ඈතින් පේන විදුලි පහනක ආලෝකයත් ඉඳලා හිටලා පියාඹන වවුලෙකු හෝ යම් නිශාචර සතෙකුගෙ හඬක් හැරුණම හදවතට කතා කරන වෙන කිසිම ශබ්දයක් නැති තරම්..

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

මතකය එහෙම්මම ආපස්සට ගමන් කරනවා. හවස බස් එකට ගොඩවුණ වෙලාව.. පේව්මන්ට් වල ඒ මේ අත ඇවිදින මිනිස්සු. සුදු ඉරවල් වල සුදු වෙන්න බලන් ඉන්න කහ ඉරවල් උඩ ඒ මේ අත මාරු වෙන මිනිස්සු.. ජීවිත ගමනේ එක අමාරු දවසක හවස

ගෙවන මිනිස්සු.. දුවගෙන බස් එකක් පස්සෙ යන පිරිමි.. සාරි පටලෝගෙන බෑග් බඩු අතින් කරින් එල්ල ගත්ත ගැහැණු.. සමහරු අත ළමයි..ඉස්කෝල නිළඇඳුම් ඇඳපු කොල්ලො කෙල්ලො.. පාර පුරාම ඒ මේ අත යන සිය ගාණක් වාහන. ට්‍රැෆික් ලයිට් වල.. ට්‍රැෆික් වල හිරවෙලා ඉන්න වාහන.. "ජීවිතේ රෝද තුනේ.. අම්මා නැත්තං මේකත් නෑ " කියලා ලොකු අකුරෙන් ලියපු ත්‍රීවිල් එකක් අස්සෙන් මුල්ලෙන් දදා ඇදෙනවා.. මම මේ ඉන්න බස් එක වගේ ප්‍රයිවට් බස්.. කන දෙදරවන නලා සද්දෙ... පිච්චෙන තෙල් ගඳ  නාස් පුඩු දිගේ පෙණහළු වලට පිරෙන හුස්ම හිරවෙන රත්වෙන හුළඟ.. හුළඟක්මත් කියන්න බෑ ඔහේ එකතැන පල්වෙන වාතාශ්‍රය කිව්වෑකි.. මේ හැම දෙයක්ම බලාගෙන සහකරුවගෙ අතින් තද කරගෙන අල්ලගෙන හිනාවෙවී කතා කරන පෙම්වතුන්...
පුදුම ලෝකයක් මේක.. ජීවත් වෙන්න දවසක් බලාගෙන දුවන මිනිස්සු..

ශෝකාන්තය එනතුරා
එහි රැඳෙන්නට හිත්නැති නියා...

ශෝකාන්තය වචනෙ ශබ්ද කරන වෙලාවට කසුන්ගෙ කටහඬ පුදුමාකාර ගැඹුරු බවක්  එකතු කරනවා.. ඒක හරියට මොළේට හැඟීම් දනවන්න කරන විද්‍යුත් තරංග පරීක්ෂණයක් වගේ.. තව කෝපි උගුරක් එක්ක රෑ අහස ආයෙ මාව බස් එකේ සීට් එකට අරගෙන යනවා..
හිමින් ඇදෙන බස් එකේ ජනේලෙන් එලියෙ පහුවෙන දේවල් අතරෙම බස් එක ඇතුලෙ තදබදයත් දැනෙනවා.. භෞතිකව පීඩනයක් නොදැනුනට ඇස් වලින් දකින තෙරපෙන මිනිස්සු හින්දා වෙන්න ඇති..කොච්චර සෙනග පිරුණත් තව ඉඩ තියනව කියලා කරන කොන්දොස්තරගෙ කෑගැහීම හරියට කොයිතරම් හෙම්බත් උනත් දවසක් හරි ජීවත් වෙන්න ආසාවෙන් තව තව දේවල් ජීවිතේට පුරවන්න ගහන ජීවිත ගේම් එක සිහිපත් වෙනවා.. ඇයි මට දැන් එහෙම හිතිලා ඒ වෙලාවෙ ඒක නිකන් කෑගැහිල්ලක් විතරක් උනේ.. අනේ මන්දා දැනුන පීඩනය හැඟීම් වහන්න ඇති..
"බෑග් එක දෙන්න ආන්ටි " මගේ ළඟ හිටගෙන හිටපු කාන්තාවගේ ගමන් මල්ල ඉල්ලා ගත්තා.. ඒ මනුස්සයා අම්මගෙ වයසෙ ඇති.. රස්සාව ඉවර වෙලා ගෙදර යනවා.. මූණෙ තිබුණ දාඩිය අතේ තිබ්බ ලේන්සුවෙන් පිහින ගමන් බස් එකේ හිරවෙන පිටිපස්සෙ පෝළිම දිහා නුරුස්නා විදිහට බලනවා.. බස් එකේ හැමෝම එහෙමයි.. හිරවෙන සැරයක් ගානෙ වටපිට බලනව.. මොනවා කරන්නද ඉතින්..
ඔහොම තමයි ජීවත් වෙන්න උත්සහ කරන ජීවිත.. ඔව් ඒ ගමන්ම ටිකක් ඉස්සරහ සාරියක් ඇඳන් හිටපු තරුණියක් සිහිපත් වෙයි.. ඇය සැබැවින්ම ශෝභා සම්පන්නය.. කියන්නට අඩුවක් නැත.. තවමත් දුටු ලෙසම මුහුණ මතකය.. මහන්සිය නිසා මැළවුණ මුහුණේද අමුතු කලාවක් ඇතැයි මට එවේලෙ සිතුනා මතකය..
තව කෝපි උගුරක් හෙමින් පපුව දිගේ පල්ලෙහාට ඇදෙනව රෑ හුළඟෙ හීතල යටපත් කරගෙන..

"අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා..."

"අවසානයට පෙර ඈ ගියා.." හී කසුන්ගේ හඬෙහි ඇති සියුම් වැලපුම ඕනෑම ගල් හිතක් වුවත් දියකර හැරීමට සමත් බව මම විශ්වාස කරමි..

මහරගම වෙසක් දාටත් වඩා සෙනගය.. පදික වේදිකාවේද සමහරවිට මහමාර්ගයේද වෙළෙන්දෝය.. රුපියල් සීයට හෑන්ඩ්ස්ෆ්‍රී විකිණීමට තිබෙනු දැක බම්බලපිටියේදී හෝ ඊට ආසන්නයේදී බස් රථයේ වාදනය කළ ඔක්ටපෑඩ් ගීත ඇසිමට මම අකමැති නිසා කනට තබා තදකර ගත් මගේ හෑන්ඩ්ස්ෆ්‍රී උපකරණයද සිහිපත් විය.. මට නිවසේදී නිවාඩු පාඩුවේ ගීත ඇසීමට අවස්ථාවක් ඇතත් බසයක යද්දී එය රැගෙන යන්නේ ඒවා වල වාදනය වන ගීත ඇසිමට මම අකමැති නිසාය..මම අකමැති නිසා ඒවා නරක යැයි නොකියමි..  කලාව පුද්ගලයාට සාපේක්ෂ නිසා මම එයට විකල්පයක් සෙව්වා පමණි.සියලු දෙනා අවුරුද්දට සූදානම් වෙති. ඇඳුම් කඩද පදික වේදිකාද හෝටල්ද පිරී ඇත..
නෝලිමිට් එක ළඟ කපුරු විකුණන ආබාධිත යාචකයෙකි. ඔහුගෙන් කපුරු මිලදී ගන්නන් බොහොමයක් ඒ මිලදී ගන්නා කපුරු පොලිතින් පැකට් වලින් සැබැවින්ම පිටතට ගන්නවාදැයි මම නොදනිමි.. අඳුර වැටීගෙන එන පමුණුව පාර රාත්‍රියට සූදානම් නැත.. තවමත් පාර නොපෙනෙනා තරමටම දුම්රිය ස්ථානය දෙසට ඇදෙන බඩුමළු උස්සාගත් ගැහැණුන් ය.. පිරිමිය.. දරුවන් ය..
පාට පාට ඇඳුම් ද.. ප්ලාස්ටික් බඩුද මැටි වළං මුට්ටිද සපත්තු ආදී නොයෙකුත් බඩුබාහිරාදිය මග දෙපස සිට තමන්ව රැගෙන යන තෙක් බලා සිටියි..
අවුරුදු මෙතරම් පීඩාකාරී ඇයිදැයි මට නොහැඟේ.. සතුටක් ලැබීමටනම් දුක් විඳිය යුතු බව කවුරු හෝ කියනු මම අසා ඇත්තෙමි.. නමුත් තත්පරයක නැකතට ඇඳීමට ගවුමක් සරමක් මිලදී ගැනීමට මේ සියල්ලෝම දහඩිය පෙරාගෙන ඇවිදින්නේ තමන්ට ලාබ ඇඳුමක් සොයා හෝ තමන්ගේ දරුවෙකුට කැමති ඇඳුමක් ලබා දීමට මිස කැමැත්තකින් නොවන බව මම දනිමි.. අවුරුදු කන්නත් සල්ලි ඕනෙ.. ඒක කියපු කෙනා මතක නැත...!!
බසයට තවත් සෙනග ගොඩවෙයි..
මම දැන් සිහිපත් කරන්නේ මට බසයේදී මසැසයි මනසයි එක්නොවූයේ ඇයිද කියාය.. මම එය නොදනිමි.. නමුත් දැන් ඒ සියල්ල චිත්‍රපටයක් මෙන් සෑම තත්පරයක්ම සිහියට නැගෙයි..
ඇයි මම ඒ ගැන හිතන්නෙ.. දැන් ඇති නැද්ද.. අර ගෑනු ළමයා නම් ඇත්තටම ලස්සනයි.. ඔව් ඒක සුන්දර මතකයක් මේ වගේ රෑක මතක් කරන්න..

අහස තවමත් නිසලය.. යන්තම් විනාඩි හතරක් ගතවුණා පමණි... මම රාත්‍රිය සමග ප්‍රේමයෙන් විඳීමට තව බොහෝ වෙලා ඇත..
නැවතත් කෝපි උගුරක් පපුව දිගේ පහළට ඇදෙයි..රැය නිසලය.. අඳුරුය.. ගුප්තය
සැබැවින්ම එය ප්‍රේමනීයය..
රාත්‍රිය මතක ගබඩාව කළඹා ඇත..
එනිසාම මම ඇයට ප්‍රේම කරමි..
ටිකෙන් ටික වියැකෙන සංගීතයකි..

ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...


# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...

    ජය වේවා ..!!!

    ReplyDelete
  2. ගීතය මමත් කැමතිම එකක්. එහි අපූරුව වගේම මේ සටහනත් රහයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අවසානයට පෙර ඈ ගියා...

    ReplyDelete