Tuesday, May 9, 2017

ප්‍රංශ කිරුළ මැක්‍රොන්ට



ලෝකය හරහා හමාගිය අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී රැල්ල නැවතවරක් යුරෝපයේදී දණගස්වමින් ගෝලීයවාදීන් හා ජාතිකවාදීන් අතර ඇතිවූ ත්‍රගයක් ලෙස හැඳින්වූ ප්‍රංශ ජනාධිපතිවරණය මධ්‍යස්ථමතදාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන්ට විශිෂ්ඨ ජයක් අත්කර දෙමින් අවසන් වුණා.. නැපෝලියන් අධිරාජ්‍යයාගේ බෑණා වූ ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ජනපති ධූරයට පත් ලාබාලතම ජනාධිපතිවරයා වන මැක්‍රොන් තවමත් සිටින්නේ 39 වන වියෙහිය.
1958 න් බිහිවුණ නව ප්‍රංශ දේශපාලන ගමන තුළ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකෙන් එකක නොවන අපේක්ෂකයෙකු ප්‍රංශයේ ජනාධිපති ධූරයට පත්වන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගතවනු ඇත.

ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ජාතික පෙරමුණෙහි මරින් ලා-පෙන් අභිබවමින් 66.06% ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් මැක්‍රොන් හිමිකරගනිද්දී මරින් ල-පෙන් ට හිමිකර ගත හැකි වූයේ 33.9% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ඒ අනුව ට්‍රම්ප් වාදී  ප්‍රතිපත්ති අනුගමනය කරමින් යුරෝපා සංගමය සමග සබඳතා වල ප්‍රතිසංස්කරණ සිදු කිරීම, සරණාගතයන් පිටුවහල් කිරීම වැනි අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ප්‍රතිපත්ති පරදා ගෝලීය දේශපාලන ප්‍රතිපත්තීන්ට ප්‍රංශ ජනතාව තුළ ඇති නැඹුරුව මැක්‍රෝන්ගේ ජයග්‍රහණය තුලින් වඩාත් ඉස්මතු වී පෙනෙයි.
ජයග්‍රහණයෙන් පසු ජනතාව අමතමින් මැක්‍රෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ''මේ ජයග්‍රහණය ප්‍රංශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹන බවයි..''

මේ සටහන ඔහු පිළිබඳවය..

පෞද්ගලික තොරතුරු



පැරිස් අගනුවරට කිලෝමීටර් 120 ක් උතුරින් පිහිටි Amiens ප්‍රදේශයේ දී 1977 දෙසැම්බර් මස 21 වන දින උපත ලද ඔහුගේ සම්පූර්ණ නම වූයේ එම්මානුවෙල් ජින් මයිකල් ෆෙඩ්‍රික් මැක්‍රොන් ය.. picardy විශ්වවිද්‍යාලයේ ස්නායුවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ  jean michael macron වූ  අතර
මව වෛද්‍යවරියක් වූ Francoise nogues ය..
ඔහුගේ පවුල ආගමික අංශයෙන් වැඩි නැඹුරුවක් නැතත් මැක්‍රෝන් ගේ ඉල්ලීම මත වයස අවුරුදු 12 දී රෝමානු කතෝලික පල්ලියේදී බෞතීස්ම කර ඇත.

ඔහු jesuit lacee la provididenece හි මූලික අධ්‍යාපනය ලැබූ අතර දෙමව්පියන් විසින් එහි සිට පැරිස් හි පිහිටි elite lycee henri-iv උසස් පාසලට අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී. එයට හේතුව වූයේ ද්විතීයික පාසලේදී ඔහුගේ ගුරුවරිය වූ ඔහුට වඩා වසර 25 ක් ක් වැඩිමහල් වූ දරුවන් තිදෙනෙකුගේ මවක් වන bridgitte  Auziere සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයයි. පසුව ඔහු 2007 වසරේදී විවාහ වූයේද ඇය සමගමය.
ඔහු Paris nanterre  විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ උපාධිය හිමිකර ගන්නා ලදී.
1999 වසරේදී ඔහු සහය කතුවරයෙකු ලෙස  ප්‍රංශ ප්‍රොතෙස්තන්ත දාර්ශනිකයෙකු වූ paul ricoeur සමග සේවය කල අතර., මහජන කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ප්‍රංශයේ  දේශපාලන විද්‍යාව පිළිබඳ ආයතනයෙන් දිනා ගන්නා ලදී..

පසුව ඔහු 2004 -2008 කාල වකවානුව තුලදී   ප්‍රංශ ආර්තික කටයුතු අමාත්‍යාංශයේ සේවය කර ඇති අතර 2007 දී ප්‍රංශ ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා පිහිටවූ කොමිශන් සභාවේ නියෝජ්‍ය නියෝජිතයකු ලෙස ද සේවය කර ඇත. පසුව 2008 දී රැකියාවෙන් ඉවත්වන ඔහු බැංකුකරුවෙකු ලෙස සේවයට සේවය කිරීම ඇරඹුවේය.

ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 2006 වසරේදීය. ඒ ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයකු ලෙසින් ය.
2012 වසරේ සිට 2014 දක්වා ඔහු ප්‍රංශ ජනාධිපතිවරයාගේ කාර්‍යමණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස සේවය කල මැක්‍රොන් 2014 අගෝස්තු මස 26 වන දින ප්‍රංශුව හොලන්ද් ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ආර්තික කටයුතු හා ඩිජිටල් කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගන්නා ලදී. ඔහු ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ප්‍රංශ ආර්ථිකය වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත ගෙනයාමට පුරෝගාමී විය.

2015 අගොස්තුවේදී ඇතිවූ මතගැටුමක් හේතුවෙන් සමාජවාදී පක්ෂයේ තවදුරටත් නොරැඳෙන බවට නිවේදනය කළ ඔහු ස්වාධීන වීමට තීරණය කළේය.

පසුව 2016 අප්‍රේල් මස 6 වන දින මැක්‍රොන් විසින් en marche නමින් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් අරඹන ලද අතර එය ලිබරල් නැඹුරුවක් සහිත ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් විය. මෙය එවකට ප්‍රංශ ජනාධිපති වූ හොලන්ද් ගේ දැඩි දෝශදර්ශනයට ලක්විය.. මේ නිසා මැක්‍රොන් විසින් 2016 නොවැම්බර් මස 16 වෙනිදා නිල වශයෙන් හොලන්දේගේ රජයෙන් ඉල්ලා අස් විය.
ඉල්ලා අස්වීමෙන් පසු ඔහු ප්‍රකාශයක් කරමින් තමන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනතාවට දැනුම් දුන් අතර මැක්‍රෝන් විසින් එය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස හැඳින්වූවේය.

මැතිවරණ ව්‍යාපාරය ඉතා සූක්ෂ්ම ලෙස මෙහෙයවූ මැක්‍රොන් ඔහුට විරුද්ධව එල්ලවූ විවේචන නොතකමින් ප්‍රමාද කර සිටි ඔහුගේ පිටු 150 ප්‍රතිපත්ති ප්‍රකාශය හා ඔහුගේ වැඩපිළිවෙල මාර්තු දෙවන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියේය.
ඒ අතරම ප්‍රංශයේ විවිධ දේශපාලන හා සිවිල් ව්‍යාපාර ඔහුට නතු කරගනිමින් පුළුල් පෙරමුණක් මැතිවරණයට මුහුණ දීමට ඔහු වටා එක් කර ගැනීමට සමත් විය. ප්‍රංශ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ., වාමාංශික පක්ෂිකද., සමාජවාදී හා මධ්‍යස්ථ දක්ෂිණාංශික පක්ෂද ප්‍රංශ ආගමික ආයතන හා වෙනත් ජාතීන්ද ඒ අතර වෙයි..

මීට අමතරව යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් ජුන්කර්, ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මර්කල් හා හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගයද ඔහු දිනාගන්නා ලදී..

මේ අනුව අප්‍රේල් 23 දින පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් සුදුසුකම් ලබන ඔහු මැයි 7 වන දින පැවති දෙවන වටයේ ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයක් අත්කර ගනිමින් ප්‍රංශ ජනාධිපති බවට පත්විය..

දේශපාලන දැක්ම

ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳ විමසන විට ඇතමුන් ඔහුව ලිබරල්වාදියෙකු ලෙස හඳුන්වන අතර ඇතමෙක් ඔහුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අයෙකු ලෙස හඳුන්වයි. නමුත් ඔහු මධ්‍යස්ථ දේශපාලන මතවාදයක් දරන අතර සමාජවාදී පක්ෂයේ සිටින කල සිටම ඔහුගේ දේශපාලනය මධ්‍යස්ථ තලයක පවත්වාගෙන පැමිණි බවට විචාරය කළ හැක..
මේ වන විට ට්‍රම්ප්ගෙන් ඇරඹි ජාතිකවාදී අන්ත දක්ෂිණාංශික රැල්ලට හසු නොවී ඔහු ගෙනගිය මධ්‍යස්ථ දේශපාලන ව්‍යාපාරය ජනතාවද අනුමත කිරීම තුල ඔහු ඉදිරියටත් එහිම සිටීවියැයි අනුමාන කල හැක

ආර්තිකය

මුදල් ඇමතිවරයාව සිටි කාලය තුලදී මැක්‍රොන් නිදහස් වෙළඳපොළ ආර්තික ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ‍රාජ්‍ය මුදල් හිඟය අවම කරමින් ඔහු එය සාර්ථක ලෙස අත්හදා බලන ලද අතරම සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති සමගම ලිබරල්වාදී නැඹුරුවකින් ආර්තිකය මෙහෙයවන ලදී. එමනිසා ඔහුගේ දේශපාලන ගමන සමාජවාදී රාමුවක් තුල ඇරඹුවද ආර්තික ප්‍රතිපත්තීන් ලිබරල් හා සමාජවාදී මිශ්‍ර ක්‍රමයකින් ගමන් කරනබව පෙනී යයි.. විචාරකයන් විසින් එයට වඩාත් සුදුසුම යෙදුම වම දකුණ ඉක්මවාගිය ජනතාවාදී ආර්තික ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කරයි..

ඔහු ආර්තිකය නැංවීමට විශේෂ බදු ක්‍රම හඳුන්වාදීමට නියමිතය. ඒ අතර සමාගම්   හා කර්මාන්ත සඳහා නව සහයෝගීතා ප්‍රතිපත්තීන්ද ඇත.
ප්‍රංශයේ විරැකියා අනුපාතය 10.1% කි. මෙය ප්‍රංශයේ ආර්තිකයට ගැටළුවක් වී ඇති අතර මැක්‍රොන් විසින් මෙයට පිළියමක් ලෙස තරුණ රැකියා අවස්ථා පුළුල් කිරීම. හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ප්‍රංශ කම්කරු ආයතන හා උදව් ඇතිව විරැකියාව නැති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තරය සමග පවත්නා ආර්තික සබඳතා වලදීද ඔහු වාමාංශික හෝ දක්ෂිණාංශික නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඔහුගේ ගෝලීයවාදී ප්‍රතිපත්ති සමග යුරෝපා සංගමය හා ආර්තික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ කලාපීය වැදගත්කම ඔහු විශ්වාස කරයි.  ඔහු කැනඩාව හා යුරෝපානු සංගමය අතර සිදු කෙරුණු CETA වෙළඳ ගිවිසුමටද ඔහුගේ සහය ලබා දුන් අතර එයට විරුද්ධ වූ WALLOON අගමැතිවරයාට විරුද්ධව ද ඔහු හඬ නැගුවේය.
ඒ වගේම යුරෝපා සංගමයේ බලවතුන් වන ජර්මනිය වැනි රටවල් සමග සුහදව සහයෝගීතා හා නිදහස් වෙළඳ ආර්තික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දක්වන ඔහු අත්ලාන්තික් කලාපය සමගද ප්‍රංශයේ ආර්තික සහයෝගීතාවය නංවාලීමට උත්සහ කරන බවද පෙනී යයි..

විදේශ ප්‍රතිපත්තිය

වෙනත් ප්‍රංශ නායකයන් මෙන් නොව ඔහු ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවට පූර්ව සිදුවීම් මගින් විශ්වාස කළ හැකි අතර. එය වඩාත් යහපත් ලෝකයක් සඳහා වූ මානවවාදී එකක් වනු ඇති බවට අනාවැකිපල කළ හැක..
වරෙකදී ඔහු යටත් විජිත සමයේදී ප්‍රංශය විසින් ඇල්ජීරියාව තුල සිදුකරන ලද මිනිස් ඝාතන හෙලා දුටු අතර එය ම්ලෙච්ඡ බවත් මානව වර්ගයාට එරෙහිව කරන ලද ඒ සංහාරයට සමාව ගත යුතු බවත් තමන් විශ්වාස කරන බව ඔහු පවසා සිටියේ ඒ ප්‍රකාශය තමන්ගේ ඡන්ද පදනමටද ඍණාත්මකව බලපාන බව දැනදැනමය.
එමෙන්ම 2017 ජනවාරි මාසයේදී සිරියාව සම්බන්ධයෙන් ද ඔහුගේ ප්‍රකාශ ඔහු වඩා ප්‍රගතිශීලී ස්තාවරයක සිටින බව පෙන්නුම් කරන අතර ඔහු බෂාර් අල් අසාද් රජය  සමග සාකච්ඡා විසඳුම් වලට යාමටද යෝජනා කර ඇත..
පසුගිය අප්‍රේල් මාසයේ එල්ල කරන ලද සිරියානු රසායනික ප්‍රහාරයේදී ඇමරිකාව විසින් කෲස් මිසයිල ප්‍රතිප්‍රහාර එල්ල කල විට ඔහුගේ මතය වූයේ රටකට එරෙහි මිලිටරි මැදිහත්වීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සිදුවිය යුතු බවයි..

නමුත් ඔහු පලස්තීන ගැටළුව සම්බන්දයෙන් දරන්නේ ඊශ්‍රායල හිතවාදී හොලන්දේගේ මතයයි..

මෙක්සිකානු දේශසීමාව හරහා බැඳිමට නියමිත ට්‍රම්ප් ජනපතිගේ තාප්පය සම්බන්ධයෙන්ද ඔහු විවේචන ඉදිරිපත් කර ඇති අතර එය සරණාගත ගැටළුව සම්බන්ධ ඔහුගේ ප්‍රතිපත්තිය ගැන යම් ඉඟියක් පල කරයි.

ඔහු යුරෝපා සංගමය සමගද වඩාත් ධනාත්මක සබඳතාවයක් දරන අතර යුරෝපානු කොමිසමේ සභාපතිවරයා ජර්මානු චාන්සලර් වරිය ඇතුළු යුරෝපා සංගමයද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ඍජුවම සහයෝගය දැක්වූහ.නිව්‍යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින්ද ඔහුව යුරෝපා ගැති පුද්ගලයෙකු ලෙස නම් කරන ලද ඔහුගේ මතය වන්නේ කලාපීය සංවර්ධනය හා ඉදිරිගමන කෙරෙහි යුරෝපා සංගමයේ පැවැත්ම තහවුරු කළ යුතු බවයි.
ඒ අතරම ඔහු යුරෝපානු ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ බදු හා සමාජ ආර්තික වෙනස්කම් කෙරෙහිද වැඩි නැඹුරුවක් පෙන්නුම් කරයි..
ප්‍රබල සාමාජිකයකු වූ මහා බ්‍රිතාන්‍ය ද යුරෝපා සංගමයෙන් ඉවත්විමත් ග්‍රීසියේ දරුණු ආර්ථික බිඳවැටීමත් නිසා යුරෝපා සංගමයේ අඛන්ඩතාවය සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන් ඉවත්වීමට වැඩි නැඹුරුවක් දැක්වූ දක්ෂිණාංශික අපේක්ෂිකා මරිනා ජයග්‍රහණය කලා නම් ප්‍රංශයේ අහිමිවීමත් සමග යුරෝපා සංගමය දරුණු පසුබෑමකට ලක්වීමට බොහෝ ඉඩ තිබුණි.. නමුත් මැක්‍රෝන්ගේ ජයග්‍රහණය සමග නැවතත් යුරෝපා සංගමයට සුබවාදී බලාපොරොත්තු දැරිය හැකි වනු ඇත.


සංක්‍රමණ

සංක්‍රමණික අර්බුධය යුරෝපයට මේ වන විට මහත් හිසරදයක් බවට පත්වී ඇත. එය දේශපාලනය උඩුයටිකුරු කිරීමට සමත් සිදුවීමක් වී ඇත.
 ජර්මන් චාන්සලර් වරියගේ සරණාගතයන් සම්බන්ධ ලිහිල් ප්‍රතිපත්ති සමග මැක්‍රෝන් එකඟ වන අතර එයට ප්‍රශංසා කර ඇත. ඔහු සරණාගතයන් රැක බලා ගැනීමට ඇති ප්‍රංශයේ හැකියාව ගැන විශ්වාසය පළ කරයි..
නමුත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ එය අනවශ්‍ය සරණාගතයක් සඳහා නොවිය යුතු බවත් ඔවුන් තමන්ගේ රටවලට පිටමන් කළ යුතු බවත් ය. එමෙන්ම දේශසීමා ආරක්ෂාව තර කිරීමට වැඩිපුර ආයෝජනය කිරීමට සම්බන්ධවද ඔහු අදහස් දක්වා ඇත..

ත්‍රස්තවාදය හා ආරක්ෂාව

ප්‍රංශය යුරෝපයේ දැඩි ත්‍රස්තවාදී තර්ජනයකට ලක් වී ඇති රටකි. මේ වසර කිහිපය පුරාවටම දරුණු ගනයේ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකටම ප්‍රංශය මුහුණ දෙන්නට සිදුවිය..
මැක්‍රෝන් විසින් සිය ප්‍රතිපත්ති තුල ප්‍රංශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක් යෝජනා කර ඇත. ඒ අතර ආරක්ෂාව සඳහා වියදම් 2% කින් වර්ධනය කිරීම. පොලිස් නිලධාරීන් ප්‍රමාණය 10000 කින් වැඩි කිරීම, ප්‍රජා පොලිස් ඒකක වර්ධනය කිරීම , පෞද්ගලික ආරක්ෂක අංශ පවරා ගනීම හා ඒවායේ සහය ලබා ගැනීම, ත්‍රස්තවාදීන් මර්දනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය ජාලයක් ගොඩනැංවීම ප්‍රධාන වෙයි..

මීට අමතරව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ( isis ) සම්පූර්ණයෙන් විනාස කිරීම තම අරමුණ බවත් ඒ සඳහා ඇමරිකානු වැඩපිළිවෙලට සහයෝගය ලබා දීමට සූදානම් බවත් ය..

පරිසරය

පරිසර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මැක්‍රෝන් වඩාත් සුබවාදී ආකල්ප දරණ අතර එක්සත් ජාතීන්ගේ පාටිසරික ගිවිසුම් හා එකඟතා සමහ සහයෝගයෙන් කටයුතු කරනු ඇතිබවට අනාවැකි ඉදිරිපත් කරයි.
දේශගුණික විපර්‍යාස කෙරෙහි මෙන්ම
ආර්ථික ක්‍රියාවලියේදී පරිසර හානි අවම කිරීම. කාබන් පා සටහන අවම මට්ටමකට ගෙන ඒම.. පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම, බලශක්ති කාර්‍යක්ෂම නව නිපැයුම් කෙරෙහි යොමු වීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති වෙයි.
ඔහු අනාගත බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි විශ්වාසයක් තබන බව පවසා ඇත.

සමාජ හා සංස්කෘතිය සම්බන්ධයෙන් විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔහු සියලු ජනවර්ග වල ආගමික නිදහසට ගරු කරන බව පවසා ඇත. නමුත් එය අන්තවාදයට කිසිසේත්ම යා යුතු නොවන බවත් එවැනි ඉගැන්වීම් කෙරෙන ඉස්ලාම් යුදෙව් ක්‍රිස්තියානි හෝ කුමන අන්දමේ ආයතන පිළිබඳව ක්‍රියා කළ යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

එම්මානුවෙල් මැක්‍රෝන් මේ මස 14 වෙනි දින ප්‍රංශයේ අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය..
ප්‍රධාන ධාරාවන් ද්විත්වයටම අභියෝගයක් වෙමින් ලෝකය පුරා හමායාමට නියමිතව තිබූ ට්‍රම්ප්වාදී ජාතිකවාදී රැල්ල බිඳහෙලමින් මධ්‍යස්ථ මතධාරී මැක්‍රෝන් ජයග්‍රහණය කර ඇත.
එය ප්‍රංශයට පමණක් නොව ලොවේම අනාගත ඉරණම තීරණය කරන සාධකයක් වනු ඇත. නිශේධ බලය හිමි ප්‍රබල ප්‍රංශය ලෝක දේශපාලනය ආර්තිකය ආරක්ෂාව තුල මැක්‍රෝන් යටතේ හැසිරවෙනු ඇත.මේ පෙරලිය පෘථිවියේ යහපත උදෙසා ක්‍රියාත්මක වනු දැකීම ලොවෙහිම බලාපොරොත්තුව වනු ඇත.. ඉතින් අපි බලාසිටිමු.. මැක්‍රෝන්ගේ ප්‍රංශය කෙසේ වේවිද කියා..

( තොරතුරු අන්තර්ජාලය ඇසුරිණි )

- චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. ස්තූතියි චමල්, හොඳ විස්තරයක්......

    පහුගිය දවස්වල බොහෝසේ කාර්ය බහුල වූ නිසා ප්‍රංශ ජනාධිපතිවරණය හෝ මැක්‍රෝන් ගැන හරි තොරතුරක් දැනගෙන හිටියෙ නෑ..ආයමත් වරක් ස්තූතියි ඔබට!

    ReplyDelete
  2. සෑහෙන්න තොරතුරු දැන ගත්තා.. අරුනි ශපීරෝ ගේ ලිපියක කියඋනා ඔහුගේ ආර්තික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග එකිනෙකට පරස්පර බවක්. අපි බලමු ඉදිරියට.. ස්තූතියි චමල්!

    ReplyDelete