Tuesday, June 27, 2017

සයිප්‍රස් පොළොස්


== ==

කෙල්ලක් සහ කොල්ලෙක් ගැන මොකක්ද  කතාවක් මට දැනගන්න ලැබුණේ ගැහැනු ළමයෙකුගෙනි..
පෝන් එකේ හැමදාම සල්ලි නැති නිසා ගන්නේ වට්සැප් මැසේන්ජර හෝ වයිබර කෝල් ය..
ඒවා ලාබ වුවද සිග්නල් නං නැත. සිග්නල් තබා ක්ලෝගාඩ් දන්තාබුජ වත් නැත. ගෙදර ඉන්නා විට ඉනිමග තබා වහලයට නැග කෝල් එකක් ගෙන මක්කමට අන්තරේ පැන පොලීසියෙන් නෙලුවා සේ අතපය කඩා ගැනීමට නොහැකි නිසාත් අවධානමක් ගෙන කතා කෙරුවද හදිසියේවත් සිවිලිමට නැග්ග ගාෆීල්ඩ් වගේ හොරෙන් බහින්නට ගොස් අම්මාට මාට්ටු වූ විට නැවතත් අතපය කඩාගෙන අර සන්තෑසියම වෙන නිසා අපේ සම්බන්ධෙට මොබිටෙල් එකෙන් විරුද්ධ බව කියා ඇය හා කතා කරමි.

කෙසේ හෝ උදේ ඇය මට කඩින් කඩ ඇසෙන වට්සැප් කෝල් එකෙන් කෙල්ලෙක් හා කොල්ලෙක්ගේ කතාවක් කියා "සයිප්‍රස් පොළොස්" දුන්නා දැක්කදැයි කියා ඇසුවාය....

මේ කියන්නේ මොන මාතාවගේ වස්ත්‍රයක් දැයි කියා මම කල්පනා කලෙමි. කොල්ලෙකුයි කෙල්ලෙක්ගෙයි පොලොස් ගෙඩියකයි තියන සම්බන්ධේ කුමනාකාරයේ එකක්ද.. කට්ට ගොරෝසු නිසා ලව් මගුලක්ද විය නොහැක.. ඔන්න පිපිඥ්ඥා වගේ කීවානං ඒ පොත්ත වගේ සිනිදු ඔලිම්පස් සබං ලව් එකක් උන්ට ඇතිය කියා සිතිය හැක.. එහෙනං උන්දෙන්නා පොලොස් ගෙඩියක් තියාගෙන කරන බම්බුව කුමක්ද .. එක්කෝ දානෙකට විය යුතුය. නැත්තං ඉතින් කෙල්ලට දොළ දුකක් හැදී ඇතුවා විය හැක.. ඒත් ඉතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොලොස් ගෙඩියකයි සිද්දියක් මට කෝල් කර කීමට තරම් මිත්තනියට ප්ලාස්ටික් හාල් ගරන තරං නිව්ස් එකක් උනේ කෙසේද..
ඔය ආකාරයේ දාහක් කතා මට සිහිපත් විය..



ඇරත් ලංකාවේ මෙච්චර පොලොස් හැදෙද්දී සයිප්‍රස් වලින් පොලොස් ගෙනාවේ මොන මංගල්ලෙකටද.. ඒකත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි සයිප්‍රස් පොලොස් ගෙඩියක් තියාගෙන මොනවා කරනවාද.. ඒත් ඉතින් උන් දෙන්නා සයිප්‍රස් වලින් පොලොස් ගෙඩියක් බැරිනං මොන බිබික්කමක් හෝ ගෙනත් පොර පොල් ගැහුවත් මට පාන්ද.. පාන් උනත් හත්වලාමේ සයිප්‍රස් වල පොලොස් හැදෙනවද.. පොලොස් හැදෙන්නේ කොස් ගස් වල නිසා සයිප්‍රස් වලත් කොස් ගස් තියනවද.. එතකොට එහෙ උන් පොලොස් උයන්නේ කිරටද මිරිසටද.. ඔය ආකාරයේ ආතර් වී දියෙස්ටත් නැති ප්‍රශ්න පැන නැගුනි..

පසුව මට කල්පනා වුවේ අලි හොඬ තියන දෙයියො ඉන්නවා වගේ මේ කියන්නේ සයිප්‍රස් රට ගැන නොව සයිප්‍රස් ගස් ගැනය.. ඔව් ඔව් මම දන්න විදිහට අර නත්තල් ගස් ය. ඒවා වැවෙන්නේ උඩහ පලාත් වලය..
එහෙනං සුවර් එකටම මේ කියන්නට ඇත්තේ සයිප්‍රස් ගහක හැදුන පොලොස් ගෙඩියක් ගැන විය යුතුය..
පන්සල් වලට අලි පැටවු දමා යාම.. කොහෙන්දෝ එකෙක් දුවගෙන ඇවිත් මැණික් මල්ලක් දී යන කාලෙක.. මහ බැංකුවටත් හොරු පැන්න වගේ අම්මා මුත්තා කාලෙවත් අහපු නැති මගුල් වෙද්දී සයිප්‍රස් ගහක පොලොස් ගෙඩියක්ද හැදිය හැකි බව මම හිතුවෙමි..
ඔව් ඔව් ඕක ඉතින් පට්ට නිව්ස් එකක් තමා.. දැන් ඉතින් නත්තල් ගස් වල පොලොසුත් එල්ලතෑකියි කියා හිතුන අතර ඒ උනාට කොල්ලයි කෙල්ලයි සයිප්‍රස් ගහක පොලොස් ගෙඩිය තියාගෙන මොකක්ද යකෝ කලේ උන් ඒක තම්බගෙන කෑවද කියා කුතුහලයක් හදවත පතුලෙන් බුර බුරා ( නෑ නෑ බල්ලෙක් නෙමෙයි ) නැගුනි..

ඉතින් කෝල් එක කට් කර ඕන මගුලක් කියා මේක දැන ගැනීමට මම මැසේජයක් කෙටුවෙමි..
M2M මැසේජ් නං 2000 ක් විතර ඉතුරු වී ඇති නිසා බය නැතුව අකුර ගානේ හෝ යැවිය හැක. එහෙම නොකරන්නේ එහා පැත්තේ ඉන්න එකාට අපේ අහිංසක දෙමාපියන් සිහිවීම වැළැක්වීමටය..

කෙසේ හෝ මම මැසේජ් එකක් දැම්මෙමි..


" මේ මොකක්ද බං කෙල්ලගෙයි කොල්ලගෙයි සයිප්‍රස් පොළොස් කතාව..?? "

ඕක යවා විනාඩි පහකින් මට ආව රිප්ලයි එක මෙසේය..
ඒ රිප්ලයි එක දැක වහාම ෆේස්බුක් ලොග් වීමි....
ගරන්න ආච්චිට ආයෙ ආයෙත් ප්ලාස්ටික් හාල් කිව්වලු...!!
සීන්නෙක දැක්කේ ඒ වෙලාවෙය..

ඇය එවූ රිප්ලයි එක මෙසේය..

" සයිප්‍රස් පොළොස් නෙමෙයි මනුස්සයො..

 Surprise proposal..!!!! "


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. දැන් ඉතිං හැම කොල්ලයි බල්ලයි සයිප‍්‍රස් පොලොස් කරයි

    ReplyDelete
  2. ඉන්ඩීසන්ට් පොලොස්?

    ReplyDelete