Thursday, June 8, 2017

ඇඳිවත නැති කත හා නමලොක් හෝම්ස්


== ==

ඒ මැයි මාසය ලෙස මගේ සටහන් පොතේ සඳහන්ව ඇත.නිරිත දිග මෝසම නිසා ටසිරිලංකාවේම බටහිර හා දකුණු සබරගමු පළාත් වලට ධාරාණිපාත වර්ෂාවක් පතිත විය. නායයාම් අනතුරු නිසා ජීවිතහානි පවා සිදුවිය. 
අයහපත් කාළගුණය නිසාම අපි හොම්ඩන් නගරයේ ටාල්කන් වීදියේ නිවහනට වී කල් ගෙව්වෙමු.
මා මිත්‍ර නමලොක් හෝම්සුත් මමත් උදෑසන ආහාරය ගෙන උණුසුම් රසවත් කෝපි කෝප්පයක රස විඳිමින් සිටියෙමු. හෝම්ස්  දුම්වැටියක් දල්වා ගෙන සුදුපැහැති දුම්ගුලි මුදාහරිමින් සිය දෙනෙත් වයිදින පුවත්පතට යොමු කරගෙන කල්පනාවේ නිමග්නව සිටියේය. මම ද පින්ජුල මාරිස්ගේ ලග්න පලාපල කොටස ගෙන කියවමින් සිටියෙමි.
එක්වරම අපගේ දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණු අතර හෝම්ස් මහත්තයා හෝම්ස් මහත්තයා කියා කතා කරනවා ඇසුණි. ඒ අපගේ නිවසේ හිමිකාරිය වූ ගීතා කුමාරි මහත්මියයි. 
මා දොර විවෘත කළ විගස ඇය අප කාමරයට පැමිණ හෝම්ස් මහත්මයා මං ඔබට දෙකෝටි පාරක් කතා කරන්න ඇති.. ඇහුනෙ නැද්ද ඔබ දෙදෙනාටම.. ඔබට විදුලි පුවතක් තියනවා කියා කීවාය.. 


එය ගන්න වොට්සන් කියා හෝම්ස් පුවත්පතෙන් සිය දෑස් ඉවතට නොගෙනම පැවසුවේ ගීතා මහත්මියට ඔහෙන් තියලා පලයන් ගෑණියෙ කියා කියන්නට නොහැකි නිසා බවට ඔහුගේ මුහුණේ ඉරියව් වලින් මම නිගමනය කළෙමි..

හෝම්ස්ට විදුලි පුවත දුන් මම නැවතත් ලග්න පලාපල වෙත යොමුවීමි..
ඉක්මන්ට ලෑස්ති වෙන්න වොට්සන් අපිට ආකර්ශනීය ගැටළුවක් ලැබිලා තියනවා කියා කෑ ගසමින් හෝම්ස් හාන්සි පුටුවෙන් විදුලි වේගයෙන් නැගිට සිය කබාය එල්ලා තිබූ තැන වෙත දිව යමින් සිටියේය.
සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකි වූ මම පුටුවෙන් නැගිට මොකක්ද හෝම්ස්.. කියා අසන්නට යද්දීම ඔහු හැඳ පැළඳ අවසන්වී සිටියේය..
ට්
කතා කර කර ඉන්න වෙලාවක් නෑ වොට්සන් මම කුලී රතයෙදි ඔබට විස්තරය කියන්නම්.. ඉක්මනින් දැන් යමු කියා සිය හිස්වැස්ම පැළඳ ටීපෝව මත තිබූ ලයිටරය හා දුම්වැටි පෙට්ටිය කබායේ ඇතුළු සාක්කුවට දමාගනිමින් පැවසුවේය..
සිත් ඇදගන්නා සුළු ගැටළුවක් ලැබුණු පසු සෙල්ලම්බඩුවක් ලැබුණු කුඩා දරුවෙකු මෙන් හැසිරෙන නම්ලොක් හෝම්ස් ගේ දීප්තිමත් දෑස් මට නුහුරු නැත.
කබාය දකුණතට ගත් මම සැරයටියද ගෙන වහා ඔහු සමග පිටත් වීමි.
මුදමැලන මාවතෙන් කුලී රියකට නැගුණු පසු පීරානහෙන්ටිප ප්‍රදේශයට යමුය කියා කුලී රත රියදුරාට පවසා සිටියේය. කලබලෙන් කියූ නිසා රියදුරාද පවනට බඳු වේගයෙන් රතය පදවන්නට විය.
හෝම්ස්ගේ දෑස් දීප්තියෙන් දැල්වෙමින් තිබුණි.. ඔහුගේ මුහුණේ ඉරියව් මගින් නිගමනය කල හැකි වූයේ ඔහු කාලයක් තිස්සේ සොයමින් සිටි ගැටළුවකට විසඳුමක් ලැබී ඇති බවයි..
වොට්සන් ඔබට මතකද අපි මිනීමැරුම් දෙකක් ගැන පහුගිය දවස් වල වෙහෙස වුනා.. තසීම් වාජුඩීන් , විසන්ත ලක්‍රමතුංග ගේ ද්විත්ව මිනීමැරුම් ගැන..  ඒ ගැන හෝඩුවාවක් හොයාගෙන පොලිසියෙන්.. පරීක්ෂක සෙනුර අනනායක මට විදුලි පුවත එවා තිබුනේ ඒ හෝඩුවාව ලත් සැනින්මයි..
හෝම්ස් වේගයෙන් කියවාගෙන ගියේය..
කුලී රතය ගණ මීදුම හා ඇදවැටෙමින් පැවති වර්ෂාවද නොතකමින් වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි..
මේ මිනීමැරුම් ගැන හෝම්ස් පසුගිය මාසයේ පරීක්ෂණ කළ අතර ලැබුණු හෝඩුවාවන් ඔස්සේ දිගින් දිගටම සිදුකල විමර්ශන මගින් යම් නිගමනයන්ට එළඹුනද අපරාධකරුවන් කොටුකර ගැනීමට අසමත් විය. මේ නිසා හෝම්ස් දැඩි මානසික ව්‍යාකූලතාවයෙන් පෙළුණු අතර දින ගණන් සිය රසායනික පරීක්ෂණ වල නිදිවරමින් යොමු වී සිටියේය..
නමුත් අද මේ ලැබුණු විදුලි පුවතත් සමග ඔහු නැවතත් සුපුරුදු ක්‍රියාශීලී නම්ලොක් හෝම්ස් බවට පරිවර්තනය වී තිබුනි..

අප පැය එකහමාරක පමණ ගමනකට පසු ගමනාන්තයට ළඟා වීමු. අප යන විටද එතැන පොලිස් රැකවල් දමා ආරක්ෂිත ආවරණ මගින් ආවරණය කර තිබුණි. ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රදේශය මඩ තට්ටුවකින් ආවරණය වී තිබුනේය..
අප බැසගත් විගසම පරීක්ෂක සෙනුර අනනායක පැමිණ අතට අතදී අප පිළිගත් අතර හෝම්ස්ට අතින් රැකවල් ලා තිබූ තැන පෙන්වා සංඥාවක් කළේය.. අතනින් තමයි හෝම්ස් මහත්මයා මේ බොත්තම හම්බුනේ කියා සිය දකුණු අත් අල්ල මත තිබූ කළු පැහැති බොත්තමක් හෝම්ස්ට පෙන්වාලීය.. වහා සිය කබාය මා අතට ගලවා දුන් හෝම්ස් සිය හැඳ සිටි කලිසමද සපත්තුද ගලවා යට කලිසම පිටින් ගල් ඉල්ලක්ගෙන වලට බැස හාරන්නට විය..
හෝම්ස්ගේ හැසිරීම දුටු අනෙක් පොලිස් නිලධාරීන් වික්ෂිප්තව බලා සිටියද මට එය අමුත්තක් නොවූයේ ගැටළුවක් ලැබුණු පසු ගොදුරක් පසුපස ලුහුබඳින කොටියෙලු මෙන් හැසිරෙන නමලොක් හෝම්ස් ගැන මා හොඳින්ම දන්නා බැවිනි..
ඔහු වේගයෙන් ගල් ඉණි පහර දී හාරමින් සිටින අතර එක්වරම ගල් ඉනිපහර නවත්වා වල තුලට නැමී කුමක් හෝ සොයන්නට විය..
වල තුල මඩ වූ පස් අතර තිබී ෂොපින් බෑගයක් ගත් අතර එයත් රැගෙන ඔහු වල තුලින් පිටතට පැමිණියේය..
එය විවෘත කල ඔහු එයින් පිටතට ගත්තේ ඇඳුම් යැයි සැකකල හැකි රෙදි කිහිපයකි.. ඒවා ඉතා ඝනකම කිසිදිනක දැක නොතිබූ රෙදි වලින් නිමවා තිබුණි.
එයින් එකක් පිටතට ගත් ඔහු එය දිගහැර බැලුවේය.. කළු පැහැති එකක් වූ එය පුදුමසහගත විය.
කලිසමක් යැයි සැකකල හැකි වූ එහි කකුල් තුනක් විය. කමිසයක් යැයි සැකකල හැකි අනෙක් ඇඳුමේ පපුව යැයි සැකකල හැකි ඉදිරිපස සිදුරු පහක් ද තිබුණි. අත් දැමීමට සිදුරු තිබුණේ නැත..

විශිෂ්ටයි වොට්සන් විශිෂ්ටයි.. 

අපිට විසඳුම ලැබුණා..  
පරීක්ෂකතුමාත් මමත් කුතුහලයෙන් බලා සිටියෙමු..
කුමක්ද ඔබ කියන්නේ හෝම්ස් මහත්මයා මට පැහැදිලි මදි..
පරීක්ෂක තුමා නලල රැලි කරමින් ඇසුවේය..

මිනීමැරුම් සිදුවූ තැන එදා අපට ලැබුණු පා සලකුණු අතර පා සලකුණු තුනක් තිබුණා..
ඒ වගේම මිනීමැරුම් සිදුවූ මෝටර් රථයේ වීදුරුවේ සිදුරු පහක් තිබුණා.. 
ඇසිඩ් වර්ගයේ ද්‍රාවණයකින් එය ගිනිගෙන විනාශ වී තිබුණා..

ඉතින්...??

නැවතත් පරීක්ෂකතුමා කුතුහලෙන්  ඇසුවේ මා මෙන්ම කිසිත් සිතාගත නොහැකිවය..

කාරණය සරලයි වොට්සන්..
නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹීම පහසු දෙයක් වුවත් අපගේ නිරීක්ෂණ නිවැරදි මාවතේ යොමු කල යුතුයි..

ඇසින් දුටු සාක්ෂිකරුවා පැවසුවේ නිරුවත් කාන්තාවක් මිනීමැරීම සිදුවූ ස්ථානයෙන් පිටව යනු දුටු බවයි..
නමුත් අප සෝදිසි කලේ මිනිසුන් පමණයි..

එයින් ඔබ අදහස් කලේ කුමක්ද හෝම්ස්..

මම වික්ෂිප්තව නමලොක් හෝම්ස්ගෙන් ඇසුවෙමි..

සරලයි වොට්සන්..

තසීම් වජුඩීන් හා විසන්ත ලක්‍රමතුංග ව ඝාතනය කර ඇත්තේ පාද තුනක් හා අත් වෙනුවට දිගු අඬු තුනක් ඇති කාන්තාවක්..

ඇය ඇගේ ඇඳුම් මෙතැන සඟවා දමා නිරුවතින් ගොස් තමයි මිනීමැරුම් සිදුකර ඇත්තේ සාක්ෂි වසන් කිරීමට..

මොනවා.. මොනවද හෝම්ස් ඔබ මේ කියන්නෙ.. එතකොට දැන් ඇය කොහෙද..

නලලට වැටුණු දහඩිය වම් අතින් පිසිමින් පරීක්ෂකතුමා ඇසුවේය..

තසීම් වජුඩීන් හා විසන්ත ලක්‍රමතුංග ගේ මිනීමරුවා නික්මගොස් හමාරයි පරීක්ෂකතුමා..

ඇය පිටසක්වල ජීවියෙක්...!!!


#අකලංකාරය 
  - චමල් අකලංක පොල්වත්තගේ 






4 comments:

  1. නියම රහස් පරීක්ෂක කෙටි කතාවක් නේ. හැබැයි ඉතින් මේ වගේ මිනිසුන්ට උදව් කරන වැඩ වලට හිනා වෙන්න හොඳ නැහැ කවුරු කලත්.

    ReplyDelete
  2. What a creative writing...
    Excellent!!!

    ReplyDelete