Monday, July 31, 2017

කුඩ කතාව හා කිම් ජොන්

==  ==

අද හවස හදිස්සියේ මාගේ සුසුම්නා සීර්සකය ප්‍රකම්පනයට පත්ව හල්ක් විසින් උස්සා පොලොවේ ගසන ලද්දාක් වැනි හැඟීමක් ඇතිවුනේ පෝන් එකේ ඩේටා නැති බව දැනගෙනය..
සල්ලිත් අරගෙන දොර ගාවට එනවිට වැස්සක් කඩාපාත් විය.. මං හිතන්නේ අල්ලපු ලේන් එකේ ගුණවතී ආච්චි මල් පූජා කරනවා විය යුතුය.

නංගීට කතා කර කුඩයක් ඉල්ලූ අතර  ගෙනත් දුන්නේ කුවේණිය , ගාමන්ට් එකේ වැඩට යද්දී ගෙනගිය එකටත් වඩා පරණ කුඩයකි..  මට මැජික් ඉගෙන ගැනීමට ආසාවක් තිබුණද පුළුවන් එකම මැජික් එක කුඩ අතුරුදන් කිරීමය.. මහින්ද රාජපක්ස හා රනිල් මහත්වරුන් විසින් ජාතික සම්පත් අතුරුදන් කිරීමටත් වඩා ඉක්මනින් මට එය සිදුකළ හැක..  එය වෙන්නේ කෙසේද කියා මමවත් දන්නේ නැත..




ඔය නිසාම අම්මාගේ ප්‍රධානත්වයෙන් පත්කළ ඒක පුද්ගල කමිටු නිර්දේශයට අනුව පවුල් සංස්ථාවේ කුඩ පාරිභෝජනය පිළිබඳ පණතට අනුව එකම පුත්‍ර තනතුරෙහි සිටින්නාට කුඩ ලබා නොදිය යුතු අතර අත්‍යාවශ්‍ය යැයි මව විසින් නිර්දේශ කරන මොහොතකදී සංචිතයේ කුඩ අතරින් වයසින් වැඩිම කුඩය ලබා දිය යුතුය..
මට එරෙහිව පවුල් සංස්ථාවෙන් ගන්නා ලද නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී නංගීගේ දායකත්වය ගැන සලකා බලන විට ඇය fcid එකේ හිටියානං මේ වන විට පාර්ලිමේන්තුව රැස්වෙනේ වැලිකඩ බන්ධනාගාරය තුලය..
කෙසේ හෝ මට පරණ කුඩ දෙන හේතුව ඕකය..
මට කුඩ පාවිච්චි කළ නොහැක. වැරදිලාවත් කුඩයක් ගෙනිච්චොත් නැතිවෙනවාමය. ඉතින් මම කුඩ ගෙනියන්නේ නැත. කුඩේ නැතිවෙලා ගෙදර ආවාට පසු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලේ ගන්නා දිනයක් දක්වා අනන්ත අප්‍රමාණ කාලයක් අම්මාගෙන් කතා අසා ගැනීමට සිදුවන නිසා වැස්සට අසුවී තෙමී ජලසන්නිය හැදී මළත් කමක් නෑ කියා කුඩයක් අරන් යන්නේ නැත..

කෙසේ හෝ ගේ ගාවදි දිග ඇරීමට ආරම්භ කළ කුඩය යන්තමින් කඩේ ඉස්සරහදී දිගඇර ගැනීමට හැකිවිය. අවුලක් නෑ කුඩේ තෙමුන්නෑනේ කියා හිතහදාගත්තෙමි..
ඔය පණත ගෙන ඒමට මාගේ පෙර වැරදි රාශියක් බලපෑ අතර එයට කුඩ 15 ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් පමණ මා විසින් අතුරුදන් කිරීම හේතු විය..
කෙසේ හෝ මුල් දිනවලදි අවවාද කළ අතර  පසුව අනතුරු හැඟවීම්ද සිදුකළ අතර අවසානයේ කුඩ වාරණයකට මා ලක්විය. ඔය වාරණය දැමූපසුවද කුඩයක් අතුරුදන් කර මා තැබූ වාර්තාව සම කලේ යහපාලනේ ගේනල්ලා හොරු අල්ලනවා කියා fcid ආරම්භ කර මාස තුනක් යන්නත් කලින් මහබැංකුවට අත දැමූ රවී කරුණානායකය.

කුඩ කතාව පසෙකින් තැබූ විට අපේ නිවසේ ඇති එකම නමක් පමණක් අඩංගු  අපරාධකරුවන්ගේ නාමලේඛනයේ නම් ලැයිස්තුවේද මා සිටින අතර නිවසේ මා නොදැනුවත්ව සිද්දවන වතුර බට කැඩීම් , පිඟන් කෝප්ප වීදුරු ආදිය බිඳීම, තැන තැන කුණු දැමීම, කෝප්ප පිඟන් නොසේදීම, ආදී වැරදි වලටද මා නිරතුරුවම සැකකිරීම්, අවවාදයට සහ වාරණ වලට ලක්වෙයි.. ඉස්සර නං පාසල හෝ උපකාරක පන්ති පැහැර හැරීම.. පාසලේ හැසීරිම් සම්බන්ධ දෙමාපිය දැනුවත් කිරීම්,  ආදියටද වැරදිකරු වී සිටියෙමි..
අවේලාවේ වීදි සංචාරය කිරීම, ක්ෂනික අතුරුදන් වීම, ආදිය සම්බන්ධයෙන් ද දැනට සැකපිට වරෙන්තු ලබා සිටිමි.. මට බය තියෙන්නේ පාඩු ලබන වියාපාරයක් කියා කොයි වෙලාවේ හෝ හොඳ රටක් බලා විකුණා දමාවිද.. එසේත් නැතිනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර හමුදා නීතිය පණවනු ඇතිද කියාය..  විකුණාදැමීමට සැරසුනොත් අන්තරේට කියා මාව නැවතත් පවුලසතු කරන්න උද්ඝෝෂණයක් කිරීමට සිදුවන අතර හදිසි සේවාවක් කලොත් නං මරික්කාර් මහතා ගාව රස්සාවක් හොයා ගැනීමට සිදුවනු ඇත..

ඔය මොනවා තිබ්බත් තාජුඩීන්ගේ කේස් එකට cid යට එන්න කියූ යෝසිත මෙන් මට පාන්ද ලයින් එකේ සිටිමින්ම ම ඕවා ගණන් ගන්නේ නැත.

දැන් ඔය ගෙදරින් එන වාරණ අවවාද අනතුරු හැඟවීම් මට එකපාර අද මතක් වී හිනා ගිය අතර එයට ඒතුව වූයේ අපේ ජනාධිපතිතුමා විසින් උතුරු කොරියාවේ මිසයිල සීන් එකට කිම් ජොන්ව හෙලා දැකීමයි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments: