Tuesday, January 29, 2019

ගින්නෙන් උපන් සීතල නැරඹීමි.



යම් සත්‍ය සිදුවීමක්, චරිත කතාවක් සිනමාවට නැගීමේ දී එය වාර්තා වැඩසටහනක් ලෙසින් ඉදිරිපත් කිරීමේ ලංකාවට ආවේණික ඛේදවාචකයට ගින්නෙන් උපන් සීතල ද මුහුණ දී තිබුණි. නමුත් කමල්ගේ සහ සුලෝචනාගේ රංගනය, කැමරාකරණය සහ සංගීතය විසින් වාර්තා වැඩසටහන සිනමාත්මක කිරීමේ දැඩි උත්සාහයක නිරත වී ඇති බව පෙනුණි.
සිතාමතා හෝ එසේ නොමැතිව හෝ චිත්‍රපටයේ කේන්ද්‍රය වී ඇත්තේ චිත්‍රාංගනී විජේවීර ය. සුලෝචනා විසින් එම චරිතයට කරන සාධාරණයට පිටපත ඇතුළු අවශේෂ සාධක විසින් ලබා දෙන සහයෝගය සීමිතය. නමුත් ඒ සියල්ල මැද ඈ චිත්‍රපටය ඇය වටා දෝලනය කිරීමට සමත් වෙයි.
කමල්ගේ රංගනය ද වෙනදා මෙන්ම සතුටුදායකය. නමුත් පිටපත විසින් ඔහුව සිරකර ඇති ආකාරයක් දුටුවෙමි. රටපුරා දහස් ගණනක් සාමාජිකයන් මහමග ඝාතනය වෙමින් දරුණු වදබන්ධනයන්ට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු ඊට දක්වන ප්‍රතිචාර ස්වභාවික විය හැකිද යන ගැටළුව මතුවෙයි. උදාහරණයක් ලෙස හිට්ලර් වටා ගොඩනැගූ චිත්‍රපට වලදී ලෝක යුද්ධයේ අවසාන දිනවල ඔහුගේ මුහුණෙන් සහ ඉරියව් වලින් පෙන්වූ හැඟීම් ප්‍රකාශනයන් සමග කමල්ගේ රංගනයේ සැසඳීම නිරායාසයෙන්ම සිදුවිය.

 නමුත් සැබැවින්ම රෝහණ විජේවීරට සංවිධානය සමූල ඝාතනය වන විට එය හිට්ලර්ට මෙන් පීඩනයක් නොවූවා නම්...? පිටපත සහ කමල් එය හදාරා රංගනය ඉදිරිපත් කලා ද.. සැබැවින්ම ඔවුන් එය සිතාමතාම නිරූපණය කලා ද යන ගැටළුවද ඒ සමගම පැන නැගෙයි.. එය එසේනම් අධ්‍යක්ෂකවරයා සහ කමල් විසින් එම සිදුවීම් නිරූපණයට යෙදූ උපක්‍රමය ඉතා විශිෂ්ඨ එකක් වනු ඇත.

ප්‍රධාන චරිත කිහිපය හැරුණු විට අවශේෂ චරිත වල රංගනය පිළිබඳ සතුටුදායක තත්වයක් නැත. උදාහරණයක් ලෙස කබ්රාල්ගේ චරිතයේ අධි රංගනයක් දුටුවෙමි. පොලිස් සහ හමුදා නිලධාරීන් ඇතුළු අනෙක් බොහෝ චරිත වල රංගනය සතුටුදායක මට්ටමක නැත.

දිල්හානිගේ රංගනය අමතක නොවන එකකි.

ඇඳුම් නිර්මාණයේදී ඇතැම් තැන් කාලය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඇති බවක් පෙනුනි. දිල්හානිගේ සාරි විලාසිතාව, ඇතැම් තරුණයන්ගේ ඩෙනිම් කලිසම් , සමහර තැන් වල දකින්නට ලැබුණ චෙක් ෂර්ට්ස් නවීන විලාසිතාවන් ය.

ඇතැම් සිදුවීම් නිරූපණය සතුටුදායක නැත. උදාහරණයක් ලෙස නගරයක ( කොළඹ ? )  පෙළපාලියකට එල්ලවන මැර ප්‍රහාරය රූපගත කර තිබුණේ රන්මිනිතැන්නේ විය යුතුය. එම වීදියේ වෙනත් කිසිදු පුද්ගලයෙක් වාහනයක් හෝ කඩ පේලියක්වත් නොතිබුණ අතර සිටියේ පෙළපාලිය පැමිණිවුන් සහ පහරදීමට පැමිණි මැරයන් පමණි.

චිත්‍රපටයේ ප්‍රබලතම අඩුපාඩුව වූයේ එකල භීෂණය පිළිබඳව නිරූපණය ඉතාම ප්‍රාථමික වීමයි. සරලවම කියනවානම් භීෂණ සමය පිළිබඳ ඉතිහාසය නොදන්නා යමෙකු චිත්‍රපටය බලන්නේනම් එවැන්නෙකුට හැඟී යන්නේ ගම් දෙකක ආරවුලක් වැනි සිදුවීමක් ලෙසය. රටපුරා රාජ්‍ය දේසපාලන යාන්ත්‍රණය, හමුදාව, පොලීසිය, ජවිපෙ, නිල නොලත් වෙනත් ඝාතක කල්ලි විසින් ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සියල්ල යටපත් කරමින් භීෂණය මුදාහැර, මහමග දහස් ගණනක් ඝාතන සිදුකළ, ටයර් සෑයවල් වල ගිනිබත් කල, වදකාකාර වල දී අති අමානුෂික වදබන්ධනයන්ට ලක් කල, කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ කිසිදු වගකීමක් වගවීමක් දැරිය නොහැකි නීතියක් නැති කාලපරිච්ඡේදයක ලංකාවේ සිවිල් සමාජයට, දේසපාලන යාන්ත්‍රණයට, ජවිපෙට සහ අනෙකුත් පද්ධතීන් වලට  ඇතිවූ පීඩනයේ නිරූපණය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. විජේවීරගේ සහ අනෙකුත් ජවිපෙ සාමාජික චරිත වලින් හෝ පෙන්වූ වෙනත් සිදුවීම් මගින් හෝ එය ඉටුකර ගැනීමට කිසි ලෙසකින්වත් හැකිවී නැත..

නමුත් මෑතකදි නැරඹූ සත්‍ය සිදුවීම් සහ චරිත කතා කේන්ද්‍ර කරගත් යශෝදරා මැතිව් වැනි චිත්‍රපට සමග සසඳන විට ගින්නෙන් උපන් සීතල උත්සාහය සතුටුදායක මට්ටමක ඇත.

ගින්නෙන් උපන් සීතල යනු රෝහණ විජේවීරගේ කතාව නොව චිත්‍රාංගනී විජේවීරගේ කතාවය.

  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. I have not seen this yet. It is sad if the movie could not communicate the "Bheema Samaya" situation properly and identify its real actors (UNP+JVP, most of them are still active) to new generation. As for me situation is vivid as yesterday, being alive is a miracle as a Uni student diring 88/89.

    ReplyDelete