Saturday, June 25, 2016

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කතා වත්තුව


පෙර එක් කලෙක ත්‍රී සිංහලාධිශ්වර ශ්‍රී මහින්දෝත්තම රාජපක්සාභිධාන මහෝත්තම රජාණෝ ලංකාපුරයේ රාජ්‍ය විචාරා "රාජ්‍ය ධනය බලය නම් නැතිවන සුලුය... මාගේ මේ ව්‍යායාමය කිසි කලෙක රජ සැප පිණිසම නොවන්නේය.. ලංකාපුරයේ චිරස්ථිතිය උදෙසාම වන්නේය" යැයි සිංහනාද කර ලංකාපුරයේ සිහසුන තම ඔටුන්න හිමි නීමල් කුමරුන් හට භාර නොදී " නීමල් නම්  අත්දැකීනම් මදම වන්නේය.. එහෙයින් ඔහු නැවත සුදුසුකම් සපුරා රජ වන තෙක් රාජ්‍යයේ කටයුතු භාර කරමියි..." දාන පාරමිතාවට පෙරුම් පුරන හාවකු සේ අනුප්‍රාප්තික වෛද්‍ය කටයුතු භාර නිලදරුවා වූ මෙත්පල් සිරිසන් ඇමැතියා ට රාජ්‍ය භාර කර මන්ද මූලන ග්‍රාමයේ සුදු වස්ත්‍ර පොරවා බණ භාවනාදී පිංකම් කරමින් වෙසෙන සමයමැ විය....
   
පූර්ව කුශලයන්ගෙන් ලැබූ මහානුභාවයෙන් තව්තිසාවේ සක් දෙව් මෙන් දෙව් බඹ ආශිර්වාද ලැබ නෛකශ්‍රීන් විරාජමානවූ මහින්දෝත්තම රජුට උතුරටැ නැගෙනහිර.. එළියට අඳුර.. ආකාශයට මහීතලය මෙන් හාත්පස වෙනස් රජෙකුමැ විය මෙත්පල් නිරිඳුන්...

මහින්දෝත්තම රජුට මෙන් පෙර කුශලයන් නොමැත්තෙකු වූ නියාවෙන් එතුමාණෝ සැප සම්පත් නොලද්දාහුය..
එසේ හෙයින් පසු කළෙක සරලා මෙත්පල් ලෙස ජනයා අමතන්නට විය..



ඔහු රාජාභිෂේක දින රාජ කකුධ භාණ්ඩ ප්‍රතික්ෂේප කර පන්හිඳ ඉවත ලා ඇට්ලස්චූටා නම් කුරුලු පිහාටුවෙන් සන්නස් පත්‍රයට මුද්‍රා තබා සිය අල්පේච්ඡ බව ලොවටැ විදහාපෑය..
හේ නම් අරුම පුදුම අල්පේච්ඡ ය..
රාජ්‍ය විචෑරීමට පැමිණෙන්නේ රාජ යානය අතහැර ත්‍රීරෝද රථයේය..
රාජ භෝජන ප්‍රතික්ෂේප කළ එතුමාණෝ හංදියේ සුමනක්කා නම් උපාසිකාවගේ මාතර බත් කඩයෙන් හාල්මැස්සන් බැදුමක් පොල්සම්බල සමග තම්බපු හාලේ කැකුළු බතක් අනුභව කරයි.. ගුරුලේත්තුවෙන් පොල්කට්ටට පැන් වත්කර දෙපාරක් ඒ මේ අත මුඛය තුල යවා දෑඟිලි මුඛයට තබා තූ ගා පැන් පිඩ කාණුපල්ලේ දමයි...
ඒ තරමටමැ එතුමානෝ අල්පේච්ඡ ය..
දිනක් රාජකාරී කටයුත්තකට රාජ මාලිගාව වූ අරලිය මැඳුර ඉදිරිපිට අමරෙ මල්ලී නම් රථාචාර්‍යගේ තුන්සක රිය අතවනා ගෙන්වා ගමන් කරද්දී එළිපහලියට යාමට අවැසි වීය.. වහා රථය නතර කළ එතුමානෝ දහස් ගණනක් ජනී ජනයා පිරී සිටින මැජේසිටියානු සීටී නම් වෙළෙඳපොල අසල ජනී ජනයාගේ කිත් පැසසුම් ඔල්වරසන් මැද පොදු ජනයා ගමන් කරන පොදු වැසිකිළියට ගියාහුය... මෙසේ එතුමාණන්ගේ කිත් ගොස දසත පැතිරෙන කල්හී ලොවැ බොහෝ රජුන් ප්‍රශංසාම කරන්නටැ විය..

දිනක් පුලතිසිපුර මහෝත්සවයකදී රාජ ආසන පනවා සේසත් මුරායුධ ඒසී පනවා තිබියදී.. " රජෙකු නම් ජනයාගේ දුක හඳුනන්නෝමය " කියා ගර්ජනාකර වැව් තාවුල්ලේ දූලි වැකි ගල් බැම්මේ පශ්චාත්භාගය තබා ඇණ තබා ජනදුක් විචෑරියාහුය. ලංකාපුර වැසි දනන් බෝ මිලැති තලබනු භාවිත කරමින් වට්සැප් වයිබර් අමතද්දී එතුමානෝ වන් වන් බින්දු තලබනුවෙන් වෛජයන්ති රැජිණිය අමතා "රැජිණියනි බුදිද....?  රාත්‍රී අනුභවයට මා ආප්ප ගෙනෙම්දැයි " විචාරන්නේය....
මෙසේ අපමහා සරලාභිධාන මෙත්පල් නිරිඳුන් දේස දේසාන්තරයේ සංචර කරද්දී මහින්දෝත්තමයන්ට සක්දෙව් ගෙන් ත්‍යාග ලැබූ බෝයිං යානය පුංචි බොරැල්ල මහ රෝහලේ ගිලනුන් ගෙනයාමට වෙන්කර හෙතෙම දෙස් විදේස සංචාරයන්ට තටු සිඳි ඉරිතැලූ සාමාන්‍ය ගම්වැසියන් ගමන් කරන යානයෙන්ම යන්නාහුය.. බල්ලෙක් නොඑන මත්තලින් අහසට නැගි එතුමානෝ දැක යානයේ කොන්දා "සින්දු කියන්න බෑ බැහැලා යනවා " යැයි ගෝරනාඩු කළ විට ලේකම් තෙම මැදට පැන මේ නම් අප නිරිඳුමැයි පෙන්වා දීය..
බියට පත් කොන්දා " තරහා අවසර දේවයන් වහන්ස ඔබ වහන්සේ ඔටුන්න රාජාභරණ නොමැතිව ලබ්බක් කරන්නේදැයි " විමසා...
මහින්දෝත්තම රජානෝ නම් රැවුල බඩ ඇති මහා පුරුසයාණෝය.. විදේසයන්හී සංචාර කරද්දී සක් දෙවිගේ බෝයිං යානය වෙන්කර දේවීන් වහන්සේ කුමාරවරුන් ඇතුලු හැට හුටාමාරයි තව දෙකක් රාජකීය පවුල සමග නෛකශ්‍රීන් විරාජමානව ගමන් කරති...
ඔබතුමා සරම් බැනියම් හැඳ ෆුට් බෝඩ් යද්දී අම්මපා මා සිතුවේ සින්දු කීමට නැගියෙක් කියාය.. සමාවුව මැනවි ගැත්තාට දේවීනි.." කියා ලූය...
" කමක් නෑ දරුවා හිටං... හක් හක් හා.. " යයි සිනාසී පිටට තට්ටුවක් දමා පයිලට් තෙම වෙත පිය නැගීය...

මෙසේ එතුමානෝ කෙතෙක් සරලව රට පාලනය කළේද යත් අවසානයේදී හිසගසා දැමීමට වධකයාට භාර කළ යුතු.... හොරු වංචා කුපාඩි කරුවන්.. තක්කඩි ඇමැත්තන්.. ස්ත්‍රී දූෂක මන්ත්‍රීහු පවා සංකීර්ණව ජීවත් වූ බැවින් එසේ වූවාහුයායැයි පවසා තම රජයට ගෙන ඔවුහු සියල්ලන්ගේ රථ පර්මිට් ඉවතලා ගොන් කරත්ත ලබා දී සරල කර තනතුරු දී දඬුවම් දී ජන සේවයට කාණු පවිත්‍රයතාවයට යෙදීමය...  අවසන ඇමති මඩුල්ල සරලින් සරලට පත්වී රාජාභරණ ඉවත ලා අමුඩ හැඳ පර්මිට් ගින්නෙහි ලා පා ගමන් කළහ.. රජයේ මාලිග දුගියන්ට දී දියවන්නා රාජසභාවේ පැදුරු ලා පවුල් පිටින් බුදියගත්හ...
මෙසේ පාලකයන් සරල වන කල්හී ජනයාද සරල වී සරල දිවියකට නව වියවස්ථා කුමටදැයි කියා ප්‍රතික්ෂේප කළාහුය... සරල වීමට ගස් වැල් නිසා එන සතුන්ගෙන් කරදරය.. අලිවැට ගැසීමට සිදුවෙනාහුයැයි පවසා මහින්දෝත්තම රජුන් ඇරඹි විල්පත්තු වනාන්තරය කපා සරල වීමේ ජාතික කර්තව්‍ය දිගින් දිගටම සිදුකළාහුය... මුදල් අත ගැවැසීමෙන් සංකීර්ණ වෙයි.. එනිසා බදු හඳුන්වා දී මහජනයා අතර කහවනු ගැවසීම අවම කර ජනයා අල්පේච්ඡ කළාහුය... විගණන ආඥා පත්‍රය ඉරා තූ තූ කර දැමූහ..
හොරුන්ද කුපාඩිද මිනී මරුවන්ද සරල නම් අව්ලක් ණැතැයි පවසා ඇමැතියන්ට සමාව දී සරල නිරිඳු සමගැ සතුටින් ස්වප්නා බලා ආප්ප කා වාසය කළාහුය..

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කතාව නිමියේය....

6 comments:

  1. බය බෝයි - මෙතන පල කෙරූ නිසා
    http://nelumyaya.com/?p=6117

    ReplyDelete
  2. මේ කතාවස්තු ටික දකින්න එන්ඩ ලැබුණෙ නෙලුන් යාය මැද්දෙන්

    ReplyDelete
  3. මහින්ද, මහින්දානන්ද, ආදී යමරජවරු සහ අමාත්‍ය වෘෂභයෝ ළඟදීම දඟගෙට වඩින්නට නියමිතය. එතකොට එව්වා ගැනත් ලියපං මලේ.

    ReplyDelete