Thursday, June 23, 2016

මොහොමඩ් අලී සිය ඔලිම්පික් රන් පදක්කම ඔහියෝ ගඟට අතහරී - muhammad ali


අඳුර වැටෙන්නට ළඟයි.. වැසි වලාකුළු එක්වෙමින් තිබුණා.රොනීත් මාත් බයිසිකල්වල නැගී ලුවිවීල් බලා යන අතරමග දී වැහි බිඳු එක දෙක වැටෙන්නට පටන් ගත්තා. අපිට දැන් මොනවා හරි බොන්න ඕනෑ.. රොනී එපා කියද්දි මම එක්තරා අවන්හලක් ඉදිරියේ බයිසිකලය නැවැත්තුවා...

විශාල හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් අතර අපේ පුංචි සයිකල් නතර කළ අපි අවන්හලට යනවිට ඒ විශාල සයිකල් අයිතිකාර කොලු රංචුව උන්ගෙ කෙල්ලොත් එක්ක අවන්හල ඇතුලෙ හිටියා...

එතැන හිටියෙ කෙන්ටකී සලීම් කියන එකාව මම මීට කලින් දැකලා තියනවා.. මිනිහා මා දිහා බලලා පොඩි හිනාවක් දැම්මා.. කොලු රංචුවෙ නායකයා මාව දැකලා නොදැක්කා වගේ හිටියා..

මිනිහට කවුරුත් කියන්නෙ ගෙම්බා කියලා.. මිනිහගෙ හම් පර්ස් එකේ එක පැත්තක නාසි ලාංඡනයක්.. අනිත් පැත්තෙ වහල්කම දිගටම පැවැත්විය යුතු යැයි සටහන් කරපු සුද්දන්ගෙ ලාංඡනය.. අතේ විශාල දම්වැලක්..

සේවිකාවක් අපි දෙන්නා ළඟට ආවා..

"මස් පාන් දෙකයි.. වැනිලා කිරි දෙකයි.."

අවන්හලේ අයිතිකාරයා ඇයට කතා කලා.. සුදු සේවිකාව ආපසු අපි ළඟට ආවා...

"ඔය අයට මේකෙ කෑම බීම දෙන්නෙ නැහැ නෙ.."


රොනී කෝපයෙන් වෙව්ලනවා.. මට පුදුම ආත්ම අනුකම්පාවක් ඇති වුණා.. ඒත් සමහර විට මා කවුදැයි ඔවුන් දන්නෙ නැතිව ඇති..

" මිස්... මම කැසියස් ක්ලේ.. ඔලිම්පික් ශූරයා...."

රොනී මගෙ ටී ෂර්ට් එක ඇතුලට අත දමා රන් පදක්කම ඇයට පෙන්නුවා...

ඇය සතුටින් සිනා වෙමින් ආපසු දිවගියා..

"කවුරු වුණත් මට කමක් නෑ.. කළු එවුන්ට මේකෙ ඉඩ නෑ.." ඒ කිව්වෙ අවන්හලේ අයිතිකාරයා..

මුළු අවන්හලම නිහඬයි. කෙන්ටකි සලීම්. ගෙම්බා ඇතුළු ගණංකාරයො ටික හඬනගා හිනැහෙනවා. රොනීගෙ අත ඔහුගෙ දකුණු සාක්කුවට යන හැටි මම දැක්කා.. ඒක ඇතුලෙ තියෙන්නෙ ඔහුගෙ අතට හුරු පුරුදු පිහිතලය.. පිහිතලයෙන් දස්කම් පෙන්නන්න රොනී වගේ තව කෙනෙක් ලුවිවිල් ගමේ නැති බව මම දන්නවා..

" කැසියස්, අයිතිකාරයාව උඹට බාරයි.. මම ගෙම්බව බලාගන්නම්.." 

මම රොනීව නිහඬ කළා.. අවන්හලේ අයිතිකාරයගෙ මූණට වමත් පාරකුයි බඩට දකුණත් පාරකුයි බඩට එක පාරකුයි දෙන්න ඇත්නම් කොපමණ අගේදැයි මට හිතුණා.. පාසල් ශිෂ්‍යයෙක් මා දිහා බලාගෙන ඉන්නව. ලැජ්ජාවෙන් හා කේන්තියෙන් මාව වෙව්ලනවා..

"මිත්‍රවරුනි.. මේ තමයි චැම්පියන්.. ලුවිවිල් ගමේ ඔලිම්පික් චැම්පියන්......"

"රොනී කට වහගනින්.. මුන්ට බාල්දු වෙන්න එපා."

"කැසියස් උඹව බලාගන්න ඔබේ කෝටිපතියන්ට ටෙලිෆෝන් කරපන්.. මේ හෝටල්කාරයො උන්ට යටයි." 

මම අසුනින් නැගිට්ට.. උනුත් සුද්දො නෙ.. උන්ට වුණත් බාල්දු වෙන්න ඕනෑ නෑ.. උන්ට කියලා මම මෙතනින් කෑවත් බීවත් අනිත් කළු මිනිස්සුන්ට උන් සලකන්නෙ මෙහෙමනෙ කියලා මට හිතුණා.. කුස්සියෙ වැඩ කරන කළු ගැහැණිය ඉස්සරහට ඇවිත් අසරණව මා දෙස බලා සිටින හැටි මම දැක මගේ තොල් වෙව්ලනවා...

මේ රට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ නිදහස් එඩිතර මිනිස්සුන්ගෙ රට හැටියටයි.. නමුත් නුඹලා ඒකට නිගා කරනවා.. නුඹලා ඔක්කොම මාව හඳුනනනවා.. මම උපන්නෙ මේ ගමෙ මහ ඉස්පිරිතාලෙ.. මම මේ ගමේ හැම මිනිහෙක් වෙනුවෙන් ම ඔලිම්පික් රන් පදක්කම ගෙනැවිත් තියනවා.. මම සටන් කලේ මගෙ රටේත් ගමේත් නම තියන්නයි.. ඕනෑම පිටරැටියෙකුට මේ හෝටලේ ඉඩ තියන නමුත් මේ රටේ උපන් මේ රටේ ජීවත් වන කළු මිනිහෙකුට ඉඩ නැහැ..  උඹලා ලැජ්ජා විය යුතුයි.. මම මගේ අයිතිය ලැබෙන තුරු යන්නේ නැහැ.. මාව හිරේ දාපල්ලා.. මට ඒක ගාණක් නැහැ.. එහෙම කියන්න මට හිතුණා.. ඒත් වචනයක්වත් කිව්වෙ නැහැ...

ගණංකාර සුදු කොලු රංචුව හිනැහෙමින් එළියට ගියා.. රෝමයේ දී මගේ හිතට ඇතුළු වූ නියම ඇමරිකන් තරුණයා යන ප්‍රතිරූපය දැන් මගේ හිතින් ඉවත් වී හමාරයි.. ඔලිම්පික් මධුසමයත් ඉවරයි.. කළු ගැහැණිය මා ළඟට ආවා..

"ඕවා ගණං ගන්න එපා.. උඹේ අර කවිය මම කියෙව්වා.. හරි ලස්සනයි.." 

කැසියස් රෝමය ජයගත් හැටි යන මාතෘකාවෙන් මා ලියපු කවිය මට සිහිපත් වුණා..

" අමෙරිකාවට මම ආදරෙයි.. ලුවී ගමටත් ආදරෙයි.. එනිසයි රන් පදක්කම දිනුවේ..."

මා දොරටුවෙන් පිට වුණා.. සුදු පාසල් ශිෂ්‍යයත්.. සේවිකාවත් පැමිණ මගේ අත්සන ලබා ගත්තා..

"ඒයි ඔලිම්පික් කාපිරියා.. තාම කිරි බොනවද..? "

ඒ කටහඬ ආවෙ මෝටර් සයිකල් ගණංකාරයො හිටිය පැත්තෙන්..

"උඹලට කරදරයක් නොකර යන්න දෙන්නම්.. සිහිවටනයක් හැටියට ඔය රන් පදක්කම දීපන්.. ඒක ගෙම්බට ඕනැලු... " ඒ කෙන්ටකි සලීම්...

රොනී හොඳ කුණුහර්පයක් කිව්වා..
අපි මෝටර් සයිකල් වල නැගිලා යන්න පිටත් වුණා..

" තොපිව අල්ලගන්නම්.. කාපිරියා තෝව මරනවා.."

ජෙපර්සන් කවුන්ට් පාලම උඩදි ඔවුන් අපිව වට කළා.. ගෙම්බා උගේ අත තිබු දම්වැලෙන් මට ගහනවා.. මට මෝටර් සයිකලෙන් උගේ ඇඟට පනිනවාත් සමගම රොනීත් පැන්නා.. ගත වූයේ සුලු මොහොතයි.. ගෙම්බගෙ පෙම්වතිය කෑගහනවා.. මගෙ ඇඟ පුරාම ලේ.. උන්ගෙ ලේ.. මට අවන්හල් අයිතිකාරයා මතක් වුණා.. නගරාධිපති මතක් වුණා..

"මේ ජරාව ඔක්කොම හෝදලා දාමු..." රොනී කිව්වා..

අපි ගඟ පහළට බැස්සා.. ඔලිම්පික් පදක්කම බැඳ තිබෙන සුදු නිල් සහ රතු රිබන් පටි වල ගෙම්බගෙ ලේ.. රොනී හෙමිහිට එය ගෙන සේදුවා.. ඔහු මටත් වඩා ආදරෙයි එයට.. මම ඔහු දෙස බලා හිටියා..පදක්කම දිනුවට පස්සෙ මගෙ කරෙන් එය ඉවත් වුණු පළමු වතාව මෙයයි... රුසියන්කාරය මගෙ වම් පැත්තෙන් පෝලන්ත ජාතිකයා මගෙ දකුණු පැත්තෙන් සිටිය දී මගේ ගෙලට මේ ඔලිම්පික් රන් පදක්කම වැටුණ හැටි මට මතක් වෙනවා..

 රොනි යළිත් එය මගේ කරට දැම්මා.. මම පාලම මැදට ගියා.. ඔහියෝ ගඟේ ගැඹුරුම  තැන මෙතන වෙන්න ඕනෙ.. රන් පදක්කම අතට ගත් මා එය ඔහියෝ ගඟේ ගැඹුරු දියට අතහැරියා... 

රොනී දුවගෙන ආවා..

ඔහුගෙ ඇස් වලින් කඳුළු කඩා හැලෙනවා.. " මොකක්ද බූරුවො ඒ කළ වැඩේ.." 

මේ රන් පදක්කම ලබා ගන්න අවුරුදු හයක් තිස්සෙ සිහින මැව්වා.. මහන්සි වුණා.. ලේ දහඩිය හැලුවා.. ඒත් මට දුක නෑ..
සුද්දගෙ ඉත්තෙක් හැටියට  ගත කළ ඔලිම්පික් මධුසමය මෙතනින් ඉවරයි... මගෙ හිත හරිම නිදහස්.. හරිම සැහැල්ලුයි.. මම අලුත් මිහිහෙක්...

- උපුටා ගැනීම
  The Greatest - ශ්‍රේෂ්ඨයා 
  මොහොමඩ් අලීගේ කතාව


=============================

පසු සටහන.. 
ජාතිවාදය වර්ගවාදය මනුශ්‍යත්වය ත්වය විනාශ කරයි.. මනුශ්‍යත්වයට නිගා දෙයි.. වෛරය ප්‍රචන්ඩත්වය උපදවයි...
එබැවින් කුමන ජාතිය කුමන ආගම කුමන ගෝත්‍රය කුමන හමේ පැහැය වුව සියළු මනුශ්‍යන්ට ගෞරව කරන්න.. කවුරුන් කළත් අන්තවාදයට එරෙහිවන්න..

නජජ්ජා වසලෝ හෝතී නජජ්ජා හෝතී බ්‍රාහ්මණෝ 
කම්මනා වසලෝ හෝතී කම්මනා හෝතී බ්‍රාහ්මණෝ 

පුද්ගලයෙක් උපතින් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් නොවන අතර එසේ වන්නේ ක්‍රියාවෙනි

- බුදුන් වහන්සේ

muhammad ali
Mohamed ali

No comments:

Post a Comment