Monday, October 10, 2016

ෂර්ලොක් හෝම්ස් සහ ප්‍රියන්තගේ මැණික් පෙට්ටිය


පමුණුව පාරට තවත් එක් උදෑසනක ... හෝම්සුත් මමත් උදේ කෑමට පෙර දවසේ පුවත්පත් බලමින් සිටියෙමු... රූපවාහිනියේ "සරණ" නාලිකාවේ පුවත් පත් කියවන කොල්ලාගේ විස්තර විචාරය අසමින් සිටියෙමු... ඒ තරුණයා ද හෝම්ස් මෙන් විශ්ලේෂණයට උපන් හපන්කම් ඇත්තෙකි.. ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කොටහළුවක රතිඤ්ඤා කරලක් පිපිරී තුවාල වීමේ පුවතට අනුව තවත් දින 114 යි පැය 5යි විනාඩි 8 ක් තුළ කොටි නැගිටින බවත්... ජාතික ආරස්සාව බිඳවැටී ඇති බවත් රතිඤ්ඤා කරලේ මැටි ගුලිය විසිවී ඇති ආකාරය දෙස බලා ඔහු නිගමනය කර පැවසුවේ ය...

උගුර පෑදූ හෝම්ස් මා දෙස බලා..

" ඔන්න බලන්න වොට්සන් ඔය කොල්ලා කවද හරි CID එකට බැඳුනොත් ඔබටයි මටයි මේ රැකියාවෙන් විශ්‍රාම අරගෙන 138 බස් එකක කොන්දොස්තර වැඩකට යන්න වෙනවා..."" කියා බැරෑරුම්ව කීවේය...

මේ අතර යමෙක් වේගයෙන් පඩිපෙල තරණය කරමින් එන හඬක් ඇසුණි... මම වහා රූපවාහිනිය විසන්දි කර කන් දුන්නෙමි...

දොරට තට්ටු කරන හඬ ඇසුණි...

මම ගොස් දොර ඇරියෙමි...

උස කෙට්ටු කොණ්ඩය අවුල් වූ අවු 33 ක පමණ තරුණ පුද්ගලයෙක් දොර අසලම සිටගෙන සිටියේය.. ඔහුගේ දෙනෙත් වල පෙණුනේ ශෝකාකූල බවකි...!!

ඔබද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ...?

තරමක් වෙව්ලන ස්වරයකින් ඔහු මා දෙස බලා කතා කළේය...

නෑ.. අර ඉඳගෙන ඉන්නෙ ෂර්ලොක් හෝම්ස්... එන්න ඇතුලට...

හොඳයි...


ඔහු කඩිසර ගමනින් පැමිණ ඉඳගත්තේය...

මොකක්ද මහත්මයා ඔබේ ගැටළුව...
හෝම්ස් මදක් සිනාසී දෑත් නිකට මත තබා ඉතාමත් උද්‍යෝගයෙන් ඇසුවේය...



හෝම්ස් මහත්තයෝ මාර වැඩේ... මගේ ගෙදර පෙට්ටියක්... පෙට්ටියක්.....!!

ඔහු එක්වරම පවසා නිහඬ විය...

කලබල වෙන්නෙපා මහත්මයා මට ඔබතුමාගෙ නම දැනගන්න පුළුවන්ද...

මම ප්‍රියන්ත...

හොඳයි ප්‍රියන්ත මහත්මයා දැන් ඔබතුමාගෙ ගැටළුව කියන්න අපිට.. මේ ඉන්නෙ දොස්තර වොට්සන්.. එතුමා මගේ සහයකයා.. මම ඉදිරියෙ කියන ඕනම දෙයක් ඔබතුමාට ඔහු ඉදිරියෙ කියන්න පුළුවන්...
ඔබතුමාට පාදුක්කෙ ඉඳන් බස් එකේ බෆල් එක ගාව හිටගෙන ඇවිල්ලා මහන්සි ඇතිනෙ... අවශ්‍යනම් වතුර එකක් බීලා කතා කරන්න..

ඔහු වික්ෂිප්තව හෝම්ස් දෙස බලා මා දෙස බැලුවේය...

කො...කොහොමද හෝම්ස් මහත්තයො මම පාදුක්කෙ කියලා කිව්වෙ...

ඒක සුළු දෙයක් මිත්‍රයා ඔයාගෙ උඩ සාක්කුවෙ තියනව බස් ටිකට් එකක් පාදුක්කෙ ඉඳන් මහරගමට ගත්ත...

ඔහු මදක් සිනාසී.. එතකොට බස් එකේ හිටගෙන ආවා කියලා දන්නෙ කොහොමද.. ඇරත් බෆල් එක ළඟ...

ඔබතුමා එද්දි මූණෙ තිබ්බෙ මහ භයානක පෙනුමක්... දාඩිය දාලා හොඳටම.. කලබල වෙලා හිටියෙ.. මේ උදේ එහෙම වෙන්න අමාරුයි.. අනික උදේ අව්ව නැති හින්දා  දාඩිය දාන්න විදිහක් නෑ ...
එහෙනම් එහෙම වෙන්න එකම හේතුවයි තියෙන්නෙ...

ඔබතුමා ආපු බස් එකේ සංගීතයක් ප්ලේ කරලා තියනව.. බෆල් එක ගාවම හිටගෙන ආපු හින්දා ඒක ඇහුණ අමාරුවට තමයි ඔහොම වුනේ...

ඇත්තමයි හෝම්ස් මහත්තයො අර පජිත් ද මොකාද එකාගෙ සින්දුවක් දාලා තිබ්බෙ ඩිෂ්ටි ඩිඩිං එකක්... අම්මප මම බෆල් එක පොළේ ගහන කේන්තියෙන් හිටියෙ.. මං මෙච්චර ප්‍රශ්ණෙක ඉද්දි ඒ ඩේසි ආච්චිගෙ පුතා කවුද ගෑනියෙක් දාලා ගියා කියලා ලතෝනි තියනව...

හොඳයි කියන්න මහත්මයා දැන් ඔබේ ගැටළුව....

හෝම්ස් මහත්තයො මම අද උදේ එලාම් එකට පාන්දර 4 ට ඇහැරිලා වයිෆ්ටයි ළමයින්ටයි තේ හදන්න කියලා කුස්සියට යන්න ආවා..

ඔබතුමාද තේ හදන්නෙ උදේට...

ඔව් උයන්නෙ රෙදි හෝදන්නෙ කඩේ යන්නෙ ගේ අතුගාන්නෙ ඔක්කොම මම තමයි....

නිකටේ තිබූ අතින් කට තද කරගත් හෝම්ස් හොඳයි ප්‍රියන්ත මහත්මයා ඔයාගෙ කතාව කියාගෙන යන්න... කියා කීවේය...

කාමරේ ඉඳන් කුස්සියට යන්න තියෙන්නෙ සාලෙ හරහා ඉතින් මම සාලෙ ලයිට් එක දැම්මා...

මෙන්න බොලේ අපෙ සෝෆා එක උඩ ලොකු පාර්සලයක්...
අඩි 2 × 2ක පෙට්ටියක්.. බ්‍රවුන් පේපර් කොලේකින් ඔතලා තිබ්බෙ... උඩ රිබන් එකක් ගැටගහලා තිබ්බා රතු පාට...

නත්තල් සීයා ආවා වගේ මේ මොන හත් ඉලව්වකට ගහපු කලාබරයක් ද කියල මම ඒක ළඟට ගියා...

ඒක ගහලා තිබ්බා ෆෝර් ප්‍රියන්ත ඇන්ඩ් පැමිලි.. මේඩ් ඉන් මන්දමුලන... ඩේසි ප්‍රොඩක්ට්ස් කියලා...

අත උකුලෙන් තබා ගත් හෝම්ස් උගුර පාදා...

" ඒවා ලියලා තිබ්බෙ ප්‍රින්ට් කරලද... ? කියා ඇසුවේය..

නෑ හෝම්ස් මහත්තයා අතින් ලියලා තිබ්බෙ..

හොඳයි කතාව කියන්න..


මේ මොන මගුලක්ද කියලා මම ආයෙ දුවලා කාමරේට ගිහින් වයිෆ්ව ඇහැරෙව්වා....

වයිෆ් කබ කඩ කඩ ඇවිල්ලා....

ඒ වෙලාවෙ වයිෆ් ඇඳන් හිටියෙ මොකක්ද...??

හෝම්ස් හරස් ප්‍රෂ්ණයක් ඇසුවේය...

නයිටිය තමයි හෝම්ස් මහත්තය.. නැතුව ඔසරිය ඇඳන් නිදාගන්න යැ... ගා ඔහු සිනාසුනේය..
මටත් එහට සිනා ගිය අතර තමන් ඇසුවේ ගොං ප්‍රශ්නයක් බව වටහා ගත් හෝම්ස්..

" හා හා ඉතුරු ටික කියන්න " කියා අහක බලාගෙන පැවසුවේය..


මේ අතර හඩ්සන් මහත්මිය කතා කරන හඬක් ඇසුණි....


හෝම්ස් මහත්තයා හෝම්ස් මහත්තයා...

කියා දොර ඇරගෙන ඇතුලට පැමිණියේය...

වහා පුටුවෙන් නැගිට සරම හදා ගත් හෝම්ස්...

යකෝ ඇන්ටි මං කී පාරක් කියලා තියනවද හලෝ දොර ඇරං ඇතුලට එන්නෙපා කියලා එකපාර...

කියා කෑ ගැසුවේය...

බොරුවට කෑ ගහන්නෙපා හෝම්ස් මහත්තයා... මං මේ මාසෙ ගෙවල් කුළිය මතක් කරලා යන්න ආවෙ.. මාස දෙකකින් දීලා නෑ කියා දඩාස් ගා දොර වසාගෙන ගියා ය...

යකෝ මේකිට මේ වෙලාවෙම ඕක මතක් කරන්න ඔනෙද... දැං ගෙවපංකො ගෙවල් කුලි... මේ සිරිසේන ඇවිල්ලා fcid මගුලයි අල්ලස් කොමිසමයි ඇරියා ඇරියමයි අපිට හතේ හත වැදිලා ඉන්නෙ ප්‍රියන්ත මහත්තයා..

උන් අල්ලන හොරෙකුත් නෑ.. අපිට අල්ලන්න දෙන්නෙත් නෑ.. හැම එකාම ඒක අස්සෙ රිංගනවා.. අපිට බිස්නසුත් නෑ කියා පුපුරමින් බැන..


හොඳයි ඉතුරු ටික කියන්න...

කියා හෝම්ස් කීවේය..


මායි සුරංගියි ගිහින්...

කවුද සුරංගි...


වයිෆ්ගෙ නම..

ආහ් හරි කියන්න..

මායි සුරංගියි ගිහින් අර පෙට්ටිය බැලුවා....

" කවුරු හරි අපිව සර්ප්‍රයිස් කරන්න ප්‍රසන්ට් එකක් ගෙනල්ලා තිබ්බද දන්නෑ ප්‍රියා... අපේ ආන්ටිලත් ඉටලි වල ඉඳන් එනව කිව්වා..."" කියලා වයිෆ් ඒ වෙලාවෙ කිව්වා...

තමුසෙට පිස්සුද ගෑනියෙ... උන් හොරුද මහ රෑ ගෙට පැනලා පෙට්ටි තියලා යන්න කියලා මම වයිෆ්ට බැන්නා...

මේ හදිස්සියෙ බෝම්බයක්ද දන්නෑ කියලා මං බයේ ඉද්දි මේ ගෑනිගෙ ගොං කතාවට මට මල පැනලා හිටියෙ හෝම්ස් මහත්තයා...


හරි කියන්න..

ඊට පස්සෙ අපි කොස්ස ගෙනල්ලා ඒකට තට්ටු කළා... සද්දයක් ආවෙ නැති හින්දා මම ළඟට ගිහින් හිමින් සැරේ රිබන් එක ගලවලා බ්‍රවුන් පේපර් කොලේ ඉරලා පෙට්ටිය ඇරියා....

අදහගන්නවත් බැරි උනා හෝම්ස් මහත්තයො..

ඒක ඇතුලෙ තිබ්බෙ රත්තරන් බඩු...!!! පාට පාට මැණික් ගල්...!!


මතු සම්බන්ධයි.....
----=========

#අකලංකාරය
චමල් අකලංක පොල්වත්තගේ

7 comments:

  1. //නැතුව ඔසරිය ඇඳන් නිදාගන්න යැ.//

    ++++++++++++

    ReplyDelete
  2. පමුණුව පාරෙ නෙවෙයි ඔය ලොක්ක ඉන්න තිබ්බෙ අපේ ගමේ.

    ReplyDelete
  3. Can't wait for next episode..🤓

    ReplyDelete