Thursday, October 20, 2016

පශ්චාත් අන්තර්ජාල මරණ කළමණාකරණය පිළිබඳ එක්සත් සමාජජාලා මරණාධාර සංගමයේ ඒකාබද්ධ නිවේදනය...


හදිසි අනතුරකින් මියයන්නේ නම් බීමතින් සිටීමෙන් , මීට පෙර මත්පැන් පානය කර තිබීමෙන් හෝ කොකාකෝලා වීදුරුවක් අත තබාගෙන හෝ ඡායාරූප ගැනීමෙන් වළකින්න..
සමාජජාල තර්කයට ( බුකිලොජික්) අනුව හදිසි අනතුරුවලට ලක්වී මියයන සියල්ලන් බේබද්දන් වන බැවින් ඒ අවමානයෙන් ඔබට ගැලවිය හැක..
එසේම විශාල අශ්වබල ප්‍රමාණයේ වාහල වල, යතුරු පැදි වල සිට ඡායාරූප නොගැනීමෙන් ඔබට අහවල් වාහනේට පෙම් කළ එකා ඒකෙන්ම මරු දකී වැනි ප්‍රකාස වලින් ගැලවිය හැක...
එමෙන්ම සිගරට් බීම්,  ගැහැණු ළමුන් ළඟතබාගෙන ඡායාරූප ගැනීම්, ඇඟිලි දෙක පෙන්වා රැප් ආකාරයෙන් පොටෝ ගැනීම්, හෝ ඒවා අප්ලෝඩ් කිරීමෙන් , කොට කලිසම් අත් නැති ටි ෂර්ට් ඇඳීමෙන්ද වළකින්න..
එසේම සමාජශාලාවක හෝ ඒ හා සමාන ආලෝකය ඇති නයිට් කඩයක් අසල සිට හෝ ඡායාරූප ගැනීමෙන් වළකින්න..
මේ මගින් ඔබ සල්ලාලයෙකු, ස්ත්‍රී දූෂකයෙකු , පව්කාරයෙකු , හොඳ වැඩේ ඕකට ආදී ලෙස අනවශ්‍ය ප්‍රතිචාර ලබා ගැනීමෙන් වැළකිය හැක...



ඔබ ගැහැණු ළමයෙක් නම් වොලිබෝල් ගැසීමට හෝ කොට කලිසමක් ඇඳීම කිසිදා නොකරන්න.. එමෙන්ම යහළුවන් හෝ පිරිමි ළමුන් සමග සිනාසී වැළඳගෙන ඡායාරූප ගැනීම, රාත්‍රී කාලයේ ඡායාරූප ගැනීම, කොන්ඩය පාට කිරීම, මේක් අප් කිරීම හෝ සමාජශාලාවක පොටෝ ගැනීමනම් කිසිසේත්ම නොකරන්න...

ඒ හරහා ඔබට ගණිකාවක් , මෝඩියෙක් , පිස්සියක් බඩුවක්, හොඳ වැඩේ ඕකිට, පේන්නැද්ද සක්කරවට්ටම, ආදී ප්‍රතිචාර වලින් වැළකිය හැක...
මියයාමට පෙර ජංගම දුරකතන හෝ හෑන්ඩ්ස්ෆ්‍රී භාවිත කිරීමෙන්ද වළකින්න...

එසේම ඔබ මිය යාමට ප්‍රථම
අවසානය, මියයාම, අනන්තය, කඳුල,ගියා,  යනවා, ඇති, දුක, සුසුම, අහිමිවීම, ආදී අවසානය හැඟවෙන කිසිදු ස්ටේටස් එකක් දැමීමෙන් වළකින්න...
අඩු තරමේ "යහපාලනය එපාවෙලා " , "හිත රිදිලා අප්පච්චී " කියා හෝ ස්ටේටස් දැමීමෙන් වළකින්න...

එලෙස කිරිමෙන් පසුව ගොසිප් සයිට් විසින්
මැරෙන්න පෙර උක්කුබණ්ඩා ෆේස්බුක් සටහනක් තබා යයි, රං එතනාගේ අන්තිම වචන ටික කියා හෝ ඔබේ මිණිය ජාත්‍යන්තරේට රැගෙන යනු ඇත...

ඔබ සියදිවි නසා ගන්නේනම් cctv කැමරාවක් නොමැති ස්ථානයකට යන්න.. එසේම එය රේල් පාරවල් වැනි ප්‍රසිද්ධ ස්ථාන වල සිදු කිරීමෙන් වළකින්න...

එසේම ඔබට අනේ බලන්න කොච්චර වැදගත් දරුවෙක්ද දෙයියනේ , මේ මොන අපරාදයක්ද ලොකු අම්මේ... වාවන්නෑ මහින්ද මහත්තයෝ... ආදී ලෙස ඔබ වෙනුවෙන් කවි ගී හීල්ලීම් හොටු පෙරීම් බුකිය අන්තර්ජාලය පුරා ප්‍රචාරය කරගෙන හොඳ දරුවෙකු වීමට අවශ්‍යනම් මෙලෙස කරන්න..

නිරතුරු නැෂනල්, සරම්, ෆුල් සූට් , ආදී ඇඳුම් ඇඳ සිටින පොටෝ දමන්න..
පන්සලේ පෙරහැරේ මල් බයිසිකල් තල්ලු කරගෙන යාම, වෙසක් කූඩු හැදීමට උණ බට කැපීම, අම්මාට බත් කටක් කැවීම,ආච්චි කෙනෙකුට පාර පැනිමට උදව් කිරීම, දන්සලේ අයිස්ක්‍රීම් බෙදීම, පල්ලියේ ගණ්ඨාරය පේන්ට් කිරීම , වේදිකාවක සහතික ගැනීම් ආදී ඡායාරූප පළ කරන්න... මම බොන්නෑ... අහවල් ආගමේ හින්දා ආඩම්බරයි,.. මම රූම් ගිහිල්ලා නෑ.. කෙල්ලෙක්ගෙ ගවුමක වාටියකින්වත් අල්ලලා නෑ .. අපෙ අම්මගෙ චූටි පුතා.. ආදී පෝස්ට් සෙයාර් කිරීමද වටී....

ඔබ ගැහැණු ළමයෙක්නම්.. කකුලේ ඇඟිලිත් වැසෙන දිගට ඇඳුම් හැඳ පොටෝ දමන්න.. හැකිතාක් නොදමාම සිටින්න.. ඔසරිය හැඳ මාල හත දමා සිටින ඡායාරූප පළ කිරීමෙන් වඩා සාර්ථක ප්‍රථිඵල ළඟා කර ගත හැක..
එසේම යහළුවන් සමග ළමානිවාසයක, වැඩිහිටි නිවාසයක ආච්චිලා සීයලා දරුවන්ට උපකාර කිරීම , පන්සලේ මල් වට්ටියක් කැකිරි සිනාවෙන් ඔසවා සිටීම, පරෙයියන්ට බජිරි විසි කිරීම, අත්දෙක මිටමොළවා දෑස් වසා දෙවියන් දෙස බලා සිටීම ආදී ඡායාරූප පළකරන්න.. පෙම්වතා සමගනම් සුදු ඔසරිය හැඳ පෙම්වතාට නැෂනල් එකක් අන්දා පන්සලේ මල්වට්ටියක් දෙදෙනාගෙ දෑස් දෙස බලා අල්ලා සිටින ඡායාරූප පළ කරන්න...
එසේම අනා කියුට් කියා පූසන්ගේ පොටෝද... මම රූම් ගිහින් නෑ.. සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ... බොන්නෙ නැති කොල්ලෙක් ලබන්න මං පිං කරලා තියෙන්නෙ... ආදී පොටෝ ශෙයාර් කරන්න...

මෙසේ සිදු කිරීම මගින් ඔබේ පශ්චාත් මරණ තත්වය යහපත් ආකාරයෙන් අන්තර්ජාලය තුළ කළමණාකාරණය කරගත හැක..


ස්තූතියි


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. කාට කියන්නද මේ දුක මුං තාම අර මිනිය විකුණනව :(
    මැරෙන්න කලිං අවසන් වරට මොකුත් නොකර ඉන්න මතක තියාගන්න වෙනව :)

    ReplyDelete
  2. Another way of getting famous.. 🤐🤐

    ReplyDelete
  3. It's your responsibility too keep your privacy... People who addicted to social media doesn't know how expose they are ...there is no limitations of what there are sharing.. you need to set your limit of sharing..

    So we can't blame on gossip media or TV channels..

    ReplyDelete