Tuesday, April 11, 2017

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් දිව්‍ය රථ කතාවත්තුව

==  ==

පෙර එක් කලෙක ත්‍රී සිංහලාධිශ්වර ශ්‍රී මහින්දෝත්තම රාජපක්සාභිධාන මහෝත්තම රජාණෝ ලංකාපුරයේ රාජ්‍ය විචාරා "රාජ්‍ය ධනය බලය නම් නැතිවන සුලුය... මාගේ මේ ව්‍යායාමය කිසි කලෙක රජ සැප පිණිසම නොවන්නේය.. ලංකාපුරයේ චිරස්ථිතිය උදෙසාම වන්නේය" යැයි සිංහනාද කර ලංකාපුරයේ සිහසුන තම ඔටුන්න හිමි නීමල් කුමරුන් හට භාර නොදී " නීමල් නම්  අත්දැකීනම් මදම වන්නේය.. එහෙයින් ඔහු නැවත සුදුසුකම් සපුරා රජ වන තෙක් රාජ්‍යයේ කටයුතු භාර කරමියි..." දාන පාරමිතාවට පෙරුම් පුරන හාවකු සේ අනුප්‍රාප්තික වෛද්‍ය කටයුතු භාර නිලදරුවා වූ මෙත්පල් සිරිසන් ඇමැතියා ට රාජ්‍ය භාර කර මන්ද මූලන ග්‍රාමයේ සුදු වස්ත්‍ර පොරවා බණ භාවනාදී පිංකම් කරමින් වෙසෙන සමයමැ විය....
 
පූර්ව කුශලයන්ගෙන් ලැබූ මහානුභාවයෙන් තව්තිසාවේ සක් දෙව් මෙන් දෙව් බඹ ආශිර්වාද ලැබ නෛකශ්‍රීන් විරාජමානවූ මහින්දෝත්තම රජුට උතුරටැ නැගෙනහිර.. එළියට අඳුර.. ආකාශයට මහීතලය මෙන් හාත්පස වෙනස් රජෙකුමැ විය මෙත්පල් නිරිඳුන්...

මහින්දෝත්තම රජුට මෙන් පෙර කුශලයන් නොමැත්තෙකු වූ නියාවෙන් එතුමාණෝ සැප සම්පත් නොලද්දාහුය..
එසේ හෙයින් පසු කළෙක සරලාභිධාන නරේන්ද්‍ර  මෙත්පල් ලෙස ජනයා අමතන්නට විය..



ඔහු රාජාභිෂේක දින රාජ කකුධ භාණ්ඩ ප්‍රතික්ෂේප කර පන්හිඳ ඉවත ලා ඇට්ලස්චූටා නම් කුරුලු පිහාටුවෙන් සන්නස් පත්‍රයට මුද්‍රා තබා සිය අල්පේච්ඡ බව ලොවටැ විදහාපෑය..
හේ නම් අරුම පුදුම අල්පේච්ඡ ය..
රාජ්‍ය විචෑරීමට පැමිණෙන්නේ රාජ යානය අතහැර ත්‍රීරෝද රථයේය..
රාජ භෝජන ප්‍රතික්ෂේප කළ එතුමාණෝ හංදියේ සුමනක්කා නම් උපාසිකාවගේ මාතර බත් කඩයෙන් හාල්මැස්සන් බැදුමක් පොල්සම්බල සමග තම්බපු හාලේ කැකුළු බතක් අනුභව කරයි.. ගුරුලේත්තුවෙන් පොල්කට්ටට පැන් වත්කර දෙපාරක් ඒ මේ අත මුඛය තුල යවා දෑඟිලි මුඛයට තබා තූ ගා පැන් පිඩ කාණුපල්ලේ දමයි...
ඒ තරමටමැ එතුමානෝ අල්පේච්ඡ ය..
එතුමාණෝ විදෙස් සංචාර කළාහූ නම් ඒ සාමාන්‍ය මගී පන්තියේමයැ.. උදෑසන පා පුවරුවේ එල්ලී පාසල් යන සිසුවෙක් මෙන් එතුමාණෝ  පාපුවරුවේ එල්ලී සොළොස් පැය දුර කතර ගෙවා ගියාහුය.. රාජ්‍ය කහවණු නම් නෑ සිය හිත මිතුරු යහපත වෙනුවෙන් යොදවා පලක් නැතැයි කියා වෙනත් රාජ්‍ය ගමන් විචාරන කල්හී පවුල පුලතිසිපුරයෙහි තබා ගියාහ.ම්
ගම් නියම් ගම් සිසාරා ටසිරිලක සංචාර කළේනම් ඒ පාගමනින්මයැ.. කන්ද උඩරට සිට කෝළම්‍තොටට දෙකෝටියට මහා ජනගංගාවෝ පාද යාත්‍රාවෙහි පැමිණියාක් මෙන් එතුමාණෝ ද ටසිරිලක සංචාරය කළෝනම් ඒ පා ගමනින්මයැ..
එතුමාණෝ කොපමණ ඉතුරුම් සහිතවැ රට කළේනම්...
එක් පැකැට්ටුවකින් කෝප්ප තිහක තේ පානය මිසිස් පෙරේරා සාදන්නේනම් මෙත්පල් සිරිසන් නිරිඳානෝ එය සැට කෝප්පයක් ලෙස සාදන්නාහ..
එක් ඩිටර්ජන්ට් පැකැට්ටුවකින් සලු පිලි බාල්දියක් සෝදන්නේනම් එතුමාණෝ බාල්දි දහයක් සෝදන්නාහ.
ඇතුලත බුබ්බුලාකාර කුටීර ඇති තට්ටු හතකින් යුති සුපර්ක්‍රීම් ක්‍රැකරා විස්කෝතු පොඩි බඩගින්නට සුපර් වූවද එතුමාණෝ එය ලොකු බඩගින්නටද යොදාගත්තාහ..
අසුන් පනවා හිඳගෙනම සිට කොන්දේ රුදා ඇතුල් වූ කල්හී අස්ථි ආබාධ කොලේස්ටරෝලාධී ව්‍යාධි සෑදෙයි.. එයින් ඔසු සඳහා ජාතික කහවණු වැයවෙයි.. ඉදින් එයින් රාජ්‍ය පිරිහෙන්නේමයයැයි කියා හිටං සිටියාහ..
රාජකීය ආහාර සඳහා බොහෝ කහවනු වැයවෙයි ඉදින් මා සරලවම ආහාර ගනිමියි කියා.. එක් නිවිති කොළයක් අනුභව කර ඩයට් කරනා තරබාරු අයෙකු මෙන් සිය ආර්‍යාවට දුරකතනයෙන් අමතා.. " ජයන්තියනි.. රාත්‍රී අහාර සඳහා අරලිය සහලේ ආප්ප සාදනු මැනව " යි කියා රාජ බෝජන ඉවතලා ආප්ප අනුභව කළාහ..
රාජ යහනා පෝම් මෙට්ට ප්‍රතික්ෂේප කළ එතුමාණෝ අරලිය මැදුරේ පිලෙහි බූරු ඇඳක පැදුරක් ලා මදුරුවෝ තලමින් සැතපුනාහ..

මෙසේ එතුමාණෝ ගම් දනව් සිසාරා විකට්ටුව වෙත ඇදෙන චන්දිමාලාණන් මෙන් ඇවිදිමින් බෝ දන හිත සුව පිණිසමැ වැඩෙහි කාලය ශ්‍රමය ධනයම යෙදෙව්වාහ.. මෙසේ රට වැස්සා කෙරෙහි උපන් දයානුකම්පාවෙන් නොන්ස්ටික් පෑන් එකකට දමන ලද වෙඬරු පිඩක් මෙන් උණු වූ හදවතින් රාජ බලය අතහැර සමවත් සුවෙන් කල් ගෙවන මහින්දෝත්තම රජුන් මෙන් රාජ සැප ප්‍රතික්ෂේප කර සොරු අල්ලමින්, තිසරපට අන්දා හෙළ සංස්කෘතිය රකිමින් කරනා වූ මෙහෙවර සකල ලෝකයෙහිමැ ප්‍රචලිත වන්නාහ..
මෙසේ දිනක මෙත්පලාණන්ගේ ගුණ කදම්භයේ මහිමය තව්තිසාවට ද දැනෙන්නට වන්නාහ..
පස් මිනිත්තුවක් ඩේටා ඔන් කරන ලද්දාවු ස්මාර්ට් පෝනයක් මෙන් සක් දෙවිදුගේ පඬුපුල් අසුන රක්ත තප්ත විය.. විචාරන කල්හී බෝ දන හිත සුවැ පිණිසමැ වැඩෙහි යෙදෙන මග මානවකයාණන් මෙන් රට කරනා මෙත්පල් නිරිඳාණන් දැක විස්කම් දිව්‍යපුත්‍රයාට වට්සැප් කෝල් එකක් ගෙන " එම්බා විස්කම් දිව්‍ය පුත්‍රය..'"ඇබෝලිස් සයිටම්" ආ.. එය වැරදීමකි.. අර විහිළු ලහිරුසේකරයාණන් හා අංතරේ විසින් තව්තිසාවේද තාප්ප ස්ප්‍රේ කර ඇති නිසා මට එය කියැවිණි..මගුල... සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් තෙමේනම් උතුම් වූ රජෙකි.. සිය සැපය අතැර රටවැසි හිතසුව පිණිසම යෙදෙයි.. මොහු ගම් දනව් සිසාරා පා ගමනින්ම සැරිසරා තව නොබෝ දිනකින්ම දණහිස ගෙවී කශේරුකා ඇදවී ඔටු කුදයට ලක්වි රථ ගායෙන් පීඩාවට ලක්විය හැක්කාහ.. එය ඇන්ලීන් බීවත් සුවකළ නොහීය.. ඉඳින් මම අහවල්මැතිණියාරාමේ හස්තිආල තෙරුන්ට අලි පැටවෙකු මැව්වාක් මෙන් සිරිසන් නිරිඳුන්ගේ ඉඩමේද  රාජකීය රථ දෙකක් මවා එවයි " කියා විස්කම් දෙවියන්ව ටසිරිලකට පිටත් කර යැව්වාහ..
මෙසේ නිරිඳුන්ගේ වත්තෙහි කහවණු සැට කෝටියක් වටිනා රථ ද්විත්වයක් මවා විස්කම් දෙව්පුත් තෙමේ දෙව්ලොවට නික්මුණාහුය..
පසු දින සිය කාර්‍යාලයේ පුවත්පතක් බලනාතර මෙය දුටු එතුමාණෝ වහා නැගිට සිය අතවැසියාට අමතා. එම්බා අතවැසි පුරුෂය මාගේ ඉඩමට රථ දෙකක් පැමිණියේ කෙසේදැයි විමසූ කල්හී අතවැසි තෙමේ විසින් සක් දෙවිදු තෙමේ සටහන් තබන ලද " සිරිසෙන් නිරිඳ.. සක් දෙවිදු මහත්වූ ප්‍රසාදයෙන් දෙන ලද මේ රථ බාරගනු මැන " යයි මුහුණු පොතේ කොමෙන්ටුවක් පෙන්නුවාහ..
එසේනම් පුත මෙය ප්‍රතික්ෂේප කළහොත් සක් දෙව් තෙමේ උදහසට ලක්විය හැක්කාහ.. ඉදින් " ඕක මෙහාට ගෙනෙන් හිටන්.." කියා අතවැස්සාට කියා බෝ දන හිත සුව පිණිසම භාව්ත කරමින් 99% ක් විෂබීජ හරණය කළ හාපික් දමා සෝදන ලද වැසිකිලියක් මෙන් ටසිරිලක දිනෙන් දින බබලමින් රාජ්‍යය විචෑරීය..

අකලංකාරයෙහි එන සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් දිව්‍ය රථ කතාවත්තුව නිමියේයැ


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ



9 comments: