Saturday, April 1, 2017

නිශා

දිවා මාගේ නීත්‍යානුකූල බිරිඳය.. ඇයව හඳුනාගත් දින පටන් ඇය දිවිය ආලෝකමත් කළාය.. සැබැවින්ම ඇය තම වගකීම් ඉටුකරන සම්ප්‍රදායික කීකරු බිරිඳකි. ගුණයහපත් ය. මම ද ඈ සමග සතුටින් කල් ගෙව්වෙමි..
මෙසේ ඈ සමග දිවි ගෙවන විට දිනක මට අහම්බෙන් නිශා මුණගැසුනි.. දිවාට වඩා රුවෙන් හාත්පසින්ම වෙනස් ඇය ගුප්ත ස්ත්‍රියකි. වැඩි කතාබහක් නැත. කතා කරන්නේම නැති තරම්‍ ය. හැසිරීමද එසේමය.. මේ නිසාම මම ඇය ගැන වඩාත් සෙව්වෙමි.. ඇයව හඳුනන්නන් පැවසූ පරිදි ඇය අමුතුය.. කතා බහක් නැත. භයානක විය හැක..මට හැඟුනු ඔවුන්ගේ නිර්දේශය වූයේ ඇය


සාමාන්‍ය කාන්තාවක් මෙන් නොහැසිරෙන නිසා ඇයව ආශ්‍රය නොකරන ලෙසයි... ඇය ගැන තතු දන්නාවුන්ද අල්ප වූ නිසාම මම තවත් ඈ ගැන සෙවීමේ ප්‍රතීඵලයක් ලෙස ඇයට නොදැනුවත්වම ළං වුනෙමි..
ඇගේ නිහඬබව., ඇගේ ගුප්ත බව., පිටස්තරයන් කුමක් කීවද මට ඒ හැම දෙයක්ම විශේෂ බව හැඟුනි.. ඉඳහිට අවදි කරන හඬට ඇළුම් කළෙමි.. ඇගේ මුහුණ හැඟීම් විරහිතයයි ලෝකයා කියූ නමුත් ඒ තුළ කිසිදා නොවිඳි ප්‍රේමණීය බවක්, සරාගී බවක් මම අත්වින්දෙමි.. භයානක බව කෙසේ වෙතත් ඇය ඉතා සෞම්‍යයය.. සිසිල් ය..නිවුන ගති ඇත්තියකි.. ඇය ගැන කියූවන් කියූ සාමාන්‍ය තත්වය කුමක්ද.. එය සම්මත කළේ කවුද.. මම මගේ හදවතින් ප්‍රශ්ණ කළෙමි..
දැන් මම දෙලොවක් අතර තනිවී ඇත.. ලෝකය මට දිවාව පෙන්වයි..එයට  ලෝකය යන පදයට වඩා සම්මතය කීවොත් නිවැරදි බව මම විශ්වාස කරමි. ඔව් සම්මතය මට දිවා ව පෙන්වයි.. ඇය හා සම්මතයෙන් අත්නොහැරිය හැකි බැඳීමකින් මා බැඳී ඇති බව මම දනිමි.. නමුත් මගේ හෘදය සාක්ෂිය මට පෙන්වන්නේ නිශාව ය. සැබෑවටම මම ඈට බැඳී ඇත.. ලෝකයා නිශා නරක බවත් දිවා හොඳ බවත් සම්මත කරගෙන ඇත. කවුදෝ රජෙක් ඉතා අවලක්ෂණ ස්ත්‍රියක් හා කාමයෙහි බැඳී ඇය ගැන කී විට පුරෝහිතයන් රජුට උපහාසයෙන් සිනාසීලු.. නමුත් රජු ඔවුන්ට තතු පහදා දීමට ඇයව ඇඟිල්ලකින් පමණක් ස්පර්ශ කිරීමට ඔවුන්ට අවස්තාව ලබා දුන්නේලු.. ඒ එක් ස්පර්ශයෙන් ඇගේ පහස ලැබූ මියයාමට ආසන්නව සිටි පුරෝහිතයන්ගේ පවා කාමාශාව වැඩිවු බව යි එහි සඳහන් වූයේ.
ඒ නිසා මට හැඟෙන්නේ ලෝකයා දිවා හොඳ යැයි කියන්නේ ඇය සම්මතය තුල ඉන්නා නිසාත් ඇයව ලෝකයා ආශ්‍රය කර ඇති නිසාත් ය..
නිශා ලෝකයාට එතරම් හොඳ ස්ත්‍රියක් නොවන්නට හේතුව වන්නේ ඇය නරක නිසා නොව ඇයව නිසි ලෙස හඳුනාගෙන නැති නිසාය.
ඔවුන් ඇයව නිවැරදිව හදාරන ලදහොත් සමහර විට හොඳම ස්ත්‍රිය ඇය වන තරමට මම ඇගෙන් මානසික සුවයක් වින්දෙමි..

දිවාව අතහැරිය නොහැක.. ඔව් මම බැම්මක සිරවී ඇත.. නමුත් මම පෙම් කරන්නේ නිශාටය.. ඔව් සැබැවින්ම හැකි සෑම විටම ඇයව හමුවීමට හදවත මගෙන් ඉල්ලුවේය..!

ඒ නිසා

මම නිශාචර වූයෙමි...!!
හැකි සෑම විටම රාත්‍රිය විඳිමි..!!


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

https://18sanniya.blogspot.com/2017/04/blog-post.html?m

2 comments:

  1. ඇස් මානයට පෙනෙනා දේ ගැන දැකලා
    හිස් ගෙඩි වැරදි හැඟුමන්ගෙන් ඇත පිරිලා
    ඉස් ත්‍රිය පුරුෂ ලෝකය ගැන තතු හොයලා
    තිස් සෙම ගණුය අදහස් හොඳ හැටි සිතලා.....

    ජයවේවා!!!

    ReplyDelete