Saturday, April 29, 2017

කඳුලු තවමත් එසේමය..



මීතොටමුල්ල සමූහ ඝාතනයෙන් විපතට පත් වූවන්ට රජයෙන් නිවාස ලබා දුන්  කොලොන්නාව ලක්සඳසෙවණ නිවාස සංකීර්ණය වෙත ගියෙමි.  එහි නිවාස 98 ක් රජයෙන් මේ සඳහා වෙන් කර තිබුණු නමුත් දැනට පදිංචියට පැමිණ ඇත්තේ පවුල් 30 ක් පමණි.
ලක්සඳසෙවණ දෙවන අදියරේ මහල් 11 කින් යුත් නිවාස සංකීර්ණයේ බිම් මහලේත් 9 වන මහලේත් ඇති නිවාස වල මේ පිරිස පදිංචිව ඇත.
මේ එක් නිවාසයක් සාලයක් කාමර දෙකක් , මුළුතැන්ගෙයක් හා වැසිකිලියකින් සමන්විත වෙයි.
නව නිවාස ලැබූ නිවැසියන් කිහිපදෙනෙක් සමග කතාබහ කරන්නට අවස්තාව ලැබුණි.
බිම් මහලේ නිවසක පදිංචි WAM බිස්වි මහතා අප එහි යන විට සිය පවුලේ අය සමග නිවස අලුත්වැඩියා කරමින් සිටියේය.
වැඩ කටයුතු අතර ඔහු කියා සිටියේ..



"අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි දුවයි මගේ බිරිඳයි මමයි.. අපිට ගේ එක්ක ලක්ෂ දෙකහමාරක් ලැබුණා. තව බාල්දි බේසම් මෙට්ට වගේ ආධාර ලැබුණා.. අනිත් හැම දේම ගත්තෙ අපේ වියදමෙන්.. ඇඳන් , පුටු, මේස, ටීවී එක , ශීතකරණයක් ගන්න ලක්ෂ දෙකහමාරක් ප්‍රමාණවත් නැහැ.. අපිට ඔප්පු තියනවා.. අපේ ගෙවල් වල වටිනාකම් තක්සේරු කරනව කියලා කියනවා.. ඒක කරනකන් විශ්වාසයක් නෑ.  ඒක හින්දා අපි මේ ගේ ගත්තා..
වැටිලා ඉන්න තැනක් ලැබුණ එක ගැන අපිට සතුටුයි.. කඳවුරු වල නොතියා සතියකින් විසඳුමක් දීම ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්.. "

ලෙසය..

මීළඟට බිම් මහලේම තවත් නිවසකට ගොඩවුණෙමි. එහි පදිංචි වී සිටින v . සුභ්‍රමනියම් මහතා හා ඒ මොහොතේ සුබ්‍රමනියම් පවුලේ සුවදුක් බැලීමට පැමිණි  අසල්වැසියෙකු වන මීතොටමුල්ල ඛේදවාචකය නිසා විපතට පත්වී මේ නිවාස සංකීර්ණයේ නමවන මහලේ නිවාසයක පදිංචිව සිටින  දිලීපා දිල්හානි මහත්මිය කියා සිටියේ..

"2012 දි අපි කිව්වා මේක වෙයි කියලා.. එදත් ඇවිල්ලා මේ විදිහටම බැම්මක් බැඳලා පස් තලලා ගියා මිසක් විසඳුමක් දුන්නෙ නෑ.. අපි උද්ගෝෂණ කලා , ලිව්වා මුකුත් ඇහුවෙ නෑ.. ඒ කාලෙ ඉඳන්ම අපි කුණු දාන්න එපා කිව්වට ඇහුවෙ නෑ. 2012 දි මේ වගේම ගෙයක් කඩාගෙන වැටුණ වෙලාවෙ කට්ටියකට ගෙවල් දුන්නා.. අපිට අනතුරක් නෑ කියලා ගියා..
ඒ කාලෙ ගෙවල් කැඩුන සමහර අයට ගෙවල් දුන්නා එහා පැත්තෙ බිල්ඩිමේ.. ඒ දවස් වල අපිටත් දුන්නං මේ දේ වෙන්නෙ නෑ.. අපි සල්ලි ඉල්ලුවා යන්නං කියලා.. ඒත් ලැබුණෙ නෑ..
කමක් නෑ.  දැන් ඉතින් මේකෙන් බලෙන් හරි සෑහීමකට  පත් වෙනවා.. අපි පොඩි මිනිස්සුනෙ.. වෙන මොනවා කරන්නද.. පාරට නොදා මෙහෙම හරි දීපු එක ගැන සතුටුයි... "

මීළඟට කතා බහ කලේ නමවන මහලේ පදිංචි වී සිටින සසික සංජිව මහතා සමගය.. ඔහුට වයස අවුරුදු 39 කි.

" මගේ පවුලෙ තුන් දෙනෙක් මට නැති උනා.. මගේ බිරිඳට වයස අවුරුදු 35 යි.. සිද්දිය වෙනකොට මම හිටියෙ ගෙදරින් එලියට ඇවිල්ලා.. පුතා ගේ ඇතුලෙ ඉන්නව කියලා හිතලා එයාට එලියට එන්න බැරි වෙලා.. මගෙ දුවයි තාත්තයිත් නැතිවුනා.. දුවට අවුරුදු 8 යි.. තාත්තට 60 ක් වයස.. දැන් මට ඉන්නෙ පුතාල දෙන්නා විතරයි. එක්කෙනෙක් මේ අවුරුද්දෙ ඕලෙවල් ලියනවා.. අනිත් කෙනා හතර වසරෙ.. මොනව කරන්නද ඉතින් දැන් ළමයි දෙන්නට උගන්නන්න ඕනෙ.. මම වැල්ඩින් වැඩ කලේ.. ගෙදරත් එක්කම ඒ හැම දේම විනාස වෙලා.. "

රජයෙන් මරණ වලට වන්දි දුන්නාදැයි ඇසූ ප්‍රශ්ණයට ඔහුගේ පිලිතුර වූයේ..

""රජයෙන් තාම ඒ ගැන ඇහුවෙ නෑ... ඒ ඇහුවත ජීවිත වල වටිනාකම තක්සේරු කරන්නෙ කොහොමද.. මම ඒ ගැන හිතන්නෙ නෑ.. දෙන ගානක් ගන්නවා.. අනිත් දෙන්නට උගන්නන්න ඕනෙ හින්දා.. ""

ඒ මිනිස්සුන්ගේ හෘදයසාක්ෂිය එසේය...

නිවාස සංකීර්ණයේ උඩු මහලට කුණු කන්ද පෙනෙයි..
කඳුළු තවමත් එසේමය..

ඡායාරූපය - ඡායාරූප මාධ්‍යවේදී Shehan Gunasekara මහතාගෙනි.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. මල්ලි අර චෝදනාවක් කරන්නේ සල්ලි දුන්නහම වෙන තැන් වලට යන් සමහර අය ඒවා අරගෙන වියදම් කලා කියල වෙන දේවලට? ඒක ඇත්තක්ද? ලක්ෂ දෙකහමාර නම් මදි ඇති තමා

    ReplyDelete