Friday, May 12, 2017

වෙසක්

==  ==

සින්දුවක් කියාගෙන ගෑල්ලමයෙක් දිහා බලාගෙන හෝ කොල්ලෙක් නම්බරයක් දෙනකන් බලාගෙන රාත්‍රී කාලයේ යාලුවො හෝ පවුලේ අය සමග වෙසක් බැලීමේ  වින්දනයක් තරුණ උන්ට ලැබිය හැකි මුත් වැඩිහිටි පාර්සවයට එහි ප්‍රතිඵල ලැබෙන්නේ වෙසක් කලාප දිගේ හෝ දන්සල් පෝලිම් වල හිටගෙන සිට පහුවෙදා කකුල් අමාරු කොන්දෙ අමාරු හැදුන විටය. කොට්ටාවේ බත් දන්සලේ පෝලිම හැකරැල්ලෙක් ඇකිලුනා සේ දිගය. බත් එකක් කෑමට හයිබ්‍රිඩ් වලින් මොන්ටේරෝ වලින් පවා පැමිණි උවැසි උවැසියෝ ද අක්කලාද නංගිලාද හිටන් සිටිනු දැක අම්මප මගේ හද පතුලෙන් ගලන ශෝකේ කැළණි ගඟෙන් මහ මුහුදට ගලනවා වාගේය.. ඒ පෝලිමේ දන්සලට යාමට කලින් ඇතිවෙන බඩගිනි නිවීම සඳහා මැද්දෙන් තව බත් දන්සලක් ලබන අවුරුද්දෙ සම්මාදන් එකතු කර ඇරඹීමට හිතා ගත්තෙමි.. එතකොට ඒ පෝලීමේ සිටිද්දී බඩගිනි වූ විට අපේ දන්සලෙන් බත් කා බඩගිනි නිවා අර දන්සලට යාමට හැක..
අයිස්ක්‍රීම් දන්සල් වල පෝලිම් ද එසේමය. අම්මප දන්සල් වල ඉන්න වෙසක් බලන උන් තරමට ජනාධිපතිතුමාවත් හිටං සිටින්නේ නැතුව ඇතිය.
මෙතන පොරටෝක් දුන්නාට පහුගිය දවස් දෙකේ මා ද දන්සල් දහපහළවකට වග කිව්වෙමි.
හැබැයි එක දන්සලක පැය ගණන් හිටං හිටියේ නං නැත. ඒ ඉතින් දාර්සනික මෙව්වා එකක් නිසා හෝ.. මාගේ තත්වයට නොගැලපෙන විලි ලැජ්ජාවකින් මා එතී කෑලි කැඩී බිඳී රෙදි ගැලවී නිල් දිය රැල්ලේ ගසාගෙන යන මංගල්ලයක් නිසා නොව., එක දන්සලක පැය ගාණක් හිටගෙන සිටිනා විට අනිත් දන්සල් ඉවර වෙන නිසාය..



කූඩු වලද තොරන් වලද පෝලිංය..
කූඩුවක් ළං කෝටු කෑලි සොයාලා පරඬැල් කොල ගෙනල්ලා ගීතය වාදනය වෙයි..
හම්බයන් රට ඇල්ලීමට යන නිසා දේසමාමක සිංහලේ පුතුන් බෙග්ව ගණන් ගන්නේ නැත..
ජාතියට ආදරයක් නැති එකෙක් ඒ සින්දුව දමා තිබුනේය.

කෝටු කෑලි සොයාලා
කහ සව් කොල ගෙනල්ලා
තාලයකට තියාලා
කැරකෙන කූඩුව සදාලා..
කැරකෙන කූඩුව සදාලා...

(ඔන්න ඒ වෙලාවෙම ලස්සන අක්කා කෙනෙක් කූඩුවට ආදාරයක් කලාය..
සින්දුව මැද මයික් එකෙන් ඇයට සෙත් පතයි )

ගම්පහෙන් ආ සුරංගී
අන්න ගියා මුදල් දී.....
පෝළිමේ කොල්ලො උදම් වී
ඇය දිහා බලති මගුල් වී...

කෝටු කෑලි සොයාලා
කහ සව් කොල ගෙනල්ලා....

චැනල් වලින් පෙන්නන ධාතු බැලීමටද මහා පෝලිමක් ය.
මහාකාශ්‍යප රහතන් වහන්සේගේ ධාතුත් පෙන්නන බව ගුණවතී ආච්චි මට පැවසුවාය. අපේ දහම් පාසලේ ( ඔව් ඔව් මම දහම් පාසල් ගියා.. ඒකාලෙ ඉන්ටවල් එකට එලකිරියි ගෝල්ඩ් මාරියි දුන්නා ) කියලා දුන්න විදිහටනං කාශ්‍යප හාමුදුරුවන්ගේ පිරිනිවන්පෑම ගැන කවුරුත් දැනසිට නැත.. ඕවා අහලා ගුණවතී ආච්චිගෙන් කුඩ පාරක් කෑමට නොහැකි නිසා කට පරිස්සං කරන් සිටියෙමි..
පුරන් අප්පු ගාව තිබුණ බුදුන්ගේ දන්ත ධාතුවක්ද පන්නිපිටියේ පන්සලක පෙන්නා ඇත.. මම හිතන් හිටියේ දන්ත ධාතු තියෙන්නේ සෝමාවතියෙයි නුවරයි කියාය.. දැන් පන්නිපිටියේත් ඇත..
අනිත් ප්‍රස්ණය නං වෙසක් කලාප වල එන උන් අතුරුදන් වීමයි..
දියවන්නා වෙසක් කලාපයේ ලස්සන ගැහැණු කටහඬකින් නැතිවූ අය ඇත්නම් itn එකේ කුටියට පැමිණ කියන ලෙසත් ඔවුන් සොයා දෙන බවත් නිවේදනය කළ අතර මීට පෙර මා දැනසිටි දැන් මා බ්ලොක් කර අතුරුදන් වී සිටින ගැහැණු ළමයෙකු ගැන හා හොරු ඇල්ලීමට ආ යහපාලන ඇමැතිලා දෙතුන් දෙනෙක් ගැන මා පැමිණිලි කරන්නට ගිට විට මාව ඇදගෙන ආ මාගේ මිතුරෙකු පැවසුවේ එහි සොයා දෙන්නේ එතැන වෙසක් බලන්නට ඇවිත් නැතිවූ අයව පමණක් බවයි.
  කිලෝමීටර් ගණන් ඇවිදීමට සිදුවීම නිසා කකුල් අමාරු හැදීම , එන අය අතුරුදන් වීම , ප්‍රදාන පාරවල් තදබදයට ලක් වීම..
කොල්ලන්ගේ නලා නිසා කං බීරි වීම..

ආදී බොහෝ ගැටලු වලට විසඳුමක් ලෙස අතිගරු ජනාදිපති අගමැති බුද්දසාසන ඇමැති මැදිහත්වීමෙන් ඔක්කොම වෙසක් එකතැන බලාගැනීමට දඹදිව අනුරුවක්  හැදීම කර ඇති බව මට සිතේ..
ඔක්කොම වෙසක් කලාප එතෙන්ට ගෙන ගිය විට සියලු දේ එකම අහසක් යටින් බලාගැනීමට හැක.
මේක නිසා දඹදිව සංචාරය කර පහේ කාසි වලින් ඉන්දියාවේ කැට පුරවා ජාතික ධනය ඉන්දියාවේ උන්ට දීම නවතිනු ඇත.
එහේ මල ජරාව කා උපාසකඅම්මලාගේ බඩරුදා ඇතිවීම වැලකෙනු ඇත.
අනිත් එක නං වැසිකිලියක් නැති ඉන්දියාවේ කිලෝමීටර් දාස් ගණන් තැම්බෙනවාට වැඩිය එකම තැනින් දඹදිවම බලාගැනීමට ජාත්‍යන්තරෙන්ද සංචාරකයන් පැමිණෙනු ඇත.. එයින් අපේ විදේශ විනිමයද ඉහල යයි..
ඒක ගැන දුරදිග සිතාබලා රුපියල්ම කෝටි ගාණක් වෙන්කර දඹදිව අනුරුව හැදීම ඇත්තටම ජාතික ආර්තිකය නැංවීම, කර්මාන්ත ශාලා ඇරඹීම, ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම, හොරු ඇල්ලීම , යහපාලනේ ස්තාපිත කිරීම, වියවස්ථා සංසෝදනය, කුණු ප්‍රශ්නෙ විසඳීම, මන්දපෝසනේ නැති කිරීම, කෝප්ප කොළ නොකා වගා කිරීම වැනි පොඩි පොඩි වැඩ වලට කලින් කිරීමට යුතුව තිබූ අතිසය පට්ට වැඩකි.

 මම නං කියන්නේ ඕකේ ජේතවනාරාමයක්ද සාදා සමන්තභද්‍ර බුදුන් වහන්සේවත් හෝ කැලණියේ උදාර බුදුන්වහන්සේ හෝ පදිංචි කලානං වැඩේ සර්ව සම්පූර්ණය .. දම්මාලෝක හාන්දුරුවන්ගෙ ඇතාව නවත්තා නාලාගිරි පෙන්නීමටද , අපි යක්කු බොලව් හෝ බුදු බණට හීලෑවුණ යක්කුන්ටත් අවස්තාවක් දී ආලවක දමණය පෙන්නීමටද., ඥානසාර හාන්දුරුවො ගෙන්වා දෙව්දත් ගල් පෙරලීමද පෙන්නිය හැක..
සක්‍රයාට කවුරුත් නැත්තං චතුර සේනාරත්නද එයට යොදාගත හැක..

දැන් හදිස්සියෙ මෝඩි මෙහෙ ආවේද ඕකටය.. පළවෙනි කාරණාව නං මට හිතෙනා හැටියට ඉන්දියාව ලොකු නිසා වෙසක් බැලීමට සති ගාණක් පයින් ගියොත් වයසක මෝඩි ඇවිදලාම කොට වීමට ඉඩ තිබුණි. ඒ නිසා මෙහෙ කොළඹ වටේ වටයක් ගසා හොරා වගේ වෙසක් බැලීමට පැමිණ ඇත.
අනිත් එක නං දඹදිව අනුරුවට අකුල් හෙලීමයි. මේක නිසා අපේ අය දඹදිව නොයාමෙන් ඉන්දියාවේ ජාතික ආර්තිකය බිඳ වැටී අයින් වෙලා උන්ට පයින් යාමට සිදුවෙයි..
ඕක ගැන කලින් දැනගත් නිසා වීරවංශ මහතා කලු කොඩි දමා විරෝදය පල කරන්නට කී විට එකෙක්ටවත් ගාණක් නැත.. ඒ ගැන කලකිරී එතුමාගේ ෆේස්බුක් ප්‍රොපයිල් පික්චරේටවත් කලු කොඩියක් දමා තිබුනේ නැත.. ඒක අහන්න කොමෙන්ට් එකක් දැමීමට නොහැකි වූයේ එතුමා මාව බ්ලොක් කර ඇති නිසාය.. ඒක නං බටහිර කුමණ්ත්‍රණයක් විය යුතුය.. අපේ උන්ට හොඳම වැඩේය. දැන් ඔය දඹදිව යහපාලුවො ඉන්දියාවට විකිණුවොත් උන්ට දඹදිවවල් දෙකකි.
මට හිතෙනා හැටියට ඕක ගැන ඉව වැටුණු කවද්දත් රටේ සම්පත් විකුණපු නැති මහින්ද මහතා බලෙන්ම මෝඩිව හමුවී දෙකක් කතා කිරීමට කටයුතු කරනු ඇත..

ඕවා කල්පනා කර කර වෙසක් බලා අයින් වෙලා පයින් ගෙදර ආවෙමි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. සමන්ත භද්‍ර රහතන් කියල හිතන් හිටියේ. දැන් බුදුන්ද

    ReplyDelete