Saturday, May 6, 2017

මීතොටමුල්ල අමතකද..?? කඳුළු තවමත් එසේමය....!!!!








සුජිත් ප්‍රියන්ත ත් මමත් අද කොලොන්නාව වි ගබඩාවට ගියෙමු...

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන්  වූ මිනිසුන් රැඳී සිටින එහි පොඩ්ඩන්ට සිදුවූ සියල්ල අමතකය.. ඔවුන්ගේ ලෝකවල සෙල්ලම්කරමින් සැරිසරති..

සෙල්ලම් කරමින් සිටි පොඩ්ඩන් හා කතාවට වැටුණෙමි.

පුතේ මේ මොකක්ද හදලා තියෙන්නෙ...??

( පින්තූරයේ පෙනෙනා ලෙස කාඩ්බෝඩ් වලින් මනාව දෙමහල්ව සාදා ටකරමකින් වහල සෙවිල්ලා තිබූ අඩි දෙකක් පමණ උස අතිශය නිර්මාණාත්මක වූ සෙල්ලම් ගෙයක් පෙන්වා එතැන සිටි පොඩිත්තියකගෙන් ඇසුවෙමි )

අංකල් මේක අපේ ගේ.. මේක ෆලාඩ්ගෙ ගේ..

( පොඩ්ඩා දෙමළ හුරුවෙන් ගැටගසමින් සිංහල උච්චාරණය කරමින් එක් ගෙයක් පෙන්වා තව පොඩ්ඩෙක්ව ඇඟිල්ල දිගු කර පෙන්වයි )

මේක මෙයාලගෙ අම්මලගේ.. මේක මෙයාලගෙ අම්මලගෙ ගේ..

( තව පොඩිත්තියකට හා පොඩ්ඩෙක්ට දෙසට ඇඟිල්ල දිගු කර අනිත් සෙල්ලම් ගෙදර උඩ තට්ටුව හා පහල තට්ටුව  පෙන්වයි )

නෑ නෑ මේක අපේ ආච්චිලගෙ ගේ.. මේක මෙයාලගේ..



( තව පොඩ්ඩෙක් පැමිණ අත දිගුකර දැරිවිට බාධා කරයි.. )

හරි හරි.. එතකොට පුතේ මේ මොකක්ද...

( ගෙවල් දෙකට පිටුපසින් ඔවුන් ගොඩගසමින් සිටි වැලිගොඩ පෙන්වා ඇසුවෙමි )

" අංකල් ඒ කුණුකන්දයක්...!!!! "

 ( ඔව් ඔවුන්ගේ උච්චාරණය එබඳුය )

කඩන් වැටුනෙ මේවට.. මේවයෙ අය යට උනේ.. ( සෙල්ලම් ගෙවල් පෙන්වයි )

මම වැරදිය...!!!!

පොඩ්ඩන්ට කිසිත් අමතක වී නැත.. ඔවුන්ගේ ලෝක වල ඔවුන් සැරිසරන්නේ නැත.. අසරණ දරුවන්ගේ හදවත් වසාගත්  මහා කුණුකන්ද විසින් ඒ සියුම් සිතුවිලි අපවිත්‍ර කර ඇත..
සමනල්ලු මල් ගැන පොත් ගැන ටොපි චොකලට් සෙල්ලම්බඩු ගැන කතා කළ යුතු පොඩි දරුවෙක් කුණුකන්දක් ගැන කතා කරනා රටක අපි ජීවත් වෙමු.....
අපි තව කුමක් කියමුද..
සුජිතුත් මමත් නිහඬව බලා සිටියෙමු...

මේ කඳවුරේ දරුවන් තවම පාසල් ගොස් නැත..
මාස තුනකට ඔවුන්ට මේ තාවකාලික නිවාස ( නිවාසයැයි කීමට නොහැක. ඒවා මිනිස් වාසයට නුසුදුසු මඩු ය ) වල වාසය කරන ලෙස කීවත් කෙසේ හෝ ගෙයක් කුලියට ගෙන රජයෙන් දෙන මුදලත් අරන් යාමට බල කර ඇත..
කොටින්ම කියනවානම් එයින් ගිය පසු නිශ්චිතවම නිවාසයක් දෙනවායැයි තවම කවුරුත් ලිඛිතව සහතික වී නොමැත.
එසේ  කුලී නිවසකට යාමට ලබා දුන් 150000 සමග බොහෝ පිරිසක් කුලී නිවාස වලට ගොස් ඇත්තේ වෙන කරකියා ගැන්මටදෙයක් නැතිකමටය.. ඒ මාසතුනක කුලී මුදල් ය.. එතනින් එහාට මුදල් ලබා දීම ගැන රජයෙන් කියා නැත..

නමුත් තවමත් රජයේ කටවචන විශ්වාස කල නොහැකි පවුල් 25 ක් එහි රැඳී සිටිති..
සාමසර කන්ද හා සාලාවේ මිනිස්සුන්ට සිදුවූ දෙය බැලූ විට රජයේ කට වචන ගැන ඒ මිනිසුන් කියන කතාවේ සත්‍යතාවයක් ඇත.. ගියෙ නැත්නම් පොලිසිය දමා බලෙන් එලවනවා කියා සමහර අයට තර්ජන පවා සිදුකර ඇත..

මට ඇති ගැටළුව වන්නේ ඒ මිනිසුන් එතැනින් එළවාදැමීමට එතරම් උවමනාවක් ඇත්නම් ලක්ෂ ගණනක් වියදම් කර රජයෙන් එම තාවකාලික නිවාස හැදුවේ ඇයිද යන්නයි.
ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් දුහුවිලි පිරුණු සිමෙන්ති පොළොවේ පැදුරක් එලා නිදාගනියි.
පිටින් ලැබෙන ආදාර හැරුණ කොට වෙනත් කිසිදු සහනයක් තවමත් නැත.
දරුවාට කිරි දීමට පිටි පැකට් එකක් නොමැති පවුල් ඇත..
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ලබා දුන් විදුලි පංකා 19 ක් සහ මෙට්ට ද යනවිට බාර දී යන ලෙස නින්දිත ලෙස පවසා ඇත.
එතැන සිටින මවක් විසින් දරුවන් මුත්‍රා කළ  මෙට්ට යලි බාරගෙන කුමක් කරන්නදැයි විමසූ විට හා එහෙනං ඒවා පමණක් තියාගන්න කියා පවසා ඇත..
කුණුකන්ද කඩාගෙන වැටෙන විට නිවාස වල කුලියට සිටි පවුල් සම්බන්ධයෙන් නිවාස ලබා දීමක් හෝ කිසිවක් ගැන තවම කිසිදු දැනුවත් කිරීමක් හෝ සිදුකර නැත..
ඒ මිනිස්සුන්ට උරුම මහ පාරද..??
ආබාධිත මහළු මවක් සමග ඇගේ මහළු දියණියද යාමට නිවසක් නොමැතිව හැඬූ කඳුලින් කල් ගෙවයි.. සිරකුටි බඳු තාවකාලික ලෑලි නිවාස වල අතිශය පෞද්ගලික කරුණු පවා සිදුකිරීමට ඇත්තේ පෞද්ගලිකත්වය අමතක කරය.. ඒ මිනිසුන්ගේ මානසික හා සමාජයීය තත්වය ගැන වගකියන්නේ කවුද...??

තව කීමට බොහෝ කඳුළු කතා ඇත....

අවසන් වශයෙන් කීමට ඇත්තේ මැයි පෙලපාලි වලින්.. වැඩවර්ජන වලින්..  කිසිද සයිටම් වලින් හෝ තර්ජනයකින්
 මීතොටමුල්ල ඝාතනයේ අයුක්තිය වැසීයාමට කිසිසේත්ම ඉඩනොදිය යුතු බවත්
ඒ මිනිසුන්ට යුක්තිය ඉටුවන තෙක් ඔවුන් සමග රැඳී සිටිය යුතු බවත් ය...

( තවත් ඒ පොඩ්ඩන්ගේ ආත්මගරුත්වය විනාස කිරීමට අකමැති නිසා ඡායාරූප වල මුහුණු බොඳ කළෙමි )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. අපේ රටේ ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි ..

    ReplyDelete
  2. කාලකන්නි හැතිකර දේසපාලුවෝ.... සතියයි දෙකයි හැම දේම අමතකයි....

    ReplyDelete