Saturday, May 13, 2017

මහින්දෝත්තම භාරත යක්ෂ දමනය කතාවත්තුව


==  ==

පෙරැ එක් සමයකැ ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිදානෝ අට සිල් ගන්නා ලද ගුණවතී ආච්චි මෙන් දැහැමෙන් සෙමෙන් සරලව රට පාලනය කරන්නාහ. පූර්වයේ දැමූ බල්බ නොනිවෙනා ලෙස කරන්ට් බිල ගෙවනා ගෘහපතියකු සේ පෙර මහින්දෝත්තම අධිරජාණෝ කරව ගියාවූ ශ්‍රී විභූතිය ඒ අයුරින්ම නංවාලමින් කෑම පිරවූ දොරදෙකේ ශීතකරණයක් මෙන්  බතින් බුලතින් ස්වයංපෝෂිත කරමින් පාලන කටයුතු මෙහෙයවනු ලද්දාහ..

 රටවැසි කතුන්ගේ කර මත දෑත කන් පෙති මත හෙට්ටිවීදියට බෝම්බ ගැසුවාක් මෙන් රනින් මැණිකෙන් පිරී ගියාහ. තරුණියෝ ආයි දාලා කරාඹූ කියමින් දෙකන් පුරා තෝඩු අරුංගල් ලෑවාහ.. මිලාධික පෑඩඩ් බ්‍රා ඇන්දාහ.. සකල සතම බොදු බැතියෙන් පන්සල් ගියාහ. ජනතාවෝ කෙතරම් යහතින් විසුවේද යත් මාලිංගයාණන් විකට් ගන්නා සේ ටසිරිලක පුරා මහ රහතුන් පහළ විය.. තව්තිසා දිව්‍ය ලෝකයද, ඇස්ගාඩය ක්‍රිප්ටෝනියාවාදී පිටසක්වල දීපද ටසිරිලක සමෘද්ධිය දැක ඇමැතියන්ට ප්‍රාඩෝ ජගුවරාදී මහා රථද ,  තරුණයෝ සඳහා දසලක්ෂයක් වෘත්තීන් පිටසක්වලින් ලබා දුන්නාහ.

මෙසේ ඉන්දිය සයුරේ බබලන සීඇෆ්එල් එකක් මෙන් ටසිරිලක බබලද්දී අල්ලපු ගෙදර දියුණුව දැක ඇහේ කටු ඇණෙනා සීසීටීවී ඇන්ටියෙකු මෙන් අසල මහාභාරතය ටසිරිලක මේ සමෘද්ධිය දැක ඊර්ෂ්‍යා වන්නට වන්නාහ..
මහාභාරතයෝ පෙර රාවණ සමයෙහි සිටම කුහකයෝමැය. ටසිරිලක සමෘද්ධියට අකුල් හෙලන්නේමයැ. ඉදින් අපට ශරීර කෘත්‍ය කිරීමෙහිලා වැසිකිලියක් පවා නොමැත්තේය.. ටසිරිලක වාසීහු රැකියාවට අභ්‍යාවකාශයට පවා යෙති. ඉදින් අප මොවුන්ගේ වස්තුව කොල්ලකෑවේනම් අපටද දියුණු විය හැක්කේයැයි පෙම්වතියගේ නිවසට කොටු පැනීමට සැරසෙන්නාවූ පෙම්වතකු සේ භාරත නායක තෙමේ සිය ඇමැතියන් හා කතිකා කර ගත්තේයැ.

අප පන්තියේ එකෙකුට ගැසූ අල්ලපු පන්තියේ එකෙකුගේ කර්ණ පටහ පටලය බිඳීමට බහිනා ගැන්සියක් සේ භාරත නායක නරේන්ද්‍ර සිං දෝණි රකුස් තෙමේ සිය සේනාවෝද සමගින්මැ ටසිරිලක බලා පිටත් වූවාහ..
ඉදින් මෙය කන වැකි මෙත්පලානෝ මෙසේ සිතන්නාහ.. භාරතය සමෘද්ධිමත් නොවුවද එහි සේනාවෝ සුවිසල් වූවෝමය...   අවුරුදු දා පමුණුව මෙන්
 ටසිරිලක වැසියන්ටත් වඩා සේනාවෝය. ඉදින් උන් පැමිණියෝනම් එක් දිනයක වුවද ටසිරිලක නතු කරගත හැක්කාහ.. මා කුමක් කරම්දැයි හිටන් කියා හෙතෙම සිය සරල මන්දිර පිලේ පැදුරේ සිටගෙන ගංවතුරට අසුවී කූඩාරමක් ගසා පැමිණි තැනට කුණුකන්ද කඩන් වැටුණ අයෙකු මෙන් තෙමේගෙන්ම විමසන්නාහ..



මේ පුවත වහා සැලවැ විශ්වයෙහිම කුමන්ත්‍රණ ගූගල් එකක් සේ දැනසිටි විමල වංශාභිධානයෝ මේ පුවත් අසා අප්පච්චී පැරදුණු බව ඇසූ බයියෙකු මෙන් වහා කම්පිතවූවාහ.. එතුමානෝ වරෙක ටසිරිලකට එරෙහිවූ මහා අමෙරිකානු අධිරාජ්‍ය පවා තමන් ඉදිරියේ දණ බිම ඔවා යටත් වන්නාවූ ලෙස එඩි බල විදා බටහිර කුමණ්ත්‍රණයෙන් රට බේරා ගත් නියා "මව්බිමේ මන්නය" ලෙස විරුධාවලිය ලද්ධාහ..  මව්බිම රකිනු නියා වරෙක මව් කුසින්ද.. වරෙක සක් දෙවිදු විසින්ද පහළ කරන ලද ස්වප්නා බඳු වූ එතුමාණෝ දෙවරක් උපන් විරුවෙක් වූවාහ..
ඉදින් භාරත කුමන්ත්‍රණය අසා මෙතුමාණෝ වහා සිය බුද්ධිය කලම්භනය කර සිතන්නාහ.. ඉදින් මේ මහා සේනාවට තනිව අප සේනාවට මුහුණ දිය නොහැක්කේමය.මේ සඳහා සුදුසුමැ උතුමාණෝ මහින්දෝත්තමයෝමයැයි සිතා මන්දමූලනයේ සමවත් සුවෙන් බවුන් වඩමින් සිටින ලද මහින්දෝත්තමයන්ට පෙනෙනා ලෙස සිය හැඳ සිටි කාල වර්ණ සරම ගලවා උණ බම්බුවක බැඳ කෝලම්තොටින් එසවූවාහ.. එතුමාගේ ආනුභාවයෙන් ඒ කාලවර්ණ සරම දිගින් පන්සිය බඹද පළලින් පන්දෙසිය බඹද සේ සුවිසල් ධජයක් ලෙසින් ලෙලදුන්නාහ..

මේ ලෙලදෙන්නාවූ කාල වර්ණ ධජය දුටු නියා සිරෙන් නිදහස්වූ කබාලී මෙන් එසැණ නැගී සිටි මහින්දෝත්තමයෝ දේශයට විපතක් බව හැඟෙන්නාහ. මේ නම් භාරතයෝමැ.. උතුරින් බටහිර කුමන්ත්‍රණද දකුණින් භාරතයෝද.. මා කෙසේ බවුන් වඩන්නද සූරන්තී කියා සිය දේවිය අමතා වහා සිය උතුරු සලුව ගෙන තෙවරක් ගෙලෙහි හොවා සරම වලාපට ගසා උඩු රැවුල කරකවා සෙන්පති යශෝෂිතා කෞමාරනුවානෝ ද සිය මළණු ගෝටයිම්බරයෝද සමගමැ සතුරා මෙල්ල කිරීමට ඇදෙනා වන්ෂොට් මෙන් මන්දමූලනයෙන් නික්මුණාහ..

වහා මෙත්පලානෝ වෙත ගමන් කල එතුමාණෝ.. මෙත්පලාන බියනොවන්න.. භාරතෝවැ මරණා සැටි මම පෙන්වමි.... ඉදින් ඔය භාරතයෝනම් සනත් ජයසූරියගෙන් පසු ඉල්ලන් කන්න යන්නේ මගෙන්මයැයි කියා.. නික්මුණාහ..
එය ඇසූ මෙත්පලානෝ අයි ඈම් සො පවුඩර් ඔෆ් යූ මහින්දෝත්තම කියා හැඬූ කඳුලින් පවසාලීයැ...

ටසිරිලක ජනයා මග දෙපස රැස්වී මහින්දෝත්තමයෝ දැක සාධුකාර දෙන්නාහ..
භාරත නරේන්ද්‍ර සිං දෝණි රකුසාණන් හා සිය සේනාවෝ ගොඩබැස්සාහ..
මහ සයුර නොපෙනෙනා සේ කුහුඹු ගුල ඇවිස්සූ පරිදි සේනාවෝය..ප්ව්නෙන තෙක් මානයේ සද්ධන්ත ඇතුන් මෙන් නැගුණු බැලැස්ටික මිසයිලද.. මල්ටි බැරල්ද.. නියුක්ස්ද රැගත් මහා කාලවර්ණ රථය.. නාවුක ගුවන් බුද්ධි පාබල චතුරාංගනී රාක්ෂ සේනාවෝය..

ඈත කටුනායක දෙසින් බුර බුරා එන සුනඛ රංචුවක් සේ භාරතයෝය..
මෑත කෝලම්තොට දෙසින් අරේ අරේ දිවා දිවා ගා උදාන වැකි කියා වඩිනා මහින්දෝත්තමයෝය..
ඈත කටුනායක මග දූලි අවුස්සා දුව දුවා පැමිණෙනා නරේන්ද්‍ර සිං දෝණියෝය..
මෑත අධිවේගී මග සනහ සනහා වඩිනා මහින්දෝත්තමයෝය..
ඈත දත් විළිස්සා නිය පහුරු පෙන්වා සන්නාහ ඇඟලා ඇදෙනා භාරතයෝය
මෑත වශී බෝලය කරකා දසන් පෙන්නා සිනාසී සරම වලාපට ගසා වඩිනා මහින්දෝත්තමයෝය..
ඈත බැලැස්ටික මිසයිල, රොකට් නියුක්ස් උස්ස උස්සා දිවෙනා භාරතයෝය.
මෑත වැටමාර පොලු , අංජනම් එලි, කනප්පු , හූනියම් මතුර මතුරා වඩිනා මහින්දෝත්තමයෝ යැ..

අවසන සේනාවෝ යුධපිටියට රැස්වූහ..
බැලු බැලූ තැනම පොළොව නොපෙනෙනා ලෙස එමිනම් පැමිණියාක් මෙන් මහ සේනාවෝ රැස්ව සිටිති..සේනාවල කාහල නාධයෙන් ශබදය වැඩි කල බෆල් එකක් සේ ගුවන දෙදරුම් කති..

එක් වරම සිය ගොරහැඩි හඬින් නරේන්ද්‍ර සිං දෝණියෝ
" දේකාහේ පෙහෙලී බාර්.. සාජනකේ ආකෝමේ ක්‍යා... "
කියා භාරත බසින් අමතන්නාහ..
එහි අරුත නම්
"නුඹත් අපත් පෙරලි පෙරලී සටන් කර පළක් නැත.. ජයගන්නේ අප ය.. " යන්නයි..

මාරු කාසි නොදුන් කල කිපුණ කොන්දෙකුසේ එයින් කිපුණ මහින්දෝත්තමයෝ භාරත බසින්ම..

"අබජාකේ ආයා මෙරේ.. යේ මේරේ දිල්කෝ තේ ක්‍යාර් අපෙ හාන්දුරුවනේ . "

කියා පපුවට ගසා තර්ජනය කලාහුය..

එහි අරුත නම්

"තොප කිනම් බම්බුවක් පවසාලූයෙද.. මගෙ හිත කියන්නේ තොප මියැදෙනා බවය.. ""
යන්නයි..

එවිට නැවතත් වහා ඉදිරියට බට නරේන්ද රකුසාණෝ ඩේයි.. විඩමාටා... කියා සිය සුරත මිත මොළවා තර්ජනය කළ කල්හී..

මහින්දෝත්තමයෝ

ඩේයි නරේන්ද්‍ර සිං..

ඩෝන්ට් අන්ඩරෙස්ටිමේට්ද කොමන් ඔෆ් අ පවර් මෑන්....
 නාන් ඔරු දඩව සොල්ලාර්... නූර් දඩව සොල්ල මාදිරී..මාදිරී.. දිරී.. රී... රී....රී... දෝංකාර දෙන හඬින්  හහ් හහ් හා.. කියා සිංහනාද කළ සැනම භාරත සේනාවෝ පහර දුන්නාහ..

යුධය ඇවිලී යන්නාහ..
හෙළ ටසිරිලක සේනාවෝද භාරත සේනාවෝද එකිනෙකා පරයා සටන් කරති. පෙර නන්දිකඩාල් කලපු තීරයේ තොත්තවාදීන්ව තනිව සමූලඝාතය කළ වීර යසෝසිතා කෞමාරනුවානෝ සත් බඹක් අහසට බට එක් පා පහරින් කුරුම්බා කඩන්නා සේ සතුරු හිස් සියයක් බිම හෙලන්නාහ.. හෙතෙමේ පිටියේ ගුවනට පැන පන්දුව අල්ලා කීපර්ට දමනා මහේලයෝ මෙන් සිය හිසට ඉහලින් විහිදෙන බැලැස්ටික මිසයිල යුධ හිස් අල්ලා භාරතයෝ මතම හෙලන්නාහ.. .
 අසිපත දෑතට වනා හයිලෑන්ඩරයන් සේ සතුරන් මැදට බට ගෝටයිම්බරයෝ සිය ධවල රථය මත නැත  සතුරන් තු තූ කරන්නාහ.. විමල වංශාධිපතියෝද සිය සරම කොඩි ගසේ ලූ නියා අමුඩය පිටින්  සටනට බසින ලද්ධාහ. අරිෂඨ බොන ලද කෑකෝපප්පාණන් මෙන් හෙතෙමේ සතුරෝ තු තු කරන්නාහ. මෙසේ යුධය දුර දිග ඇවිලෙන්නාවු කල්හී භාරත ලෙයින් ටසිරිලක බිම පෙඟෙන්නට වන්නාහ. වහ වහා දිව පැමිණි මහින්දෝත්තමයෝ රැජිනි කාන්ත් මෙන් සිය දෑත ම්ට මොළවා සත් බඹක් ගුවනට පැන සතුරු හිස් කඳින් ඇද දමන්නාහ.. හේ පොළොවට පතිත වූ කල්හී මහ පොළොව දෙදරා අකුණු ගැසු කලෙක මෙන් සතුරෝ සුණු විසුණු වන්නාහ.. සිව් මහ බඹුන් දුන් විවරණින් මහින්දෝත්තමයෝ පෑ පෙළහරින් නැගුන දුක් සො සුසුම් නිවමින් සමගි බල මහිමෙන් දෙස් විදෙස් දේසයන් පවා මවිත කරමින් පහර දෙන්නාහ..
රන් අරුනැල්ලේ පීදෙන සාරකෙතේ හිඳිමින්ද.. නිල් පවනැල්ලේ රැලි නගන වැවක් වෙමින්ද සතුරෝ එවනා පරමාණුක යුධ හිස් මතට පැන ගාමිණී පොන්සේකාණුවන් මෙන් සිය දණහිසෙන් පහර දුන් කල්හී ඒවා ගොස් බිම් මල් හත්තක් සේ දුම් නංවා පුපුරා තුත්තුකුඩියට වැටුණාහ. එක් මිසයිලයක් වැදුනු කෝලම්තොටට මහා ගොඩනැගිල්ලක් අනික් ගොඩනැගිල්ලක වැදී ඇලව නොවැටී නැවතුනාහ.. අංජනම් හූනියම් මැතිරූ බලයෙන් සතුරන්ට මහසෝණා වැසී සිය දිව් එලියට දමා මැරී වැටුණාහ..ඩීජේ කරන්නාක් මෙන් කනප්පු කරක  කරකා සතුරෝ සොය සොයා පහර දෙන ලද්දාහ..
අහෝ විෂ්මයක්මැ. එක්වරමැ ගුවන අන්දකාරයේ ගිල්වමින් නේවසංඥානාංඥායතනයෙන් යවන ලද්දාවූ ඇපලෝ යානයක් පුපුරා ගියාක් මෙන් රොකටයෝ සතුරු හිස් මතට පතිත වන්නට වන්නාහ.. හීනෙන් අණදුන් කිම් ජොන් ඇමරිකාවට පහර දුන්නාක් මෙන් විස්මයෙන් ඇලලි ගියාවූ සතුරෝ හිස් ලුලූ අත දිව යන්නාහ.. පෙම්වතිය බැලීමට ගිය කල ඇගේ නැගනියද කැමති වූවාක් මෙන් ජයගෙන පැමිණි සටනට රොකට් මල් වැසි වැස්සවූයේ නම් මහින්දෝත්තමයන්ගේ බාල කෞමාරනුවානෝ වූ රූහිතා කෞමාරනුවානෝය. හෙතෙමේ නම් පෙර රාවණ රජුන් මෙන් දඬුමොණර ගුවන් නැව් හපනෙකි.. තිස්තුන්දාහක ට්‍රාන්ස්පෝමරයක් හිසට වැටුණාක් මෙන් සැනෙක එල්ලවු ප්‍රහාරයෙන් තුෂ්ණිම්භූත වූ භාරතයෝ පොලිස් බැටන් ජල ප්‍රහාරයෙන් පලා යන අන්තරේ මෙන් වහ වහා සිය දේශයට පලා ගියෝහ..
එක වසරට දැමූ පොඩි එකෙක් මෙන් බියෙක් ගැහෙමින් සිටි ඉතිරි වූ  නරේන්ද්‍ර සිං රකුස් රජ තෙමේ දුටු මහින්දෝත්තමයෝ...

"අයුක්තිය අසාධාරණය රජ කරන බෝඩරේක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින මහින්දෝත්තම මම වෙමි.. නරේන්ද්‍ර දෝණී....
නාංගල් එල්ලෝරුම් වරුහිම්ඩ්‍රාම්..
ආ ඩාම් වෙනවා ඩෝම් වෙනවා....
ඕක මොකක්ද..."

කියා සිය සළුව තෙවරක් ගෙලවට හොවා  පශ්චාත්භාගයට පා පහරක් ගසා නොමරා භාරතයටම නැව් ගත කළාහ..
ටසිරිලක නැවතත් ඉෂි අම්මා පැමිණි මේ ආදරයයි මෙන් සුඛිත මුදිත ව කල් ගෙවන ලද්දාහ..
මහින්දෝත්තමයෝ මන්දමූලනයේ සමවත්සුවෙන් භාවනායෝගීව කල් ගත කළාහ..

සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙලහරින්
භාරතය සුණු විසුණුව ගියෙයැ...

කියා සහේළිහිණි සංදේශයේ පැදිද මේ අරභයා ලියැවුණාහ

මහින්දෝත්තම භාරත යක්ෂ දමනය කතාවත්තුව නිමියේයැ


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

13 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නාන් තාන් චණ්ඩි මල්ලි යැයි තෙපලූ එතුමාණෝ.....

    ReplyDelete
  5. තොපට නම් ඒකාන්ත වසයෙන්මැ මොලේ කොළොප්පම්යැ. ඒ වග දිවි පරදුවට තබා නොබියවැ පවසන්නෙම්යැ හහා...හහා...හහා...

    ReplyDelete
  6. කබී කුෂි කබී ගම් මෙරේ දිල්තා පාගල් හේ

    ReplyDelete
  7. ටහුඩු බොල..... ඩේයි විඩමාටා....

    ReplyDelete
  8. මේ අලුත් රාමායණය දෝයි සැකයෙකි. මහා කවි කලිදස් තුමන් වැනිය. බොල කොලුවෝ මහින්දාරාවනා තුමාට කොලොප්පම් නොකට මනාය. උන්ගේ සහෝදරයා දෙදාහයි විස්සේ දී රජ වෙන්නාහුයයි නිර්මාලයෝ දෙව්ස්ශ්‍රි මහා ආචාරියනෝ පවස්නාහුය.

    ReplyDelete