Friday, February 15, 2019

කෘතිම බුද්ධිය සහ මිනිස් හැඟීම්




තාඕ දර්ශනය කියවීමේදී යම් තැනක සඳහන් වෙනවා යම් ද්‍රව්‍යමය දේවල් වලට අපි ආශා කලාට එකතු කලාට ඒ දේවල් අහිමි වීමේදී ඒවට ආදේශක තිබුණත් අපි ආදරය කරන ජීවී දේවල් වලට එසේ නොවන බව.
උදාහරණයක් විදිහට යමෙක්ට කාර් එකක් තිබිලා ඒක නැති උනාම කාර් එකක් මිලදී ගන්න පුළුවන් උනාට., ආදරය කරපු ගැහැණිය හෝ පිරිමියා අහිමි උනාම ඒකට ආදේශ නෑ කියන එක.
ඊයෙ opportunity රෝවරය ගැන ලියපු සටහනත් එක්ක ( 1st comment ) මේක ගලපනකොට මට හිතෙන්නෙ නිශ්චිතවම අපිට එහෙම කියන්න බෑ කියලා.


මොකද මිනිසා මේ වෙද්දි ජීවී දේවල් වලට වගේම අජීවී ( සම්මතයෙන් ) දේවල් වලටත් ජීවී දේට සාපේක්ෂ හැඟීම් බෙදාගැනීම ආරම්භ කරලා තියන හින්දා. ඇයි මම වරහන් ඇතුලෙ සම්මතයෙන් කියලා දැම්මෙ. එතනම තමයි මෙතන කතා කල යුතු තැන තියෙන්නෙ. දැන් ලෝකෙ බහුතරයක් මිනිසා විසින් නිපදවන ලෝහ හෝ වෙනත් ද්‍රව්‍යමය උපකරණ අජීවී ලෙස වර්ගීකරණය කලාට හැඟීම් සංවේදන සහිත කෘතිම බුද්ධියක් නිපදවන දවසකදි ඒවා උපකරණ ගොඩට දාන්න නොහැකි දවසක් එනවා.
ඒ වගේම අපි උපකරණයකට ( සම්මතයෙන් ) අජීවී කී පමණින් ජීවී වස්තුවකට තරම් ඇලීමක් බැඳීමක් ඇතිවෙන්නෙ නෑ කියලා සහතික කරන්න පුළුවන් ද. ඒක තමයි මිනිස් මනස ස්වකීය පරිණාමික ක්‍රියාවලියෙදි ලබා ගත් විශිෂ්ට මනසෙ විශ්මය.
එතකොට දැනටත් එහෙම උදාහරණ පවතිනකොට තව දියුණු වෙද්දි දැනට සාපේක්ෂව මිනිස් හැඟීම් සංවේදන ඉතා ආසන්නව ප්‍රකාශ කරන, මිනිස්සුන්ට වඩාත් සමීප දියුණු කෘතිම බුද්ධියක් නිපදවන දවසකදි මිනිස්සු දැන් ජීවී දේට වඩා ඒවට ඇලෙන්න පටන් ගනියි. 
ගාෆීල්ඩ් කාටුන් කතා මාලාවෙ එක කතාවක ඕඩි , ජෝන්ට ගාෆීල්ඩ්ට වැඩිය බුරුසුවකට ආදරේ කරන්න ගන්නවා.
සමහරවිට තාඕ දර්ශනය පැහැදිලි කරන්න ගත්ත මෝටර්රථ උදාහරණයට අනුව නයිට් රයිඩර්  කාර් එකක්, බම්බල් බී, ඔප්ටිමස් ප්‍රයිම් වගේ ( මිනිස්සු හැදුවා කියලා හිතාගන්න ) නං, සමහරවිට තමන්ට එතරම් සමීප නොවූ සැමියට බිරිඳට වැඩිය ආදරය කරයි. බම්බල් බී තරම් නොදියුණු වර්තමානයේ පවා ජීවී දේට වැඩිය සම්මත අජීවී වස්තු සමග බැඳෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම දන්නෙ නෑ ඒක හරිද වැරදිද කියන්න. නමුත් ඒක එහෙම වෙනවා. මිනිස්සු යම් ජීවී හෝ අජීවී දේකට වඩාත් සමීප වෙන්නෙ එය සමග ගොඩනැගෙන මතකයන්, ජීවිතය බෙදාහදා ගැනීම එක්ක කියලයි මම විශ්වාස කරන්නෙ. එතකොට ඒකට ජීවී අජීවී කියලා ඉරි ගහන්න බෑ.මනුස්සයෙකුට, ගහකට, බල්ලෙකුට, උපකරණයකට උනත් ඒක වෙන්න පුළුවන්.
එතකොට අනාගතය දැන් සම්මතයේ පවතින විශ්වාස ,ඇදහිලි, දර්ශන, බොහෝ දේවල්වල හරයන් පවා ඉතා ඉක්මනින් වෙනස් වෙන්න ඔන්න මෙන්න තියන., මිනිස් මනසට ඉතා සංකීර්ණ , අපූර්ව කාලයක් වෙයි.
  - චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment