Friday, February 15, 2019

Opportunity Rover

නාසා ආයතනයෙන් අඟහරු ගවේශණය සඳහා 2003 දී යවන ලද  Opportunity රෝවරය පසුගිය 13 වෙනිදා අක්‍රීය උනා. දූවිලි කුණාටුවකින් සිය සූර්‍ය කෝෂ පද්ධතියට සිදුවූ හානි නිසා විදුලිය නොමැතිව අක්‍රීය වීමට පෙර රෝවරයෙන් එවන ලද අවසන් පණිවිඩය ලෙසින් සටහන් වූයේ My battery is low and its getting dark ලෙසින් ය. වසර පහළවක සිට අඟහරු මතු

විදෙස් සහ දේශීය මාධ්‍ය වල පලවී තිබූ මේ ප්‍රවෘත්තියට පලවී තිබූ ප්‍රතිචාර වලට අනුව බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් කණගාටුව පලකර තිබුණා. සාමදානයේ සැතපෙන ලෙස වගේම , සුබ ගමන් කියා ද ප්‍රාර්ථනා කර තිබුණා.



ඇත්තටම බැලුවොත් රෝවරය මිනිසා විසින් ලෝහ ඇතුළු ද්‍රව්‍ය භාවිත කර  නිපදවන ලද විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් උපකරණයක්. මිනිසා විසින්ම ලියන ලද පරිගණක වැඩසටහනකට අනුව ක්‍රියාත්මක වන කෘතිම බුද්ධියක් සහිත උපකරණයක්. එතනින් එහා කිසිදු  ජීවීමය හෝ මිනිස් හැඟීම් සහිත හෝ වෙනත් ජීවියෙක් හෝ නෙමෙයි.  නමුත් බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් සමීපතමයෙකු අහිමි වූ අයුරින් දුක් වී තිබුණා.

මම කුඩා කාලයේ බෲම් කාටුන් එකේ කාරයට ඉතා ඇලුම් කලා. බෲම්ට කරදරයක් උනාම කණගාටුවක් ඇතිවුනා.

 දැන් අවුරුදු ගණනකට කලින් ආතර් සී. ක්ලාක්ගේ පොතක් කියවීමේදී හල් නම් පරිගණකයක අඩපණ වීමකදි ඒ ආකාරයෙන්ම කම්පණයක් ඇතිවූ ආකාරය දැන් මතක් වෙනවා.

ඒ වගේම ස්පිල්බර්ග්ගෙ සුප්‍රසිද්ධ AI ( Artificial Intelligence ) චිත්‍රපටය රොබෝ දරුවකු සහ මිනිසුන් අතර හැඟීම් නිරූපණයේ සංවේදී බව චිත්‍රපටය නැරඹූ බොහෝ අයට මතක ඇති.

ඒ සියල්ල මිනිස් හැඟීම් සමග සංවේදීව ගණුදෙනු කිරීමේ අරමුණින්ම නිපදවන ලද  ෆැන්ටසිමය නිර්මාණ වුවත් ඒ ෆැන්ටසිය යථාර්ථය තුල නිරූපණය වීම Opportunity රෝවරයේ අක්‍රීය වීම හරහා කියවගන්න පුළුවන් කියලා හිතෙනවා.

සරලවම අපි ඉන්නෙ සංධිස්ථානීය යුගයක. මිනිස් මනසත් මිනිස් මනසේම නිර්මාණයක් වන කෘතිම බුද්ධියත් අතර හිස්තැන ඉතා ශීග්‍රයෙන් අවම වෙමින් පවතින මොහොතක.
මිනිසා මිනිසාගෙන් එහාට සතුන්ට ගහකොළට සිය හැඟීම් මෙහෙයවපු පරාසය ලෝහ, ප්ලාස්ටික් , ද්‍රව්‍යමය අජීවී කියා බැහැර කල වස්තූන් කෙරෙහි විහිදවන මොහොතක. ස්පිල්බර්ග්ගේ ෆැන්ටසිය රියලිටියට පැමිණෙන මොහොතක.
අලුතින් විවර වෙන ලෝකය කොයි විදිහේ එකක් වේවිද කියලා හිතන්න.
උපකරණයකට ආදරය කරන්න, උපකරණයක වෙන්වීමකදී ශෝකය උපදින්න., උපකරණ සමග තරහව වෛරය ඇතිකරගන්න, උපකරණයක් සමග ලිංගිකත්වය හුවමාරු කරගන්න වගේ තව බොහෝ පරාසයක විහිදුන උපකරණ සමග සංවේදී මානව හැඟීම් වලින් ගණුදෙනු කරන්න වෙන මොහොතක් ගැන හිතන්න.
සරලවම මම මේ සටහන ලියන්න යොදාගත් "උපකරණ" වචනය පවා අපේ සිත් රිදෙන්න හේතුවන යුගයක්..!!
තමන්ගේම වර්ගයා සමග අවුරුදු මිලියන ගණනක සිට සංකීර්ණ ගණුදෙනුවක නිරතව, තවමත් එකිනෙකා අනවබෝධීව සහ නොයෙක් විවිධත්වයන්ගෙන් යුතුව ගතකරන ජීවියෙක් වන මනුශ්‍යයා කෘතිම බුද්ධිය සමග ගණුදෙනු කරන මොහොතට  කොහොම මුහුණ දෙයිද කියන එක අතිශය සංකීර්ණ ප්‍රශ්ණයක්. නමුත් ප්‍රතිඵල කෙසේ වුවත් එයට අනිවාර්‍යයෙන් මුහුණු දීමේ අභියෝගය මිනිසා තම අභිමුකයට ගෙන අවසන් ය.

  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ඇත්තටම ඔපි අක්‍රිය උනෙ ජුනි 10 අඟඅඟහමත ඇතිවු විශාල දූලි කුනාටුවක් නිසා. පසුගිය පෙබරවාරි 10 තමා අවසන් පනිවිඩය ඔපිට යැව්වෙ. ඔපි අකර්මණ්‍ය වු දා සිට පෙබ 10 දක්වා නාසා ආයතනය පනිවිඩ 836 ක් ඔපිට යවා තිබෙනවා

    ReplyDelete