Wednesday, May 15, 2019

පුරවැසියනි


ආණ්ඩුව ඇතුළු රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සියල්ලම රට ගිනි තැබීමට හවුල් බව පැහැදිලි ය. එකිනෙකා වෙන වෙනම තමන්ගේ පාර්ශවය රකිමින් අනෙකාට චෝදනා කල ද සත්‍යය එහෙම ය.

දයාසිරි , නාමල් කුමාර සිරිසේනගේ ය.
කිරිඇල්ල රනිල්ගේ ය.
මදුමාදව මහින්දගේ ය.

නමුත් ගින්නේ වගකීම සම්පූර්ණයෙන් ජනාධිපති , අගමැති ඇතුළු වත්මන් ආණ්ඩුව භාරගත යුතුය.
කලින් මෙසේ වන බව දැන සිටීම, පෙර සිදුවීම් වල අත්දැකීම් , රාජ්‍ය ආරක්ෂාව තමන්ගේ භාරයේ තිබීම, වගකීම, අදාල සියලු ආයතන හැසිරවීමේ බලය, සිදුවීම් සිදුවන අවස්ථාවන් වල දී නිශ්චිත පියවර නොගැනීම හා ඉන් පසුවද ගැටුම් පිටුපස සිටින දේසපාලන ප්‍රභලයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම ආදී හේතූන් නිසා ආණ්ඩුවට සිය වගකීම අනෙකා පිට දමා අත පිහදාගත නොහැක. ආණ්ඩුව නොදැන යමක් සිදුවූවානම් එය ද ආණ්ඩුව භාරගත යුතු අතර ආණ්ඩුවට ඉහලින් වෙනත් යාන්ත්‍රණයකට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ නින්දාවෙන් ආණ්ඩුවට කිසිසේත්ම පැන යා නොහැක.



එසේනම් ආණ්ඩුව ප්‍රමුඛ සියළු මහජන නියෝජන දේශපාලන ප්‍රවාහයන් රටේ මහජන ආරක්ෂාව , නීතියේ ආධිපත්‍යය , වගවීමේ හා වගකීමේ ක්‍රියාවලීන්ට පයින් ගසා, තම තමන්ගේ දේසපාලන න්‍යායපත්‍රයන් සඳහා මිනිස් ජීවිත බිල්ලට දෙමින් ඇති මොහොතක පුරවැසියන් ලෙස සිදුකල යුතු වන්නේ තම තමන් වෙන්වී එම දූෂිත බලාධිකාරීන් හා එක් වීම ද , නැතහොත් පුරවැසියන් ලෙස තමන්ගේ අයිතීන් වෙනුවෙන් සියල්ලෝම එක්වී ආණ්ඩුව ප්‍රමුඛ පෙරකී දේශපාලන බලාධිකාරීන්ට එරෙහි වීමද යන්න තීරණය කළ යුතුය.

නමුත් අවාසනාවට ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබීම පමණක් රටේ පුරවැසියකු වීමට එකම සුදුසුකම වූ ශ්‍රී ලාංකික මහජනතාව තෝරාගෙන ඇත්තේ අන්තවාදය පෝෂණය කරමින් , දේශපාලන බලාධිකාරීන් හි උවමනාවන් ශක්තිමත් කරමින් බෙදී වෙන්වීමේ පළමු විකල්පයයි.

මිත්‍රවරුනි

සුද්දා බෙදා පාලනය කල ආකාරය ඔබ කුඩා කාලයේදී ඉගෙනගෙන ඇත.
ඉතිහාසය ඉගෙනගන්නේ පම්පෝරි ගැසීමට නොව අතීතයේ පාඩම් වලින් අනාගතය සාර්ථක කර ගැනීමටයි.
නමුත් ශ්‍රී ලාංකිකයන් තවමත් සිටින්නේ 1983 ය.
ශිෂ්ඨාචාරයේ ආපස්සට ගමන් කරමින් ය.
දැති රෝද නැවත ඉදිරියට කරකවන්න.

පුරවැසියන් ලෙස අප විරෝධය දැක්විය යුතු නිශ්චිත ඉලක්කය වත්මන් දේසපාලන  ප්‍රවාහය මිස වෙනත් කිසිවක් නොවේ..
පාස්කු ප්‍රහාරය ගැන දැන සිට වගකීම පැහැරහැරි ජනාධිපතිගෙන් , අගමැතිගෙන් පටන් ගන්න..!

මුහුණට මුහුණ සටන් කිරීමට නොහැකිව අහිංසක නිරායුධ මිනිසුන් පෙති ගහනා "පොන්න" සහරාන් සහ ඔබ අතර ඉර වහාම ඇඳගන්න..!!

#Eastersundayattacklka
- චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment