Monday, September 26, 2016

Music පුපුරෝපං.....!!



අපෝ අපේ කාලෙ වගේද දැන් හැදෙන ඒවා කිසි කමකට නෑ...
අපේ කාලෙ සින්දුනෙ සින්දු... දැන් ඒවා ප්‍රබුද්ධ නෑ.. සුභාවිත නෑ..

වගේ කතා ගොඩාක් ඔබේ වැඩිහිටියන්ගෙන් ප්‍රබුද්ධ යැයි සම්මත උගත් බුද්ධිමත් යැයි සම්මත විචාරකයන්ගෙ ගීත විශාරදයන්ගෙන් හැමදාම අපි අසන්නෙමු...

අනේ සතේකට ගණං ගන්නෙපා...

ඕකට කියන්නෙ අතීතකාමය...
ඔය මිනිස්සුන්ගේ තාත්තලාගේ පරම්පරාව කිව්වේද ඕකමය..
ඒ තාත්තලාගේ තාත්තලාද කිව්වේ ඕකමය..
අපේ කාලෙ තමා හොඳ තොපේ කාලෙ හොඳ නෑ කියා හැම පරම්පරාවම තම දරුවන්ට කියයි..
කලාව කියන්නෙ මනුස්සයෙක්ගෙ හිතේ ඇතිවෙන හැඟීමෙ පිටතට දාන නිරූපණය... ඒක ජීවත්වෙන කාලෙට සමාජෙට සාපේක්ශයි.. එතකොට ප්‍රබුද්ධ විචාරක මහත්තයෙක් කියනවනං එයාගෙ කාලෙ ඒවා හොඳයි දැන් ඒවා හොඳ නෑ කියලා ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නෙ " මං හිතපු විදිහට තොපිත් හිතපල්ලා"  කියන එක....

නෑ එහෙම වෙන්නෙ මොන එහෙකටද...



කලාව සංස්කෘතිය කියන්නෙ පල්වෙන ගඳගහන කාණුවක් නෙමෙයි.. ඒක ඉස්සරහට යන්න ඕනෙ ගඟක්.. අලුත් වතුර පාරවල් එකතු වෙන්න ඕනෙ.. පොඩි තැන් වලින් යන්න ඕනෙ.. ලොකු තැන් වලින් යන්න ඕනෙ.. තැනිතලා වලින් යන්න ඕනෙ.. ගල් උඩින් කඩාගෙන වැටෙන්න ඕනෙ.. නැතුව හැමදාම සමනල කන්ද ගාව තිබ්බ වතුර පාරම වෙන්න ඕනෙ නෑ....

අපේ කලාව පුපුරන්න ඕනෙ.... අපේ ගීතය පුපුරන්න ඕනෙ.. ඒක තමයි හොඳ මේක තමයි නරක තැනින් එළියට එන්න ඕනෙ.. ප්‍රවීණ කියන අය කුහකකම අතඇරලා තමන් දන්න දේවල් කියලා දෙන්න ඕනෙ.. තමන් දන්නැති දේවල් අහන්න නිහතමානි වෙන්න ඕනෙ දෙගොල්ලොම..
ඒ වගේම මොකා මොනව කිව්වත් අලුත් නිර්මාණ කරලා ඉස්සරහට යන්න ඕනෙ...
( මේක අවබෝධ කරගෙන ප්‍රගමනයට දායක කුහකකම් නැතුව වැරදි පෙන්නලා හදන උදව් කරන කියලා දෙන සැබෑ ප්‍රවීණයන්ට මෙය අදාල නැති අතර හිස නමා ගරු කරමි )

සමහර අය කිව්වා අපේ කාලෙ කවි තමා කවි දැන් කවි වැඩක් නෑ කියලා.. ඒ උනාට අපිට පේනව දැන් කොල්ලො කෙල්ලො කවි ලියනව.. පද හතරෙ එලිසමය විරිත්  , නිසඳැස් ක්‍රම සම්ප්‍රදාය කඩලා එලියට ඇවිල්ලා අලුත් නිර්මාණ බිහිකරනවා.. ඒක තමයි කලාවක වෙන්න ඕනෙ... චිත්‍රපටිත් එහෙමයි.. මල්ගස් වටේ දුව දුව කරපු ඉතිහාස කතා පම්පෝරියෙන් දුවපු ෆිල්ම් වලින් එලියට ඇවිල්ලා අපේ කොල්ලො කෙල්ලො අමාරුවෙන් අලුත් ෆිල්ම් හදලා එලියට දානව.. අලුත් තැන් ටච් කරනවා..
එහෙම කරලා තමයි ලෙස්ටර් මහත්තයා රේඛාව හදලා එලියට එන්නෙ.. ටයි මහත්තයා හැමදාම තිබ්බ ප්‍රේම කතා ට්‍රෙන්ඩ් කඩලා හඳයා හදලා එලියට එන්නෙ... දැනුත් අපිට පේනව තරුණ සිනමාකරුවො ඒක කරනව.. මෝටර් බයිසිකල්, හෝ ගාන පොකුණ වගේ නිර්මාණ එක්ක... ඒක තමයි විය යුත්තෙ...

අමරදේව මාස්ටර් තමයි ගායකයා අනිත් උන් මොක්කුද කියන එක හෙනම විහිලු කතාවක්.. අමරදේව මාස්ටර් ශාස්ත්‍රීය පැත්තෙන් වැඩ්ඩෙක් වන අතර එමිනම් රැප් සංගීතයේ වැඩ්ඩෙකි.. එබැවින් අමරදේව හොඳ වී එමිනම් නරක වෙන්නේ නැත.. එමිනම් හොඳ වි අමරදේව නරක වන්නේද නැත...
 හැමදාම අනුරාධපුර යුගේ නැටුම් නට නට හිටියනං වෙස් නැටුම් බිහිවන්නේ නැත....

ඒක නිසා අපේ ඒවා හොඳයි තොපේ ඒවා නරකයි කතා අදාල කර ගතයුතු නැත..

අද හොඳ තාක්ෂණයක් ඇත.. පද රචනාකරුවන් ඇත... මියුසික් දැනුමැත්තෝ බොහෝය.. සින්දු කියන්නට පුළුවන් උන්ද බොහෝය..

දැන් කළ යුත්තේ මේ එදා පටන් අරක හොඳයි මේක තමයි හොඳ කියා කියන ඒක පිපිරවීමයි... රැල්ල කඩා එලියට ඒමයී.. එකම රැල්ලේ යනවිට ඉදිරිගමනක් නැත..  එනවා යනවා ස්ටාර් කෙනෙක් වෙනවා විනා මතක හිටින එකෙක් , කලාව ඉස්සරහට ගෙනියන එකෙක් වන්නේ නැත..
බොබ් මාලේලා බිහිවන්නේ ඒ සම්ප්‍රදාය කඩා කුඩුපට්ටම් කර එළියට ඒම තුලයි..

රැල්ල හෝ සම්ප්‍රදාය කඩන්න බයද... ඔව්  කුණු බැනුම් අහන්න වෙනවා සත්තයි... අපේ රටේ ගෝත්‍රික සමාජෙට අලුත් දේ අරහංය.. ලෝකෙ එක්ක යාම.. ලෝකෙට මුහු වීම.. නව්‍යකරණය නුහුරුය.. සම්ප්‍රදාය අතික්‍රමණය අපරාධයක්ය...
අපේ උන් කැමති පරණ මෙව්වා ඔලුවේ තියාගෙන මේක අපේ අහවල් අවුරුදු ගාණක මෙව්වා එක යකෝ මේ බලාපිය තොපිට නෑ හූ හූ... කියා හීල්ලීමය..

තව අවුරුදු පන්සීයක් ගියත් අපේ උන්ට කියන්නෙ තියෙන්නෙ ඕක විතරයි.. ඒක හින්දා ඔය කෙහෙල් ඇවරි කරතියාගෙන ඉන්න උන් මොනා කිව්වත් සැබෑ නිර්මාණකරුවා කළ යුත්තේ තම ගමන යාමයි.....

මේ ඒකාකාරී විකාරෙ පුපුරවා හැරිය යුතුමය.. අලුත් දේවල් හොයා ගත යුතුය....
 හැඟීම කියන්නෙ හිමින්ද කෑගහලද සම්භාව්‍ය ද නැද්ද හිටගෙනද පෙරලිලද රැප් වලින්ද සිංහල ඉංග්‍රීසි මික්ස් එකකින්ද කියලා අදාල නැත..

ඕකෙම තව පැත්තක් තියනව...

සිඟිති පාතාලෙ එවුන් කුණුහරුප දාලා බලු චේන් එක දාලා රැප් කරන්න ගිහින් නා ගත්තනෙ.. ‍රැප් ගැන දන්නෙ නැති මිනිස්සුන්ට රැප් එපා උනා... හේතුව රැල්ලට යාම.
බූට් සින්දු වලටත් උනේ ඕකමය...
වෙනසක් නැති තැන.. රැල්ලට යන තැන.. ඒකාකාරී තැන් වල ඉදිරියට යාම නැවතීම ස්වභාවිකය..

 තියන ටැලන්ට් එක ටෙක්නොලොජිය රැල්ලකට ඇරියම වෙන්නෙ විකාරයක්ය..

උදාහරණයක් විදිහට විරහව ගීත බවට පෙරලෙන්න ඕනෑය.. බූට් සින්දු ඕනෑය.. ඒත් හැම එකාම එක දිගට දාස් ගානින් හොටු පෙරන් ඇඬීමට යාම විකාරයකි...
ඒකයි කවුරු බැන්නත් බූට් සින්දු ඔක්කොම එක වගේ වෙනස් වෙද්දි "පුංචි බැඳපු බාප්පගෙ අක්කගෙ දුව" සින්දුව වෙනස් උනේ...

වැඩේ හොඳද නරකද නෙමෙයි.. අලුත් තැන් හොයන එකෙයි වෙනස තියෙන්නෙ.. එහෙම යද්දි ආවේණික  රිදම් එකක් ලැබේය.. අනන්‍යතාවයක් හැදේය...ඕනෙනං ඒකත් කඩලා එලියට ඒමටද හැකිය...

ඒක හින්දා එක එක රැලි පස්සෙ යන්නැතුව එක එකා කියන කතා අහන්නෙ නැතුව එකතැන පල්වෙන්නැතුව මේ කුණුවෙලා තියන සම්භාව්‍ය ඕනෙමයි යකෝ අනිත් උන් වැඩක් නෑ කියන... අලුතෙන් එන උනුත් හොටු පෙරන් අඬන රැලි වලට අහුවෙලා ගිලිලා මැරෙන බහුබූතෙ වෙනස් කරලා අලුත් තැන් සෙවිය යුතුමය...  ලෝක සංගීතය ගැනද ලංකාවෙ සංගීතය ගැනද නිර්මාණකරුවන් මීට වඩා පුළුල් අධ්‍යයන කතිකාවත් ගොඩනැගිය යුතුය...
දැන් මේක කියවලා සංස්කෘතික සැට් එක අඬන්නෙපා සම්භාව්‍ය ඒවට බැන්නා අරකයි මේකයි කියලා... සම්භාව්‍ය ඇතුලු හැම සංගීතෙම ඕනෑය.. විරුද්ධ උනේ " සම්භාව්‍ය විතරයි යකෝ ඕනේ  " කියන අධිපතිවාදී මානසිකත්වෙට මිසක් සම්භාව්‍ය සංගීතෙට නෙමෙයි... ඒක අනිවා තිබිය යුතුය.. එහි තර්කයක් නැත.. හැබැයි ඒක විතරක් ඕනෑය ඒක විදිහට අනිත් ඒවාත් විය යුතුය.. ඒක ඇරෙන්න අනිත්වා එපාය කීම වෘෂභ කතාවකි...

හොඳ කලාව නරක කලාව කියා කලාවක් නැත... කලාව ඉරක් ගසා වෙන් කළ නොහැකිය...
එය පුද්ගලයන්ට සාපේක්ශය..
අමරදේවට කැමති උන්ද... BnS ට කැමති උන්ද අජිත් මුතුකුමාරණට කැමති උන්ද , කයිසර්ට කැමති උන්ද සිටිය යුතුය... (හැබැයි බස් එකේ කැමති අකමැති හැම එකාටම කොන්දා කැමති සින්දුව බලෙන් ඇස්සවීම වෙනම එකකි...)
 ඒ නිසා එකෙක් හොඳ වී තව එකෙක් නරක් වන්නේ නැත..
විය යුත්තේ නව නිර්මාණ බිහි වීමයි... සම්ප්‍රදායන්, රැලි බිඳ හෙලා අලුත් තැන් වලට යාමයි...

ඒ වගේම මේ වැඩේට දාහක් බාධක මැද්දෙ අතගහලා ඉස්සරහට යන නිර්මාණ කරන නියම කලාකාරයො... කලා විප්ලවකාරයො ලංකාවෙ ඉන්නව...
උන්ට හදවතින්ම ගරු කරනව.. ඒ වගේම ඉල්ලනව උන්ගෙ මහන්සියට උදව් කරපන් පුළුවන් විදිහට...

එහෙනම් පුපුරවපං මේ ඔක්කොම බැමි...
ස්වාධීන වෙයන්
අලුත් වෙයන්
තියන සම්පත් උඹලගෙ ටැලන්ට් වලින් අලුත් දේවල් හොයපන්
මේ විකාරෙ පුපුරවපං...
ඉදිරියට යන්නේ යාවත්කාලීන වන , පරිසරයට අනුව හැඩගැසෙන ජීවීන් පමණි...
කලාවද පරිණාමය නොවීම තුළ සිදුවන්නේ ජීවින් මෙන්ම වඳ වී යාමයි...

ගීතෙට වගේම හැම කලාවටම මේ ධර්මතාවය පොදු විය යුතුයි...
ඔව් කලාව විප්ලවයක්...
කලාව හදවත් එක්ක කරන විප්ලවයක්...!!
ඒක හින්දා පරිණාමය වෙයන්....!!
වඳ වීම අත ළඟ...



( ප.ලි. - මෙය පොදුවේ ලංකාවෙ ගීත කලාවෙ වර්තමානයේ වෙන්න ඕන දේ ගැන මට හිතෙන දේ බැවින් ඒකල සිද්ධි වන ඉරාජ්ගේ කයිසර්ගේ කතා වෙනම එකකින් කතා කරමු )


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ







12 comments:

  1. //////ඉදිරියට යන්නේ යාවත්කාලීන වන , පරිසරයට අනුව හැඩගැසෙන ජීවීන් පමණි...
    කලාවද පරිණාමය නොවීම තුළ සිදුවන්නේ ජීවින් මෙන්ම වඳ වී යාමයි...
    /////////
    +++++++++++++

    ReplyDelete
  2. කො මචෝ කොමෙන්ට්ස්. මේ මචෝ උඹලා හිතන විදිහට ඔය වෙනස වෙන්නේ නෑ කියලා උඹේ මේ ලිපියෙන්ම ඔප්පු වෙනවා. ගොරහැඩි කලාව කවදාවත් ඉස්සරහට යන්නේ නෑ. එහෙම කලාවට කැමති එවුන් ඉන්නවනම් මේකේ කොමෙන්ට් සියගානක් වැටෙන්න ඕනේ. ඔය උඹලා හිතන වෙනස නිකම් හීනයක් විතයි. ඇත්ත කලාව තියෙන්නේ වෙනම තලයක. ඒක මතකතියාගනින්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ වීව්ස් ගාණට සාපේක්ෂවනෙ බ්‍රෝ කොමෙන්ට්ස් වැටෙන්නෙ...
      ලිපියකට වැටෙන කොමෙන්ට් ගානෙන් අන්තර්ගතයේ සත්‍ය අසත්‍යතාවය මනින අය ඉන්නකන් කොහොමත් කලාව පුපුරවන්න බෑ තමයි
      😂😂😂

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. එක එකා එක එක අලුත් අයිටම් බැස්සුවට අල්ලගෙන හිටින්නෙ බොහොම ටිකයි. හිතට වදින්නෙ නැත්තං ඒවා බොහොම ඉක්මනින් බැහැල යනවා. සිංදුවක් ජනප්‍රියයි කියන්නේ සති කීපයක් හැමෝම අහලා ඉං පස්සෙ අමතක වෙන එක නෙවෙයි. අවුරුදු ගානකට පස්සෙත් කාටත් මතක තියෙන එකයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්
      එහෙම මතක හිටින්නෙ අර වගේ වෙනස් නිර්මාණකරුවන් හා නිර්මාණ විතරයි..
      ඒකයි කිව්වෙ ඒ වෙනස කරමු කියලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. නරක ඒවා තිබ්බේ නැත්තන් හොඳ ඒවා මොනවාද කියල හොයා ගන්න අපට බැහැ. පිස්සෝ හිටියේ නැත්නම් අපට පිස්සු නාහ්යි කියල දන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. පිස්සව මනින්න නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබ්බට සින්දුව හොඳද නරකද කියලා මනින්න බෑනෙ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete