Thursday, December 15, 2016
ගාන්ධි ආගම අරඹමු ද...!!
ගාන්ධි ආගම අරඹමු ද...!!
මට හිතෙනවා ගාන්ධිදහම කියලා දර්ශනයක් හදන්න.
ගාන්ධි තුමාගෙ අවිහිංසාවාදි දර්ශණය තමයි ඒකෙ පදනම වෙන්නෙ . කිසිදු සත්වයෙක්ට ගහකොළකට හිංසාවක් පීඩාවක් නොකර ජීවත් වෙන්න මිනිස්සුන්ට උගන්නන එක තමයි ඒකෙ අරමුණ වෙන්නෙ.. ඒ දර්ශනය පිළිගන්න තමන් තව මොනවහරි ආගමක ජාතියක හිටියට ඒක බාධාවක් වෙන්නෙ නෑ.. තමන් අවිහිංසාවාදි දර්ශනයට අනුගත වෙලා ඒ විදිහට හැසිරෙනවනං සමාජයට ලෝකයට කරදරයක් නොවී ජීවත් වෙනවනම් ඒ හොඳටම ඇති.. ජාති ආගම් භේද නැති කරලා ජීවත් වෙන්න.. කුලය ගෝත්‍රය හමේ පාට ආර්ථික තත්වය මත අසාධාරණයට ලක් නොවී ජීවත් වෙන විදිහ.. අසාධාරණ වලදි.. ප්‍රශ්ණ වලදි ඊට ආයුධ අතට නොගෙන තමන්ගෙ මතය අවිහිංසාවාදිව ගොඩනගන්න.... සන්නද්ධ නොවී අදහස් ප්‍රකාශ කරන්න.. වෛරයකින් කෝපයකින් තොරව අවිහිංසාවාදිව සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන්න.. නිදහස් නිවහල් පුරවැසියන් විදිහට ජීවත් වෙන්න.. අනිත් හැමෝටම උදව් කරගෙන තියන සම්පත් වලින් සරල ජීවිතයක් ගත කරන්න වගේ දේවල්.. කොටින්ම ගාන්ධි තුමාගෙ ජීවන දර්ශනයෙන් ගන්න පුළුවන් ලෝකෙට වටින ආදර්ශ එකතු කරලා මේක හදන්නෙ..
හරි ඔය විදිහට ප්‍රචාරය ආරම්භ කරනවා..ධර්මය ප්‍රචාරය කරන්න ගාන්ධිගාමීන් කියලා කණ්ඩායමක් පත් කරනවා.. එයාලට මේ දර්ශණය උගන්නලා දැං ලෝකෙ පුරාම යවනවා..ටික කලක් යද්දි ගාන්ධි දහමට අනුගාමිකයො එකතු වෙන්න ගනීවි ලෝකෙ හැම තැනින්ම.. තව ටික දවසක් යද්දි අපි මේ දර්ශනය ව්‍යාප්ත කරන්න ගියාම ගොඩක් අයට රැස්වෙන්න අමාරු හින්දා තොරතුරු බෙදාහරින්න ඇතිවෙන අපහසුතාවයන්ට පිළියමක් විදිහට ගාන්ධි දහම ගැන පැහැදුණු අනුගාමිකයන් අපිට තමන්ගෙ ඉඩම් ගෙවල් වගේ දේවල් ධර්ම ප්‍රචාරය වෙනුවෙන් පරිත්‍යාග කරන්න ගනීවි..
ඔන්න දැං අවුරුදු 100ක් 200ක් විතර තිස්සෙ ගාන්ධි දර්ශණය ප්‍රචාරය වෙන්න ගන්නවා..ගාන්ධි තුමයි පටන් ගත්තු අපි ඔක්කොමයි දැං මැරිලා.. මේ දර්ශණය හින්දා සමානාත්මතාව සාධාරණය ඇතිවෙලා භේද අඩුවෙලා මිනිස්සු හා සමාජයට දැඩි යහපත් බලපෑමක් එල්ල කරනවා..ඒ නිසා ගාන්ධි තුමාට ගරු කිරීමක් විදිහට එතුමාගෙ උපන් දිනය දවසට ,මියගිය දවසට, සිහි කරලා ඉටිපන්දමක් පත්තු කරලා සමරන්න පටන් ගන්නවා.. ඒ තැන් වල එතුමව සිහිවෙන්න එතුමගෙ දර්ශණය හින්දා ජීවිතේ යහපත් වුණ අය පිළිම හදන්න පටන් ගන්නවා.. දකුණු අප්‍රිකාවෙ එතුමා නතාල් ව්‍යාපාරෙ කරපු තැන් වල.. දණ්ඩි පා ගමන ගිය තැන්.. එතුමා ඉපදුණු තැන.. එතුමගෙ ගම.. එතුමා ගිය පාසල.. නාපු ගඟ.. ඉන්දියාවෙ කුලහීන ජනතාව වෙනුවෙන් හදපු සාමූහික ගොවිපොළවල්.. එතුමට වෙඩි තියලා ඝාතනය කරපු තැන.. ආදාහනය කරපු තැන වගේ තැන් වලත් එතුමගෙ පිළිම හදලා ඉටිපන්දමක් දල්වන්න පටන් ගන්නවා.. දැන් මේ තැන් වලට දිනපතා මිනිස්සු එන හින්දා ධර්ම ප්රචාරයට බැඳුනු ගාන්ධිගාමීන් මේ තැන් බලාගන්න පටන් ගන්නවා.. ඒ තැන් වල ඉඳන් මිනිස්සුන්ට ගාන්ධි දර්ශනය දේශනා කරන්න පටන් ගන්නවා..
දැං ඔහොම තව ටික කාලයක් යද්දි දුර පළාත් වලයි දර්මය පැතිරුණ එක එක රටවලයි ගාන්ධි ධර්මය ආගමක් බවට පෙරළිලා අදහන්න එක එක ක්‍රම හොයාගන්නවා.. ගාන්ධි තුමා පාවිච්චි කරපු රෙදි කෑල්ල.. රෙදි වියපු අත් මැසිම.. වතුර බීපු කෝප්පෙ.. පිඟාන වගේ දේවල් පූජනීය වස්තු විදිහට සලකලා වඳින්න ගන්නවා.. හින්දි වලින් ගාන්ධි ජී නමෂ්කාර් ( ගාන්ධි වන්දනා කරමි ) කියලා කියන වචන වාක්‍ය පේලි අනිත් රටවල් වලත් ඒ විදිහට පාවිච්චි කරන්න ගන්නවා ගාථා ස්තෝත්ර කියලා..
දැං ඔහොම අවුරුදු 1000 ක් විතර යද්දි ඔය එතුමා පාවිච්චි කරපු උපකරණ , හිටපු ඉඩම් පූජනීය ස්ථාන බවට පත් වෙලා ගාන්ධිගාමීන් ඒව වල පදිංචි වෙලා දර්මය ප්‍රචාරය කරනවා.. මේව වලට රජවරු සිටුවරු ඇවිල්ලා උදව් කරන්න ගන්නවා. මේ වාසි ලැබෙන හින්දම වංචාකාරයොත් ඇවිල්ලා ගාන්ධිගාමීන් විදිහට මේවට එකතු වෙලා පුද සත්කාර ගන්න පටන් ගන්නවා..
දැං ධර්මය තියන රටේ රජතුමා අනේ මේ ධර්මය තමයි ලෝකෙ එකම ඇත්ත. මෙන්න මේක ප්‍රචාරය කරන්න ඕනෙ කියලා වටෙ රටවල් වලට යවනවා.. ඒ රටවල් වලින් ප්‍රතික්ෂේප කරනකොට එහෙම කොහොමද කියලා හමුදාව යවලා මිනිස්සු මරලා ඒ රටවල් අල්ලගෙන ගාන්ධිආගම ප්‍රචාරය කරනවා බලෙන්..
දැං මේක හැමතැනම ප්‍රසිද්ධ හින්දා එක එක තැන් වල ඉන්න ගාන්ධිගාමීන් අපිගාව තමයි ගාන්ධි කියපු හරිම දර්මෙ තියෙන්නෙ කියලා විවාද කරනවා.. ඒ විවාද වල ප්‍රතිඵල විදිහට නියමාගාන්ධිවාදය , හරිමාගාන්ධිවාදය., සත්යාගාන්ධිවාදය වගේ නිකාය කොටස් වලට කැඩෙනවා.. පස්සෙ මේ එක එක්කෙනා එක එක අදහස් පොත් වල ලියනවා...
ගාන්දි දේවනිකාය කියලා එකක් හදලා ගාන්ධි මැරිලා දෙවියෙක් උනා.. එයාට මේ මේ දේවල් දුන්නම අපිට සත්කාර ලැබෙයි කියලා තව කට්ටියක් කියන්න ගන්නවා..
දැං ගාන්ධි දේවාලත් හැදෙනවා.. මිනිස්සු ඒවට පූජා භාණ්ඩ අරන් වඳින්න එනවා.. ඇවිල්ලා බිම පෙරළි පෙරළි වඳිනවා.. යාඥා කරනවා.. ඉල්ලනවා.. යදිනවා..
තව අය කියනවා නෑ එයා දෙවියන්ගෙ නියෝජිතයා කියලා.. තව කට්ටියක් කියනවා නෑ දෙවියෙක් නෑ මනුස්සයෙක් විතරයි කියලා.. දැං මේ තුන් ගොල්ලොම විවාද කරනවා.. ගහමරා ගන්නවා..
දැන් මේවට අනුගාමිකයන් බෙදෙනවා.. බෙදිලා තමන්ගෙ එක ව්‍යාප්ත කරන්න පටන් ගන්නවා...
ඊට පස්සෙ අපේ එක තමයි හරිම කියලා හැමෝම හිතන්න ගන්නවා.. දැන් වෙන වැඩේ එයාලට හිතෙනවා ගාන්ධිආගම තමයි හරිම එක අනිත් ආගම්නං වැරදියි කියලා.. ඊට පස්සෙ ඒ ආගම් වල උන් එක්ක වාද විවාද කරලා අන්තිමේදි ගහගන්න මිනී ලක්ස ගාණක් මරාගෙන යුද්ධ කර කර හැමදාම ඉන්න පටන් ගනිවි..
තව ටික කාලයක් යද්දි මේ තත්වෙ උඩ මේක සංස්කෘතියක් වෙනවා.. වන්දනා උත්සව වගේ ඒව පටන් ගන්නවා.. මේ වටා ගොඩනැගිලි.. භාෂාවන්.. ඇවතුම් පැවතුම්.. ඇඳුම්.. සංකේත ආදී දේවල් පූජනීයත්වයෙන් සලකන්න ගන්නවා.. ගාන්ධි තුමා පාවිච්චි කරපු රෙදි වියන මැසිම ගාන්ධි ආගමේ පූජනීය සංකේතය කරගන්නවා.. එහෙම නැතිනම් එතුමා ඇඳන් හිටපු පොඩි රෙදි කෑල්ල.. දැං ඒක වගේ මොකක් හරි එකක් දැක්කොත් අන්න අපේ ගාන්ධිට අපහස කළා කියලා අන්ධානුගාමිකයො ටික කෑගහනවා..
තව ටික දවසක් යද්දි වන්දනා කරන අනුගාමිකයන් හදපු පිළිම වළින් රැස් විහිදුනා.. කිරි වැගිරුණා.. වෙඩි තියපු තැන පිළිමෙන් තාම ලේ එනවා වගේ ඒවා කියලා තමන්ගෙ දර්මය අනිත් එව්වට වඩා සත්‍යය බව ඔප්පු කරන්න ගන්නවා.. එයාලා හිතන්න ගන්නවා අනිත් ආගම් ඔක්කොම අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා.. අපෝ ඕකුන් අහවල් ආගමේ අහවල් ජාතියෙ උන්ව ගනන් ගන්න ඕන්නෑ උන්ව මරන්න ඕනෙ.. කියලා කෑගහන්න ගන්නවා. නතාල් වලදි සිවිල් යුද්ධෙට සහය උනා.. ඒක හින්දා පොඩ්ඩක් ගහගත්තට කමක් නෑ.. වගේ ධර්මය විකෘති කර කර බෙදාහරියි. ඒ වෙනුවෙන් ගාන්ධිආගම් කල්ලි බිහිකරනවා ආගම රකින්න ඕනෙ කියලා සන්නද්ධ තරුණයො එකතු කරගෙන.. අන්තිමේදි මේ මතගැටුම ත්‍රස්තවාදී තත්වෙකට යන්න පටන් ගන්නවා.. පස්සෙ අනිත් ආගම් කියන්න ගන්නවා හාපෝ මෙහෙම උන්ගෙ සාස්තෲන් වහන්සෙත් මේ වගේම ත්‍රස්තවාදීයෙක් වෙන්න ඇති කියලා.
ඉතින් අන්තිමට ගාන්ධි තුමා කියපු අවිහිංසාවාදී දර්ශනය තහවුරු කරන්න යුද්ධ කර කර.. වෛර කර කර.. මිනී මර මර ජීවත් වෙනවා..
අවිහිංසාව වෙනුවෙන්ම ගෙනාපු දර්ශනය සත්‍ය බව ඔප්පු කරන්න යුද්ධ කරනවා.. සැකය වෛරය පතුරවනවා..හැමෝම මිනිස්සු හැමෝම සමානයි කියපු ගාන්ධි දර්ශනය විකෘති කරලා ගාන්ධි දර්ශනය පදනමෙන්ම සමාජ පන්ති වලට වෙන් කරනවා..
ඔන්න ඔය අදහස හෙණ ගැහුවා වගේ මගෙ ඔලුවට එකපාර ආවා.. මැරුණ මිනී.. අහිසකයො පොඩි දරුවො මතක් උනා.. ඒක හින්දා තව අහිංසක මිනිස්සු මැරෙන්නවත්.. සමාජෙ සැකය වෛරය පැතිරෙන්න ඕනෙ නැති හින්දා මම ගාන්ධි දර්ශනය ව්‍යාප්ත කරන අදහස හිතුණ ගමන්ම නවත්ත ගත්තා..
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ
Subscribe to:
Post Comments (Atom)
දුර දිග බලපු එක හොඳයි
ReplyDeleteනියමයි. හා හා සත්‍ය කතාව.
ReplyDelete