පෙර ටසිරිලක කළ්‍යාණපුර නම් දනව්වක් වීයැ.. ගිරි හිසින් ඇරඹී ශිවන්‍යාවක් මෙන් ගලා බසින රණ තිසරුන් රුවැති රත තඹර පෙළකින් අලංකෘත වූ මහා කළ්‍යාණ නදිය අසබඩ පිහිටියා වූ මේ දනව්ව බටහිටින් මහ සයුරින්ද වටවූවක්මැ විය.. එහි සිටි වැස්සෝ නේක කර්මාන්ත කරමින් බදු ගෙවමින් අජිතාණන්ගේ ගීත අසමින් සුවසේ දිවි ගෙව්වාහ..
මෙසේ කළක් ගතවන විට කල්‍යාණපුරයටද සිරියාවට මෙන් බොහෝ අභාග්‍යමත් කළක් උදාවිය.. බුදුන් කළ විශාලා මහානුවර මෙන් ජනී ජනයා භීතියෙන් ඇළලී ගියාහුය..
සයුරේ සිට පැමිණ ටෝනාඩෝවක් කැලිෆෝනියාව සුනු විසුණු කරන්නාක් මෙන් මාගම්පත්තුවේ සිට පැමිණ විමානයක් සාදාගෙන මහසෝන් නම් රාක්ෂයා කල්‍යාණපුරයේ අධිගෘහිත විය..
හේ නම් මහා රකුසෙකි. දුටුවන් බියෙන් තැති ගත්තාහ.. දුම්රිය මොහොතක් නතර විය... මුහුණ තඩි වළසෙක් මෙන්මැ ය.. දිගු හොම්බය.. දත් විළිස්සූ විට හාඩ්වෙයාර් වල එල්ලා තුබූ කියත් තල බියෙන් සැඟවී ගියාහුය..ඇස් ගෙඩි වොට් පහේ වෙසක් බල්බ් මෙන්මැ විය.. සිරුර පුරා පාපිස්සක් මෙන් ලොම් ය.. සත් බඹක් උසය. හේ කෝපාග්නියෙන් දැවී අහසට බට විට අහස අඳුරු වී යන්නාහ.. වරක් මේ රකුසාගේ බාහුවක් තෙකලා විදුලි කණුවකමැ වැදී විදුළි කණුව සුණු විසුණු වී ගියාහුය.. ඒ විදුළි කම්බි ගෙන මුඛයට දමා ඉරා ගෙල වට ඔතා රෙස්ලින් වළල්ලේ ගිගුම් දෙන ජෝන් සීනා මෙන් හූ තබාහුය.. හෙතෙමැගේ යක්ස පුත්‍රයෝද එසේමැ විය.. පිය රකුසා මෙන් වචනාර්ථයෙන්ම මහාසෝණෙක්මැ විය..
මේ රකුසා නම් කල්‍යාණපුරයට තුන් බියම ගෙනාහුය.. මහසෝන් රකුස් තෙමේ කළ්‍යාණපුර වැස්සන්ට දොළ පිදේණි ගෙනෙවයි නියම කළාහ.. හේ ඒ පිදේණි වලින් මහේශාක්‍ය ව කල් ගත කළාහ.. කළ්‍යාණපුරයේ කඩ වීථි වල මසකට වරක් දොළ පිදේණි ගෙන ආ යුතුමය.. මගුලක් මරණයක් සැණකෙලියක් කොටහළුවක් විකුණුමක් සිදුවේනම් රකුස් තෙමේට බහිරව පූජාවක් තබා දොළ පිදේනි ගොටුවක් තබා ලිය යුතුමය.. නැතහොත් රකුස් තෙම ධවල රථයක් යවා සිය අතවැස්සන් අත දොළ පිදේනි කප්පම් නොගෙවූ උන් ගෙන්වා සත් කඩකට ඉරා රුධිරය බී ඉතුරු රුධිරයෙන් ස්නානය කළාහුය.. හැඩකාර ස්ත්‍රියක් දුටු කල්හී මහසෝන් තෙමත් පුත්‍ර යක්ෂයාත් ඈව බලෙන්ම විමානයට කැඳවා යථි.. මෙසේ
"මම නම් ගැමුණු රජු මෙන් මහා බලැති පුරුෂයෙකි... හහ් හහ් හා..."
කියා මහසෝන් තෙම අකුණු සැරක් මෙන් කෑ ගසා ලීය... ගැමුණු මහසෝන් කියා හෙතෙම පරසිඳු වීය.
බියෙන් තැතිගත් කළ්‍යාණපුර වැස්සෝ මහසෝන් තෙමේටම අවැසි ඇප උපස්ථාන කරමින් බෝ සොවින් කල් ගෙවන්නාහ..
ඉදින් මෙසේ කල් ගතවනා කල්හී සකල ටසිරිලකටම සෙත සෑදුවාවූ මඩෙහි පිපි ඩැෆඩිල් පුෂ්පයක් බඳු වූ සාගරය බඳු වේදනාවෝ සුන් කළාවූ.. මාර සෙන් පැරදූ.. ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහාධිරජාණන් වෙස් වලා මහජන දුක් විමසණු නියා ගජබා රජුන් මෙන් ගම් නියම් ගම් සිසාරා ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිලයක් සාදාගෙන සැරිසරද්දී කළ්‍යාණපුරයේ මහසෝන් යක්ෂයාගේ නොපණත්කම් දැනගන්නට වන්නාහ...
ඉදින් එය දැනගත් කල්හී මේසය මත පා තබා ස්වප්නා බලන ලේලිය දුටු නැන්දම්මකු මෙන් බුර බුරා නැගෙන කෝපයෙන් මහින්දෝත්තමයන් නැගී සිටියාහ..
එවේළෙහිම සක් දෙවිඳු මවා දුන් දඬුමොණර හෙළිකුරුට්ටුවේ නැගුණු එතුමානෝ කළ්‍යාණපුරයට යාත්‍රා කළාහුය... කල්‍යාණපුර නගර මධ්‍යයේ ලෑන්ඩ් කළාහුය.. මේ නම් අරුමයක්මැයි.. වීරයා පැමිණ ඇත.. ඉදින් අපටනම් දැන් සෙතක් වේමැයි කියා කළ්‍යාණපුර ජනී ජනයා දෙඅත් නළල මත තබා සාධුකාර දුන්නාහ.. මහින්දෝත්තමයෝ සිවාජි මෙන් අතවනා තෙවරක් පාද තබා මහ පොළොවට බැස්සාහ..පාද ස්පර්ශයෙන් මහපොළොව සලිත විය.. අඳුර මිලින විය.. ජනයාගේ කඳුළින් දෑස තෙමි ගියහ..
කබාලීහී රජිනි කාන්ත් මෙන් සිව් වරක් සිය සාටකය කර වටා දමාලීය.. දෙවරක් අව්කණ්නාඩිය ගලවා අහසට දමා කමිස කොළරය ඇද අව් කණ්නාඩිය එහි රඳවාලීය...
කුඩා දරුවෝ අත්පොලසන් දෙන්නාහ..
මේන් ස්ට්‍රීට් බට එතුමාණෝ..
"අයුක්තිය අසාධාරණය රජ කරණ සමාජයක.. යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින ත්‍රීසිංහලාධීශ්වර මහින්දෝත්තම මම වෙමි...
ගීතා... මම දුප්පත් තමයි.. ඒ උනාට මගේ හදවත පෝසත්.. වරෙව් වහා එන රකුසෙක් මා ඉදිරියට .."
කියා දෙවරක් දබරැඟිල්ල ඉහලට කරකවා ලීය..
මෙය සැළවූ වහා මහසෝන් තෙමේ සිය රථයෙහි නැගී වීදියට බටහ..
" හැප්පී බලනු.. අලා බඳා රඳා බිඳ උඹෙ කොන්ද මම සිඳ සන්ධ්‍යා කාලේ බාබකිව් දමමි මෙමා..."
කියා ගර්ජනා කළ මහසෝන් රකුස් තෙමේ මහින්දෝත්තමයන් ඉදිරියට දිව ආවාහුය.. ජනී ජනයා රැස්වි බලා සිටිති... කඩ වීථි වල කවුළු වලින් කුඩා දරුවෝ භීතියෙන් වෙව්ල වෙව්ලා බලාසිටිති.. සමහරෙක් මහින්දෝත්තමයන්ට රකුසාගෙන් බේරී පළා යන මෙන් ඉල්ලති..
ඈත දූලින් වැසීගිය මහසෝණ් තෙමේය..
මෑත සුදු ඇඳුමින් සැදි මුවහසරැල්ලෙන් වැසී ගිය මහින්දෝත්තමයෝය...
ඈත කාපට් ගලව ගලවා දිව එන මහසෝන් තෙමේය..
මෑත කාපට් සනහ සනහා වඩින මහින්දෝත්තමයෝය...
ඈත ගම් දනව් බියෙන් සලිත කළ මහසෝන් තෙමේය..
මෑත යාපා පටුන උතුරින් දකුණින් දෙවුන්දර තුඩුවෙන් නැගුණු දුක් සෝ සුසුම් නිවාලූ මහින්දෝත්තමයෝය...
ඈත තාව මම මරමි හු@%@ කියා පරුෂ වචනයෙන් ගිගුම් දෙන මහසෝන් තෙමේය..
මෑත මම තමුන්නාන්සේලාව දුකින් මුදවමියි අපෙ හාන්දුරුවනේ කියා මිහිරි වදන් තෙපලන මහින්දෝත්තමයෝය..
ජනී ජනයා කුමකින් කුමක් වේදැයි කියා තුස්නිම්භූතවය.. පරිසරය අඳුරු වි ඇත.. ලිප ගිනි නිවී ඇත..
දෙදෙනාතර දුර මීටර දෙකක් තරමටමැ ළං විය.. මහින්දෝත්තමයෝ සිය ආවේණික එඩි බැල්මෙන් බලා ගාමිණි ෆොන්සේකාණුවානුවන් මෙන් සරම ගෙන වළාපොට ගසා පාවහනින් පොළොවේ ඉරක් ඇන්දාහ.. තෙවරක් සාටකය ගෙල වට දමා උඩු රැවුල කරකවා..
"ඩේයි මහාසෝණ්...
නාන් ඔරු දඩව සොල්ලාර්.. නූර් දඩව සොල්ල මාදිරී...
දැන් මම තට මිනිත්තුවක් දෙමි.. ආයුධ බිම තබා වහා යටත් වුව.. අදර්වයිස් යූ හෑව් සෆර් අලොට්..."
කියා ඇවේන්ජරා වීර කාව්‍යයේ එන හල්කාණන් මෙන් සිංහනාද කළාහුය..
"හහ් හහ් හා... ලක ලක ලක ලක.."
ගා මහසෝන් තෙමේ බින්ලාඩන් මෙන් දත් විලිස්සා සිනා සී දිව එළියට දමා අසල රථයක බඳින ලද්දාවූ බූරුවෙකුගේ ගෙල කරකවා දෑතට ගෙන ඒ රුධිරය නලලේ ගා..
තටත් මා මෙයම කරමියි කියා.. ජර්මන් සෙපර්ඩ් බල්ලෙකු මෙන් නිය දත් විළිස්සා ඉදිරියට පැන්නාහ....
ජනී ජනයා බියෙන් එක හඬින් "පියාණෙනී...." කියා කෑගසාලීය..
අහෝ අරුමයකි... මහසෝන් තෙමේ පහර දුන්නාහ.. මහින්දෝත්තමයන් ගේ රැවුල් ගසක වැදී පහර වැලකුණි...මහින්දෝත්තමයන් අත්මිට මොළවා දුන් පහරින් මහසෝණ් තෙමේගේ සිරුර පස් අඩි තරම් කෙටි විය.. දෙදෙනාම ගුවනෙහිය... මහින්දෝත්තමයන් ගුවනට පැන සත් වටයක් කැරකුණාහුය.. එය දුටු නගර වැසි කතුන්ගේ හිසද බමන්නට විය.. මින් රළ කළ්‍යාණ නදිය ඉවුරට රැස් වූහ.. ජනයා සිතියම් ලෙසය.. මව්වරුන්ගේ අතින් බේබි කාට් අතෑරීය...
ගුවන් කරණමාවසානයේ සිය යගධාවක් මෙන් වූ පාදයෙන් තෝර් දිව්‍ය රාජයාණන් මෙන් මහසෝන් රකුසාගේ ගෙලට දුන් එක පා පහරින් ඩිල්ස්කූපයක් වැදි පන්දුවක් මෙන් මහසෝන් හිස ගෙලින් ගැලවී විසිවී ගියාහුය.. ගුවන් ගැබෙහි නොපෙනී යන තෙක්ම කෙස් ගසක් වැටෙන ශබ්දයක් නොමැතිව ජනී ජනයා එදෙස නෙත් අයා බලා සිටියාහ.. ඇසුණ එකම ශබ්ධය මහින්දෝත්තමයන්ගේ හදවතේ ශබදය පමණි...
මහසෝන් රකුසාගේ කවන්ධය ගැහෙමින් පොළොවට පතිත විය.. ජනී ජනයා ඔල්වරසන් දෙන්නාහ.. හදිසියේ යමක් බිම පතිත විය..
අහෝ ඒ රක්ත වර්ණයෙන් බැබලෙන සුපර්මෑණාන් ය..
"මා ගුවණේ සරද්දී යමක් මගේ හිසට වැදුනා අම්මෝ.."
කියා ඔහු නැගී සිටියේය..
ඒ නම් මහසෝණ් හිසයි.. මහින්දෝත්තමයන් ගේ පා පහරින් එය අභ්‍යාවකාශ ගතවී ඇත.. දැන් කුමක් කරන්නද...
මහින්දෝත්තමයෝ වහා ඉදිරියට පැන අසල ගැහෙමින් තුබූ බූරු හිස ගෙන මහසෝණාගේ කවන්ධය මත තබා සවි කළාහුය..
කල්‍යාණපුර වැසියන්ගේ සාධුකාරයෙන් ගිගුම් දෙන්නට විය.. අහසින් එහා තරු මං දිගේ පැමිණි දෙවියෝ මල් වර්ෂා වස්සන්නට විය..
ඔබයි අපට පියාණෙනී කියා මහජනයා මහමගෙහි බිම පෙරෙලී නමස්කාර කළාහුය...
එතැන් පටන් බූරු හිස සහිත මහසෝන් කවන්ධය මහින්දෝත්තමයන් ගේ අතවැසියෙකු ලෙස ඔහුගේ ළගින්ම හිඳිමින් කල්‍යාණපුරයට පැමිණ ජනී ජනයාට සේවය කරමින් බෝ කළක් විසුවාලීය... ඒ කරන ලද සේවය කොතෙක්ද යත් පසුව ආචාරී නම්බුනාමයකින්ද පුදනු ලද්දාහ...
ඒ බූරු හිස ඇති මහසෝන් තෙමේ මහා මෘග මැරයෙක් ලෙස හිඳ සිල්වතෙක් වූ නියාවෙන්..
"මාරවින සිල්වෝත්තම" ලෙස පසුව පරසිඳු විය...
අකලංකාරයෙහි මහින්දෝත්තම මහසෝණ් දමනය හෙවත් මාරවින සිල්වෝත්තම කතා වත්තුව මෙතැකින් නිමියේයැ....
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ
හුටා! මල් හතයි කතාව.
ReplyDeleteඉස්සර ඔය හාදය ගැන මාත් ලිව්ව. මෙන්න
http://raj1st.blogspot.com/2011/09/blog-post_30.html
e kathawa supiri 😂😂
Deleteනුඹට වඩා වෙන සමතෙක් කවරෙද?
ReplyDelete😃
Deleteඅඩෝ කවුද ඩෝ..... අපේ මර්වින් ලොක්කට එහෙන් මෙහෙන් කින්ජල් එක දාන්නේ...
ReplyDeletemervin ayya ape ayya 😂😂
Deleteමේ එයැයිගේ පුත්‍ර රත්ණය ගැන මම ලියපු එකක්...
ReplyDeletehttp://ithihaasaya.blogspot.com/2012/09/blog-post_25.html
Hammoo ඒක 😂😂😂😂
Delete//මේන් ස්ට්‍රීට් බට එතුමාණෝ//
ReplyDeleteනුඹට වඩා වෙන සමතෙක් කවරෙද? X 2
++++++++++++++++++
😃😃
Deleteමේ මාරවිනාට බූරු හිසක් ලැබුනෙ එහෙමයි ඈ.
ReplyDelete