Monday, September 4, 2017

සකිය සගව්වට රෝදය කැරකෙනවා.

පහුගිය දවස් ටිකේ ආදරය ගැන කියවෙන ගීත ගැන හිතෙන දේවල් ලියපු හින්දා අද වෙනස් අර්ථයක් තියන ගීතයක් ගැන ලියන්න හිතුනා.

අද කතා කරන්නේ රෝහණ බැද්දගේ මහත්මයාගෙ "සකිය සගව්වට රෝදය කැරකෙනවා..." ගීතය ගැන.

මේ ගීතය කරත්ත කවි , ගමන් සීපද ආශ්‍රයෙන් 1994 දී රචනා වූවක් වන අතර ලෝකයේම ගෞරවාදරයට පත් සම්මානනීය ගීතයක්.  මේ ගීයට මා විශේෂ කැමැත්තක් දක්වන්නේ එහි අඩංගු ජන සංගීතය හා සාම්ප්‍රදායික ජනකවි ශෛලිය නිසා වන්නට ඇතැයි සිතමි.

කිලෝමීටර් සියගණන් දින ගණනක් පුරා ගමනේ යෙදෙන ගැල්කරුවන් තම ගමන් මහන්සිය විඩාව දුරුකර ගැනීමට කියන ලද සම්ප්‍රදායික ගමන් සීපද ආශ්‍රයෙන් රචනාවූ එකක් වුවත් ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් මේ ගීතයේ අන්තර්ගත වෙන බව මීට බොහෝ කලකට පෙර අසන ලද රෝහණ බැද්දගේ මහත්මයා විසින්ම සිදුකල කතාවක් මා අසා ඇත්තෙමි. ඉදින් මේ ගීය මට හැඟෙනා අයුරින් මෙසේ විග්‍රහ කරමි.

සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
දියපල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොල
 දියමතුපිට තිබෙයි කොල

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල



මේ ගීතයේ බෞද්ධ දර්ශනයේ නිර්වාණ මාර්ගය පිළිබඳ බුදුන්වහන්සේගේ දේශනාව සාහිත්‍යමය පැතිකඩකින් විග්‍රහ කිරීමට උත්සහ කර ඇත.
මෙහි "සසඳ " යනු සන්සන්දනය කරන්න යන අර්ථයයි. සංසාරය මහා විලක් නම් එහි සැරිසරන විවිධාකාර සත්වයන් ඇත. පතුලේ තිබෙන නෙළුම් අල යනු පූර්වයේ කරන ලද කුශල කර්මයන් ය.. දිය මතුපිට තිබෙන කොළ යනු ඒ කුශල කර්මයන්ට ආලෝකය ලැබීමට නොහැකිවන ලෙස මග අවුරාගෙන සිටින කෙලෙස් ය. අකුශල කර්මයන් ය.  වැස්සට පිණිබබා මෝරන කැකුළු මල යනු බෞද්ධ දර්ශනය විග්‍රහා කරන සංසාරයෙන් පිටතට පැමිණීමේ නිර්වාණ මාර්ගයට එළඹියන් ය. ඔවුන් තවම පිබිදී නැත. එනම් නිර්වාණය අවබෝධ කරගෙන නැත. නමුත් නිර්වාණ මාර්ගයේ මෝරමින් දියෙන් පිටතට පැමිණ නිර්වාණ තෙක් ගමන් කරයි.. මස්ටකයන්ට මුතුකුඩයකි නෙළුම් මල යනු නිර්වාණය සාක්ෂාත් කල අය ලෙස බෞද්ධ දර්ශනයේ හැඳින්වෙන්නන් ය. ඔවුන්ව පිපුණ නෙළුමකට සමාන කරයි. සියලු ක්ලේශ නැතිකර සංසාරය නැමැති විලෙන් උඩට මතුවී ඇත. මස්ටකයන් යනු සංසාරය නැමැති විලෙහි පිහිනන සත්වයන් ය.  ඔවුන්ට ඒ නිර්වාණ ලාභී පුද්ගලයන් මුතුකුඩයක් එනම් සරණක් වන බව විස්තර කරයි..

සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..

සගව්ව යනු ගව් හයයි. ගව් හයෙන් හයට ගිමන් නිවාගැනීමට කරත්තය නතර කරනු ලබයි. එනම් සංසාරය නැමැති රෝදය නැවතුම් නැමැති උපත්තීන් වල නැවතෙමින් චක්‍රයක් ලෙස මැරි ඉපිද ගමන් කරන බව පවසයි.

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
 සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොම්බානක් බැදයනවා
ගොම්බානක් බැදයනවා

දිවා රාත්‍රී කාල වලද ගමන් කිරීමට සිදුවෙයි. එනම් සංසාර ජීවිතයේ විටක ආලෝකයද අඳුරද සමබරව සත්වයන්ට උරුම වෙන බවයි. මක්කොලිය යනු හරකා කරත්තය බඳින ලීයයි. එනම් ඒ හරකාව බැඳි කරත්තය මෙන් දිවා රාත්‍රියේ ගමන් කරනා සංසාර ගමනේදී කරන ලද කුශලාකුශල කර්මද ඇදගෙන යාමට සිදුවෙයි.

සකිය සගව්වට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල ලත වෙනවා
දත් කැකුලට නාරම්මල ලත වෙනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..

ඇතැම් නැවතුම් ස්ථාන වල සිටිනා තරුණියන්ගේ සිනහව දැක බැඳීම් ඇතිවෙයි. දත් කැකුළ යනු එයයි. එවිට ඒ බැඳීම් නිසා ගමනාන්තයට ( නිවනට ) යාමට ප්‍රමාදව ඒ නැවතුම් වල ලතැවීමට සිදුවෙයි.

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
සඳ පොබයන සාවුන්ට
මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
දුටු විගසට ගිරවුන්ට
පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..////

මේ පදයෙහි අර්තය නම් සංසාර ගමන තුල සත්වයන් මුණගැසීමට සිදුවන විවිධාකාරයේ අනෙක් සත්වයන් හා ඔවුන් හා බද්ද විවිධ සිදුවීම් ගැනය. සාවුන් ගිරවුන් බඹරුන් යනු විවිධාකාරයේ සත්වයන් ය. ඔවුන් අහිංසක රෞද්‍ර අපත් සමග සමීප හෝ එසේ නොවන ආදී විවිධාකාරයේ චර්‍යාවන් පෙන්වයි. ඒ සත්වයන් සමග සංසාරයේ ගමන් කිරීමට සිදුවෙයි.
 ටිකිරා යනු කුඩා ළමයෙක්ට කියනා නමකි.
කලින් පැහැදිලි කරන ලද බොහෝ විවිධත්වයක් ඇති සංසාරය නැමැති මහා සාගරය ඉදිරියේ මනුෂ්‍යයෙකු කුඩා දරුවෙකු හා සමාන බව පවසයි. ඉතින් අප්‍රමාදව ඒ විවිධත්වය අවබෝධ කරගෙන සංසාර සාගරයට බසින්න කියා ඉල්ලයි. නොදැන සාගරයට බැසීම විනාශයට හේතුවන බව පවසයි.

 නෙළුම් මල් මෙන් මඩ දියෙන් ඉහළට පැමිනි නිර්වාණය අවබෝධ කරගත්තෝ ඇත. එබැවින් එය දැක සංසාරයේ මුහුණ දීමට සිදුවන මැරි මැරී ඉපදීම , දුක් කරදර , බැඳීම් ඇතිවීම නැතිවීම , කුශල අකුශල පසුපස ඒම , සසරේ හමුවන විවිධ සත්වයන් විවිධ සිදුවීම් ඇත. එම නිසා මේ අතිශයින්ම සංකීර්ණ වූ සංසාරය නැමැති සත් සමුදුර ඉදිරියේ ඉපැදුනු සත්වයා කුඩා දරුවෙකි. එමනිසා ඒ සසර අවබෝධ කරගෙන එහි සැරිසරා අවසානයේ නිර්වාණයට එළඹෙන්න යන්න මෙහි බෞද්ධ දර්ශනාත්මක විග්‍රහයයි.


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. එක දිගටම ගීත ගැන ලියවෙනකොට ආසා හිතෙනවා... නියමයිනේ! මට බයේ ඉන්නේ මම පපුව ඇතුලේ තියාගෙන ලියන්න පුල පුලා ඉන්න සින්දු ගැනත් ලියයිදෝ කියල...

    Good one!

    ReplyDelete
  2. හොඳ විවරණයක් මල්ලි.

    ReplyDelete
  3. අගනා විග්‍රහයක්.

    ReplyDelete