Sunday, May 13, 2018

නයිට් ලයිෆ්

මේ ළඟදි ගාලු පාරෙ කටුබැද්ද පැත්තට බස්සෙකේ එනකොට හිතුනෙ හවස හයාමාර හත වගේ වෙලාවට පාර දෙපැත්ත කොච්චර ලස්සනද කියලා. කොල්ලුපිටියේ ඉඳන් බම්බා වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස ඔය  දෙපැත්ත. එක එක පාට පාට ලයිට් එලි පත්තු වෙනවා. මිනිස්සු ඇවිදිනවා. පිරිමි ගෑනු කලිසම් සරම් සාරි ඇඳපු, කොල්ලො කෙල්ලො, පොඩි උන්, සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම මිනිස්සු,.එක එක ජාතියෙ කඩ හැමතැනම. එක එක ජාතියෙ කෑම සුවඳ.. ගල්කිස්ස වෙරළෙ ඉඳන් ඉර බැහැලා යන ලස්සන. කිලෝමීටර් දහයක් එහායින් තියන කොළඹ පේන විදිහ. ටික ටික රෑ වෙනකොට ලයිට් පත්තු වෙන විදිහ. WTC එක , අල්ටෙයාර් එක, නෙළුම් කුළුණ, ඇතුළු ගොඩනැගිලි, වරායෙ දොඹකර එලිවල ලස්සන. සැරින් සැරේට සද්දෙට කල්පනාව කඩලා දාන කෝච්චි පාර.

ඉතින් මම කල්පනා කලේ යුද්ධෙ එන්න කලින් ලංකාවෙ තිබ්බ සිනමා කල්චර් එක. රෑ ෂෝ එක බලලා ගෙවල් වල යන්න මිනිස්සුන්ට බස් පවා දාලා තිබ්බලු. සමහර කොල්ලො කෙල්ලො සීයලා ආච්චිලා අම්මලා තාත්තලා බයිස්කෝප් එක බලලා පයින්ම යනවලු ගෙවල් වලට විහිළු කර කර කියෝ කියෝ. කඩල බඩ ඉරිඟු සාරවිට කාරයන්ට හොඳට බිස්නස්ලු.

මම නිසාචරයි. රෑට ඇහැරිලා ඉන්නව අදටත් පාන්දර වෙනකන්. මහ රෑ ඇවිදින්න  පුදුම ආසාවක් තියෙන්නෙ.

ලංකාවෙ එහෙම වාතාවරණයක් තියනවද.. සරලවම ලංකාවෙ මිනිස්සුන්ට නයිට් ලයිෆ් එකක් තියනවද.. අඩු තරමෙ ප්‍රධාන වානිජ නගරය වෙච්ච කොළඹ පවා රෑ නමය වෙද්දි පාලු මූසල පුදුකුඩුඉරිප්පුවක් වෙනවා. අච්චර ලස්සන ගාලු පාර කලුවර වෙලා බල්ලෙක්වත් නැතුව යනවා. ලංකාවෙ මිනිස්සු ඔක්කොම තාම රෑට බයයි. රෑ කියන්නෙ අඳුරු මූසල බිල්ලෙක් හොල්මන් යක්කුන්ට හොරුන්ට ගණිකාවන්ට විතරක් ඇවිදින්න හදපු වෙලාවක් කියලම හිතන් ඉන්නෙ.  ඇයි අපිට බැරි නයිට් කල්චර් එකක් පටන් ගන්න. ලෝකෙ නොනිදන නගර කොච්චර ලස්සනයි ද.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙසක් කාලෙට කොළඹ කොච්චර ලස්සනද කියලා. ගංගාරාමෙ පැත්ත, ගෝල්ෆේස් එක, බෞද්ධාලෝක මාවත , නයිට් ලයිෆ් එකක් කිව්වම ගොඩ දෙනෙක්ට මතක් වෙන්නෙ ගණිකාවො ඉන්න රෙඩ් ස්ට්‍රීට් එකක්. එහෙම නැත්තං කැසිනෝ හෝ නයිට් ක්ලබ්ස්. නෑ ඒවා විතරක් නෙමෙයි. ඒවා දැනුත් කොළඹ තියනවා නිල හෝ නොනිල විදිහට. මේ කියන්නෙ ඒක නෙමෙයි හැම වයසකම හැම සමාජ පන්තියකටම විඳින්න පුළුවන් නයිට් කල්චර් එකක්..
වෙසක් දා රෑක මිනිස්සු කොච්චර සතුටු වෙනවද.. ළමයි දරුපවුල් පිටින් ඇවිල්ලා ඇවිදලා.
හැබැයි දැන් මම කැමතියි කියල එහෙම පාරක රෑට ඇවිදින්න බෑනෙ. මට කරන්න දේකුත් නෑ.. කන්න බොන්න තැනක්වත් නෑ.ඇරත් එන්න වෙන්නෙ ඇඳිවතත් නැතුව, සමහරවිට නොකරපු වැරැද්දකට කූඩුවෙ ඉන්නත් වෙයි.

එහෙම කල්චර් එකක් හදනවනං මිනිස්සුන්ගෙ ආරක්ෂාව තහවුරු කරලා මිනිස්සුන්ට එන්ටර්ටේන් කරන්න අවස්ථා හදලා දෙන්න ඕනෙ. ඕනම කෙනෙක්ට. කානිවල්ද කන්නද බොන්නද නටන්නද සින්දු කියන්නද ෂොපින් කරන්නද චිත්‍රපටි නාට්ටි බලන්නද කැසිනෝ නයිට් ක්ලබ් සියලුම දේ ඕනම සමාජ පන්තියක ඕනම වයසක කෙනෙක්ට විඳින්න පුළුවන් අවස්ථා හදන්න ඕනෙ.
මම හිතන්නෙ ඒක ටුවරිසම් වලටත් ලොකු උදව්වක් වෙයි.
එහෙම මිනිස්සු තමන්ගෙ ජීවිතේ විඳින සමාජයක ගැටුම් කෝලහාල ඇතිවෙන්න තියන ඉඩකඩත් බොහොම අඩුයි. හිරවෙලා ඉන්නකොටම තමයි මරාගන්න හිතෙන්නෙ පීඩනේ පිටකරන්න. ඇරත් ඍජු වක්‍ර රැකියා කොච්චරක් ලැබෙනවද. පවුල් පිටින් ඇවිල්ලා මිනිස්සුන්ට ස්ට්‍රෙස් රිලීස් කරන්න තමන්ගෙ ආදරණීයන් එක්ක ආදරණීය වෙලාවක් ගත කරන්න කොච්චර අවස්ථාවක් ලැබෙනවද.
පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට කොළඹ පටන් ගන්න පුලුවන්.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments: