Tuesday, May 29, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කහවණු වර්ෂා ජාතිකාර්ථික නග්ග කතාවත්තුව

==  ==

මහාසියානුවාධිරාජ්‍යයයේ අඹෑටය වූද පෘථිවි ධාතුවෙන් උතුම්මාරට වූද ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍යය විචාරන්නාවූ සමයෙහි නිපොලැකා පනිට්ටුවට වැටි හේමමාලියක මෙන් බබලන්නාහ. ඉදින් රාජ්‍යය පෙර මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන්ගේ සමයමෙහි මෙන්මැ යූඑසාධිරාජ්‍යද ජම්බුද්වීපයද යුරෝපාධිරාජ්‍යය ද ස්වාසීලන්තානු අධිරාජ්‍යාධී නේක නේක මාහාධිරාජ්‍යයෝ මැද අනෙක් පක්ෂාතර වැජඹෙන ජේවීපියක් මෙන් බබලන්නට වූවාහ.  මහජනතාවෝ සකල සතම බොධු බැතියෙන් පිනා දන්සිල් භාවනාදී පුන්‍යකර්මයන්හීම යෙදෙන්නාහ. පූර්වාත්මභවයේදී  මංකොල්ල කන්නට යෙදුනා වූ භාණ්ඩාගාරයක් සුරක්ෂිත කරන ලද්දවූ පුන්‍යකර්මයන්හී ආනුභාවයෙන් දසලක්ෂාදී කහවනු සිතු සිතු නොදන්නා මොහොතේදී පවා පහල වෙන්නාවූ සිරිදයා වින්සේකර මහාමාත්‍යයෝට මෙන්ම ටසිරිලක ජනීජනයා අතටද කහවණු පහල වන්නටම වන්නාහ. බදු නැතිවූ නියාවෙන් ජනතාවෝ බලහත්කාරයෙන්ම බදු ගෙනත් ගොඩගැසුවාහ. රාජ්‍යය සුඛිත මුදිතව සරලව සශ්‍රීක කරවන්නාවූ නියා මහජනතාවෝ විය මහරජු වූ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ගේ රුව රැගත් පුවරූන් කිරෙන් නහවා ෂෙයාර් කරන්නාහ.

ඉදින් මෙසේ කලක් ගතවන්නාවූ කල්හී අල්ලපුගේ දියුණුව දැක හූල්ලනා සිසිටීවී ඇන්ටියෙකු මෙන් ටසිරිලකෙහි සමෘද්ධිය දැක අනෙක් රාජ්‍යයෝ ඊර්ෂ්‍යා කරන්නට වන්නාහ. ඉදින් ටසිරිලකට කුමක් කරන්දැයි කල්පනා කර සතරකන් ෂඩ්කන් අෂ්ටකන් දසකන් ආදීවූ විවිධ මන්ත්‍රණ පවත්වා අවසානයේ බටහිරාධිරාජ්‍යයෝද ජම්බුද්වීප රෝ ආදී වූ කුමණ්ත්‍රණකරුවෝ කථිකා කරගත්තේ නම්..

ඉදින් ටසිරිලක සිංහලේ.. අංගං මන්ත්‍ර, මහසෝනාදී සේනාවෝද , නාථාදී දේව මණ්ඩල කැඳවුම් කරුවෝද, යසෝසිතා කෞමාරනුවානෝ ද ඉන්නා නියා යුධයෙන් ජයගත නොහැක්කාහ.  රෞනීල විකුම්සිහාණන් ද රංගධරයෙක් නොව මස්තිෂ්කයකි. මෙත්පලානෝ ජාත්‍යන්තරය අතැඹුලක් සේ දන්නාහ. ඉදින් ප්‍රයෝගයෙන්ද ජනගත නොහැක්කාහ. එනිසාවෙන් අපි ටසිරිලක ස්වභාවික විපතින්ම නසාලමුයි මියුළු නුවර වටලෑමට මෙන් කථිකා කරගත්‍තාහ..

එසේ කථිකා කරාවසානයේ කුමණ්ත්‍රණකරුවෝ සිය නාසායතාණයෙන්  අභ්‍යාවකාශයානයක නැගී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙහි අඹ දඹ නාරං කෙසෙල් මැංගුස් ගස්ලබු ඇපල් කොමඩු කාමරංකා ගඩුගුඩාදී නේක් නේක පලතුරු වර්ඝ සිය දහස් ගණනින් හරිතාගාර තනවා වගා කරන්නට වන්නාහ. ඉදින් එය පිටින් බලන්නේනම් මහජනචීනයටත් වඩා සුවිසල් වූ අභ්‍යාවකාශ පලතුරු වනයකි. ඉන් මත්තෙහි සුබාසිරි බලන ලද්දවූ කලෙක මෙන් එහි වෙඩින් ස්පෙෂල් පෝරු සෙට් බැකාදීයද, ප්‍රී සූටයක් සඳහා සටල් සවාරිද, හනිමූනය සඳස ස්ප්‍රින් මෙට්ට ඩබල් යහනාදියද සවිකර පොටවල් හතරේ නැව් කඹයකින් ඇදගෙන ටසිරිලකට ඉහල අහසේ ස්ථානගත කලාහ.

කෙසෙල් කඳක් පීදෙන කලක් යාමට මත්තෙන් වැස්ස වලාහක දිව්‍යරාජයාණෝ ඒ අභ්‍යාවකාශ පලතුරු වනයෙහි සුවඳ දැනී පෙර පෝය දින බාරයට යන බේබද්දෙකු මෙන් ඇදී ආවාහ. ඉදින් එහි තුබූ සුවපහසුව දැක.. පුල් මාවලසය. මා මෙහිම මාගේ භවනය සදා වසමියි කියා සිය දේවියටද වට්ෂැපණිවිඩයක් දමා ගෙන්වා ගත්තාහ.. රාත්‍රිය උදාවිය. නින්ද ඇයි නොඑන්නේ.. වැස්ස වලා දේවීන්ද්‍රයෝ රථි කෙලියෙහි යෙදෙන්නාහ. ඉදින් දෙවියෝ පෙම් සුව විඳිනු වගේ ප්‍රීතියක් ඇත්තේ නැතිය. ගල මතුපිට මල පිපෙන්නාහ..මල මට බඹරිඳු නටන්නාහ.. වැහි වැහැලා ගඟ පිරෙන්නාහ.. ගඟ උතුරා හිත පිරෙන්නාහ.. වලාකුළු ගණීභවනය වෙන්නාහ. ටසිරිලක ඉහල අහසෙහි මහාමේඝයෝ වැස්සවලා දේවානුභාවයෙන් එක්වන්නාහ. ඉදින් මෝසම සක්‍රීයවියැ. මහවැසි ඇදහැලෙන්නට විය..

මෙපවත් නොදන්නා වැස්සවලා දේවේන්ද්‍රයෝ පෙම්සුව විඳින්නාහ. ටසිරිලක තෙමෙන්නාහ.. කළු කැළණි නිල්වලා ගිං දැදරුආදී මහා ගංගා පිටාර යන්නට වන්නාහ.
දෙගොඩතලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ තනිවන්නාහ. ජීවිතාරක්ෂක පහුරු නැත්තාහ. ඉදින් ටසිරිලක රාජ සභාව පවා දියෙන් ගලා යාමට ඔන්න මෙන්නව සිටින්නහ. නාය යාම් යැ. තැන තැන මරණය. සමෘද්ධියෙන් ඔද වැඩී තුබූ දේශය මළ ගෙයක් බවට පත්වන්නාහ.   අප්පච්චී පැරදුනු දා බයියෙකු මෙන් කම්පිතවූ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දැන් කුමක් කරම්දැයි කියා කල්පනා කර වහා සිය සරල මාලිගයෙන් නික්මී කරවටක් ගංවතුරට බැස්සාහ.

ඈත දෙගොඩ තලමින් ගලන රුදුරු ගංවතුරය
මෑත සිය මහජනයාට වූ විපැත්තියෙන් කම්පිතව සට සට ගා කඳුළු සලනා මෙත්පලානෝය..
වහා ඇමතුමක් ගෙන චාතූර්‍ය සෙනරතානෝ අමතන්නාහ.. එතුමාණන්ගෙන් ලැබුණු උපදෙස් මත
සිය නලලෙහි දෑත හොවාගත් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දිය මත පලක් බැඳ එරමිනියා ගොතාගෙන " මාගේ රාජ්‍යත් ජනතාවත් බේරා දෙන්නේනම් මා ටසිරිලක වටා මිරිවැඩි සඟල ගලවා පා ගමනින්ම හිටං යමියි..!! " කියා සිරිසඟබෝ රජුන් මෙන් සත්‍යක්‍රියා කරන්න්නට වන්නාහ.
තව්තිසාවය. බුදුඅම්මෝඕඕ කියා සක්දෙවිඳු බිම පතිත විය. ඩේටා ඔන්කරන ලද පෝනයක් මෙන් පඬුපුල් අසුන රක්තතප්ත වී ඇත.. දිව්‍යඥානයෙන් බැලූ සක්‍රදේවීන්ද්‍රයාණන්ට මෙත්පල් සිරිසන් නිරිඳුන්ගේ සත්‍යක්‍රියාව දැක දණ්ඩෙන් පහරලත් නාගයෙකු මෙන් කෝපාග්නියෙන් දැවී දැවී වහා සිය අධිෂ්ඨාන බලයෙන් ටසිරිලකට වැටෙන වැසි බිඳු කහවණු බවට හැරෙව්වාහ... කෝපාග්නියෙන් දැවුනේ පශ්චාත්භාගය පිළිස්සීම නිසාය.

වැස්සටහුඩු ජීඩීපී කිව්වලු..!!

.. මොරගෙඩි තරම් වැහිබිඳු වෙනුවට අන්තර් මෝසම් වැහිබිඳු රන්කහවණු වී වැටෙන්නාහ..
ඉදින් මෙත්පලාණන්ගේ සත්‍යක්‍රියා බලමහිමයෙන් දෙගොඩතලා ගිය දිය වෙනුවට දෙගොඩ තලා කහවණු ගලන්නාහ..
ඉදින් වර්ෂාව නිසා ජාතික ආර්තිකය ඉහළ ගොස් භාණ්ඩාගාරය පිරී ඉතීරිමැ ගියාහ.

මෙනිසාම සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ කහවනු වර්ෂා ආර්ථික සමෘද්ධි යන ගෞරව නාමයෙන් හඳුන්වන්නට වන්නාහ.

අකලංකාරයෙහි එන සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කහවණු වර්ෂා ජාතිකාර්ථික නග්ග කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: