Tuesday, May 8, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රාජ සැප අත්හැරුම් කතාවත්තුව

====

පෙර එක් සමයමකැ මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරාජ්‍යාණන් වහන්සේ රාජ්‍ය විචාරන්නාවූ අවධියේ ටසිරිලක පෙයාරන්ලෞලි බූලිකට වැටෙන ලද හංසමාලියක මෙන් සෞභාග්ගයෙන් සමෘද්දියෙන් ආශ්චර්‍යාත්මකව සොරකමෙන් අතුරුදමෙන් ධවල රථයෙන් මිදී බබලන්නාහ.
"ඉදින් මා මෙසේ ටසිරිලක ණයෙන් මුදවා සංවර්ධනය කරවාලූයෙමි.. ලෞකික රජ සැප නම් පෝනයට දැමූ ඩේටා මෙන් වහා නැතිවන සුළුයැ. සදා රජකම් කළ බලපෙරේතකමෙන් ඇති ඵලය කිම.. ලෝකෝත්තර සැපනම් එසේ නොවී මතු අත්භවයකද වැඩකමැ වෙයි අපෙ හාන්දුරුවනේ..."
ලෙසින් සිංහනාද කර ටසිරිලක කිරුළ සිය අනුප්‍රාප්තික මෙත්පල් සිරිසන් වෙදැ ඇමැතියාට භාර කර සමවත් සුවෙන් භාවනාකරනු පිණිස මන්දමූලන නියම් ගමටැ නික්මුණාහ..

ඉදින් ඉන් පසු ටසිරිලක කිරුළ සිය දෑතට ගෙන මෙත්පල් සිරිසන් නිරිඳානෝ රාජ්‍ය විචාරන්නාහ. පෙර සිටි රජුන් මෙන් නොවැ රාජභාණ්ඩාගාරයේ මහජන කහවනු ඉතිරි කරමින් මා...ලිග දොරටු වසා.. රන්මසු නෑ කියා.. උපන් බිමේ අඟලක් නැත ඔහුගේ කියනු රිසි අතරමං වූ දුප්පත් ද මගෙ ආදරේ කියා හඬනා අසරණ ප්‍රේමවන්තයකු මෙන් සරලව රාජ්‍ය විචාරන්නාවූ නියාවෙන් රටවැසියෝ එතුමාණන් වහන්සේව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ලෙස අමතන්නට වන්නාහ.

ඉදින් රජවූ දිනයේ මහින්දෝත්තම මහරජුන් මෙන්මැ

" රජසැප නම් එන්‍රිකාණන් දැක ගැලවෙන බ්‍රේෂියරයක් මෙන් නැතිවන සුළුයැ. මා ඔබේ සේවකයා වෙමි. ඉදින් මා හට කිරුළේ ආශාවක් නැතිය. නැවත රජ නොවී පස් වසින් කාරිය නිමකර පිටවෙමියි..." කියා ජීවිතාසාව අතැරි සිරිසඟබෝ මෙන් ජාතිය ඇමතූවාහ.

මෙසේ එතුමාණෝ රාජ්‍යයෙහි ධනය ඉතිරි කිරීමෙහිලා ඖදි දිපෙන්දර බෙන්ෂාදී රාජ රාජ මහාර්ඝ රථ ප්‍රතික්ෂේප කර සයිටමාය වැසීමට කැම්බලයට පැමිණෙනා සිසුවිරුවෙකු මෙන් පයින්ම ගම් නියම්ගම් සිසාරා වැඩියාහ. වෙනත් මහාමාත්‍යයෝ මදුරු දස්ටනයක් වූ විටත්  ක්වීනෙලිසබෙතාරෝග්‍යසාලාවට යන්නාවූ නමුත් අපමහා මෙත්පලානෝ කොහේ හෝ ඉඳ නොගෙන හිටංම සිට කකුල් කඩිත්තුව හැදුන කල්හී මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතාට කියා සරල පත්තු බැන්දාහ. පා ගමනින් යාමටම නොහැක්කේමනම් සිය නිල මාලිගය වූ පුල්තිසිපුර පිදුරු සෙවිකල පැල්පත සමීපයෙහි ත්‍රීවිල පාකයේ කිලිරාජා මල්ලීව අමතා හයර් ගියාහ.  සිය වැටුප මිස එකදු අඩ මස්සකදු නොගත් අප මහා මෙත්පලානෝ වෙනත් රජුන් සිය දූ පුත් අල්ලපු ගෙදර ගෑනි නෑසියන්ට කහවණු වංචාවෙහි යෙදෙන්නට ඉඩ දුන් නමුත් සිය නෑසියන් එකෙකු හෝ රාජ්‍ය පාලනයට කැඳවා නොගෙන පෞල් පාලන නැතැයි කියා අභීතව යමෙක් වේ නම් එය සුදුස්සාටම ලැබ දුන්නාහ.
ඉදින් පැමිණි දින සිට මෙගා නාට්ටියක දියණියක් මෙන් අහිංසකත්වයෙහි ඩේවිඩ් ප්‍රථිමාව මෙන් වනේ වන දළපූට්ටුවෙකුට හිංසාවක් පීඩාවක් නොකර රහතකු මෙන් සිටිය නමුදු දූෂණය සොරකම අපරාධ හමුවේ අප්පච්චීට ඇහැ තබනු දුටු බයියෙකු මෙන් කෝපාවිෂ්ඨව " අයුක්තිය අසාධාරණය රජ කරන ටසිරිලකක යුක්තිය සාධාරණය පහයාලනය වෙනුවෙන් සටන් වදින සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මම වෙමි.. ජයන්තීඊඊඊඊඊඊ මං ගොවියෙක්ගෙ පුත්‍රයකු වන්නහ. නමුදු මා පත්තරද බලමී..." කියා සොළොස් බඹක් දිගුවූ සිය මඩුවලිගය ගෙන මුහුද දෙබෑ කළ නීලමහා යෝධයා මෙන් මිනීමරුවන්ද සොරුන්ද වංචාකරුවෝද ස්ත්‍රී දූෂකයෝද පැහැරගත්තෝද අතුරුදන් කලෝද ධවල රථ භීෂකයෝද කප්පම්කරුවෝදැ අධිකරණ කෙලෙසූවෝදැ ගමේ පන්සලේ පල්ලියේ ලොතරැයි කූඩුවෙ හෑන්ඩ් පෝන් ලෑන්ඩ් පෝන් වලට කෝල් කරමින්ද එක් නියෝගයෙන් අල්වා නාන් ඔරු දඩව සොල්ලාර්.. නූර් දඩව සොල්ල මාද්‍රී හිටං.. කියා නඩු අසා දඟගෙයි දමා එදා රෑ ගුවන්තොටුපල වසා අලුගෝසුවනේ එල්ලා දැමූහ..

සිය රාජ්‍ය සමයෙහි මහාභාණ්ඩාගාරයේ  කහවණු මංකොල්ලය කළ බටහිර කුමන්ත්‍රණකරුවෝද එන්ජීයෝ රෝත්තුකරුවෝ ආදිය අල්ලා උන්ගේ ධනය රාජසන්තක කළාහ. ඉදින් පෙර අකලංකාරයෙහි ලියන ලද්දාවූ පරිද්දෙන්මැ ඒ සොරුන් හා සටන් කොට භාණ්ඩාගාරය ගලවා ගන්නා ලද්දාවූ රෞනීල විකුම්සිහාණන් ද රවිචන්ද්‍ර කාරුණිකාණන් ද මහේන්ද්‍ර සිං දෝණි අරෞජුනයෝටද ඇතෙක් බරට වස්තුද තනතුරු නම්බුනාමද පුදකර කලගුණ සැලකූහ.

ඉදින් මෙත්පලානෝ මෙසේ  රාජ්‍ය විචාරන්නාවූ නියාවෙන් ටසිරිලක පෙම්වතියට පැම්ණාවෙන් චීත්ත දෙයාරයක් ගෙන දුන්නාවූ පෙම්වතකු මෙන් ලොව මහාධිරාජ්‍යයන්ගේ පැසසුමට ලක්වන්නට වියැ. සිය මේස් ආදී අන්ඩර් වස්ත්‍ර ගලවා මෙත්පලාණන්ට වන්දනා කරන්නට වන්නාහ.
ටසිරිලක කුසගින්න නම් සහරාවට වැලිමෙන් වියැ. යමෙකු කුසගින්නේ මියගියේ නම් ඒ කෑමට අමතකව නින්ද යාමෙනි. කිසිත් නැත්තේමනම් වට්ටක්කාහෝද තිබිණි. ටසිරිලක කතුන් මුත්තුකරුප්පන් චෙට්ටියාර් සේප්පුවකට වැටුණාක් මෙන් රනින් සැරසී පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මැදියම් රැයෙහි කිසිදු අන්තරායකින් තොරවැ නිරුපද්‍රිතව දිපෙන්දර පිරිවරා ගමන් කලාහ. ටසිරිලකම අමද්‍යප වන්නට යෙදුනාවූ අතර චාතූර්‍යිකා දේවීන් වහන්සේ තිතටමත ව්‍යාපාරය හරහා සුරා දූර්ත කතුන් පුනරුත්ථාපනය කර සිය අවන්හලෙහි ඉඳි ආප්ප තැම්බීමට කැඳවා ගත්තාහ.
බතින් බුලතින් පුවකෙන් ස්වයං පෝසිතමැ විය. මහජනයා සිය ලියන කොල හුළඟේ නොයෑමට තැබීමට කහවනු යොදාගැන්මට තරම් පොහොසතුන්මැ විය.

ඉදින් මෙසේ ටසිරිලක හාපික් දැමූ කොමඩයක් මෙන් බබලන්නාවූ කල්හී දිනෙක රන්සළු නොපළඳා සඳ ඇති වේලාවක මෙත්පලානෝ ජාතිය අමතන්නාහ.

"මා දයාබර ටසිරිලක වැසියනි. ඔබේ ආදරණීය ජනතා සේවක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මම වෙමි. ඉදින් වත්මනෙහි ටසිරිලක වීට් කරන ලද කිම් කාඩේසියාණන්ගේ කකුලක් මෙන් දියුණුවේ ආස්චර්‍යෙන් බබළන්නාහ. මා තවත් මේ රජකමෙහි යෙදී පලක් නම් නැත. රජ සැපට මාගේ ආසාවක් නම් නැත්තේමයැ. මා පැමිණි කාර්‍යය නිම කළෙමි.ඔබට සතුට උදා කළෙමි..ආයෙත් වරක් මට වඩා හොඳ රජෙක් හමුවේවා කියා ඔබට මා පතනවා..!!""

කියා සිය කිරුළ උණ බටෙන් තැනූ සරල මේසයෙහි තබා මඩුවල්ගය වරිච්චි බිත්තියේ ගැසූ ටින්ටස් ඇණයේ එල්වා සරම වලාපට ගසාගෙන පැරකුම් සමුදුර අසල අක්කර බාගෙ සීසාගෙන ඉතිරි කාලය ගෙවමියි කියා චාතූර්‍ය සෙනරතාණන්ට රාජ්‍යය බාර දී අභිනික්මනෙහි යෙදුනාවූ සිදුහත් කුමරුන් මෙන් මාලිගයෙන් නික්මෙද්දී.. අවසන් වරට සිය සෝනි කළුසුදු රූපවාහිනියට බැල්මක් හෙලා අද අවසාන කිටස නේදැයි අසා සිඳූ බලන්නට නැවතුනාහ. ඉදින් එවිට සෝරත සාමනේරයෝ එදිරිමුණි පාර්ශවයේ මහානායක දෙරණාගම සෝරත ලෙස අනූවස් පිරී උන්නාහ. උන්වහන්සේගේ අත කුඩා පූස් පැටවෙකු සිටි අතර පසුපසින් එල්ලූ ඡායාරූපයන්හී අතෙහි සිටිනා "මිලියන්සරණ" ගේ ඥාති පූසන් සිටි අතර පළමු ඡායාරූපයෙහි සිටියේ මිලියන්සරණ ගේ පූර්වජ ආදි මී මුත්තා වූ පළවෙණි සරණයෝ යැ.

මෙත්පලානෝ රජකම අතැර යන පවත් අසා ටසිරිලක වැසියෝ කම්පිතව අඬ අඬා නිසැක ධාතු බැලීමට එන්නාක් මෙන් බස් රථ ගෙන නිල මාලිගයට පැමිණෙන්නාහ. ඔවුන් ඇඬූ කඳුලින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම හරහා ජලගැල්මක් දැ ඇතිවූ අතර වික්ටෝරියාවෙහි වාන් දිරටු තුනක් විවර කළාහ.
සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුන කොත්තු තැටියක් මෙන් රක්ත තප්ත වූ සැනෙහි විමසා බලා පැමිණ නැවත රාජ්‍ය බාරගන්නැයි ඉල්ලා සිටියාහ.

එම්බා සක්‍රය.. මා තා මෙන් සැමදා රජකමෙහි විසීමෙහි ප්‍රේතයෙකු හෝ ගෙවලයකු නොවෙමි. ඔබමය ආවේ ඔබමයි යන්නේ. මා එතනම එහෙමය.. ඉදින් නිදුකින් ඉනුමැන මට වඩා කල් මගෙ පණත් ගෙන. නමුත් මා නික්මෙමි. පැමිණි කාර්‍යය නිමකෙලෙමි..

කියා නික්මුණාහ.

මෙපවත් දැක සාතිශය සන්‍තෝසයට පත්වූ සක්‍රයාණෝ සසර බිය දුක් බැමි බිඳහෙලනා අරහත් සමන්තභද්‍දරයෝ මෙන් රාජ සැප ඉවතලා කුඹුර බලා පානගනා මේ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ව සිහිවීමට පැරකුම් සමුදුර මත්තෙහි ගලෙහි ප්‍රථිමාවක් මවාලීයැ. සරල බවත් රජසැප අතෑරීමේ උතුම් ගුණයත් සිහිවනු වස් පමුණුවෙන් ගත් එකසිය විස්සේ සරමකුත් උඩුකය නිරුවත්වත් තබා රාජ භෝජන ඉවතලා දුගියාගේ ආහාර වැලඳූ නියා සිහිවනු වස් ගස්ලබු බෑයකුත්  මවාලීයැ..

අකලංකාරයෙහි එන සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රාජ සැප අත්හැරීම් කතාවත්තුව නිමියේයැ.

# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments: